Aug 17, 2026

මා දුටු ඔස්ට්‍රේලියාව


 මා දුටු ඔස්ට්‍රේලියාව

➖➖➖➖➖➖❤️➖


ශ්‍රී ලංකාවේ දුරබැහැර ගම්මානයක, අඩක් කැඩීගිය මැටි බිත්ති සහිත පුංචි පැලක ඉපදුණු මට, අහසින් යන අහස්යානයක් දෙස බලා සිටීම හැර වෙනත් ලෝකයක් ගැන ලොකු හීන තිබුණේ නැතිය. මගේ පාසල් බෑගයේ පැත්තක් ඉරී තිබුණි; පාවහන් යුවළ හිල් වී තිබුණි. බැනියම් හා යට ඇඳුම් වැලේ වනනුයේ බොහෝ ලැජ්ජාවෙනි.


නමුත්, විදේශගතව සිටින මගේ ඥාති මාමා කෙනෙකුගේ උපකාරයෙන් මට හදිසියේම ඔස්ට්‍රේලියාවේ සතියක සංචාරයක් සඳහා එක්වීමට අවස්ථාව ලැබුණි. 


අහස්යානයට ගොඩවී පැය ගණනාවකට පසු මා පා තැබුවේ මගේ පුංචි මොළයට අදහගන්නටත් බැරි තරම් ආශ්චර්යමත්, අමුතුම ලෝකයකටය. එය මට බිග් කුච්චන් එකක්ම වුනේය.


මා මුලින්ම පය තැබුවේ සිඩ්නි නගරයටය. ගුවන් තොටුපළෙන් එළියට බසිනවාත් සමඟම මා දුටුවේ වීදුරුවලින් සෑදූ අහස උසට විහිදුණු දැවැන්ත ගොඩනැගිලිය. ඒ කිසිදු තැනක අපේ ගමේ මෙන් පාර පුරා විසිවුණු ප්ලාස්ටික් කොළ, දූවිලි හෝ කුණු රොඩක් දැකගන්නට ලැබුණේ නැතිය. 


පාර පිරිසිඳු කිරීම සඳහා වෙනම සේවකයින් උන් අතර, අපේ ගමේ මාලිමා මාමා මෙන්, සතියක් ගානේ මාන කපන කානු ශුද්ධ පවිත්‍ර කරන  ජනතා නියෝජිතයෝ එහි නැති බව අපට දැනගන්නට ලැබුනේය.


මාර්ග ඉතා පළල්ය, පිරිසිදුය. තදබදය තිබුණත් වාහන සියල්ලම ඉතා පිළිවෙළකට, නීතිගරුකව ගමන් කළේය. පාර පනින තැනදී පදිකයන්ට ප්‍රමුඛතාව දෙමින් වාහන නතර කරන අයුරු දැක මම පුදුම වූයෙමි. මගේ ගමේදී පාර පැනීමට පවා අප බියෙන් ගැහෙන්නෙමු. අපේ ගමේ ටැපික් සාජන් මාමා මෙන් පඳුරු අස්සේ සිට පාරට පනින පොලිස් හාවෝ එහේ දැක්කේ නැතිය. නමුත් දම් රැජින වාගේ බස් නැති එක කණගාටුවක් විය.


දිනක් මාමා මාව කැඳවාගෙන ගියේ "සිඩ්නි ඔපෙරා හවුස්" (Opera House) සහ "හාබර් බ්‍රිජ්" (Harbour Bridge) නැරඹීමටයි. මුහුද මැද රදවා ඇති සුදු පැහැති විශාල නැවක රදවා ඇති රුවල් වැනි ඒ ගොඩනැගිල්ල දෙස මම පැයක් විතර මුළුමනින්ම ගල්වී බලා සිටියෙමි.


මගේ මාමා කියූ පරිදි එම රටේ කොමියුනිස්ට් පක්ෂයක ලේකම් ධූරය දැරූ කෙනෙකු එහි වහලය මතට නැග පැනලා මැරී තිබුනේය.


සන්ද්‍යාවේ ඒ අහස යටින් විදුලි බුබුළු දැල්වෙද්දී මුහුදු දිය මත ඇඳුණු ආලෝකය මට ගෙන දුන්නේ පාසලෙන් අප රැගෙන ගිය පෝර්ට් සිටි චාරිකාවය. අපේ මාමා නම් කිව්වේ, මෙව්වා මේ මැදමුලන පැත්තේ එකෙක් ඇවිත් කළ පිස්සු වැඩ කියලාය.


තවත් දිනක අපි වනජීවී උද්‍යානයකට ගියෙමු. එහිදී මට ඔස්ට්‍රේලියාවටම ආවේණික ක kangaroo (කැන්ගරූ) සහ Koala (කොආලා) සතුන් දැකබලා ගැනීමට ලැබුණි. තමන්ගේ බඩේ ඇති මල්ලේ පැටවා තබාගෙන පැන පැන යන කැන්ගරූවන් දැක මට සිහි වූයේ පවුල් පිටින් එහෙ මෙහෙ පනිනා අපේ රටේ පොලිටිකල් මාමලාය.


නමුත් මගේ සිත වඩාත්ම සංවේදී වූයේ එහෙ පාසලක් සහ එහෙ ළමයින් ජීවත් වන ආකාරය දුටු විටයි. එහි ළමයින්ට අවශ්‍ය තරම් පොත්පත්, පරිගණක සහ සෙල්ලම් කිරීමට විශාල ක්‍රීඩාංගණ තිබුණි. කිසිම දරුවෙකුගේ ඇඳුම් ඉරී තිබුණේ නැත. හැමෝම තමන්ට හිමි නිදහස සහ පහසුකම් විඳිමින් සතුටින් සිටියහ. 


මට එකපාරටම මතක් වූයේ මගේ ගමේ පාසලේ පියස්සෙන් වතුර වටෙන පන්ති කාමරයයි, පොත් ගන්න සල්ලි නැතුව අඬන මගේ යාළුවන්වයි.

පොත් ටික හා පාසල් උපකරණ වැට් නැතිව ගන්න බලා සිටිනා මාගේ දුප්පත් දෙමාපියන්‍ය.


ඔස්ට්‍රේලියාව කියන්නේ තාක්ෂණයෙන්, පිරිසිදුකමෙන් සහ ස්වාභාවික සෞන්දර්යයෙන් පිරුණු අතිවිශිෂ්ට රටකි. එහෙ මිනිසුන් ඉතා සුහදශීලීය; පාරේදී හමු වූ විට පවා එකිනෙකාට සිනාසී සුබ පතති. ඒ අය අප මෙන් කුහක නැත. බොරු කියන්නේ නැත. හොරා කන්නේ නැත.


මගේ සංචාරයේදි ඔවුන්ගේ උක් වගාවක් නැරඹීමට ගිය අතර, අපිටත් උක් කන්නේ නැතිව උක් වවා රට ස්වයංපෝෂිත කළ නොහැක්කේ මන්දයි සිහිවිය. රට කොතරම් සංවර්ධිතද යත්, සීනී සඳහාම පමණක් වෙන්වූ වෙළඳ සල් රටපුරාම තිබුනේය. ඒවා දුඹුරු සීනී, සුදු සීනී, සීනී මුරුක්කු හා සීනී කරිඤ්ඤා ලෙස දියර වශයෙන්ද තිබුනේය.


සතියක මනරම් සංචාරයකින් පසු නැවත මගේ පුංචි පැලට පැමිණි මට, මගේ රටේ ඇති දුප්පත්කම ගැන ලොකු කණගාටුවක් ඇති විය. 


නමුත් ඔස්ට්‍රේලියාව මට දුන්නේ හිස් සිහිනයක් පමණක් නොවේ; ලොකු අභියෝගයකි.


"මමත් හොඳට ඉගෙනගෙන, කවදාහරි මගේ රටත් අන්න ඒ වගේ ලස්සන, දියුණු රටක් කරන්න උත්සාහ කරනවා" යන දැඩි අභිලාෂය මා තුළ පැළපදියම් කිරීමට ඒ පුදුමාකාර ඔස්ට්‍රේලියානු සංචාරයට හැකි විය.


එපමණක් නොව එරටට ගොස් අපේ රට වෙනුවෙන් තම ලේ දහදිය හා කඳුළු වක්කරමින්, සම්මාදම් එකතු කරමින් කවී ගී කෙටිකතා නිසඳැස් ස්ත්‍රෝත නාට්‍ය චිත්‍රපට මෙන්ම රේඩියෝ චැනල් හා පොඩ් කාස්ට් මෙහෙයවන මාමලා හා නැන්දලාද බෝට්ටු මගින් මෙරටට ගෙන ඒමට කටයුතු කරනා බවටත් දැඩි තීරණයකට එළඹ අවසානය.


අපේ රටේ මී හරකුන්ට පවා පොහොසක් රටක් හා ලස්සන ජීවිතයක් ලබා දීම මාගේ අනාගත බලාපොරොත්තුව වන්නේය.


ලංකාවට අත නොතබනු !!!!


#මාතලන්

5 comments:

  1. 😅🤣😂

    මරු කතාව බං එල එල ඈ

    ReplyDelete
  2. සීනි වලින් විතරක් රට ගොඩගන්න පුලුවන් කියපු මරිමෝල් පාංනෙත්ති කරපු හරියක් අම්මපා. එක හොඳකට මේකා ටයි කෝට් දාලා උනත් ඔස්ට්‍රේලියාවේදි බිග් කොච්චන් ඉංගිලිස් කතාකරන්න නො⁣ගිහින් සිංහලෙන් සුද්දොන්ට කතා කරපු නිසා යාංතං ජාං බේරගත්තා.

    ReplyDelete
  3. මචං මාතා උඹ මුසාවාද කුරුමිට්ටා අනුර මචංටත් රැවටුනා නේද? ඉතින් මූට රැවටෙන එක අහන්නත් දෙයක්ද?

    ''මේ වැඩෙන් අනුරයි ආණ්ඩුවයි හොඳටම කිච වුණා...'' 🫵😎🤬🫵උපුල් ජයසුරියගේ කතාවත් එළියට දාමුද?

    දෙවැනි ලෝක යුද්ධයේ අසාර්ථකත්වයට සමහර අසාර්ථක ජර්මානු උපකරණත හේතු උනා.. එහෙම ලෝක යුද සමයේ ජර්මානු යුද උපකරණ බහුතරයක් අසාර්ථක වීමට ප්‍රධාන හේතු විදිහට ගත්තොත්,

    ප්‍රමාණවත් කාළයක් නොමැති වීම
    සම්පත් හිගය
    ශ්‍රම හිගය
    සංඛ්‍යාත්මකව අඩු උපකරණ ප්‍රමාණයක් පැවැතීම සහ තවද,

    බොහෝ ඒවා පර්යේෂණ මට්ටමේ පැවැතීම ආදී කරුණු දක්වන්න පුළුවන්, ඒ අනුව

    ජර්මානුවන් උපකරණ සෑදීමේදී අනුගමනය කරපු ක්‍රමවේදයේ විශාල දෝෂයක් තිබුණා, ඒ තමයි ඔවුන් නිශ්පාදනය කරපු යම් යුද උපකරනයක් අසාර්ථක උනොත්, එහි දෝෂ සහගත හදුනාගෙන එය සකසා නැවත සේවයට යොදවනවා වෙනුවට එය සම්පූර්ණයෙන්ම අත් හැර, ඒ වෙනුවට වෙනත් නවතම උපකරනයක් නිශ්පාදනය කිරීමට කටයුතු කිරීම, එමගින් නැවැතත් විශාල කාළයක්, ධනයක් සහ ශ්‍රමයක් යෙදවීමට සිදු වීම, නැවත සකස් කරන ලද උපකරණයේ නැවත අලුත් දෝෂයක් හට ගත් විට, පෙර ක්‍රියාවලිය නැවත අනූගමනය කිරීම යුද්ධය පරාජය වෙන්න හේතු උනා කියල මට හිතෙනවා,

    මෙම ජර්මානු ක්‍රමවේදයේ විරුද්ධ ක්‍රියාවලිය තමයි රුසියානුවන් අනුගමනය කරේ කිවොත් හරි, ඔවුන් යම් උපකරනයක් නිශ්පාදනය කර එහි සේවයේ යෙදවීමේදි මතු වූ ගැටලු ප්‍රතිසංස්කරණය කර නැවත සේවයේ යෙදවීම මගින් අඩු කාළයක් තුළ, අඩු සම්පත් පරිභෝජනයකින් සහ අවම Budget එකකින් වඩාත් සාර්ථක මෙන්ම වැඩි ප්‍රමාණයක් නිශ්පාදනය කිරීමට යොමු වීම ඔවුන්ගේ යුද ජයග්‍රහණයට ප්‍රධාන රුකුලක් උනා මම හිතෙන්නේ (උදා යුධ ටැංකිය T34). (Quality 🆚 Quantity) වෙන්න බැරිද?

    අර්වින් රොමේල් කියන්නේ අපි දන්න වා බොහොම දක්ෂ හමුදා නිලධාරියෙක් ඒත් දෙවන ලෝක යුද්ධ කාලේ ජපානය ගැනත් විඩීයෝ එකක් ඕන මාතාගෙන්.

    මේ ඕස්ට්‍රේලියා කොමඩි කතාවත් බොහොම හො‍ඳ කතාවක්..

    මං එදා සංඛ්‍යා ලේඛන සමග දැම්ම නැගෙනහිර හා බටහිර පෙරමුනේ ඩිවිෂන් ගණනත් එක්ක ජර්මනිය රුසියාව ආක්‍රමණය කරන්න ගිහිල්ල ඇණ ගත්තා වගේ මෝඩ වැඩක් මේකත්
    Soviet දේශය මුලින් ප්‍රහාර එල්ල කරා නම්.. බ්‍රිතාන්‍ය, ඇමරිකාව ඇතුළු රටවල් වල Nightmare එක ඇත්ත වෙනවානේ, බටහිර යුරෝපය කරා Soviet බලය පැතිරීම.... එහෙනම් සමහරවිට ජර්මනියට බ්‍රිතාන්‍ය + ඇමරිකානු සහය ලැබෙන්න තිබුණාද? යම් ආකාරයකින් හරි...

    දැං බ්‍රිතාන්‍ය විශේෂයෙන්ම හිටියේ එක්කෝ Germany ය, එක්කෝ Soviet Union ඒකනේ හැබයි දෙකම බලවත් උනොත් ඒත් බ්‍රිතාන්‍යයට අමාරුයි...

    එක්කෙනෙක් බලවත් උනත් ඒත් තර්ජනයක් තියේ... එතකොට කොහොමත් අපි දන්න ඉතිහාසයේ උනත් Germany ඉස්සර උනු නිසා ඒ උදවු Soviet Union එකට ගියා, එතකොට ඒක අනිත් පැත්ත උනා නම් මොකක් වේවිද...

    සමහරවිට මේ කියන වෙලාවේ USA වලට Declare නොකර ඉන්න වෙලාවක් නම්???

    නාසි ජර්මනිය, Japan අතර සම්බන්ධය ඇතිවුන ආකාරය ගැන විස්තර වගේම මං කියවපු මූලාශ්‍ර කීපයක මෙහෙම දේ කීපයක් තිබුන

    එල් අල් මේන් වල මිත්‍ර හමුදා ඒගොල්ලන්ට වතුර ගන්න පයිප්ප ලයින් එකක් දාල තිබුනලු..

    ඒහි මිරිදිය අඩු හන්ද
    ඒක ටෙස්ට් කරන්න දාල තිබුනෙ මුහුදු වතුරලු ..

    ඒක අල්ලගත්තු ජර්මන් හමුදා ඛණ්ඩයේ සෙබලු අධික වතුර තිබහ හන්ද කරදිය බීල

    අන්තිමේදි සටනක් කරගන්න බැරුව මිරිදිය ඉල්ලගෙන මිත්‍ර හමුදා ලඟට ආවෙ
    අත් උස්සගෙන ලු.
    පත්තර වාර්තාවක තිබුනු එකක් හැට ගනංවල සඟරාවක තිබුන .
    එදා තමා එල් අල් මේන් කියන නම ඇහුවෙත් ..

    ගසක කඳුළු කියල සිංහලයට පරිවර්තනයවූ වීපිං ට්‍රී වගෙ නමක් තියෙන රබර් වල කතාව පිටු බර ගානක ලොකු පොතක්

    හැට ගනංවල අග වෙන්න ඇති ඒක මං කියෙව්වෙ.

    ඒකෙ තිබුන ජර්මන් රබර් ෆැක්ටරිවල වැඩකරපු අල්ලගෙන ආපු හිරකාරයො ගැන ..

    ඒ හැවුවෙ කෘත්‍රීම රබර් වගෙයි මතක එක්කෙනෙක් ඒකෙ ව්‍යුහය හොරෙන්ම පොඩ්ඩක් වෙනස් කරල ටයර් හැදුව කාන්තාරෙදි ඒ ටයර් පුපුරායාම නිසා සැපයුම් හා භටයන් වෙන්න ඇති ජෙනරල් රොමෙල්ට ෂෙඩියුල් එකට ප්‍රවාහනය කරන්න අපහසු වුනා ඒකත් හේතුවක් වුනාලු සටනින් පැරදීමට

    ReplyDelete
    Replies
    1. ජර්මන්නු රටවල් අල්ලා ගත්තට ඒ රටවල ජනතාවගෙ විස්වාසය දිනාගැනීමට

      ප්‍රොපගැන්ඩ වර්ක් එකක් සාර්ථකව දියත් කලේ නැති තරම්

      අල්ලගන්න එක ලේසියි
      මේන්ටේන් කිරීම ලේසි නැ

      ඒත් ඉංගීසීන් මේකෙ කෙළපැමිනි කට්ටයින් වුනා

      ලංකාවෙ වුනත් ටික කාලයක් යනවිට
      හම කළු ඒත් හිතින් සුදු

      සුද්දන්ටත් වඩා සුද්දො වෙච්චි දේශීය ජනතාවගේ බලවත් කොටසක් හිටිය .
      බලය තිබුනෙ එයාලගෙ අතේ..

      නැතිනම් මිළියන බර ගානක එංගලන්තයේ සුද්දො නොවන මහා හමුදාවක්

      තමන්ගෙ රට යටත් කරගෙන මහා විනාශයක් කල විදේශිකයනට පක්ෂව මැරෙන්න යාමේ

      කිසිම ලොජික් එකක් තියේද

      මේව අමුතු දේවල් නොවේ අපට

      ප්‍රතුගීසින් කොයිතරම් පොඩ්ඩක් ද හිටියෙ
      ඔවුන් වෙනුවෙන් ඒවගෙ විසි තිස් ගුණයක දේශීය හමුදා ...තමන්ගෙ රටේ තමුන්ගෙම ජාතිකයන්ට විරුද්දව ලේ හැලුව

      ලන්දේසි ඉන්ග්‍රීසී කාලෙට් වුනේ මේකයි

      ඉන්දියාවෙත් වුනේ මේකටම හුරු දෙයක් ..

      ජර්මන් කාරයන්ට ඒ දේ තිබුනෙ බොහෝම අඩුවෙන් ..යුදෙවි වැඩේ හින්ද ජර්මනිය වැටීමට ලොකු දෙයක් වුනා

      යුදෙව්වො ජර්මනිය පැත්ත අරන් හිටියනම්....මොනා වෙයිද..?

      Delete
  4. තමන්ගෙ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ,
    කාටවත් කරදරයක් නොකර ,
    ඉන්නේ නැතුව , අනුන්ගේ හොද හෝ නරක
    විවේචනය කරමින් මනුස්ස හිත් රිද්දුවානම්
    ඔහුට සොබාදහම සලකනව අවස්තාව ආවාම හරි අපූරුවට,

    මිනිස්සුන්ට ඒක පේන්නෙ නෑ...
    මොකද සොබාදහම කාටවත් පේන්න ඇවිත් කතා කරලා හොද හෝ නරක පෙන්නලා නැති නිසා..
    මිනුස්සුන්ට ඒක මතක් වෙන්නේ නෑ
    ඕන්...
    හොදින් බලන් ඉදලා දෙනකොට දෙනව අඩුවක් නොකරම ,
    එච්චරකටම සර්ව සාධාරනයි නොපෙනෙන සොබාදහම

    ඕක තමයි,
    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ........කීවේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න