මැණිකේ හා බෆලෝ කූඩැල්ලා
➖➖➖➖➖➖➖➖➖➖➖
(මගේ බ්ලොග් එකේ නමත් එක්ක "මැණිකේ" කියලා ටයිප් කරලා සර්ච් පාරක් දැම්මම අහු උනා මම ලියපු පරණ එකක්, කොටස් දෙකකට ලියපු කතාව, බුකියේ බ්ලොක් වෙන වචන මොඩිෆයි කරලා ආයේ ගෙඩිය පිටින් එකකට හැදුවා)
කැළණිය අපේ ගේ ගාවට කොළඹ ඉඳලා හරියටම 8 Km. ඒත් අපි පොඩි කාළේ මේක තනිකරම ගමක්. 77 ට පස්සේ සීඝ්‍ර දියුණුවකට ලක්වෙනවා. අද ඉන්න අයට මේ දේ වල් නැති උනත්. අපි ගමක ළමයෙක් විඳින සුන්දර ළමා කාළයක් මේ ගමේ ගෙව්වා.
ගේ පිටිපස්සෙ කුඹුරක් තිබුනා. නමුත් කැළණි ගඟ ගලන කාලේට මේක යටවෙනවා. කුඹුර උනාට අපි ඕකට කියන්නේ වෙල කියලා. මේක යටවෙනවා කිව්වට අද වගේ නෙමෙයි. කුඹුරු කරන ප්‍රදේශයේ අඩි තුනක් විතර. ඒ උනාට ඒ කාළේ අපිට ඒක ළොකු වතුරක් ඇයි අපිට වයස දහයක් විතර ඇති මේ කතාව කියන කාළේ.
කතාවේ පාත්‍ර වර්ගයා තමයි මම, අපේ මල්ලි, කනිෂ්ක - එහා ගෙදර මගේම වයසේ මැන්ගෝ ෆ්‍රෙන්ඩ්, ගීතංජලි - මැන්ගෝ ෆ්‍රෙන්ඩ් ගේ නංගි, උන් අපේ ළඟම නෑයෝ.
මැණිකා - එතකොට වයස 18 ක් විතර ඇති මාර ලස්සන, අපේ නංගි බලාගන්න ඉන්න අක්කා - ගමේ නාඩගං නටනවා කියලා, අපි ගමේ ගියපු වෙලාවක මැණිකලගෙ ගෙදරින් බලෙන්ම දීලා.. එයාගේ කැමත්තෙන් අපේ ගෙදර ආවේ. ප්‍රේමසිරි - කනිෂ්කලයි කඩේ වැඩ කරන කෙනෙක්ගේ පුතා, වයස 16 විතර, ඉස්කෝලෙත් යනවා, නසරානියා. අපි වගේම තමයි.
වෙලේ වතුර පිරුණ ගමන් අපි කෙහෙල් කොටන් පාරු හදනවා. ඒ කතා කියන්න ගියොත් මේක ඔයාලට එපා වෙනවා. ඕක ටික වෙලාවක් පැදලා, වෙලට පනිනවා. අපේ බෙල්ල ගාවට තමයි වතුර. ටික වෙලාවක් පීනනවා කියලා වතුරේ ඇවිදලා, කස්ටියම එනවා, සිමෙන්තියෙන් වට කරලා ලස්සනට බැඳලා තියෙන ළිඳට.
ඔන්න ඉතින් කූඩැල්ලෝ ඇදලා දාලා අපි කස්ටියම එකට නානවා. මැණිකා මේ හැම දේම බලන් ඉන්නවා. අම්මලාට අපි ගැන බලන්න වෙලාවක් නැති නිසා වෙන්න ඇති. කවුරු හිටියත් උයන්නේ අම්මනේ.
කස්ටියම ඉන්නේ ජංගි ගහල. ජංගි කියන්නේ අම්මලගේ ගවුම් මහලා ඉවරවෙන, බූමිතෙල් ගඳ ගහන චීත්තවලින් මහලා, ඉනට ඉලාස්ටික් එකක් අල්ලලා තියෙන කොට කලිසම්. බාල්දි දෙකෙන්ම ඇදගෙන නාපු අපි කට්ටියම එකට සබන් ගානවා.
බේබී හොඳට සබන් ගා ගන්න මූනේ... මැණිකා කියනවා.
එයානම් කියයි... ඇස් දෙක දන්න ගත්තම එයා මොනවා කරන්නද....? උදේට ඉස්කෝලේ යනකොට, අම්මා මූණේ සබන් ගාන කොටත් මම ඇස් දෙක තද කරගෙන ඉන්නේ.
හරි හෝදලා ඉවරයි... ඒ අම්මා.
ඇස් අරින්නද....?
හා අරින්න හෝදලා ඉවරයි.
හොඳටම හේදුවද අම්මේ....?
ඔව් දරුවෝ ඔව්,
ඔන්න එහෙනම් අරිනවා......?
අරින්න පුතෙ අරින්න...
ඒත්... තද කරන් ඉන්න එක පොඩ්ඩක් අඩු කරලා, දෙකට නැමිලා, බේසමෙන් වතුර ටිකක් අරගෙන ආයිත් ඇස් දෙකේ ගාගන්නවා. අම්ම අවිස්වාස නිසා නෙමෙයි, එයාටත් අහු උනේ නැති, අර ඇස්වලට අගුණ පෙන ජාතියෙන් පොඩි බින්දුවක් හරි අම්මට පේන්නේ නැතිව හැංගිලා හිටියොත්. ඇහේ වතුර ගාගත්තත් අරින්නේ නෑ. මූන පිහදාලා ඉවර උනයින් පස්සේ, ආයිත් ඇස් තද කරලා බලනවා. තුවායෙන් ආයිත් හොඳට පිහිනවා.
ඔන්න එක පාරක් ඇරලා ටක් ගහලා වහනවා. තොටළඟ තොරනේ වගේ මොනවද වගයක් එක පාරටම පේනවා. ආයිත් ඇරලා බලනවා.
ඒ පාර නම් අම්මව දැක්කා. ඔය ඉන්නේ සීදේවී වගේ හිනා වෙවි. ඒ උනාට ආයිත් වහනවා.
හ්ම් දැවිල්ලක් නෑ. බඩු ෂුවර්.. දැන් නම් හොඳටම ෂුවර්.. අර මූසල පෙන බෝල එකක්වත් නෑ කියලා.
ඒ උනාට, මැණිකගෙ හිත නරක් කරන එකත් හොඳ නෑනේ. බොරුවට සබන් ටිකක් මූනේ අතුල්ල ගන්නවා.
ඔය මොකක්ද කරන්නේ... කෝ දෙන්න සබන් කෑල්ල.
අයියෝ..!!! ඉවරයි ඉතින් ආයෙත් අර කෝස් එක තමයි. අම්ම වගේම තමයි මෙයත්...
මූන හොදන්න කිව්වම ඉතින් ඒක කරනවනේ.. ඇස් වල ගාන්නම ඕනද...? ඔය සබන් හදන අයට බැරිද ඇස් දන්නෙ නැති.. නිකන් වතුර වගේ දෙයක් හදන්න. වතුරෙන් හේදුවට කිසි අවුලක් නෑනේ.. අනේ මන්දා කවුරු මේවා මොනවට හදනවද කියලා....? එක්කෝ කියන්න ඕන පොඩි ලමයින්ට නොවේ කියලා. අර අම්මයි තත්තයි විතරක් බලන්න යන ෆිල්ම් වගේ. ..
ඔන්න කරුම වැඩේ ඉවරයි... අනික් උන්ට නම් හිනා මමයි මගේ ඇස් දෙකයි විතරයිනේ දන්නෙ ඒකේ දුක.
ඔය ජංගිය අස්සෙත් ගාගන්න.
ඇයි මැණිකම ගාන්න.
අනේ මට බෑ.... ඕවයෙ ගාන්න..
එහෙනම් නංගිගේ ගාන්නේ...?
ඒ... නංගි පොඩියි නේ...
ඉතින් අපිත් පොඩියිනේ...
ප්‍රේමසිරියට හරි හිනා... අපිත් පොඩියි කියන්නේ එච්චර හිනා යන කතාවක්ද...? මමත් හරියට ප්‍රෙඩී සිල්වා වගේනේ.. මරු වැඩේ... ආයිත් කියන්න ඕන...
ඉතින්.. අපිත් පොඩියිනේ මැණිකම ගාන්නකෝ..
ප්‍රේමසිරියට හරි හිනා.. අපිත් ඉතින් හයියෙන් හිනාවෙනවා.. මේන් මැණිකට කේන්ති ගිහින්.. මොකටද කේන්ති ගන්නේ....?
ඉස්සෙල්ලා මගේ මූනේ සබන් ගාන වෙලාවේ කට්ටියම හිනා උනාම මැනිකත් හිනාඋනේ.. ඒ වෙලාවේ මට කේන්ති ගියාය....? ඇස් දෙක වහගෙන මමත් හිනා උනේ...
මම කියන එවටයි කරන ඒවටයි හිනාවෙන එක කොච්චර ෂෝක්ද...? මමත් එතකොට අර ෆිල්ම් වල ඉන්න ජෝකර්ලා වගේ නේ...එයාගේ ලස්සන මූන. අලිකලසමයගේ මූන වගේ වෙලා. මට නම් ඔය අලිකලසමයගේ මූන පෙන්න බෑ..
හිනා උනා වගේ නෙමෙයි... මැණිකා තරහ උනොත්...!...? මම එක පාරටම ලයිට් එක ඕෆ් කලා වගේ හිනාව නවත්ත ගන්නවා....
ඒත් මැණිකගෙ මූන ලස්සන නෑ... මම පූජිත මෙන්ඩිස් වගේ අනික් උන් ඔක්කෝටම ඔරවනවා. ඔන්න හිනාව නවතිනවා. දැන් නම් මැණිකගෙ මූන හොඳයි. ඒත් තරහ වෙන්න කලින් හිටිය වගේ ලස්සන නෑ.
උඹ තමයි ඔක්කෝම කරන්නෙ.. මැණිකා ප්‍රේමසිරිට කියනවා..
ප්‍රේමසිරි නෙමේ කටක් හොලවන්නේ. ප්‍රේමසිරි මැණිකට බයයි. ප්‍රේමසිරි පොළොවේ දිහා බලාගෙන ඉන්න ඇස් දෙකේ, අර මැද තියෙන බෝල දෙක මැණිකා පැත්තට යනවා. මගේ පැත්තට එනවා. මල්ලිගෙ පැත්තට යනවා. කවුරුත් සද්දයක් නෑ.
හා හා..... ළොකු බේබි ඔය සබන් ගා ගන්න ඉක්මනට. ගාලා හොඳට අතුල්ලලා හෝදන්න. නැත්නම් කට්ටියම මැටි බබ්බු වගේ ඉඳියි. ඔය වෙල් ගඳ යන්න හොඳට හෝදගන්න.
අම්මේ....!!!..... ඇති යාන්තම් මැණිකා කතා කරනවා. ආයෙත් කට්ටිය හෝ ගාල වැඩ. මමත් පස්ස පැත්තෙ සබන් ගාන්න ජංගිය පහත් කරනවා. මැන්ගොත් එහෙමයි. ඒ උනාට මල්ලියි, මැංගොගේ නංගියි, ප්‍රේමසිරියි එහෙම ජංගිය පාත් කරන්නෙ නෑ.
"බුදු අම්මෝ..........................!!!" මැණිකා මහා සද්දෙන් කෑ ගහනවා...
අම්මෝ මගේ කන් දෙක.....!!!. තව පොඩ්ඩෙන් පැලෙනවා..
කැළණි පන්සලේ පෙරහරට ගෙනත් ගස්වල බැඳලා ඉන්න අලියෙක්ට පිස්සු හැදිලා එක දවසක් හොඬේ උස්සලා කෑ ගැහුවා. එදා තමයි තාත්තා කියලා දුන්නේ කනේ බෙරයක් තියෙනවයි, ළොකු සද්දවලට, පුපුරණවයි කියලා.
ඉතින් තාත්තේ ඒ බෙරේ මොන වගේද කිව්වට උත්තර හම්බ උනේ නෑ. මම හිතන්නේ තාත්තා දන්නෙ නැතිව ඇති.
උත්තර දන්නෙ නැති ප්‍රශ්ණ ඇහුවම එයා සද්ද නැතුව හිනාවෙනවා. සමහර ඒවා නම් වෙන කාගෙන්වත් අහන්න එපා. ළොකු උනාම අහන්න, කියලා දෙන්නම් කියනවා. ඉතින් මම තාම පොඩියිනේ.
මම හිතන්නේ තොරණ හංදියටත් ඇහෙන්න ඇති. ෆිල්ම් හෝල් එකේනම් ඔයිටත් වඩා සද්දෙට ගෑණු අය බෙරිහන් දෙන ඒවා දැකලා තියෙනවා. සමහර වෙලාවට හෝල් එක ඇතුලෙ වගේ, කළුවර නැති නිසා වෙන්න ඇති... එච්චර සද්දයක් එන්නෙ නැත්තේ. හෝල් එකේ ලයිට් නිවන්නේ,,, නැත්නම්, මිනිස්සු ෆිල්ම් එක බලන්නෙ නැතුව, එක එක්කෙනාගේ, ඇද කුද හොයන නිසා කියලා මට කියලා දුන්නෙත් තාත්තා.
ඒ මම එක දවසක් හෝල් එකේදීම අහපු වෙලාවක. අම්මයි, වට පිටේ අයයි හිනා උනාට, ඒකනම් ඇත්තම වෙන්න ඕන. ඔය ඉන්ටවල් එකට තිරේ වහලා ලයිට් දාලා තිබුනට, කැන්ටිමේ විකුණන ඒවල ගාන තිර රෙද්දේ වැටෙන්නේ....ඒ කියන්නෙ ලයිට් දැම්මත් ෆිල්ම් එක පේනවා.....
මේ කර්ට්න් එක තියෙන නිසානේ. නැතනම් ලස්සනට පෙනෙයි. ඒත් මම විතරද කොහෙද ඒවා බලන්නෙ. අනිත් අය එක එක්කෙනා මොනවද කන්නෙ කියලා තමා බලන්නේ.. එතකොට ඉතින් මාත් ඔක්කෝම දිහා බලලනේ... ඒක නම් මාර වැඩක්නේ. අපේ තාත්තා ඇත්තම තමයි කියලා තියෙන්නේ.
ඒ සද්දෙට... මගේ අතේ තියෙන සබන් කෑල්ල ළිඳට පනිනවා.. මාර ලස්සනයි ඒක ගෙම්බා පනිනවා වගේ...
ඔන්න බේබී ලොකු කූඩැල්ලෙක්.. කියන කොටම.... ගෙවල් වල ඉන්න ඔක්කෝම අය ළිඳ ළඟට ඇවිල්ලා ඉවරයි. මාර වැඩේ. අපේ අම්මයි තාත්තයි, ආච්චි නංගිත් වඩාගෙන. මැන්ගොගේ තාත්තා ජුබ්‍රි අංකල් එයත් ඇවිල්ලා.
මොකද මැණිකා බෙරිහන් දෙන්නේ. කවුරු හරි ළිඳට වැටුනද...? තාත්තා ළිඳට එබෙනවා.
සබන් කෑල්ල නම් වැටුනා මම කියනවා..
මොකද මැණිකා කෑ ගහන්නෙ.. විකාරද උඹට.. නැත්නම් බේබිලා උඹට මොනවා හරි කරාද...?
නෑ නෝනා... මැනිකගේ සුදු පාට මූණ. මුදලාලිලගේ වත්තෙ තියෙන ජම්බු ගෙඩි වල පාට වෙලා. එයා ඩාන්ස් කරනවා.
ඩාන්ස් එකකුත් නෙමෙයි. එච්චර ලස්සන නෑ. අත් දෙක වැලමිට ළඟින් උඩට උස්සගෙන ඇඟිලි තියෙන කෑලී දෙක දෙපැත්තට වනනවා, නවත්තනවා, ඇඟිල්ලක් කටේ දාගන්නවා ආයිත් එහෙම කරනවා, අනේ නෝනා...... කියනවා... ඩාන්ස් එක ලස්සනම නෑ. ඊට වඩා ලස්සනට ෆරීනා ලායි අක්කි ඩාන්ස් කරනවා. මේක ගමේ නැටුමක් වෙන්න ඇති.
මැනිකගේ තාත්තත් හොඳ නැටුම් කාරයෙක්නේ. එයා ගාව පෙරහැරවලට අඳින ඇඳුම් හිටන් තියෙනවා. එයාගේ අම්මත් හොඳ නැට්ටුක් කාරී කියන එක. අම්මයි තාත්තයි අපි නිදා ගත්තට පස්සේ කතා කරන කොට මට ඇහිලා තියෙනවා.
ඒවා මම අහන්න යන්නෙ නෑ. මොකද අනිත් දවසෙ එයාලා දැන ගන්නවා නේ මම නිදි නෑ කියල. මට මුකුත් නොදන්න දෙයක් දැන ගන්න වෙන්නේ නෑ.
එයාලා මරු මරු ඒවා කතාකරනවා.. ඒ මම නිදිද කියලා බලලා. ඔන්න එක දවසක් අම්මා කිව්වා හොඳට නින්ද ගිහින් නම් කකුල වැනෙන්න ඕන කියලා ඉතින් මම ඇහැ අරලා හිටියේ. හොඳට කකුල් දෙක වැනුවා...
හානේ එයා හොඳටම නිදි කියලා අම්මා කිව්වා. මට හරි ජොලි. අම්මා මගේ බොරුවට අහු උනානේ. ඒත් පස්සෙ දවසේ, අහු උනේ අම්මා නෙමෙයි, මමයි කියලා, කියා දුන්නෙ මැනිකා. ඊට පස්සෙ මම නෙමෙයි නිකමට වත් කකුල වනන්නේ.
සමයම. මේකිට පිස්සුද කොහෙද..? ආච්චි කියනවා...
මොකද මැණිකා උනේ. මොකෝ දරුවෝ කෑ ගැහැව්වේ....? ඒ අම්මා..
ඉස්සෙල්ල නම් අම්මත් මැනිකගෙන ඇහුවේ සැරෙන්.. ඒ පාර දුක හිතෙන්න ඇති.. අපේ අම්ම සෑර නෑ පොඩ්ඩක්වත්. ඒකට සෙලින් ඇන්ටි. මැන්ගොයි ,නංගියි විතරක් නෙමෙයි ප්‍රේමසිරිත් ගුටි කනවා සෑහෙන්න.
ඊ..........................ක්කා....... නෝනා ලොකු බේබිගේ කලිසම ඇතුලේ කූඩැල්ලෙක්..
ඒක ඉතින් අහන්න දෙයක්යෑ.. කලිසම් අස්සෙ කූඩැල්ලෙක් ඉන්නවා තමයි..හහ් හහ් හා...ඒ ජුබ්‍රි අංකල්.. එයාගේ හැටි එහෙම තමයි... කතාවකට කිසිසේත්ම නොගැලපෙන කතාමයි කියන්නෙ.
නෑ නෑ..... මහත්තයා ලොකූ කුඩැල්ලෙක් මෙච්චර විතර ඇති.. මැණිකා එයාගේ මුළු අල්ලම පෙන්නනවා..
අම්මට සිරි ගජ.... මගේ පුපේ කූඩැල්ලෙක් හිටියා කියලා මැණිකා කිව්වා නේද..? දැනුයි ඒක මටත් මතක් උනේ.
මොකද මොකද මිස්ටර් සැම්සන් කළබලේ.. ? මේ ළිඳ ගාව සෙනග වටවෙලා කවුද වැටුනේ...? ඉක්මනට ඉණිමග ගෙන්න ...
ආ.... දයියලයි තාත්තත් ඇවිල්ලා. එයා ඇවිල්ල තියෙන්නෙ ඉනිමග ඉල්ලන් යන්නද කොහෙද. ඇන්ටිත් ඇවිත් ඉන්නේ. දෙන්නා දෙපත්තෙන් අල්ලගෙන අරන් යයි. ඒ කියන්නේ අද එහේ තැඹිලි කඩන එක ෂුවර්. අද වෑවර කන්න පුළුවන් හකුරුත් එක්ක දාලා. සොරෝප් ගාලා සද්දෙට දිග කෑලී කන්න පුළුවන්. මම අයිස්ක්‍රිම් වලටත් ආසයි. ඒත මට හතිය නේ. ඒ නිසා තැඹිලි බොන්න නම් කවදාවත් හම්බ වෙන්නේ නෑ.කෝප්පෙට දාලා දුන්නට මම ආස තැඹිලි බෑයෙම තියාගෙන කන්න. කෝ ආච්චි කැමති නෑනේ ඒකට. කහට ගෑවෙනවා කියලා. කහටත් සබන් වගේම ජාතියක්. මේවා නැති උනානම් කොච්චර හොඳද. මගේ ඉස්කෝලේ කමිසෙ සාක්කුවේ රාජා දුන්න කජු පුහුලමක් දාගෙන ඇවිත් අම්මට අළුතෙන් කමිසෙකුත් මහන්න උනා එක පාරක්.
අංකල් දයානන්ද අයියා ගෙදරද....?
ආ.... ඔවු පුතා... එයාලා නිදි..
ඔය කෙලලා ඇරියේ මහ බොරුවක්. මෙයානම් කෙලින්ම අපායේ තමයි. දයියලට එළියට යන්න දෙන්නෙ නෑ. හරි පවු. අපි නම් එහේ ගිහින් සෙල්ලම් කරලා එනවා. දයියා නම් කොච්චර දේවල් දන්නවද....?
එයාලගෙ ගෙදර ලයිබ්‍රරි එකක් වගේ. ඔක්කෝම පුටුවල වාඩි වෙලා පොත් කියවනවා. ලීලවති ඇර. ලීලවතී තාප්පෙ එල්ලිලා අනිත් ගෙදර ඇන්ටිත් එක්ක කතාකරනවා නිතරම. ඒ උනාට ඒ අංකල්ලා වැඩට ගිය වෙලාවට.
මොකද මොකද කළබලේ... අද මොනවද කරගෙන තියෙන්නේ....?
සෙලින් ඇන්ටි ඇවිත් තියෙන්නෙ දැන්. හානේ එයා ගවුමක් ඇඳලා. නැත්නම් ඉතින් වෙනදට දවල්ට ඇඳලා ඉන්නෙත් අපේ අම්මා රෑට අඳින ඒවා නේ. ඒක වෙන්න ඇති එන්න පරක්කු උනේ. එයා ගුරුකුලේ උගන්නන ටීචර් කෙනෙක් උනත් ඕන දේකට එන්නේ පරක්කු වෙලා.
නෑ නෑ සෙලින් නෝනා අපේ ලොකු බේබිගේ පස්ස පැත්තේ කූඩැල්ලෙක්..
මෙහෙට එනවා.. මෙයත් යනවා කොල්ලොත් එක්ක ඔට්ටු වෙන්න .. වැලේ තියෙන් තුවායත් අරන් එනවා ඔළුව පිහිදාන්න.. සෙලින් ඇන්ටි මැන්ගොගෙ නංගිට කතා කර ගන්නවා...
ඔය කූඩැල්ලෙක් නරක තැනක ගියොත් එහෙම..., මම අහලා තියෙනවා කූඩෑල්ලෙක් බඩට රිංගලා, බඩේ පැටව් ගහලා, ගෑණු කෙනෙක් මැරුනත් කියලා. කෝ මේ ළමයි කිව්වට අහන්නෙ නෑ නේ. කෝ මේ ප්‍රේමසිරියා මේ යකා තමයි ඔක්කෝම නරක් කරන්නේ.
ප්‍රේමසිරි පේන්න නෑ. මල්ලියි කනිෂ්කයි නම් ඉන්නවා.
සෙලින් ඇන්ටි කිව්ව දේ වෙන්න පුළුවන්ද..? මාර වැඩේ කූඩැල්ලා බඩ ඇතුලට ගියොත් එහෙම. ඒත් බය වෙන්න දෙයක් නෑ.. මෙයා විතරයිනේ. ඩොක්ටර් අංකල් බඩ කපලා හරි මූව එළියට ගනියි නේ. අනික පැටව් දාන්න තව එකෙක් ඉන්න එපාය.
අපේ බ්‍රවුනිත් පැටව් දැම්මේ කොහෙන්ද තව බව්වෙක් ගෙනාවට පස්සෙ නේ. අපි ඇවිල්ලත් තියෙන්නේ. අම්මයි තාත්තායි කසාද බැඳපු නිසාලු නේ.
හොඳ වෙලාවට ළොකු වෙලා,,,, කසාද බැන්දට පස්සෙ බබාලා හම්බ වෙන්නේ. නැත්තන් අපිටත් අර චූටී මාළුවෝ වගේ පොඩි කාළෙම බබාලා බලාගන්න වෙන්නේ. හප්පේ එහෙම කරදරයක්.
කොයි වෙලාවෙත් කුක්කු ඉල්ලලා අඬනවා. කක්කි දානවා, චූ දානවා, කක්කි ඇඟ පුරාම ගා ගන්නවා. අප්පේ ඒ ගැන නම් හිතන්නවත් ඕන නෑ. මම තාම පොඩියිනේ.
කූඩැල්ලා තාම මගේ පුපේ...
මේන් මහතුනුත් ඇවිල්ලා. හප්පේ සෙනග හෝ ගාලා.... සමහර අය මම දැකලත් නෑ.
මොකෝ සුදු මහත්තයා මොකෝ මේ කෑ ගැහුවේ.....? කවුද ලිඳට වැටුනේ.....?
කවුරුත් වැටුනේ නෑ මහතුන්... සබන් කෑල්ල නම් ළිදට වැටුනා
එහෙනම් මේ කෑ ගහන්නේ....?
මගේ පස්ස පැත්තේ කූඩැල්ලෙක්.....
අයියෝ ඕක මොකක්ද සුදු මහත්තයා මගේ පුපෙත් ඕන තරම් කූඩැල්ලෝ එල්ලෙන්නේ...
මාර වැඩේ.........!!!
මේන් මහතුන් පුප කියලා කෑ ගහලා කියනවා. පුප කියන්නේ කැත වචනයක්නේ. ෂුවර් එකට අපේ අම්මගෙන බැනුම් අහනවමයි. ඔන්න බලන්න දැන් අපේ අම්මා මහතුන්ට බනිනවා.
එකයි, දෙකයි, තුනයි, හතරයි..
කෝ නෑනේ.. ..?
මම ගනන් කරනවා.... ස්පීඩ් වැඩිද දන්නෙ නෑ.. කෝ....? බනින පාටක් නෑනේ....? ඒ කියන්නේ අම්මා කිව්වට ඒක එහෙම වච්නයක් නෙවෙයි වෙන්න ඇති
මොකද මහත්තයා මොකද..? අප්පට බොල හෝ ගාලා සෙනග. පෙතියාගොඩ පෙරහැර බලන්න වගේ සෙනග හෝ ගාලා....
දැන් අපේ ළිඳ වටේම සෙනඟ. මාරක ළිදේ මෝටර් සයිකල් යනවා බලනවා වගේ ළිඳේ තාප්පවල ඔක්කෝම එල්ලිලා. ඒ අයගේ කරවල් අස්සෙන් අනිත් අය ඔළුව දානවා. හානේ.. ගෑණු අයත් ගොඩයි. මමයි, තාත්තයි, මැනිකයි, මැන්ගොයි, මල්ලියි, ළිඳ ඇතුලේ නාන කෑල්ලේ.
මට හිතෙනවා බයිසිකලේ අරන් ඇවිත් පදින්න. ඒත් කොහොමද පදින්නේ....? ළිඳ රවුම් නෑනේ..? ෂා.... එහෙම තිබුනනම් මෙයාලා ගියායින් පස්සෙ ට්‍රයි කරලා බලන්න තිබුනා... ඔක්කෝම බලාගෙන ඉන්නෙ මගේ දිහා.... මටනම් හරි ජොලි.. මෙයාලවත් කොහොම හරි හිනස්සන්න ඕන...
කූඩැල්ලා තාම මගේ පුපේ..
නෑ නෑ මුකුත් නෑ... මෙ දරුවගේ ළොකු කූඩැල්ලෙක්.. මම මේ ඇදලා දාන්න බැලුවේ..
හා හා මහත්තයා ලොකු උන් ගලවන්න එපා... වන වෙනවා.. මේන් අලිකලිසමයත් ඇවිල්ලා.. මටත් බලාගන්න එපැයි කූඩැල්ලා.. මම වම් පැත්තෙ උරහිස උඩින් බඩ ඉස්සරහට දාලා මගේ පුප බලනවා.. කෝ පේන්නෙ නෑනේ...
තාත්තෙ මට පෙන්නේ නෑ නේ.
කට්ටිය එක්කෙනා දෙන්නා එහෙට මෙහෙට වෙනවා. දැන් අලිකලිසමයා තමයි හීරෝ.
කූඩැල්ලා තාම මගේ පුපේ.... මම හෙමීට අත දාලා බලනවා..
ආ... මේ ඉන්නෙ යාළුවා.. කෝ බලන්න හ්ම් ළොකු තමයි. මම කලිසම ගලවන්න යනවා.
ඕක ගලවන්න ඕන නෑ. තාත්තා කියනවා..
කලිසම ගලවන්න එපා බේබි මේ මිනිස්සුත් ඉන්නවනේ මැණිකා කියනවා.
ඉතින් එයාල හිටියම මට මොකෝ....? මහතුන් පාරු පදින්නෙම හෙලිවැල්ලෙන් නේ..පුප ඔක්කෝම එළියේ දාගෙන.. .මෙයාටත් ඕන නැති දෙයක් නෑ... .
ඔන්න කට්ටියම හිනා වෙනවා.. මට ඉතින් හරි ජොලි.. කූඩැල්ලටත් ජොලි ඇති... දැන් ඌ ඉන්නෙත් මගේ පුපේ නේ.
ඒයි..... ළොකු පුතා මොනවද ඔය කියන්නේ...?
අම්මට කේන්ති ගිහින්.. එයා හරි නරකයි.. අපිට තමයි පුප කියන්න බැරි.. මහතුන්ට කියන්න පුළුවන්.. මගේ කතාවට ඔක්කෝම හිනා උනත් එක්ක..
ඒ උනාට අම්මා නරකයි කියලා හිතන්න හොඳ නෑ.. මම අපායේ යයි.. අනික මහතුන් කිව්වට.. මම ඒක කියන්න ඕන නෑ.. එයාලගෙ අම්මා එයාට කියලා දීලා නැතුව ඇති.
අනික අපායට ගියත් ළෝදිය නම් බොන්න බෑ...... කට පිච්චේවී. මට උනු කිරි එකක්වත් බොන්න බෑනේ. ළෝ දිය නිවල දෙන්නෙත් නෑ කියලා ආච්චි කිව්වේ...
වෙලේ බෆලෝ නැතුව කොහොමද තාත්තේ බෆලෝ කූඩැල්ලෝ එන්නේ....?
උත්තර නෑ...
ආයෙත් හෙමිහිට අත දාලා බලනවා..
ඔය ඉන්නෙ බඩු... රබර් එක වගේ... මූ මාර දිගයි නේ. කෝ අං දෙකක් නම් නෑ... මම හරිම ආස සතෙක්... ඌ අපේ කකුලෙ එල්ලුනාට, අල්ලට ගත්තම එයාට එල්ලෙන්න බෑ. හරියට රබර් බෑන්ඩ් එකක් වගේ. කළුම කළුයි. බඩ පැත්ත හරිම ලස්සන පාටක් තියෙන්නේ. ඒ පාට මම තාම දන්නෙ නෑ. එයා යන විදිය තමා මරු.
වල්ගෙ පැත්ත උස්සලා ඔලුව ගාවට ගන්නවා හරියට අපි බඩ පිණුම් ගහන්න ලෑස්ති වෙනවා වගේ. එහෙම අරගෙන යූ එක වගේ නැමිලා පොඩ්ඩක් වෙව්ලනවා. හරියට අපේ නංගි බඩ පිණුම් ගහනවා වගේ. ඒ උනාට කූඩැල්ල නම් එයා වගේ වැටෙන්නේ නෑ.. ලස්සනට යනවා.මම නම් දැන් ඒවා ගහන්නේ නෑ. මම ගහන්නෙ බල්ටි. ඒකනම් පුරුදු උනේ පෙරහැරවල්ම බලලා. අපේ වත්තේ කාටවත් බෑ ඒ පිණුම ගහන්න.
කෝ සබන් කෑල්ල.....?
ඒක ළිඳට වැටුනා.. ඇයි මම ඉස්සෙල්ලා කිව්වේ..
කෝ පුතා ඔයාලගේ සබන් කෑල්ල.....?
මැන්ගෝ නෝ කතා..හරි මම දන්නවා... ඒකත් මැනිකගේ සද්දෙට ළිදේ.... එක්කෝ ප්‍රේමසිරි ඒකත් අරගෙනම දුවන්න ඇති.... හොඳ වෙලාවට එයා ගියේ. නැත්නම් ඔක්කෝම එයාට බනීවී.
මොකටද සබන් හොයන්නේ............? ආයිත් මගේ මූනේ ගාන්නද...දන්නෙ නෑ...?
ආයේ ගාන එකක් නෑ..... නෑ නෑ හරි හරි.... මම දන්නවා හොරේ.. සබන් ගෙනත් කූඩැල්ලගෙ මූනේ ගානවා. එතකොට. එයාගේ ඇස් දෙක දන්න පටන් ගන්නවා.. ඔන්න එතකොට එයා දඟලනවා, මෙයාට කකුලුත් නෑනේ... ඔන්න එතකොට මේයා එක අතෙන් නේ එල්ලිලා ඉන්නෙත්... එතකොට එයා වැටෙනවා.... ඒත්.....
ඒත් කූඩැල්ලට මූනක් නෑනේ.. ඇසුත් දැකලම නෑ කවදාවත්...
තාත්තේ කූඩැල්ලට ඇස් තියෙනවද...?
මම දන්නෙ නෑ පුතේ.. අනේ රාළහාමී මේකව ඉක්මනට අයින් කරන්නකෝ.. ලේ බීලා ඇති සෑහෙන... ගිය සුමානෙත් ඉස්පිරිතාලේ හිටියේ හතිය හැදිලා.. ඉක්මනට ඔලුව පිහදාන්න මැනිකෝ...
මාර වැඩේ... තත්තා අදමයි කිව්වේ එයා දන්නෙ නෑ කියලා... ඒ කියන්නෙ මම හිතුවා හරි... එයා දන්නෙ නැති ඒවා ඕන තරම් ඇති... හික්ස්...
කූඩැල්ල නම් තාමත් මගෙ පුපේ....
නෝනා ලුනු කැට ටිකක් හරි, ලුනු පොල්කට්ට හරි අරගෙන එන්නකෝ.....
ඒ පාර අලිකලසමයා මොකක්ද කරන්න යන්නේ......?
තාමත් සෙනග ටිකක් ඉන්නවා...
කූඩැල්ල නම් තාමත් මගෙ පුපේ...
- නිමී -