.

.

Jun 29, 2020

තනමල්විල කොල්ලා හා තනමල්විල මල්




තනමල්විල කොල්ලා ගැන යමක් ලිව්වේ නැත්නම් හිතට හරි නැතිය. එතරම් වින්දනයක් ලබා දුන් නිර්මාණයක් ගැන වචනයකින් හෝ අගයිමක් නොකරන්නේ නම් එය පට්ට කුහක කමකි. එහෙත් ඒ පිළිබඳ සර්ව සම්පූර්ණ ළිපියක් ලියන්නේ නම් එය නිමාවනු ඇත්තේ මහා පිරිවානා පොත් වහන්සේ තරම් විශාල පොතක් වෙලාය. අද කාළේ එහෙම ඒවා තබා අප ලියනා බ්ලොග් ලිපියක් වුවත් කියවන්නේ ඉතා සුළු පිරිසකි. ඒ නිසා ඉතාම කෙටියෙන් යමක් සඳහන් කිරීම මේ ලියමනේ අරමුණයි.


තනමල්විල කොල්ලා මෙතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද? එය ප්‍රචාරණය යැයි කෙනෙකුට තර්කයක් ගෙන ආ හැකිය. එහෙත් අප රූපවාහිනිය ළඟ ඉඳගන්නේ රූප කත්න්දරයක් බැලීමට මිස. නාට්ටියක් ඇසීමට නොවේ. ඒ සඳහා ටොයිලට් එකේ බර වැඩක් කරනා ගමන් රේඩියෝ නාට්ටියක් ඇහුවාම හරිය. ලංකාවේ උසස් රසාස්වාදනයක් ඇති පිරිසක් ඉන්නා බවත්, අනෙක් උන්ද ඉල්ලන්නේ එයෙම බවත් අපූරුවට ඔප්පු කළ යමක් වේද ඒ මෑතක තරුණ පරපුර අතරේ අතිශයින් ජනප්‍රිය වූ කූඹියෝ හා තනමල්විල කොල්ලා බව ඔප්පු කොට හමාරය.

අනෙක් කරුණ මෙය සමස්ත සමාජයම කවර් කල නිර්මාණයක් වීමයි. මාතලන් සිතනා ආකාරයට මෙයට අසු නොවුන චරිතයක් නැති තරම්ය. තිරයේ නොපෙනුනත් දෙබස් අතරේ ඔවුන් අපට හමු විය. අවසාන කොටසේ යටිබඩයාට එන කෝල් එක එන්නේ කාගෙන්දැයි කියා අප කාටත් වැටහෙනවාය. එහෙත් සමාජයේ ඔවුන් හඳුවන්නේ මක්කුන් ලෙසද කියා හරි අපූරුවට ඔහු දිප්තට කියයි. කරුමයට කුණුහබ්බයක් නිසා අපට ඇහෙන්නෙ "බීප්..." හඬයි. කුණුහබ්බයට වඩා "බීප්..." හඬ එක් කිරීමද ඉතා අපූරු නිර්මාණයකි.

කනත්තේදී මිතුරන් තිදෙනා අතර එන අපි ඔක්කොම මෙතන හමුබ උනා නේ කියනා දෙබසද අපූරුය. එය නාට්‍යයේ අවසාන රූප රාමුව අපට නැවත් සිහි කරයි. මොන සෙල්ලම් දැම්මත් අප අවසානයේ මුණ ගැසෙන්නේ එහිදීය.

තනමල්විල යනු කල්ට් එකකි. එය නාට්‍යයේද හරි අපූරුවට පෙන්වන්නේ, ප්‍රංශයේදී දීප්තගේ මාමා විසින් "තනමල්විල කොල්ලෙක් නේ" කියනා අවස්ථාවේදීය. එය ඉතා සුප්‍රසිද්ධ එහෙත් සෑම එකාම නොදන්නා උන් මෙන්නා ඉන්නා හරි අපූරූ කල්ට් එකකි. අනෙක් අතින් මෙය මහ පොළොව මත ඇති දියමන්ති ඉල්ලමකි. ලෝකයේ අද ඒ සඳහා ඇත්තේ දැඩි ඉල්ලුමකි. එහෙත් සුද්දා පැනවූ තහනම අදටත් එසේමය. එය නීතී ගත කොට අධීක්ෂණයක් යටතේ පවත්වාගෙන යන්නේ නම්, අපේ උන් මැදපෙරදිග තියා යුරෝපයටවත් බඩ ගාන්න ඕනා නැතිය. මා නම් කියන්නේ මේ නිර්මාණයේ අරමුණ එයම වූ බවයි.

මිනිසුන් දුෂ්කර ජීවිත ගත කරන්නේ. කොළඹ ඇවිත් කටු කන්නේ, අපේ රට ලේසියෙන්ම ගොඩ ගත හැකි වගාවක් තිබියදීය, අවුරුදු දස දහස් ගනනක් තිස්සේ පැවත එන ජලය ශ්‍රමය හා කාළය කා දමනා වෙනත් වගාවක්, දොහොත් මුදුන් දී සාසනේ වගේම රකිනා අම්බරු කැලක් සෑම තැනම අරක් ගෙන සිටිනා නිසාමය. රියල් සිස්ටම් චේන්ජ් කියන්නේ. මේන් මේ වගේ ඒවා කරනා එකය.

තනමල්විල කොල්ලා මේ රටේ සමස්තයේ කතාවය. එය දුකක් හෝ සංවේගයට කරුණක් නොව පවතින් යථාර්තයය. 70 දශකයේ පෙන්වූ සිනමාවේ කොළඹ ඇවිත් ගොඩ යන්න පුළුවන් කමක් තිබුනත්, දැන් කොළඹ ජීවත් ඉතා අසීරුය. නිර්මාණයය කොරෝනා ආතල් එක මග හැරුනද, අද කොළඹ ජීවිතය උඩු යටිකුරු වී අවසානය. මැද පංතියද දැන් ඉන්නේ පේමන්ට් එකේය.

දැන් ඔවුන්ද පොල් රොටි හා ඌරු මස් වෙළෙන්දෝ වී අවසානය. මෙහිද හොඳ පැත්තක් මෙන්ම හානිදායක පැත්තක්ද වෙයි. කරුමය කියන්නේ,  මේ ඇවිල්ලා හංදියේ ත්‍රී වීල් එක තියාගෙන ඉන්නා කොල්ලන්ට කින්ඩිය දැමු උන් වීමය. අද එයාලා වාහනේ තියාගෙන හන්දි ගානේ ඉන්නා කොට, අරුන් පුකෙන් හිනා වෙනවා ඇතිය. නිර්මාණකරුවෙකුට මෙයත් අපූරු ප්‍රස්තුතයකි.

තනමල්විල කොල්ලා යුරෝපයෙන් මව් රට එන්නේ තාත්තාගේ වියෝව නිසාය. ඒ එක් පරම්පරාවක අවසානයකි. ඇත්තටම තනමල්විල කොල්ලා නාට්‍ය පටන් ගන්නේ දැන්ය.

අම්මා කියන මෙන් කාමරය එසේම තිබුනද, කොල්ලා එන්නේ ආයෙත් යන්න වීසා හදාගෙනය. කොල්ලා මොලේ ඇති එකෙකි. නාස්තිකාරයෙක් හෝ පිස්සෙක් නොවේ. ගම තවමත් එසේමය. ගොඩ ඒමට නම් ගමෙන් යා යුතුමය. කවි බන කියනා එකා ප්‍රසිද්ධ වුවද ඌ ගමේ නැතිය. පන්සල ටෙලිපෝන් සමාගමකට බදු දුන් උන්වහන්සේ රහත් වෙලාය. (මෙවා රූප වලින් කියනා කතාය.) බොහෝ විට කොළඹ හතේ අසපුවක උන් වහන්සේ වැඩ සිටිනවා විය හැකිය. උන් වහන්සේට ගම ගැන බලනවාට වඩා කොළඹ හතේ උපසිකාවන් සසරින් එතෙර කිරීමේ පින්කම් අනන්තවත් ඇතිය.

නිර්මාණකරුවන්ට කිව යුතුව ඇත්තේ, උඹලාට ගොඩාක් පින් කියලාය. කලෙකින් අප අපූරූ රූප කතාවක් නැරඹුවෙමු. ඒ බොහෝ විට රූපවාහිනියෙන් නොවේ. අප ඊට ITN රූපවාහිනියේ උන්ටද දොසක් කියන්නේ නැතිය. ඇඩ් නැතිව රූපවාහිනියටද පැවැත්මක් ඇත්තේ නැතිය. යූ බටේ බලන කොට ඩේටා කැපුනත් ඒ කැපුනු ඩේටා වලට කිසි පාඩුවක් ඇත්තේ නැතිය. සුපිරි අධ්‍යක්ෂකවරයකු නොවන්නට මෙතරම් අපූරු රංඟනයක් සෑම එකාගෙන්ම ගන්නට බැරිය. සංස්කරනය ගැන, කැමරාව ගැන, කතා කරන්න ඕනා නැතිය. ඒ රූප තල අපට අතුරු කතා බොහෝමයක් කියා දුන්නේය.

ඒ සියල්ලා පසෙක තිබියදි තනම්ල්විල කොල්ලා ගැන වචනයක් ලීවේ නැතිනම් මේ ලියපු එකෙන් ඇති වැඩකුත් නැතිය. උගේ රංඟනය අති විශිෂ්ඨය. භාව ප්‍රකාශනයද මක්කද එක එක්සලොන්ට්ය. එහෙත් මේවා නිසා ජැපනීස් එන්සැපලයිටිස් රෝගයට ගොදුරු නොවී සිටීමට ඌ වග බලා ගත යුතුය. මින් මතුවට ඌ ධනුක ඩිල්ෂාන් නොව තනමල්විල කොල්ලාම වන්නේය.

5 comments:

  1. විග්‍රහය අනර්ඝ යි

    ReplyDelete
  2. ලොක්කයියගෙ සුපිරි ලියවිල්ල තනමල්විල කොල්ලව නොබලපු මටත් අනිත් අයටත් නරබන්නට තල්ලුවක්...

    ReplyDelete
  3. හරිම සතුටුයි තණමල්විල කොල්ලා ගැන ඔබටත් උනන්දුවක් තිබීම ගැන.

    මාතලන් හරියටම හරි. මමත් posts කිහිපයක් ලිව්වා මට ඒක හොඳටම වැදුණු නිසා. ඒ වගේම ඒ කිට්ටුව හොර හරක් ජාවාරම් කරන ගම්බාරේ කෙනෙකුගේ උදව්වෙන් හා බොක්කෙන්ම දුන් සහයෝගයෙන් දෙමළිය වැව ළඟ කූඩාරම් ගහගෙන හිටි නිසා. මරුවැල් ඇද තිබුණු වනය මැදින් දෙමළිය පර්වතය තරණය කළ නිසා.

    කමක් නැහැ නේද මෙතනට ඒ post එකක link එකක් දැම්මට?
    හීනි ආඩම්බරෙකින්; මගේ පෝස්ටු කියවලාත් කිහිප දෙනෙක්ම තණමල්විල කොල්ලෙක් බැලුවා.

    https://nidigepanchathanthare.blogspot.com/2020/05/blog-post_8.html

    ReplyDelete
  4. මෙවැනි නිර්මාණ පිලිබද කතා කල යුතුමය. විග්‍රහය‌ට තුති.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න