.

.

May 10, 2011

ගුණසිරි බුල්ටෝ - Gunasiri Bulto


ගුණසිරිගේ බුල්ටො ගැන කාළයක් තිස්සෙ ලියන්න හිතාගෙන හිටියත් පොඩි බයක් තිබුන කවුරු හරි මේ ගැන ලියල ඇතිදෝ කියල. වෙක් කොරල බැලුවම මේකේ රසේ ගැන තිබුනට ලිපියක් ලියල නැතුව වගේ..

අපි පොඩිකාලේ ජනප්‍රියම කෑමක් තමයි බුල්ටො.. ඒව කවුරු නිෂ්පදනය කලත් පේටන්ට් එක තිබුනේ ගුණසිරිට. හරියට ජිනදාසගෙ තලගුලි, ගංඟා බීඩී වගේ. අපේ ගමේ ජනප්‍රිය ප්‍රොඩක්ට් එකක් තමා මාෂල්ගෙ ටාටා. ගුණසිරිගෙ බුල්ටො නැත්තටම නැතිවෙලා ගියත්, ජිනදාසගේ තලගුලි කාළයක් නැතුව තීල ආයෙත් ව්‍යාපරය නැගලම යනව. අඹේපුස්සෙ පැත්තෙ යනවනම් අරගෙන කාල බලන්න. ජිනදාස විතරක් නෙමේ එයාගේ මල්ලිගෙ ඒ කියන්නේ පියදාසගෙ තලගුලිත් තියෙනව.

බුල්ටො කියන වචනෙ තේරුම හැම තැනම හොයල බැලුව ඒත් පැනි රස දෙයකට නම් නෙමෙයි යෙදෙන්නේ. ස්පාඤ්ඤ භාෂාවෙන් ටැබූ තේරුමක් තමයි වචනෙට ලැබෙන්න. පින්තුරත් එහෙමමයි. සෑහෙන අමාරුවෙන් බුල්ටො වලට සමාන පින්තූරයක් හොයාගත්තෙ. (දැකල නැති අය ඕන තරම් ඇති.)

බුල්ටො එක ඔය පින්තූරේ යටින් තියෙන එකට සෑහෙන දුරට සමානයි. සිලින්ඩරාකාරයි. පාටනම් ඔය යට තියෙන ටොපියෙ පාටමයි. තෙල් කරදාසියේ තමයි ඔතල තිබුනෙ. ඉස්සරම තිබුනේ ශත 5 පොඩි ඒවා. පස්සෙ කාළෙක ශත 25 ලොකු ඒවත් ආවා. ඒ කාළේ (70 දශකයේ) ටොපි ජාති දාල තිබුනෙ ඔය පින්තූරේ තියෙන බෝතල් වගේ වීදුරු බෝතල් වල. බුල්ටො එකට අමතරව තව ජනප්‍රිය පැනි රස කෑම තමයි ඩෙල්ට ටොෆි, හැක්ස් ටොෆි, (හැක්ස් ටොෆි කර්මාන්ත ශාලාව තිබුනේ ග්‍රෑන්ඩ්පාස් සෙයිස්තාන් සිනමා ශාලාව ගාව, දැන් දෙකම නෑ.) සීනී මුරුක්කු, පොල් ටොපි, රුලං කේක් වගේ ඒව.

හැම දෙනාම කියනව වගේ බුල්ටො එක හරිම රසයි. චුවින් ගම් එක වගේ කනකොට. දත් වල ඇලෙනව එකසිය ගානට. ටික වෙලාවකින් දියවෙලා යනවා. පැනි රස එක්කම හොඳ කිරි රසකුත් තිබුන. බුල්ටො කනවට ගෙදරින් බනින නිසා කඩේ ගිහින් ගෙදර එන්න කළින් පාරෙදිම වග කියලයි එන්නෙ. ජේ. ආර්. මුත්ත ඇවිල්ල රට ස්වීට් ජාති ගෙනාවට පස්සෙ මේ වගේ කෑම නැත්තටම නැතිවෙලා ගියා.

බුල්ටො එක්කම බැඳුනු තවත් කතාවක් කෙටියෙන් කියන්නම්. ඒ කාළේ මේ වගේ හැම තැනම කඩ තිබුනේ නෑ. අපි වැඩිපුරම යන්නෙ ඉස්කෝලේ මහත්තයගේ කඩේට මොකද ඒකේ පොඩි පොඩි දේවල් උස්සන්න පුළුවන් නිසා. බුල්ටො වලට කොච්චර ආසද කියනවනම් දවසක් මායි මගේ මැන්ගො ෆ්‍රෙන්තයි බුල්ටො බොතලේ ඉස්සුව. කඩේ මිදුලෙන් පාරට එන්න උනේ නෑ. ඉස්කෝලේ මහත්තයගේ ලොකු පුතාට දෙන්නම මාට්ටු.

හැබයි ඔහේල හිතන දෙයක් සිද්ද උනේ නෑ. ඉස්කෝලෙ මහත්තය දෙන්නගෙම කන් හතර අංශක 180 ට කරකවල අවවාද කරල නිදහස් කලා. අපෙ දෙමව්පියන්ටවත් ඉන්ෆෝම් කලේ නෑ. (වැදගත් දෙමව්පියන්ගේ දරුවෙක් නිසා බේරුන වාර අනන්තයි අප්‍රමාණයි.) ළොකු මහත් උනයින් පස්සෙ ඉස්කෝලේ මහත්තයගේ මළ ගෙදර ගියපු වෙලාවේ මේ සිද්දිය මතක් වෙල පොඩි කඳුලකුත් ආව. රත්තරං මිනිස්සු ඇත්තටම......

22 comments:

  1. ඈයි ඒකාලේ හූණු බිත්තර ද හූණු බෙටි ද මොනාද කියලා පාට පාට සීනි බෝල වලේකුත් තිබුනා.

    බුල්ටෝකෑවම නම් සොරි තමා ඇලෙනවා ඉවරයක් නෑ.... ඒත් කන්නෙම බුල්ටොනෙ

    ReplyDelete
  2. මතකද "ගුණසිරි බුල්ටෝ බබාට තාත්ත ගෙන එය්" කියල ගුවන් විදුලියෙ ඒ කාලෙ ගිය ඇඩ් සින්දුව?

    ReplyDelete
  3. @ බුද්ධි

    මොකෑ බං අමතක වෙන්නෙ. හූනූ බෙටි එක එක පාටින් තියෙන්නෙ. ඇතුලෙ සූදුරු ඇටේකුත් එක්ක. එහෙම නේද කොලුවො....?

    ReplyDelete
  4. @ Observer

    යාංතවගේ මතකයි.. මුලු සින්දුවම මතකනං ලියල දාමූ ගොයියො...... දැන් ඒවලින් ආස ඇඩ් එකක් තමයි..."සිද්ධාලේප කවි ගායනය"

    ...දස්කම් දක්වන සිද්ධාලේපේ...
    ...විස්කම් දක්වන සිද්ධාලේපේ...

    ReplyDelete
  5. දොයි දොයි දොයි
    දොයිය බබා දොයි
    ගුණසිරි බුල්ටෝ බබාට
    තාත්තා ගෙනදෙයි

    ReplyDelete
  6. මාත් දන්න කාලෙ තිබුණනේ ඔය බුල්ටෝ... පස්සේ ඒ හැඩේටම තිබුණ ටොපියක් ආව බොන් බොන් කියල. ඒකෙ අස්සෙ තිබුණ පුංචි ස්ටිකර් එකක්. පස්සෙ බුල්ටො අතෑරල ඒව අරන් දෙන්න කියල තාත්තට කරදර කලා. තව සෑහෙන්න කාලයක් යනකල් අපි කෑව නයිස් කියන නමින් හඳුන්වපු රෝස/කොළ පාට පිටි වලින් හදපු රවුම් කඩදාසියක් වගේ එකක් :D

    ReplyDelete
    Replies
    1. ඔය නයිස් විකිණුවෙ බොම්බයි මොටයි කාරයාමයි කියලයි මට මතක.... හයියෝ ඔන්න මොටයි මතක් වෙලා කටට කෙළත් ඉනුවා.....

      Delete
  7. බුල්ටෝ ගැන අපේ මඩයත් මේ ලගදී ලිව්වා..දැන් බුල්ටෝ නමින් අපේ බස් පදින එකෙකුත් ඉන්නවා..ඔන්න බුල්ටෝ වලට ගිය කල..

    ඇයි නාරං බික්..ලොලි පොප්...හප්පා..ඒ දවස්වල ඒවා දැන් කොහේද..?

    ReplyDelete
    Replies
    1. නාරං බික් කනකොට එක සැරේට දෙක තුනක් කටේ දාගෙන තල්ල හම යනකම් සූප්පු කරනවා ඒ කාලෙ.... හික්ස්...

      Delete
  8. @ විහඟ ගීතය

    තෑන්ක්ස්ම වේවා..!!

    ReplyDelete
  9. @ hare :-)

    නයිස් ආවේ ලුමිනස් කළර් වලින්.. හරිම රසයි.. බොන් බොන් එකත් නැගලම ගියා....

    ReplyDelete
  10. @ මාරයා

    මඩය ලියපු එක දැක්කෙ නෑ.. ඇහැක් නම් යූ.ආර්.ඇල් එක එවන්න.. ඇත්ත ඇත්ත පස්සෙ ඒව ගැනත් ලියන්නම්කො....

    ReplyDelete
  11. හූනු බිත්තර තාමත් තියෙනව, හොයා ගන්න නම් ටිඅක් අමාරු තමා. අපේ කෙල්ලගෙ ආසම කෑමක්. ඉස්කෝලෙ ළඟ කම්බි වැට ළඟ වෙරළු විකුණපු ආච්චි ළඟ තිබුණා අර hare කියපු නයිස්. අනේ ඒවා දැං තියෙන කිට් කැට්, චිට් චැට් වලට වඩා කොච්චර ශෝක්ද,,,,

    ReplyDelete
  12. @ හරී - පිණිපළස

    හූනූ බිත්තර තියෙනව.. ඇත්තෙයි.. නයිස් නම් කොළඹ සමහර තැන්වල මම දැකල තියෙනව....

    ReplyDelete
  13. ඔව් ඔව් රුපියල් 20 - 30 අතර වගේ ගානකට packets තියෙනවා. අනේ මේ අපි ඉන්න නොරටෙත් තියෙනවා.

    ReplyDelete
  14. හරි ෂෝක් ලියුම . හොරෙන් කාපු බුල්ටෝ එකක රහත් දැනුන අප්පා. සිනි කැරමල් කරලා වෙන්න ඇති හදන්න ඇත්තේ කියල දැන් හිතෙනවා. බුල්ටෝ වගේම ටොපියක් මට නම් හම්බ වුණා. කොයි රටේ හදන එකක්ද මන්ද . ලංකාවට එද්දී ගෝනියක් ගෙන්න හිතෙනවා කොමෙන්ටු ටික දැක්කම . හැමදාම හොරෙන් බුල්ටෝ කනවා කියල කඩේ අක්ක මාව අම්මට අල්ලලා දුන්නට මම විතරය බුල්ටෝ පෙරේතයෝ ඉඳල තියෙන්නේ.

    ප.ලි...චානුක නම් ඉස්සර බුල්ටෝ විතරයි චීස් බටර් තිබ්බේ නැහැ කියල කියා තිබුන .

    ReplyDelete
  15. මෙහි තිබූ ප්‍රතිචාරවලට, ගූගල්ට සිඳුවු යම් දෙයකින් හානි පැමිනි බව පෙනේ.. එම නිසා එම ප්‍රතිචාර සඳහා ස්තූතී කිරීමට නොහැකි වීම ගැන කනගාටුව ප්‍රකාශ කර සිටිමි.

    ReplyDelete
  16. හෙන කාලෙකින් අපි අද බුල්ටෝ කෑවා.. බුල්ටෝ තාමත් බුල්ටෝමය...

    ReplyDelete
  17. ගුණසිරි බුල්ටෝ vs ගුණ පිරි බුල්ටෝ නඩුව ගැන අහලා තියෙනවද?

    ReplyDelete
  18. ගුණසිරි බුල්ටෝ හැදුවේ මහරගම දෙහිවල පාරේ හයිඩ්‍රාමනී ආයතනය ඉදිරියෙන් දිවෙන අතුපාරක කෙලවරේ පිහිටි කර්මාන්ත ශාලාවක. අපි එකල 1975 පදිංචි වෙලා හිටියේ ඒ කර්මාන්ත ශාලාව පිටුපසින් ඇති පාරේ. ගෙදර ඉදන් මහ පාරට (දෙහිවල පාරට) යෑම සඳහා ඒ කම්හල පසුකොට ෂෝට් කට් එකෙන් තමයි යන්නෙ. ඒ නිසා කම්හල නිතර ඇස ගැටෙනවා. ඒක කුඩා කම්බුහලක්ල්ටෝ. හැබැයි කම්කරු ගැහැණු මිනිස්සු 30 දෙනෙක් පමණ ඩාදිය හලාගෙන වැඩ කරනවා. පොල් බිඳිනවා. පොල්ගා නවා. බුල්ටෝ හදන්නේ ප්‍රධාන වශයෙන් පැණියි පොලුයි අඹරලා. ඒ නිසා ඒ අසලින් යන්නෙ නහය මිරිකගෙන. අසල ගොඩ ගැසුණු නරක්වූ පොල් කඳු නිසා ගන්දස්සාරෙ බෑ. අවුරුදු කීපයකින් එම ව්‍යාපාරය 1977 විවෘත ආර්ථිකය ආවට පස්සෙ මං හිතන්නෙ නැත්තටම නැතිවෙලා ගියා. බුල්ටෝ එකේ තිබුණේ දැන් තියෙන ටොපි කිසිවකට සමකළ නොහැකි අමුතුම රසයක්. එය එයටම අවේනික රසයක්.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ "කෑම්ප් එක වත්ත" කියන ස්ථානය ද?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න