.

.
Showing posts with label Covid 19. Show all posts
Showing posts with label Covid 19. Show all posts

Aug 24, 2021

මංගල සමරවීර නම් ඩීල් කරු... - Managala Samaraweera. The Dealer


 

මාතලන්ගේ නොවරදින අනාවැකි.

(මේ  Nov 6, 2014 දින මාතලන් බ්ලොග් අඩවියේ ලියූ ලිපියකි)

මංගල සමරවීර නම් ඩීල් කරු...

 - Managala Samaraweera. The Dealer

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

.

.

ලාංකීය දේශපාළණය බොහෝ දුරට රඳා පවතිනුයේ, ප්‍රතිපත්තීන් මත නොවේ. එහි රැඳී සිටීමට නම්, නූල් සූත්තර හා ඉවසීම මනා ලෙස ප්‍රගුණ කළ යුතු වන්නේය. මේ දෙකම ජයගෙන, රටේ නායකත්වය දක්වා පැමිණි දෙදෙනකු අප ජීවීත කාළය තුලදී අප දැක ඇත. ඒ රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂයි. මේ දෙදෙනාටම පක්ෂය තුල විවිධ අවස්ථාවන්වලදි තිබූ, කැපිලි කෙටිලි, නොපනත්කම් හා නොසලකා හැරීම්, ලාංකීය දේශපාළණයේ ඉතිහාසය පිළිබඳ අල්පමාත්‍ර දැණීමක් ඇති අය පවා, දන්නාවූ කරුණකි.

ඔවුනට තිබූ ඔරොත්තු දීමේ ශක්තිය, හික්මීම හා ඉවසීම, අද සිටිනා බොහෝ දේශපාළකයන්ට නැත. නීතිය බල්ලාට දමා, බල්ලා උසාවියේ දමා ගිය අගවිනිසුරුවකු මගින් ලද පන්නරය ඔස්සේ, අද පහලම මට්ටමේ සිටින දේශපාළඥයාගේ සිට, පාර්ලිමේන්තුවේ සිටින එකා දක්වා දත කනුයේ, රටට ජනතාවට සේවය කිරීම නොව, කාමසුඛල්ලිඛාණූයෝගයෙන් පිරි ජීවන රටාවක්, තමාටද, තම ඥාති වර්ගයාටද, හිතවතුනටද ලබා ගැනීමටයි. පාළකයන්ට විරුද්ධව ප්‍රකාෂ කළ මනාපවල පිහිටෙන් ව්‍යවස්ථාදායකයේ අහු මුලු වලට පැන ගන්නා සෑම එකාම, ආන්ඩු පක්ෂය තුල කිසිම හිරිකිතයකින් තොරව එක පෙලට සිට ගනුයේ, එම පරම වූත් පවිත්‍ර වූත් අපේක්ෂාව නිසාමය.

බොහෝ විට මෙසේ තම ජනතාවගේ මනාපයට පිටුපා නිවන් මග සොයා යන්නවුන් අවසානයේ නවතිනුයේ දේශපාළණ වශයෙන් අනාථ භාවයට පත්වීමෙනි. මෑත දේශපාළණය තුල ගත්තද, ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි හොඳම උදාහරණයන්ය. ඔවුන්ට තම පක්ෂය තුලින් හා නායකත්වය තුලින් වූ නොපනත්කම් ඉවසා දරාගැනීමේ ශක්තියක් තිබුනේ නම්, ලාංකීය දේශපාළණ ඉතිහාසයේ ලියවනුයේ, ඉන් පසු සිඳු වූ සිද්දිදාමයන්ට, හාත්පසින්ම වෙනස්වූ සිද්දීන් වනවාට කිසිම සැකයක් නැත.

මාතලන් දකිනා ආකාරයට, මංගල පින්සිරි සමරවීර කළේද එවන්ම වූ ගොන්කමකි. ඔහු මහින්ද සමග එක පෙලට සිට ගත්තේ වී නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය වැඩිවනවා පමණක් නොව, අප වෙත එල්ලවන ජාත්‍යන්තර බලපෑම් වල තත්වයද, මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබිනි. මංගල ප්‍රසිද්ධ, දේශපාලන ඩීල් කරුවකු ලෙස හා කුප්‍රකට ප්‍රොපගැන්ඩා කරුවකු ලෙසයි. 2005 ජනාධිපතිවරණයේ ප්‍රධාන නියමුවා වන්නේ මංගලයි. එමෙන්ම ඔහු 94 දීද ප්‍රධාන බූමිකාවක් රඟ දක්වයි.

එපමණක් නොව, 2002 දී බලයට පත්වන, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගෙදර යැවීමේ කාර්යයේ මූලිකත්වය ගෙන කටයුතු කරනුයේද, මංගල සමරවීරයි. එවන් පුදගලයකුගේ  වටිනාකමට සරිලන ගෙවීමක් මහින්ද රාජපක්ෂ තුලින් නොලැබුනු කළ, ඇතිවන කළකිරීම සාධාරනය. එහෙත් ඔහු නොදැන උන් පාඩම නම්, මහින්ද රාජපක්ෂ යනු, ඔහුට වඩා බොහෝ සෙයින් තෙම්පරාදු වූ, නොම්මර එකේ නූල් සූත්තර කරුවකු බවයි. චන්ද්‍රිකා හා කළ ගණුදෙණු, මහින්ද සමඟ කිසි ලෙසකින්වත් කළ නොහැකි බව අවබෝධ වීම නවතිනුයේ, කළක් මිස්ටර් බීන් ලෙස බවුතීස්ම කළ, රනිල් වික්‍රමසිංහගේ දෙපතුල අසලය.

නන්නාත්තාර වී, හතේ හත වැදි සිටිනා අලියාට, නැවුම් පනක් ගෙන එනුයේ වෙන කිසිවකුත් නොව මංගල සමරවීරයි. 2010 දී මහින්ද රාජපක්ෂට එරෙහිව ගෙන ආ හැකි හොඳම විකල්පය රැගෙන ඒමේ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාව රඟ දක්වනුයේද ඔහුයි. ඉන් පසු මෑත කාළයේ, ආන්ඩුවේ පිරිසක් විපක්ෂය වෙත කැඳවා ගෙන ඒමේ ඩීල් එක මෙන්ම, රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමේ ඩීල් එකද, සියළු පාර්ෂව හා සම්බන්ධීකරණය කරනු ලබන්නේත් ඔහුමය. බොහෝ විට එය සාර්ථක වීමට තිබූ අවස්ථාවකි. එසේ පවසනුයේ, එම ක්‍රියාවලිය හරහා ආන්ඩුව බොහෝ සෙයින් බියට පත් වූ නිසාවෙන්මය.

එහෙත් අවසානයේ සිඳු වූයේ කුමක්ද? පක්ෂයට හෝ පක්ෂයේ පැවැත්මට කිසිවක් නොකරන, එජාපය තම උරුමයක් යැයි සිතාගෙන අධික මාන්නයකින් පෙලෙන. තමන් ජනපතියයි සිතින් සිතාගෙන සිටින, එම් එන්ටර්ටේන්ට්මන්ට් (සිරස) මගින් නටවන රූකඩයකට, පක්ෂයේ නියෝජ්‍ය නායක කම පුදා, බොහෝ අමාරුවෙන් දොවා ගත් කිරි කලයට, ගොම තලියක් එකතු කිරීමයි. පක්ෂය වෙනුවෙන් දර දිය ඇදි එකාට, අවසානයේ චන්ද පොල ක්‍රියාකාරීන් වෙනුවෙන්, කතාවක් හෝ නොමැත. සජිත් ප්‍රේමදාස යනු කවුදැයි, දැන්වත් එම පක්ෂයේ මට්ට ගොන් බූරුවන්ට තේරෙන්නේ නම්, එය එම පක්ෂයේ යහපත සඳහාම වන්නේය. (ජනපතිවරණයට ඉදිරිපත් වීම, ඔහු ප්‍රතික්ෂේප කර ඇත.)

ඉදින් ආන්ඩුවේ සියළු පාර්ෂවයන් මුන ගැසී, ඩීල් දමා, සිංගප්පුරුව බලා ගිය පින්වත් මංගල පින්සිරි සමරවීර මැති තුමා නවතින තැන, අලුතෙන් සාකඡ්චා කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඔහු විසින් එජාපයට පනවා ඇති කොන්දේසි යනු, අලියාගේ සිරුර පුරා පුපුරණ ද්‍රව්‍ය දමා කරනා, මහා පිපිරුමක් පමණි. ඉන් පසු රනිල්ගේ කෙසේ වතුදු, අලියාගේ මයිල් ගසක්වත් සොයා ගැනීමට හැකි වන්නේ නම් නැත. වං හුං ලැබෙනා ආකාරයට, මංගල සමරවීර මීළඟ විදේශ ඇමතිවීමේ සම්භාවිතාව ඉහළ අගයක පවති. එජාපයට සම්මා සම්බුදු සරණ හා අතුරලියේ රතන සරණ පතනවා හැර, අපට කළ හැකි වෙන කිසිවක් නැත.


ඒ වගත් මෙසේය....


🔺 පසුව ලියමි.


මගේ අනාවැකිය සපල කරමින් ඔහු මුලින්ම විදෙස් ඇමති ධූරයටත්, පසුව මුදල් අමාත්‍යධූරයටත් පත්විය.

එජාපයට ඇපත් නැතිව ගියේය.

කොහොමත් සජිත්ගේ සපත්තු අඩියට පෑගී සිටිමට අකමැති වූ මේ නිදහස් මිනිසා තරඟයෙන් ඉවත් වුනේය.

පසුව දේශපාලනයෙන්ද සමු ගත්තේය.

අද ජීවිතයෙන්ද සමුගත්තේය.

ඔහු හිත හොඳ මිනිසෙක් වුවත් දක්ෂ හෝ කෘතහස්ත දේශපාලකයකු නොවීය.

සුපිරි ගේම් කාරයකු බව නම් පිලිගනිමි.

සුබ ගමන් මංගල !

ඒක දැණුනා.....


මොකද මාතලන් කියන්නෙත් කිසිම ප්‍රතිපත්තියක් නැති හැබයි හැමදාම නිවැරදි තැන හිටගත්ත කෙනෙක් නිසා...


ඒත් මේ සැරේ මංගලට වැරදුනා...


කළකිරීම්ද ඉක්මනින් පිටවීමට හේතු වන්න ඇති....

May 26, 2021

කර්මය විපාක දීම, විපක්ෂය හා විල්බැරෝ

 



පින්වත්නි,

අද වෙසක් පුන් පොහෝ දිනය,

මාතලන් අද ගෙන එන්නේ ගිහි බණක්…

ඒ නිසා සාධූ කාරයක් දීගෙනම මෙය කියවා ගෙන යන්න..


යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං

කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං


පින්වත්නී… යම් සේ අප බීජ වපුරන්නේ ද..

ඒ අනුව අපට අස්වනු නෙළා ගැනීමට හැකි වන්නේය.

කුසල් කරන්නවුන්ට යහපත් වූ ද,

අකුසල කර්ම කරන්නවුන්ට අයහපත් වු ද විපාක විඳීමට සිදුවේ.

මේ කරුණ සිහියේ තබාගෙන දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා සිටින අපි කුසල පක්ෂය දියුණු කරගෙන ලබාගත් මේ ආත්මයේදීම නිවන් යන්න ට්‍රයි එකක් දිය යුතු වන්නේයෙ.


එසේම පින්වත්නී.. කර්මය විපාක දීම අනුවත් එය කොටස් හතරකට බෙදලා තියෙනවාය.


ඒ..


දිට්ඨදම්මවේදනීය කර්මය – එම බවයේදීම කුසල් අකුසල් කර්ම විපාක ලබාදීම.

උපපජ්ජභේදනීය කර්මය – මරණින් මතු පළමු ආත්ම භාවභේදී විපාක ලබා දීම.

අපරාපරියභේදනීය කර්ම – මරණින් පසු තෙවන ආත්ම භාවභේ සිට කවර හෝ ආත්මයකදී විපාක දීම.

අභහෝසි කර්ම – විපාක භනාදී අභහෝසි වී යන කර්ම කියලාය..


පින්වත්නී අප තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වගන්සී මේ පලදීම් බෙදා ඇත්තේ කාළය අනුවය. එහෙත් අපේ මේ රජයට විපක්ෂ සියළුම බලවේගයන්ට එවා පලදී ඇත්තේ මෙලෝ වශයෙන්මය.


පින්වත්නි.. තව කාළයක් යන තුරාවට රාජ්පක්ෂලා එලවීම බොරුය.. පට්ට ෆේල් විපක්ෂය හා විපක්ෂයේ සියළුම බලවේග මෙය දන්නවාය. දැන් ඒ පිරිස උන්මත්තකයින් බවට පත් වී අවසානය. ඒ පිරිස අතර පාර්ලිමේන්තුවේ විපක්ෂය, උන්ගේ පාක්ෂිකයින්, ඇපත් නැති වූ රනිල් විකුම්සිංහ හා අනුර කුමාර දිසානායකගේ පක්ෂය හා පාක්ෂිකයින්, ඔවුන්ගේ මාජ්ජවේදීන්, වෙබ් බලකාය, බුකි බලකාය හා වහලුන්ද සිටිනවාය. ඒ දිට්ඨධම්මවේදනීය කරුමයය.


පින්වත්නි කරුමය කියන්නේ දෙවන ආත්මයේ පලදෙන ඒවාද මේ පිරිසට මේ ආත්මයේ පල දෙන එකය. කරුමය ඒ තරම් පවර්ෆුල්ය. පවිත්‍රාට කොරෝනා හැදුන වෙලේ උම්මා දේවී කියා කින්ඩි දැමූ, පවිත්‍රාට හැමදාම පාර්ලිමේන්තුවේ ලෙඩේ ඇදපු සජිත් හා කසිප්පුවාටද අද කොවිඩ් හැදිලාය. උන් හිතුවේ කොරෝනා හැදෙන්නේ බයියන්ට විතරක්ය කියලාය. මේ මොහොතේ ආන්ඩු පක්ෂයට සහයෝගය දක්වන උන් හැසිරුන ආකාරයත්, එදා පවිත්‍රාට වැලඳුන අවස්තාවේ විපක්ෂයේ උන් හැසිරුන ආකාරයත් අනුව මේ රටේ ටොයියන් හා බයියන් මක්කුන්ද යන්න දැන් පින්වතුන්ට වැටහෙනවා ඇතිය.


පින්වත්නී… මුන්ට මේ පලදෙන්නේ අවුරුදු පහක් තිස්සේ එක පවුලකට කෙලින්නට ගොස් සමස්ත ලංකාවටම කෙලවීමේ පාපයය. එය තව ආත්ම (චන්ද) ගානකින් හෝ ගෙවා දැමීය නොහැකිය.


සංවර්ධනය වෙමින් තිබූ රට, ඒ සියලු සංවර්ධන යෝජනා ක්‍රම නවතා දමා ආයෝජකයෝ සියල්ල එලවා දැම්මේය. මහ දවාලේ මහ බැංකුව කොල්ල කෑවේය. වෝනින් 96 ක් ඇවීල්ලාත් ඉස්ලාම් ත්‍රස්තවාදීන් හා අම්මට හැමිනුනේය. මේ කාළකන්නි අදත් උන් වෙනුවෙන් පෙනි ඉන්නවාය. උන් එක මොහොතකදි මේ රටේම බෝම්බ තබා රට ලේ විලක් කළේය. විදේශිකයින්ද මරා දැම්මේය. අඩු ගානේ ප්‍රභාකරන් මහතාවත් මේ දේ සිඳුකලේ නැතිය. රටේ ණය ප්‍රමාණය දෙගුණයක් කර ඒ මුදල් සියල්ල හොරා කෑවේය. එවන් කාළකන්නි මේ ආත්මයේ (මේ පාලන සමයේ) නොව මුලු ජීවත කාළයේමත් ආත්මයක් ආත්මයක් පාසා විඳවනවාමය.


පින්වත්නී අද ඒ කාළකන්නි, කොරෝනාවෙන් විඳවනවාය. ගෑස් ටැංකි කර තබාගෙන යනවාය. විල්බැරෝ තල්ලු කරගෙන යනවාය. පාර පුරා රස්තියාදු ගහනවාය. බුකියේ වැලපෙනවාය. යූ බටේ මරළතෝනී දෙනවාය. වෙබ් පඩංගුවා අමු කෙප්ප ලියනවාය..


උන්ගේ විරෝධතා සියල්ල මොහොතක් යන්නට පෙර පච වෙනවාය. විල්බැරෝ තල්ලු කරගෙන ගියේ මක්කුන්ද කියා මේ වන විට හෙලි වී අවසානය. උන් පාක්ෂිකයින්ගේම විරෝධයට ලක් වී අවසානය.


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ බොරුවට කෑ ගැසුවාට පොර වැඩිපුරම පාර්ලිමේන්තුවේ කරන්නේ බිලියඩ් ගහන එක බව දැන් ඔප්පු වෙලා අහවරය. ඒ රනිල් පොකට් බිලියඩ් ගහපු පුරුද්දට වෙන්න ඇතිය. ඒ වගේ පිස්සෙකුට බලය ගියේ නම්, මේ වන විට අපට ලේසියෙන්ම කොරොනා වලින් ඉන්දියාව පරදා කප් එක ගන්න තිබුනේය. ඒ යකා කරන්නේ බිලියඩ් ගහනෙක හා යාල සෆාරි යන එකය. පක්ෂය පාලනය කරන්නේ ජලනි ප්‍රේමදාස ආර්යාවය. අනික් උන් ඔයා කියන දෙයක් තමා මැඩම් කියා උන් පස්සේ යන වන්දිභට්ඨයෝය.


පාර්ලිමේන්තුව ඉස්සරහා පෝට් සිටියට විරුද්ධව උද්ඝෝෂණ කල උන්ටත් කරුමය පලදී දැන් කොරෝනාය. මුන් ඒ කාළේ පෝට් සිටියට වෙනම පාලනයක් එන බව දිවුරා පොරොන්දු උන උන්ය. උන් කියපුවා උන්ට මතක නැති තරමටම දැන් උන්ගේ මොලේ අවුල්ය. අපේ විපක්ෂයයට සම්මා සම්බුදු සරණමය…!!


පින්වත්නි මෙයින් පට්ටම ආතල් එක අහෝසි කර්මයය.


මාතලන්ට මෙලෝ වශයෙන්ම පලදී තිබෙන්නේ ඒකය. ඇත්ත… මාතලන් යහපාලනයට කඩේ ගියේය. එහෙත් දවස් තුනක් යන්නට මත්තෙන් කළ පාප කර්මයේ තරම වැටහිනි. එදා සිට මාතලන් කළ වැරදි වටහාගෙන රට නිවැරදි මාවතට ගෙන ඒමට යුනිකෝඩ් වලින් සහාය දුන්නේය. ඒ නිසා, ඒ පව මේ ආත්මයේම අහෝසි විය. බැරි උන උන් සැමදා නිරයේය…


පින්වත්නී….

ඒ වගත් මෙසේය…..

May 14, 2021

හත්පොලේ ගාගත් ආන්ඩුවේ කොරෝනා මාධ්‍ය වසංගතය…

 


මාතලන් දන්නා පරිදි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උන්ට මොන ප්‍රශ්ණ තිබ්බත් එවා මාධ්‍ය සාකච්ඡා තබා ලෝකයටම හෙලිකිරීම කෙසේ වෙතත්, පුවත් පතකට ඉන්ටවීව් එකක් දෙනවා නම්, ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසර ලබා ගත යුතුය. මේ නීතී රීතී පිලිගන්නා උන් මාධ්‍ය මගහැර හිනාවක් දමා මාරු උනද, විනයක් නැති ඔළුව ඉදිමිච්ච උන්, එක එක ප්‍රකාශ සිඳුකොට ටීම් එකේ ප්ලේස් එක නැති කරගත් ආකාරයත් අපි දැකලා තියෙනවාය.

ත්‍රිවිධ හමුදාවේද එසේය. ඒවායේ හමුදාපතිවරුන් හෝ මීඩීයා කාරයෝ වටකරගෙන ප්‍රෙස් බ්‍රීෆීන් හෝ ප්‍රෙස් කොන්පරන්ස් තියන්නේ නැතිය. ඒ වෙනුවට ඒ ඒ හමුදාවට අදාලව මාධ්‍ය ප්‍රකාෂකයෙක් වෙනම ඉන්නවාය. හමුදාවේ විනය පවත්වාගෙන යන්නේ එසේය.

වසර 30 ක් පැවති ත්‍රස්තවාදී යුගයේදී මේ ක්‍රියාදාමය පොලීසියටද හඳුන්වා දුන් අතර, දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාෂක ලෙස කටයුතු කරන අජිත් රෝහණ එම කටයුත්ත ඉතා සාර්ථකව ඉටු කරනවා පමණක් නොව. විශේෂයෙන් කාන්තා පාර්ෂවයේ සිහිණ කුමාරයෙක් බවටද පත් වී අවසානය.

පොලීසිය කෙරේ ජනතාවගේ පැවති අපුලතාවය තරමක් දුරට හෝ තුනී කිරීමට තරම් ඔහුගේ භූමිකාව ඉවහල් වූ බවත් නොකියා සිටිය නොහැකිය.

ඊට පෙර පොලීසියේ ඕ අයි සීලා වැඩ පෙන්නුවේ පත්තර කාරයෝ එක්කය. වැඩේ හබක් වූ පසු පත්තර කාරයෝ පාතාලේ හා එක් වූ අතර, උන් බොහෝ දෙනෙක් ඒකෙන් ගොඩ ගියේය. කොස්ගොඩ තාරකගේ වියෝවෙන් ශෝකයට පත් පිරිස අතර ලෝයර්ලාට අමතරව පත්තරකාරයෝ හා උන්ගේ මිත්‍රයෝද සිටින්නේ ඒ නිසාය.

එහෙත් රටම වෙලාගත් ලෝක වසංගතයක් වූ කොරෝනා පාලන වැඩසටහන අතරේ ආන්ඩුවේ මාධ්‍ය මෙහෙයවීමද වසංගතයක්ම වී ඇති බව ඉතා කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුමය. කොරෝනා රෝගය හා රෝගය මැඩලීමේ වැඩ සටහනේ ඉතා වැදගත්ම අංශය වන ප්‍රචාරණය හා සංනීවේදන කටයුතු පිළිබඳව නොදැණුවත්කම හා නොසලකා හැරීම, මේ මොහොතේ ඉතා පැහැදිලිවම පේනවාය.

මේ මාධ්‍ය නිදහස කිසිසේත්ම ආන්ඩුවේ ඉදිරි ගමනට මෙන්ම වර්තමානයටද හිතකර දෙයක් නොවන්නේමය. හිතෙන හිතෙන එකා මාධ්‍ය සාකච්ඡා තබා කියන්නේ ආන්ඩුවේ වැඩපිලිවරට එදිරි ප්‍රකාශනයන් හා විවේචනයන්‍ය. මේ අතර ආන්ඩුවෙන් පඩි කන උන් මෙන්ම ජනාධිපති තුමා සමඟ රැස්වීම් වලට සහභාගී වන උන්ද සිටීම ඉතා කනගාටුවට කරුනක්‍ය.

විශේෂයෙන් රාජ්‍ය ඇමතිනි ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය සංගමයේ සභාපතිනි පද්මා කරුණාරත්න හා ගොම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනියගේ භූමීකාවන් හා මාධ්‍ය සාකච්ඡා පිලිකුල් සහගතය. කිසියම් අඩු පාඩුවක් ඇත්නම්, විය යුතු දෙයක් ඇත්නම් ඒවා කියා සිටය යුත්තේ මාධ්‍යටවත් ජනතාවටවත් නොව, කෙලින්ම ජනාධිපතිවරයාට හෝ ඇමතිනියටය.

කොවිඩ් මැඩලීමේ මධ්‍යස්ථානයක් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පිහුටුවා අවසානය. එහි පරිපාලනයේ කිසියම් අඩුවක් හෝ ක්‍රියාවිරහිත වීමක් හෝ සිඳූ වූවාදැයි යන සැකයක් බොහෝ දෙනා තුල ඇත.

මන්ද, පළමු වටයේත් දෙවන වටයෙත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූයේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාත්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහත්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩනත් පමණි.

එහෙත් දැක් කෝකියෝ හැට හුටහාමාරකටත් එහා පිරිසක් වොයිස් කට් වීරයෝ වී අවසානය. විශේෂයෙන් ආන්ඩුවේ පඩියෙන් ජීවත් වන PHI මහ එකා හා එජාපයේ වෘතීය සමිති කාරයෙක් වන රවී කුමුදේශ් නැමැත්තා කරනා හානිය සුලුවෙන් තැකිය නොහැකිය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කියා එකෙක් ඉන්නවාද නැද්ද කියා දන්නේ නැත. එක්කෝ පොර පට්ට ෆේල් පොරක්ය. එසේ නොමැති නම් දක්ෂ පරිපාලයකු නොවේය. අනිල් ජාසිංහ නැවතත් මිනිසුන් ඉල්ලන්නේ මේ නිසාය. පබා පළිහවඩණ නැවතත් මිනිසුන් ඉල්ලන්නේ මේ නිසාය.

මෙහිදි කනගාටුදායකම කරුණ නම්, මෙවර වැක්සීන්කරණය රාජ්‍ය විරෝධි ආන්ඩු විරෝධී මහ උන්ගෙන් සමන්විත PHI ලාට හා MOH ලාට බාර දී තිබීමය. උන් එය අල කර අවසානය.

මේ තරමට ඇදගෙන නාන්නේ සුපිරි සන්නිවේදකයින් මෙන්ම ඝෝඨාගේම මිනිසුන් තිදෙනෙක් වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපතිතුමාගේ මාධ්‍ය ප්‍රකාෂක ලෙස පත්වීම් ලද කින්ග්ස්ලී රත්නායක හා මොහාන් සමරනායකලා එතුමා ළඟම සිටියදීයය.

එමෙන්ම යූ ටියුබ් කාරයෝ හා චැනල් කාරයෝ කොහේ හෝ ඉන්නා එකෙක් උස්සාගෙන විත් කරනා මළ විගඩම් විකාරද වහාම තහනම් කර දැමිය යුතුය. මාධ්‍ය නිදහස කියා මුන් කරනා මළ සමයන් නිසා මිනිස්සු ඉන්නේ නන්නපෝල් වෙලාය. උන් එකිනෙකා පරදා ජනතාවට ආතල් දෙයි. පසුව වෙබ් පඩංගු කාරයෝ ඒවා ප්‍රචාරණය කරනාතර, වේලී වේලී ඉන්නා ජාතික පත්තර කරයෝ ඒවා හෙඩ් ලයින් ලෙස දමා ජාත්‍යන්තරයටම ගෙන යනවාය.

කොරෝනා එක්ස්පර්ට්ලා වන ආන්ඩුවේ මෙන්ම විපක්ෂයේ කාළකන්නි පොලිටික්කන්ට අමතරව පසුගිය සතියේ කොරෝනා මාධ්‍ය උස්තාද්ලාගේ ලිස්ට් එකක් පහතින් පලවේ.

ඒ, හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා, ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, කොරෝනා ඇමතිනි ප්‍රනාන්දුපුල්ලේ හා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට අමතරව බව කරුණාවෙන් සලකන්න. මෙය විගඩමක් බව පෙන්වීමට වෙනත් හේතූන් අවශ්‍යද?


🎈මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

🎈සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්

🎈ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති

🎈කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීනී

🎈ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක

🎈දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

🎈රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

🎈රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

🎈රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා

🎈ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා

🎈හෝමාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ

🎈කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා

🎈ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

🎈ආචාර්ය චන්දනමලී පුංචිහේවා

🎈කොලඹ අයි ඩී එච් රෝහලේ ‍අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

🎈නාලක ගොඩහේවා


.

May 10, 2021

ඉන්ගිරිස් පත්තර මල්ලි හා කුර සහිත ජීවීන්ගේ සර්ව පාක්ෂික සමුළු..


ඉන්ගිරිස් පත්තර මල්ලි හා කුර සහිත ජීවීන්ගේ සර්ව පාක්ෂික සමුළු..

ටැලිවිසන් එකේ පත්තර කියවන්න කලින්, පත්තර කියෙව්වේ වයර්ලැස් එකේය. මේක පටන් ගත්තේ කව්දැයි කියන්න දන්නේ නැති නමුත්, වයර්ලැස් එකට වැඩියේ සවන් දෙන්නේ නැති මාතලන් දන්නේ “පත්තර මල්ලි” හෙවත් නුවන් ජූඩ් ලියනගේ ඉතරය. පස්සෙ කාලෙක රූපවාහිනියේ “රෝද හතර” ගෙන ආ ජූඩ් දැන් යූ බටේ වැඩ පෙන්වනවාය. ඒ කටහඬට මාතලන් කැමතිය.

ටෙලිවිසොන් හෙවත් රූප පෙට්ටියට මුලින්ම පත්තර කියවිල්ල ගෙනාවේ මොකාද කියා නිච්චියක් නැතත් කලින් මල් පත්තර කාරයෙකු වූ බන්ධුල පද්මකුමාර උන්නැහේගේ පත්තරේ විස්තරේ අභිබවා යන්න අද වෙනකන් එකෙක්ටවත් බැරි වෙලා තියෙනවාය. බන්දුල පද්මකුමාරගේ පත්තරේ විස්තරේට අමතරව ඉතා ජනප්‍රිය වූ ලොව වටා ප්‍රවෘත්ති ලිව්වේ මාතලන් දන්නා පරිදි සුපිරි ලියන්නකු වන සහන් කසීර වික්‍රමසිංහය.

දැන් ඉන්න පත්තරේ කියවීම කෙසේ වෙතත් උන් කරන්නේ ඕන නිව්ස් එකක් තමන්ගේ හෝ තමන්ගේ චැනල් එකේ පොලිටිකල් ඇජෙන්ඩා එකට අනුව ආලවට්ටම් හා කැටයම් දමා කියවීමය. ඒවා බලනවාට බලනවා මිසක් මෙලෝ රහක් ඇති ඒවා නෙමේය. එහෙත් බන්දුල පද්මකුමාරලා හැරුනත් රස වෑහෙනවාය. ඊට හේතුව උන්නැහේ මල් පත්තර කාරයෙක් වීමත් විය හැකිය.

ඔය බන්ධුල පද්මකුමාරගේ උන්නැහේගේ හෝ කාගේ හෝ පත්තර කියවන වැඩ සටහනක ඉන්ගිරිසි පත්තර කියවන්නත් ලස්සන ගෑල්ලමෙක් උන්නාය. ඒකෙත් ලොකු වටිනාකමක් තිබුනාය. ඒ අදටත් ඉන්ගිරිසි පත්තරවල තියෙන ඒවා හින්ගල පත්තරවල යන්නේ නැතිය. විශේෂයෙන් ආර්ථික කාරනා යන්නේම නැති තරම්‍ ය. එමෙන්ම ලෝකයේ අනෙක් රටවල ප්‍රවෘත්ති යන්නේම නැතිය. මේවා ටැලිවිසොන් නිව්ස් වලිනුත් හැලිලාය. යන්නේ එලොවටත් මෙලොවටත් නැති කාළකන්නි දේශපාලුවන්ගේ අමු ගොබ්බ වොයිස් කට්, ත්‍රී වීල් පක්ෂවල හා කාලකන්නි හූනියන් කාරයන්ගේ ප්‍රෙස් කොන්පරන්ස්‍ය. රටේම උන් අමු ගෝත්‍රික ළිං මැඩියෝ වෙලා තියෙන්නේ මේ හේතුවෙන්‍ ය. ඉතින් ලෝකය ගැන දන්නා පොඩි එකෙක් දැක්කත් මුන්ට ඇල්බට් අයිබ්ස්ටයින් දැක්කා වාගේය.

ඔහොම පිටරටවල පත්තර මැගසින් කියවා නිව්ස් බලා රටේ ජනතාවට කියනා තවත් එකෙක් ඉන්නවාය. ඒ අවුරුදු පහක් තිස්සේ රට බංකොලොත් කොට කාබාසීනියා කර දමා ඇපත් නැතිව ගෙදර ගිය රනිල් වික්‍රමසිංහය.

උන්නැහේ හොඳ කියවන්නෙක්‍ ය. ඒ නිසා කොහේ හෝ තියෙන දෙයක් දැක්කාම පින්ජුල මාරිස් සඳුදා උදේට දෙරණෙන් සතියකට ප්‍රෙඩික්සොන් දෙනවා වාගේ අර කොහේ හෝ එකෙක් සොයාගත් සිද්ධාන්ත, දත්ත හෝ තොරතුරු තමන්ගේ ඒවා වගේ රටට දෙනවාය.

ඉතින් එජාපයේ ඉන්නා මෙලෝ අල බෝලයක් නොදන්නා කුර සහිත ඩොන්කිලා හා බුකියේ ඉන්නා ගෝත්‍රික ළිං මැඩුයන්ට ඒ යකා ආසියාවේ ළොකුම මොළේ තියෙන එකාය. හරියට සිරස ලක්ෂපතියේ මොනිටරේ බලාගෙන පාන්ඩිත්‍ය රටට පෙන්වන චන්දන සූරියබන්ඩාර වගේය. මෝඩයන්ට මේවා මැජික් උනාට, මේ වෙල් ඕගනයිස් වෙල් ප්ලෑන් වෙස්ටර්න් ප්‍රොපගැන්ඩා දැක්කාම හිකෙන් පුනාම යනවාය.

ඇමරිකාවේ යුවර්සිටි එකක ප්‍රෙඩික්සොන් එනකොටම රනිල් වික්‍රමසිංහ ටැලිවිසොන් එකට එනවාය. මීටාමතරව සැටලයිට් නෝනා හා ඇමරිකන් ඇම්බැසිඩර් නෝනාත් බොහෝ විට එනවාය. මංගල සමරවීරත් එනවාය. එයාගේ වෙබ් මාෆියාව හා බුකි මාෆියාවත් මේවා වනනවාය. උන්ව වන්දනා කරනා අමු ගොබ්බ බයියෝත් මේවා දැකලා බෙට්ටත් රත් වෙලා පල් හෑලී ලියනවාය.

චීනා අපිට නොමිලේ එන්නත දුන්න ගමන්ම මේ වාර්ථා ආපූ එකත් ලෝක වාර්ථාවක්‍ ය. නලීන්ද සිල්වා කියනවා වගේ ඇමරිකාව කියනා ඕනෑම දෙයක් පරම සත්‍යයය. ඒකේ ඇමරිකාව ගැන කියපුවා සත්‍ය වූවාට අනෙක් රටවල් වල ඒවා අමු කෙප්පය. උන් හිතුවේ චීනාට කෙල්වන්නය. ඒත් කෙලවුනේ උන්ටමය. මේකට බේස් කර ගන්න ඇත්තෙ උන්ට කෙලවුන කාළේ දත්තයන් විය හැකිය. ඒවා හැම රටටම් ගලපන්න යාම උන්ගේ මෝඩ කමය.

අපේ කොරෝනා පාලනයේ සුළු සුළු අඩු පාඩු තිබුනත් අපේ වැඩ පිලිවල එක්සත් ජාතින්ගේ ලංකාවේ නියෝජිතයින්ගේ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ප්‍රසංසාවට පත් වී අවසානය. මේ මොහොතෙත් එය උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙමින් තිබේ. එහි සාර්ථකත්වය දන්නා සජිත්ගේ පක්ෂයේ කුර සහිත ජීවීන් සර්ව පාක්ෂික සමුළු තියන්න යන්නේ මේ ක්‍රෙඩිට් එක උන්ට දාගන්නය.

පළමුවන රැල්ලත් දෙවන රැල්ලත් සාර්ථකව මැඩ පැවැත්වු මේ පිරිසට, තුන්වන රැල්ලත් මැඩ පැවැත්වීම ඉතා සුළු දෙයක් ය. මේ වන විටත් එය සාර්ථකව ක්‍රියාත්මක වේ. වැක්සීනය ලබා දිය යුතු සියල්ලන්ටම මාස දෙකක් තුල වැක්සීනය ලබා දිමට සියලු කටයුතු සංවිධානය කර අවසානය. චීනාගේ එන්නත මේ රටේම නිශ්පාදනයට ඇම්බැසිඩර් උන්නැහේ කටයුතු යොදමින් සිටී.

අරුන්දති රෝයි ද සිල්වාගේ කුර සහිත ජීවීන් රැල ලැහැස්ති වෙන්නේ මේවා උන්ගේ වැඩ කියලා ජනතාවට ඒත්තු ගන්වන්නය. ඉස්පුට්නික් එහෙන් ඇරොප්ලේන් එකට දැම්මාටත් පස්සෙ මිස්ටර් අරුන්දති රෝයි රුසියන් එම්බැසිඩර් හම්බ වෙන්නේ මේවා උගේ වැඩ කියලා පෙන්නන්නය.

මේවාට ඉඩ දෙන්නේ නම් මේ ආන්ඩුව කරනා ලොකුම ගොන්කම ඒකය. මන්ද යත් යුද්ධ කාළයෙත් ඔය සර්ව පාක්ෂික සමුළු කෝටියක් තිබ්බත් අපි ඉල්ලගෙනම කෑවා මිස යුද්දේ ඉවර කළේ නැති නිසාය. යුද්ධය ඉවර කළේ රාජපක්ෂලාය. රාජපක්ෂලා නැත්නම් ෆොන්සේකාත් නිකන්ම නිකන් විශ්‍රාමික හමුදා නිළධාරියෙක් ඉතරය.

දැන් උන්ට කියන්න තියෙන්නේ අර ප්‍රෙඩික්සොන් එක අනුව සැප්තැම්බර් මාසයේ දවසකට 20’000 ක් මැරුණාම හුරේ දාන්න බලාගෙන හිටපිය කියලාය. හැබයි ඉතින් වැඩිකල් හුරේ දාන්න වෙන්නේ නැතිය. අවුරුද්දක් යන්න කලින් උනුත් එක්කම මුලු රටම ස්වර්ගස්ථ වෙනවාය.

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි…
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි…//

Oct 7, 2020

ඉස්තාලේ කුඩු කරන නෝ මාස්ක්ලා



අස්සයා පැන ගොස් අවසානය. සියල්ලෝ ඉස්තාලය කුඩු කිරීමේ නිරතව සිටි.

ප්‍රභාකරන්ගේ විශාල ප්‍රමාණයේ පිලිරුවක් සාදා දිනපතා මල් පහන් පූජා කලත් වරදක් නැතයි සිතෙන්නේ මේ වෙලාවටය. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙමේය. 

අපේ උන්ට..., සති දෙකෙන් සියල්ල අමතක වෙන බව කී නිසාය. බොහෝ උන්ට එහෙම එකෙක් උන්නාද කියා මතකයක් ඇත්තේත් නැතිය. කොමිසම තියෙන නිසා සහරාන් නම් තාම මතකයේ තිබෙනවාය. 

දැන් කොරෝනා පැතිරුනේ කෙසේදෝ යන්න සොයා සියල්ලෝ මාරම කට්ටක් කනවාය. මුලින්ම දිවුලපිටියේ කාන්තාව ඝාතනය කර දැම්මේය. ඉන් පසු ඇඟළුම් සේවිකාවන් සියල්ල ඝාතනය කර දැම්මේය. දැන් ඒ අයට නැවත පන ලබා දී, බ්‍රැන්ඩික්ස් ආයතනය පොලොවට සමතලා කරමින් සිටී. 

මේවා මරි මෝඩ ජනතාව සමාජ මාජ්ජවල පමණක්ම කරනවා නම් ඇවුලක් නැතිය. මන්ද ඒවායේ කිසිඳු වගකීමක් ඇත්තේ නැති නිසාය. ඒ සමාජයේම කැඩපතක් වන නිසාත් එතන සියල්ලෝම නියෝජනය වන නිසාත්ය. 

එහෙත් වගකීමක් සහිත ජඩමාධ්‍ය පමණක් නොව ආන්ඩුවේ වගකිව යුතු නිළධාරීන්ද හැසිරුනේ හා ප්‍රකාෂ නිකුත් කලේ ඉතා පහත් ආකරයෙන්ය. උදාහරණයක් ලෙස PHI මහතැන පෙන්වා දිය හැකිය. 

ඔහු දිවුලපිටියෙ කාන්තාව ගැන අදහස් පලකලේ ඉතා පහත් ආකාරයටය. මෙවන් නිළධාරීන් ගැන ආන්ඩුව මීට වඩා දැඩිව ක්‍රියාත්මක විය යුතුය, නැතිනම් ඒවා සමාජගත් වෙන්නේ ආන්ඩුවේ මතයන් ලෙසය. 

ITN පුවත නිවැරදි කලද. මේ නිළධාරියා සමාව ගැනීමක් හෝ කලේ නැත. 

කොවිඩ් සවුක්ක ආරක්ෂිත ක්‍රම කිසිවක් අනුගමනය කර නැත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනය පමණමය. අනෙක් සියල්ලෙම ජීවත් වූයේ නිවැරදි සවුක්ක් ප්‍රතිපත්ති අනුවය. 

දැන් හැම එකාම බයවෙලා තියෙන්නේ, තම තමනුත් කෙලියේ පිස්සු නේදැයි කියා තමන්ගේ සිත දන්නා නිසාය.

රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට ආරක්ෂක ලේඛම් ආරක්ෂක රාජ්ජ ඇමති මෙන්ම සියල්ලෝම සිටියේ ඕවර් කොන්ෆිඩන්ස් එකේය. මතබේදයට තුඩු දුන් රිෂාඩ් හමුවේද, සියල්ලෝ සිටියේ ෆේස් මාස්ක් නොමැතිවය. පොලීසිය පාරේ උන්නේද එහෙමය. 

පාරේ යන උන්ට බලෙන් මාස්ක් දමනා නාලිකාවල උන් තරු තරඟ පැවැත්වූයේද එසේය. ටෙලි නාට්ටි කාරයන්ට සම්මාණත් දුන්නේය. මහා පොත් ප්‍රදර්ශණද තිබ්බේය. කරන්න තියෙන හැම විගඩමම කලේය. නාඩගමම නැටුවේය.

දැන් ඒ සියල්ල අමතක කොට උඩ පැන පැන තැලීමට යකඩයක් සොයමින් සිටී. 

සියල්ලෝම වැරදි කරුවෝ බව දන්නා නිසා බ්‍රැන්ඩික්ස් පිට වරද් පටවා අත සෝදාගැනීම ලේසිය. 

මීට දින කීපයකට පෙර රුසියාවෙන් පැමිණි පිරිසක එක් පුද්ගලයකු ආසාධිත යැයි පවසමින් මහා කලබලයක් ඇති උනේය. කොරන්ටයින් උන්නා නම් ඒ යක්කු මාතර සුපර් මාර්කට් ගියේ කෙසේදැයි අහන්නට එකෙක් උන්නේ නැතිය. සියල්ල පාලනයෙන් ගිලිහී ගොස් තිබින. ඒ අපේ ලාංකිකත්වයයි. 

කොටින්ම මාස්ක් එක දාගෙන යන එකා විහිලුවට ලක් උනේය. සමහර ආයතනවල අට අනුවක් රෙගුලාසි අනුව ඇතුලට ගත්තද.., ඇතුලේ උන් උන්නේ..., නෝ මාස්ක්ය.

කොටින්ම කියනවා නම් දිවුලපිටියේ කාන්තාව ගම්පහ රෝහලට ඇතුලත් වී ඇත්තේ, හුස්ම ගැනීමේ අපහසුව හේතුවෙනි. ඇය ඇතුල් වූ වෙලේ ටෙස්ට් එක කලා නම් මීට දින කීපයකට පෙර හෝ ක්‍රියාමාරග ගැනීමේ ඉඩක් තිබිනි. එහෙත් ටෙස්ට් රිසාල්ට්ස් ආවේ ඇය නිවසටද යෑමෙන් පසුය. 

රෝගය ගැන ප්‍රාමාණික දැනුමක් සහිත උන් ඉන්නා ආයතනයක් වන ඉස්පිරිතාලවල තත්වය එසේ නම්, ෆැක්ටරිවල තත්වය ගැන කුමන කතාද..?

ගාමන්ට් ෆැක්ටරි වල රැකියා ගැන වෙන්ම කතා කල යුතු මාතෘකාවකි. එහෙත් මාතලන් නම් දකින්නේ ඒ තත්වය ඇත්තේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රියේ පමණක්ම නොවේ කියාය. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා සියල්ලේම තත්වය එසේය. 

පාඩු ලබන ආන්ඩුවේ කර්මාන්ත ශාලා වල මෙන් අයිස් ගැහිලි එවායේ වානාය.  මා නම් එහි වරදක් දකින්නේ නැතිය. ඕනෑම කෙනෙකුට එතන රැකියාව කිරීමට අකමැති නම් කරන්න තිබෙන්නේ ඉවත් වෙලා ගෙදරට වෙලා ඉන්න එක හෝ ආන්ඩුවේ රස්සාවක් සොයා ගන්නා එකය. 

දැන් කල යුත්තේ එකිනෙකාට චෝදනා නගමින් බෝලය පාස් කරනවාට වඩා, සැඟවුන 500 ගැන දන්නවා නම් ළඟම ඇති පොලීසියට නිව්ස් එක දෙන එකය. පිලිගැනීමට අකමැති වුවත් අකමැති වුවත්, රෝගය දීප ව්‍යාප්ත වී අවසානය. 

ගම්පහ යනු ජන ඝනත්වය වැඩිම දිස්ත්‍රික්කයයි. වැඩෙ ලේසි වෙන්නේ නැතිය. එක එකාට වරද පැටවූවා කියා කොරෝනා බෝවීම නවතින්නේ නැතිය. ඒ සඳහා තමන් ආරක්ෂා වන අතරේ රෝගී වූ සියල්ලන්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල යුතුය. 

වෛර කිරීමෙන් ලැබෙනා ලබ්බක් ඇත්තේ නැතිය. වෙන්නේ ලේ කෝප වී කොරෝනාවට ශරීරය තුල සෙල්ලම් කිරීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩි වීම පමණමය.  

අස්සයා පැන ගොස් අවසානය. ඒකේ තරහට ඉස්තාලය කුඩු කරලා හරියන්නේ නැතිය. කල යුත්තේ ඉස්තාලය පිරිසිඳු කොට අස්සයා ආයේ ඉස්තාලයට ගෙන ඒමය.


ඒ වගත් මෙසේය.....