.

.

May 31, 2011

කටුනායක යුධ කළාපය - Katunayake War Zone


මව් කුස සිටන් විදිනා දුක් නිමක් නැත
ටකරං කාමරේ නින්දක් යන්නේ නැත
මහ මග යන්නටත් කිසි නිදහසක් නැත
වපර ඇසින් බලනා නෙත් කොතෙක් ඇත

උන්නෙ දුම්බරයි කටු මැටි පැලක් තුල
කන්නේ පරිප්පුයි පානුයි තුන් වේල
පඩිය සොච්චමයි වැඩිපුර අතිකාල
ඒකට කෙලින්නට එයි ලොකුගේ රාල

තියපන් බලන්නට අත අපගේ ඊ.ටී.එෆ්
යන්නෑ පසුපසට ආවත් එස්.ටී.එෆ්
පොලිටික්කෝ ගෙන එයි රජ ගෙදර පෘෆ්
අපි කවදත් නැත කෙරුවේ වැඩේ හාෆ්

ආවත් අරන් මැඩලන්නට බැටන් පොලූ
දුන්නා රිටන එක තාමත් දුවනවලු
එකක් දෙකක් පැලුවත් උන් අපේ ඔළු
පැලුවා ලොක්කන්ගේ මොල නොමැති ඔළු

පාවා දෙතේ ළොක්කන් ළඟ දනින් වැටී
මහා ආචාරියන් කරනා දේ බලු නොවටී
නැගිටින අයුරු වැටුනත් අපි කකා ගුටී
බලලා ඉගෙන ගත්තොත් මසුරන්ම වටී

මසන්නේ අපි වසන්නට විලි
ගැලෙව්වා වාසුගේ සළුපිළි
සටන් දිනුවා නගා ජයකෙලි
වරෙව් එක්වී නගමු සැනකෙළි

May 29, 2011

රණවිරු සුපර් ඉස්ටාර් - ජනමූල, ලොක්කට අමාරුයි - Ranaviru Supers Star

සුපර් ඉස්ටාර්ලා සැරසෙන කිට් එකකින් සැරසුනු ජනාධිපතිතුමා. නෝනලාට සැරසෙන්නට කාළයක් යන බැවින්, කිතුල් පැනි දැමූ ප්ලෙන්ටියක රස බලමින්, සාලයට පැමින අසුන් ගත්තේය. කාමරය දෙසින් කිසීම හාවක් හූවක් නැති බැවින්ද, විනාඩි 30 පමණ ගතවූ බැවින්ද, ලොක්කා හඬ අවදි කලේය..
"මේ නෝනේ ඔහේ ලෑස්ති වෙලා ඉවරෙයි..? පරක්කු වෙනව.."
"ලෑස්ති වෙන්න කොහේ යන්නද..?"
"හෑ.. මං හිතුවේ ඔහේ ලෑස්ති වෙලත් ඉවරෙයි කියල.."ඇයි අදනේ අර රනවිරු ෂෝ එකේ ෆයිනල් එක, ඔහේ දන්නෙ නැතෙයි...?"
 "ආ ඇත්තද..?..මමනම් එන්නෙ නෑ ඔහේ ගිහින් එන්න.."
"එහෙම හරි නෑනේ නෝනේ මල්ලිගේ වැඩේනේ. අනික ලයිව් දෙනවත් එක්ක.." ජනාධිපති තුමා ටිකක් හුරතේලෙට කීවේය.
"අපෝ ඒකට වැඩිය හොඳයි ස්වර්ණවාගිනියේ ඩාන්සින් ස්ටාර්, මට ඒක බලන්න තියෙනව..ඔහේ ගිහින් එන්න.." ශිරන්ති නෝනා ටිකක් සැරෙන් කීවාය
 "යං... යං ඔන්න ඔහේ ගිහින් එමු... ෆයිනල් එකනේ.. ඔතනින් ඉවරයිනේ... හොඳ ෂෝ එක.." සමහර දිනවල නරඹා, අජූවක් බවත් දැන දැන.. ජනාධිපති තුමා ෂේප් න්‍යාය අනුගමනය කරමින් පට්ට පල් කෙප්පයක් පතබෑවෙය.

"හොඳ ෂෝ එක... ඔහේට හොඳ ඇති.. ඔහේට ඉතිං ඕන කුණු ගොඩක් හොඳයිනේ. ඕකට වැඩිය හොඳයි දෙරණෙ ලිට්ල් ස්ටාර්.. ඔහේට ඕනනම් ගිහින් එනව මට කරදර නොකර..."
තව දුරටත් මල පන්නවාගෙන නෝන තරහ කර ගත්තොත්, මන මොහන් සිං තරහ කර ගත්තාටත් වඩා කෙලවෙන බව දැනගත් ජනාධිපති තුමා සුගතදාස ඉන්ඩෝර් බලා වහාම පිටත්වී ගියේය.

හැමදාම කුස්සියේ වලන් සෝදන කළාකරුවන් විසින් සන්නසක් දී බිම දිගාවී ජනාධිපති තුමා පිළිගෙන විශේෂ ආසනය වෙත කැඳවාගෙන ගියේය. ගෙදරත් අප්සට් වී පැමිණි ජානාධිපති තුමාට නිවේදකයාගේ සරම දැක්ක ගමන් මල පැන්නේය.
"මොකාද යකෝ මේ...???  මූ සරම කැහැපට ගහගෙන නේ ෂෝ එක කරන්නේ ...කොහෙන්ද මේ මූසලය හොයාගත්තෙ...???  මූව බෙයාෆුට් එකේ කෙල්ලෙක් ගාවට යවපං ..උං උගන්නයි මූට සරම් අඳින හැටි ජනාධිපති තුමා මල්ලිගේ කනට කර කීවේය.

එහේං මෙහෙන් බේස් පාරක් එහෙම වැදී මියුසික පාරක් එනකොට කවදත් ආතල් එකේ ඉන්න ජනාධිපති තුමාට පොඩි ආතල් එකක් ගියේය. වට පිට බැලූ ජනාධිපති තුමා දැක්කේ මල්ලිගේ නෝනත් පුටුවේ ඉඳගෙනම ආතල් එකක් ගන්නා ආකාරයයි.. ටික වේලාවක් ගත වන විට මෙය ජැකාගේ කරදිය මංගල්ලේ ඉතිරි කොටස බව ජනාධිපති තුමාට තේරුම් ගියේය.
"මූ එහේදී නෑවේ මඩ විතරයි, මෙහේ කක්කිත් නානව.. ලොක්කා මල්ලිට කීවේය.

"අපි අපේ ලේකම් තුමාගෙන් ඉල්ලනව ෂිශ්‍යත්වයක් දීල මේ ගයකයො වැඩිදුර රට යවන්නෙයි කියල" විකාරද එඩ්වඩ්ගේ ඉල්ලිමට ජනාධිපති තුමා මල්ලිගේ කනට කර,
"මල්ලි උඹ අහුවෙන්න එපා ඕකට.. මේ සිංදු කියන්න බැරි ඒවුන් රට යවන්න කියන්නෙ, දැන් මුන්ට ෆොරින් ෂෝස් නැති නිසා ඒ පානෙන් රට සවරි ගහන්න.... දීල තියෙන ඒව හොඳටම ඇති... කැරකෙන රෝදේ පුංචි කරත්තෙ ගියපු එවුන්ට මම දීල තියෙන්නෙ නැව්, තව දෙන්න ඕන නෑ" කීවේය.

මිසිස් කල්හරිගේ බෙලෙක් කපන හඬ ඇසු ජනාධිපති තුමාට බඩ කරකවාගෙන එන බවක් දැනී. නෝනාට කෝල්  කර
"ඔහේ කියපු එක හරි.. මගේ බඩත් අප්සට්.. කමක් නෑ ගෙදර ආවම පියෝ ටී වී එකේ ඩාන්සින් ස්ටාර් බලල නිදාගන්නවා..." කීවේය..

මුං කරන්නේ සිංදු කියන්න බැරි එවුන් ටිකක් දාගෙන, මුං පිම්බෙන එකයි සිතූ ජනාධිපති තුමා
"මුන්ට වැඩියෙ හොඳට අපේ මර්වියයි, ගීතයි, රන්ජනුයි, දුමින්දයි කොමෙන්ට්ස් දෙනවනේ යකෝ.. මුං කොමෙන්ට්ස් දෙන්නෙ නැතුව බයිල නේ කියන්නේ"  කියා ඝෝඨාභය මල්ලිට කීවේය.

නිවේදිකාවන්ගේ කිට් එක හා වාග් විලාශය දුටු ජනාධිපති තුමා අරිසෙන් වියතානන් මිය ගිය එක ගැන සතුටු වූ අතර අනර්කලීලා වැහි වැහල ඇති බවත් තේරුම් ගියේය. ඒ අතර ජනාධිපති තුමාගේ බඩ කරකවන ගතිය වැඩිවී පොඩි ඔක්කාර ගතියක් දැනුනේය.

"අනේ නොනේ ඔහේ කියපු එක ඇත්ත.., මල්ලිගේ වැඩේ නිසා ආව මිසක් මීට වැඩිය හොඳයි හිමාෂ මනුප්‍රිය ගෙනල්ල ගෙදර පොඩි පාටියක් දැම්මනම්... මම මල්ලිට කිව්ව මුන්ව රට නෙමෙයි හිමාෂ ගාවට යවන්න කියල.... මට ටිකක් අමාරුයි වගේ... අප්පිරිය ගතියක් එක්ක වමනෙට වගේ එනව... තෑගි දෙන්න ඔහේට එන්න බැරියෙයි"... කියා බැගෑපත් ලෙස කීවෙය..

විකාරද කම්පාගේ හතරවරම් දෙව් කතාව ඇසූ ජනාධිපති තුමාට, මල, බාජ් දුබායි වලටත් ඉහලින්ම පැන්න අතර වමනය ගතියද වැඩිවී.. ජනතාව ඉදිරියේ කබරයා දැමීම සුදුසු නැති බැවින් වට පිට බැලූ විට දුටුවේ ඝෝඨා නංගීත් නිදා සිටි ආකාරයයි...
"තව දුරටත් මෙතන හිටියොත්.. මට වෙන්නේ සිදුහත් කුමාරයාට වෙච්ච දේයි ..."
මල්ලීට කියු ජනධිපති තුමා එළියේ ගොරොද්ද ඇද ඇද සිටි තම සේනාවත් අවදිකරගෙන වහාම ටෙම්පල් ට්‍රීස් බලා පිටත්ව ගියේය.

වාහන ගොඩක් පැමිණි සද්දේ ඇසු ශිරන්ති නෝනා ඉස්තොපුවට දිවගියේ මොකක් හෝ ජිල්මාලයක් වී ඇති බව සිතාගෙනය. එක අතකින් කට වසාගෙන අනෙක් අතින් ඉකමනට ඇඳගෙන ෂෝ එකට යන්න යයි හස්ත මුද්‍රාවෙන් කියූ ජනාධිපති තුමා කෙලින්ම වොෂ් රූම් එකට දුවගෙන ගියේය..

"ඕක්... ඕ..ඕ.. ඕක්"

වහාම දොස්තර ඒලියන්ත හා දොස්තර රණවකව වොෂ් රූම් එකට යවන්නැයි අණ කළ ශිරන්ති නෝනා දඩි බිඩි ගා ලෑස්තිවී තෑගී දීම සඳහා පිටත්ව ගියේය...

May 26, 2011

ගූ ගල්, ජනෙල් දෙකම කචල් , බිල් ගෙට්ස් අපායේ - Bugs in Google and Windows, Bill Gates in Hell


මාතෘකාව ඒක උනාට මේ දෙන්නම බුදුන් දැක නිවන් දකින්න ඕන.... ළෝක වාසි ජනතාවට කළ උදාර මෙහෙයට.. මගේනම් අදහස මේ උත්තමයෝ මුනිවරු.. ඇත්තමයි මල් තියල වැඳුම් පිඳුම් කරන්න ඕන මහත්වරු......

මේ දවස්වල ක්‍රෝම් එකේ එකසිය ගානට කචල්.. කොමෙන්ට් දාන්න ගියාම මල පනිනව හොඳම එකෙන්.. ගූ ගල් වල හුටපටයක්ද..? ජනෙල් වල හුට පටයක්ද..? අනේ මන්ද....? කොහොම හරි බොග් කඩෙත් වහල තිබුන මෑතක දවසක අළුත්වැඩියා කටයුතු සඳහා..

කුඩු කාරයො වගේ මේවට ඇබ්බැහි වෙලා ඉන්න අපි වගේ බොග දාන අයට ඇති වෙන සික් එක ගැන කියන්න ඕන නැහැනෙ.. මම දැක්ක කොමෙන්ට් වල "වෙද මහත්තයයි", "මාරය" යි දෙන්නත් මේ ගැන සඳහන් කොරල තිබ්බ.. ඒ උනාට දැන් නම් හරි වගේ....

මේ ජෝක් එක මම ගොඩක් කාලෙකට ඉස්සර කියෝපු එකක්.. මේ කචල් එක හින්ද ළගඳි මතක් උනා..


න්න සුපුරුදු පරිදි බිල් ගෙට්ස් ලොක්කත් ගියාලු අපායට (හොඳ මිනිස්සු යන්නෙ එහාටනේ..)

කෙලින්ම එක්කගෙන ගියාලු යම රජ්ජුරුවො ගාවට. යම රජ්ජුරුවොන්ටත් අපිට වගේ මල පැනලලු හිටියෙ එයාගේ කොම්පියුටරෙත් නිතරම කචල් දෙන නිසා..

"හහ් හා...  ඔහේ එනකම් තමයි මම බලාගෙන හිටියේ.. හොඳ වැඩත් කොරල තියෙන නිසා මම ම ඔහේව එක්ක යන්නම්කෝ දඬුවම් පෙන්නන්න" කියපු යම රජ්ජුරුවො ගේට්ස් ලොක්කත් කතා කරගෙන යනවලු අපාය වටේ..

ඉස්සෙල්ලම එක්ක ගිය කාමරේ යම පල්ලො දෙනවලු නරයොන්ට පනිෂ්මන්ට්.. කට්ටියක් රත්වෙච්ච යකඩ වලින් පුච්චනවලු, කට්ටියක් ලෝදිය පොවනවලු, කොටින්ම මුලු කාමරේම ගිනි ගොඩක්ලු....

ඊළඟට එක්ක ගිය කාමරේ ඇතුලෙ, තවත් වීදුරුවකින් කවර් කරපු කාමරේක, සියළුම සුඛෝපභෝගී කෑම ජාති බීම ජාති පුරවල තියෙනවලු, හැබයි බලන්න විතරයි පුලුවන් කන්න බැරිලු.. ඒකේ ඉන්න නරයො කෙල පෙරාගෙන බඩ ගින්දරෙන්ම පිච්චෙනවලු..

ඊළගට එක්ක ගියේ යම රජ්ජුරුවොන්ගේ බෝඩ් රූම් එකට අල්ලපු කමරේටලු.. කිං යමාම දොර ඇරල පෙන්නුවලු.. කවුරුත් නැති කාමරේක, කෑම ටින්, වයින් බෝතල් මදිවට කාමරේ කෙලවර මේසෙක ගොන්පීටර් රාජයෙකුත් ඉන්නවලු..

"මේක හොඳයි.. මේක හොඳයි" කියපු ගෙට්ස් මහත්තය පැනල ඒ කාමරේ සෙලෙක්ට් කොර ගත්තලු.. කිං යමා දොර වහල බෝඩ් රූම් එකට ගියාලු...

"ඒ ආවේ බිල් ගෙට්ස්.." කිං යමා ආඩම්බරෙන් කිව්වලු යම ඩිරෙක්ටස්ලට..

"අපිත් බලාගෙන හිටියේ.. කොච්චර කළත් වැඩේ එච්චර හරි නෑ නේද..??? හැමෝම කතා වෙනව එයාට කෑම බීම තියෙන සුපිරි රූම් එකක් දීපු එක ගැන... අනික කොම්පුයුටරේකුත්... ඔබ වහන්සේට අමතක උනාද....??? මේ අපාය..."

"හහ්... හහ්... හා.. ඒ ගැන තොපි කළබල වෙන්ට කාරී නෑ.. ඒ හැම ටින් එක්කම, වයින් බෝතලේකම අඩිය නෑ..."

"අවසර දේවයන් වහන්ස ..... එතකොට කොම්පියුටරේ....???.."

"ඒක වැඩ.. ඒ උනාට කී බෝඩ් එකේ කීස් තුනක්ම නෑ"

"මොකා.. කීස් තුනක්...???.."

"ඔව් යකෝ..... "කොන්ට්‍රෝල්, ඕල්ටර්, ඩිලීට් කීස් තුනම නෑ....."

May 24, 2011

ආවා ආ වලාගේ කතාව - Rabbit Vs Bear


ඉස්සෙල්ලම බලයි මූ මොකක්ද මේ ලියල තියෙන්නේ කියල.. හාවා සහ වලහාගේ කතාව කියල තමයි කතන්දරේ යන්නෙ. සමහර අය මේක අහල ඇති, සමහර විට බොග් වල දාලත් ඇති. ඒත් මට හිතට වැදුන කතන්දරේ.. මට මේක කිව්වේ කොළඹ යාලුවෙක්. ඒ පැත්තෙ අය කතා කරන කොට "හ" යන්න කියවෙන්නෙ නෑ. හාල් වලට කියන්නේ "ආල්", හඳේ හාවට කියන්නෙ "අඳේ ආවා" කියල. සමහර විට ඒ කියපු විලාසෙට වෙන්නත් ඇති බොක්කටම වැදුනේ...

එකොමත් එක රටක, එකෝමත් එක කාළෙක, එකෝමත් එක කැලේක ඉටියලු ආවෙකුයි වලාකුයි. මුන් දෙන්න එකාට එකා කොයි වෙලාවෙත් බලන්නේ අනෙක් එකාට ගේමක් දෙන්නෙ කොයි වෙලාවෙද කියලලු, ඕං ඉතිං දෙන්න එක්ක විලක් ළඟ මළක් ඒම ගාලා ආතල් එකේ සැපක් ගන්න වෙලාවක, එක පාරටම විලෙන් මතු උනාලු රත්තරං ගෙම්බෙක්..

ආවයි වලායි පුල් ඔල්මංලු.. මොකෝ මෙච්චර කාළෙකට එච්චර ලස්සන ගෙම්බෙක් දෙන්නම දැකල නැතිලු

"උඹ කවුද ඩෝ...?" වලා තමන්ගෙ සුපුරුදු මීරී වොයිෂ් එකෙන් ගෙම්බගෙන් ඈව්වලු.....

"මම තමයි ඩෝ තිදෙව් ලෝකෙම අයිති ශක්‍ර දේවේන්ද්‍ර ඇයි මොකද වලිද..?" කියල ගෙම්බ දුන්නලු රිප්ලයි එක..

"ශක්‍ර දේවේන්ද්‍ර...?  ඒ මොකෙක්ද ඒ..? ශශී ව්ජේන්ද්‍ර කියල පොරක් ගැනනං අපි ආලා තියෙනව නියම ඇක්ටිං... නැද්ද මචං...? " කියල වලා ආවත් චැට් එකට එකතු කර ගත්තලු...

"දන්නෙ නැත්තං ඒ විදියට ඉටාං.. මෙයා තමයි අපි ඔක්කොගෙම ලොක්ක.. ඒම නේද බොශ්...?"  කියල ආවා දුන්නලු පොර ටෝක් එකක්..

"ඔව්.. ඔව්.. ඒම තමා, උඹේ ගඳ වගේම කටත් වැඩියි..  පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉටාන් ඔදෙයි..". ඒ ගෙම්බ..

"ෂොරිම වෙන්න ඕන ලොක්ක.. මොනාද අපෙන් වෙන්න ඕන....?". කියල අම්බානක බය වෙච්චි වලා ගෙම්බගෙන් ඇහුවලු..

"තොපිලගෙන් මං මොනව ගන්නද යකෝ...?  මම ආවේ මම ඇම එකාටම දෙන විෂ් තුන උඹල දෙන්නටත් දෙන්න.." ඒ ගෙම්බ..

අම්මටම සිරි කොඑන් කඩාගෙන පාත්වුන චාන්ස් එකක්ද යකෝ මේ කියල ආවටයි වලාටයි දෙන්නටම මාර ආතල්ලු.

"ආ උඹ ඉල්ලපංකො ඉස්සෙල්ලම,... කෝමත් ලොකු එකාට ඉස්සෙල්ල චාන්ස් එක දෙන්න එපැයි..." කියල ගෙම්බ කිව්වලු...

වලා කොයි එකාගෙත් ඉතේ තීන විෂ් එක ඉල්ලුවලු..

"ලොක්ක.... මේ කැලෙ ඉන්න එකම වලා මම වේවා...!!!. කිව්ව විතරයිලු ඒ කැලේ ඉටපු ඔක්කොම වලස්සු, වැලඉන්නියෝ බවට පත් වුනාලු...

"උඹත් ඉල්ලපං ආවෝ පළවෙනි විෂ් එක..." කියපු ගමන් ආව ඉල්ලුවලු "ලොක්ක.... මට දෙන්න ඔඳ ක්‍රෑෂ් එල්මට් එකක් ..." කියල.. ගෙම්බයි වලායි ටිකක් අප්සට් ගියාලු ආවගෙ විෂ් එකට.."

"දැන් උඹ ඉල්ලාන්  උඹගෙ දෙවෙනි විෂ් එක...."

"ලොක්ක.... එආ කැලේටත් ඉන්න එකම වලා මම වේවා...!!!"  කිවව විතරලු එආ කැලේ උන්නු වලස්සු සෙරමත් වැලඉන්නියො උනාලු..

"මට දෙන්න ලොක්ක ඔඳ යමා රේල් බයික් එකක්" ආව එයාගේ දෙවනි විෂ් එක ඉල්ලුව විතරයිලු අන් රෙජිස්ටඩ් බ්‍රෑන්ඩ් නිව් පුටුං බුම් එකක් එතනලු...

ගෙම්බයි වලායි පුල් චාටර්ලු.. ඔල්මන්ද බේරේ පොල්කොලම වෙලා ගියාලු..

"ඇම කැලේටම ඉන්න එකම වලා මම වේවා....!!!"  කියල වලා තුන්වෙනි ඉල්ලීමත් ඉල්ලුව විතරයිලු, මුලු ලෝකෙටම එකම වලා අපේ වලා උනාලු...

වලාට ෆුල් ඇපිලු.. මැක්සලු.. පුල් ත්‍රිල් එකේ හාවට මේම කියනවලු..

"දැන් ඉතිං ඉල්ලාන් තොගෙ ඉතුරු විෂ් එකත්.... ගොන් ආවෝ....."

"මගේ ලාස්ට් විෂ් එක තමයි ලොක්ක.... මේ ලොකේ ඉන්න එකම වලා ගේ (Gay) පොරක් වේවා.....!!!"

කියල එල්මට් එකත් දාං ඉටපු ආවා අන් රෙජිස්ටඩ් බ්‍රෑන්ඩ් නිව් පුටුං බුං එකේ නැගල එකසිය ගානට පෑගුවලු....

සැ: යු: කොහේ හෝ "හ" තිබුනොත් සමාවන සේක්වා...!!!

May 22, 2011

වි.වි. හුට පටේ ඡන්ද ප්‍රථිපල - A new pro-gramme for University Students


මගේ මත විමසුමට අනුව 50% කගෙ අදහස වූයේ මෙය පිස්සු වැඩක් බවයි. 35% කගේ අදහස නම් මෙය හොඳ වැඩක් බවයි. 5% අනේ මන්දා කියූ අතර, ඉතිරි කොටසට වෙනත් අදහසක් ඇත. මා මෙතනදි ඒ වෙනත් අදහසක් ඇතයි කියූ අය, ඔවුන්ගේ අදහස් මෙම ලිපියෙහි කොමෙන්ටු ලෙස පලකරනු ඇතයි උදක්ම බලාපොරොත්තු වෙමි.

පුවත් පත් තුල පලවූ ලිපි මගින්, රූපවාහිනි සංවාද මගින් හා විවිධ අයගෙන් මේ සඳහා එල්ලවූයේ බලවත් විරෝධයකි. මේ පිළිබඳව මධ්‍යස්ත අදහස් පලවූයේ නම් ඒ ඉතා අතලොස්සකි. සුපුරුදු පරිදි වන්දිබට්ට මාධ්‍ය කාරයන් හා මාධ්‍ය මගින් මෙයට පක්ෂව කඩේ යාම කිසිම අඩුවක් නැතුවම කරනා අයුරු කාටත් දැක ගන්නට ලැබිනි.

මෙයට විරුද්ධ වීමට ප්‍රධාන කාරනය වූයේ, රජය මගින් මෙය ඉදිරිපත් කළ ආකාරයයි. විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමති දූරය සඳහා අප බලාපොරොතු වනුයේ උගත් ඉතා නිවුනු මහත්මා ගති ගුන ඇති පුද්ගලයෙකි. එහෙත් ළැබී ඇත්තෙ උපාධීධාරී චන්ඩියෙකි. මෙය කාළයක් තිස්සේ වි.වි. සිසුන් හා ආචාර්යවරුන් තරම් උගතුන් පිරිසක් චන්ඩීන් පිරිසක් නැතැයි සිතු ප්‍රජාවකට ලැබුනු කනේ පහරකි. මගේ ජීවිත අත්දැකීම් අනුව මේ දෙපිරිසම රඟපානුයේ ඇමතිතුමාගේ චරිතයයි, නැතිනම් එයින් එක කොටසකි. පාළකයන් බිහිවන්නේ ජනතා සිතුම් පැතුම් අනුවයි යන්න මෙහිදි සැබෑවූ පරම සත්‍යයයි.

මෙහිදී බොහෝ පිරිස් පැවසූ කාර්යය වූයේ "යර්ස් සර්" සංස්කෘතියක් මෙයින් බිහිවන බවයි. ඔවුන්ගෙන් මට ඇසීමට ඇති ප්‍රශ්නයනම් වර්තමානයේ පවතිනුයේ එයම නොවෙද යන්නයි. නවක වදයනම් දස වදයක්දී එමගින් මොළය ශුද්ධ පවිත්‍ර කොට ළොවෙන් ප්‍රතික්ෂේප කරන ලද වමක් වෙත ගෙන යාම "යර්ස් සර්" ම නොවෙද?. එම පුහුණුව මගින් ප්‍රශ්න කිරීම සම්පූර්ණයෙන් නවතා දමන බව තවත් මතයකි. මෙයට විරුද්ධව නඩු මගට පවා ගොස් ඇති පක්ෂයේ ප්‍රශ්න කිරීම් වලට ඉඩක් තිබේද? යටත් විජිත කාළයේ සිට පැවතේන දේශනා කටපාඩමෙන් වමාරන ආචාර්ය මහාචාර්ය වරුන්ගෙන් ප්‍රෂ්න කිරීමක් කළ හැකිද?

මෙහිදි මෙම වැඩ සටහන් මෙහෙවනුයේ කවුරුන්ද? ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම කුමක්ද යන්න තවත් ප්‍රශ්නයකි. මගේ නම් අදහස වනුයේ මහාචාර්ය රත්නපාල කළා මෙන් හිඟන්නාගෙන්ද යම් කිසි දෙයක්  (යම් අධ්‍යාපනයක්) ලබා ගත හැකි බවයි. මෙවැනි වැඩසටහනක් නොම්ළේම ලබා දීම අප ඉතා අගය කළ යුතුය, මන්ද මෙවැනි වැඩසටහන් මෙහෙය වන අයගේ අයකිරීම් ගැන මෙවන් වැඩ සටහන් සංවිධානය කළ පුද්ගලයකු වශයෙන්, විශාල අවබෝධයක් ඇත. ඒ නැතත් සති අග පුවත් පත් මගින් ඔබට වුව ඒ ගැන අවබෝධයක් ලබා ගත හැක.

සුලු සුලු අඩුපාඩුකම් තිබුනද මගේ අදහස මෙය ඉතා හොඳ වැඩසටහනක් බවයි. රැකියා විරහිත උපාධීධාරීන්ගේ ගැටලුවට ප්‍රධාන හේතුවක් වනයේ රැකියා බහුල පෞද්ගලික ආයතන වල සම්මුඛ පරික්ෂන සඳහා ඔවුන් දක්වන බියයි. යම් කිසි ලෙසකින් ඔවුන් තොරාගත්තද ඔවුන් තුල ඇති සබකෝලය හා හීනමානය ඔවුන්ගේ ඉදිරි ගමනට විශාල බාධාවකි. සමාජයේ විශේෂිත පුද්ගලයන් වන ඔවුන් කිසිසේත්ම එසේ විය යුතු නැත.

පවතින තත්වය අනුව මගේ මතය මෙය වූවද. විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙන් මා බලාපොරොත්තු වනුයේ. කිසිවකුටත් "යර්ස් සර්" නොකියන, තම බුද්ධියෙන් කල්පනා කොට අළුත් අළුත් මති මතාන්තර, නිශ්පාදන, තර්ක විතර්ක, ව්‍යාපාර, නිර්මාණ බිහිකළ හැකි නිර්මාණශීලි යහපත් බුද්ධිමත් ලංකිකයෙකි....... 

May 20, 2011

ඇදගෙන නෑම - How to take a Good Bath


නෑම යහපත් ශරීර සෞඛ්‍ය සඳහා අත්‍යාවශ්‍යම දෙයක්. හැබැයි අපේ රටේ හැමතැනම වගේ වතුර තිබුනත්, හතර වටේම මුහුද තිබුනත්, නාන්න ටිකක් විතර කම්මැලි ජාතියක් විදියට තමයි සලකන්නේ. මේ නාන්න කම්මැලිකම නිසාම තමයි ගොඩක් අයට පීනන්නත් බැරි. නාන නොනාන අය දැනගන්න එක හරිම ලේසියි බස් එකක දුම්රියක යනකොට. නාන පිරිමි අය කෙසේ වෙතත් කාන්තා පක්ෂයෙන් නම් හරිම නැවුම් සුවඳක් වහනය වෙනව. දැන් නම් ෂැම්පු ජාති එහෙම දාලා පුසුඹේ ඉන්නට බැරුවා. අර මම කියපු නැවුම් සුවඳ තවමත් තියෙනව ලයිෆ්බෝයි වලින් නෑවම.

අදනම් වතුර නැතුවත් නාන ඇත්තො ඕනතරම්, ඒ විතරක් නෙමෙයි ඇදගෙන නාන අය.. මගෙ අප්පේ වැහි වැහැල. මේ මැතකදි රෝහිත උප ඇමති තුමත් ඇදගෙනම නා ගත්තේ හම්බන්තොට වරායේ ගලක් නැතෙයි කියල. නාන එක මංගල්ලයක් විදියට තමයි ග්‍රීක ශිෂ්ඨාචාරයේ පටන් රජවරු බිසෝවරු සලකල තියෙන්නේ. එයාලනම් ඖෂධීය ගුන අඩංගු විවිධ සුවඳ වර්ග වලින් යුතු ජලයෙනුයි ස්නානය කොරල තියෙන්නෙ. ඒ රාජකිය බව අදනම් බොහෝ තැනවල අත්විඳගන්න පුලුවන්. එපමනක් නොවෙයි එයාලව නාවන්න එයාලත් එක්ක නාන්න වෙනම සේවකයො ඉඳල තියෙනව.

යහමින් මුදල් තියේනම් ලංකාවෙත් එහෙම නාවන තැන් තියෙනව. එවන් එක් ස්තානයකින් ඒ සුවය විඳපු මගෙ යලුවෙක් කීවේ, "මචං අපෙ අම්මවත් ඒ තරම් ආදරෙන් අපිව නාවල නැතුව ඇති බං" කියල. (වැඩිපුර විස්තර පෞද්ගලික තැපල් මගින් පමණක් බව කරුනාවෙන් සළකන්න.). අම්මප දවසකටවත් රජෙක් වෙන්න ඇත්නම් කියල හිතෙනව ඒ වෙලාවට. තව ටිකෙන් අමතක වෙනව ඔය රජවරු, බිසෝවරු, එතකොට පූජ්‍ය පක්ෂය නාන්නෙ නෑ නොවැ. එයාලා කොරන්නෙ ස්නානය. එතකොට ඇදගෙන නානවට කියන්නෙ, උන්වහන්සෙ වඩම්මගෙන ස්නානය කරනව කියලද දන්නෙ නෑ.

වැඩේ නිකං වටේ යනව වගේ පේන්නේ වැල් වටාරම් වැඩියි වගේ. මේ ලිපිය ලියන්න හිතුනෙ සුප්‍රසිද්ධ පබිලිස් සීයා පිටකොටුවෙ නාන ළිං වලින් නෑවයි කියපු කතාව දැකල. ඒවල තියෙන්නෙ ටැංකිවලට වතුර පුරවල, හොඳ පිරිසිඳු ඇලුමිනියම් බාල්දියකුත් තියෙනව. ඉස්සරනම් මේ ටැංකිවලට වතුර පුරවල තියෙන්නෙ බාල්දිවලින් ඇදල, දැන්නම් හැම තැනම වගේ මෝටර් හයි කොරලයි තියෙන්නෙ. රෙදි සෝදගන්න වෙනම තැන් තියෙනව, මේ නාන ළිං ගාව පොඩි කඩවල්වලින් ලයිෆ්බෝයි භාගෙ උනත් ගන්න පුලුවන්, ඒ වගෙම පොඩි ලොන්ඩරියක් එහෙමත් තියෙනව අඟුරු ඉස්තිරික්කෙ පාවිච්චි කොරන. කමිසයක් මැදල දෙන්න රු. 20 යි. මුලු දවසෙම මහන්සි වුනු කම්කරුවෝ ඇදපු වතුර නාලා මැදපු කමිස ඇඳන් කුමාරයො වගේ යනව පොඩි ආතල් එකක් ගන්න, මේ පිරිස අතරෙ ගල් පාවිච්චි කරන අය වගේම බියර් බොන විශාල පිරිසකුත් ඉන්නවා. (G.L. පීරීස් මැති තුමාට ඔවුන්ගේ ආචාරය.)

මගේ අදහස නම් ඒක තමයි නියම නෑම කියල ඒ කියන්නෙ ඇදගෙන නෑම. අද හතර වටෙන් චූ කරන ඒව සවි කොරපු ෂවර් තිබුනත් බාල්දියක් පුරවල වතුර එකක් ඇඟට දාගන්නව වගේ සනීපයක් මටනම් තවත් නෑ. ඒක අපි පුරුදු උන විදිය වෙන්න ඇති. ඉස්සර හැම ගෙදරකම වගේ ළිඳක් තිබුන. රවුමක හැඩයෙ ළිං තමයි බොහෝ තැනවල දකින්න තිබුනේ. රවුම් හැඩේ බැම්ම, සාමාන්‍යයෙන් වැඩුන කෙනෙක්ගේ ඉන හරියට විතර එන්න බැඳල ඉන් පස්සෙ දෙපැත්තෙන් පොඩි කණු දෙකක් යනව, මේ කණු දෙක අතරෙ යකඩයක් දාලා ඒකේ මැද්දෙ තමයි බොලොක්කෙ තියෙන්නේ. (විද්‍යාව පාඩමට ලිවර ගැන උගන්වන කොට සරළම උදාහරණය තමයි ඔය බොලොක්කේ.)

ලීවරය මැද්දෙන් කඹයක් දාලා කඹේ කෙලවරක පනිට්ටුව ගැට ගහල තියෙනව, ඇදගෙන නාන්න තමයි තියෙන්නේ, අපේ ළිඳට නම් ඔය බොලොක්කෙ තිබුනෙත් නෑ, කෙලින්ම පනිට්ටුව ළිඳට දාල ඇදගන්නයි තිබුනෙ. මොකද වෙලක් ලඟ නිසා වතුර ළඟමයි තිබුනේ. ඒ වගේම වෙලෙත් තිබුන ළිදක් එතන ගොඩක් වෙලාවට නාන්නේ කාන්තා පක්ෂය, ඒකට තමයි ළිඳ ලග සංගමය කියන්නේ. එකනම් බැඳල නැහැ ළිදේ කෙලවරකට වෙන්න හරහට කිතුල් කොට දාලා ඒව උඩට නැගල තමයි වතුර අරගෙන නාන්නේ. නාන කොට තව ඇදගෙන නාන වැඩක් තමයි, බාල්දිය ළිදේ වැටෙන එක. කෙක්කක් එහෙම හොයගෙන කඹේ පටලවල පනිට්ටුව ගොඩගන්න එකා හීරෝ.

යාපනේ පැත්තෙ තියෙනව ආඬි ළිං කිලල ළිං විශේෂයකුත් ගොඩක් වෙලාවට මේව යොදාගන්නෙ වගා බිම්වලට වතුර දාන්න. ඒකත් හරිම ලස්සන වැඩේ, අර අපේ ළිදේ කණු දෙක වගේ ලොකු ලී කණු දෙකක් දෙපැත්තෙ හිටවල මැදටත් ලීයක් දාල පනිට්ටුව එල්ලල තියෙන්නෙත් දිග ලීයක. තව ළිං ජාතියක් තමයි නළ ළිං, බයිසිකලේට හුලං ගහනව වගේ ලිවර් එක ගහන්නයි තියෙන්න. මෙන්න යකෝ වතුර එනව ගොජ ගොජ ගාල...

අපි පොඩි කාළේ වෙල පිරුනම වෙළේ පැනල නාන්නෙ. ඊට පස්සෙ කැළණි ගඟේ ඔරු යනව එහෙම බලාගෙන ගඟේ නෑව, උණ වයසෙදි නෑවේ U.K. වල, පස්සෙ කිං රෝස්, ගල්කිස්සෙ එහෙම ගියා, ගෙදර නෑවේ කොච්චර ෂවර් තිබුනත් බාල්දියෙන්ම තමයි, විශේෂයෙන් රාත්‍රියට අමු නිර්වස්තරෙන්.. මම රට ගිහින් හිටපු කාළෙත් ටබ් එකට වතුර පුරවගෙන සෑහෙන වෙලාවක් ඒකේ බැහල ඉඳල, බාල්දියෙන් තමයි අන්තීමට නාන්නේ. (බලු නැට්ට උණ පුරුකෙ දැම්මත් දිග අරින්න බැහැ නොවැ....)



මතු සම්බන්ධයි.......

නවීන ක්‍රමයට නිවැරදි ආකාරයට නාන අයුරු මෙතැනින් බලාගන්න.. මට මේකේ ආසම කෑල්ල තමයි දොර වහලද කියල ෂුවර් කර ගන්න කියන කෑල්ල. උන්ටත් ලැජ්ජාව තවම තියෙනව බං.....

http://www.wikihow.com/Take-a-Bath

May 19, 2011

සයිබර් මිතුදමක නික්මයාම - Good Bye My Cyber Friend




කතා බස් කොට නොමැත කිසි දිනක මුන ගැසී
ඇතිවීය මිතුදමක් නව ලොවක තෙද බලෙන්
නික්ම යා යුතුය ඔබ කැඳවීම ළද හෙයින්
නමුදු නොමැකේ දිලුම්, "ඉලංදාරිය" හදවතින්

ඔබ පැතු ළොව ඔබට ලැබේවා....!!!!


May 16, 2011

අනේ බුදු හිමියනේ...... - Vesak Celebration


අනේ හිමි සඳුනේ..
සිටියානම් අද දිනේ...
බබළන අයුරු සාසනේ..
නිවී සැනසෙද කෙසේ නිවනේ..

පීකර් වලින් පමණක් නොවේ
සියලු වාහිනි මෙපින් පොලොවේ
දෙසති ධර්මය හතර වරුවේ
ගිලන්වූ සිත් එයින් සුවවේ

බලෙන් දක්කති එකෙක් පන්සල්
තටිටෙ බූ ගා ගනී දස සිල්
නැගෙති රට වට බොහෝ පන්සල්
කොල්ලො බලයෙන් කවති දන්සල්

තැන තැන අහස් කුස සිඹිනා තොරන්ය
තද බද වෙවි සිරි නරඹන ලියන්ය
ඉඳ හිට ගැට කපන පව් කාරයන්ය
පොඩි ෂොට් එකක් දා ගත් පින්වතුන්ය

පිදුමට මල් නොමැත එළවළු වවන්නේ
හඳට බයයි ඒ ගැන නෑ ලියන්නේ
ලෝන් ගසාලයි කූඩූව තනන්නේ
අහිතක් නොමැත බුදු හිමියනි කමන්නේ


ඔබ සැමට සිරි සුභ වෙසක් මංගල්ලයක් වේවා....!!!!!

May 14, 2011

රාවයට 25 යි. අයිවන් පහළ බාලාංශයට ගොස් මැක්කා ගැනම ලියයි - 25 years of experience with RAVAYA


වසර 25 තිස්සේ විවිධ බාධක කම් කටොලු මැද පුවත්පතකක් පවත්වාගෙන යාම ලෙහෙසි පහසු කාරනයක් නොවේ. රාවය සති අග ජාතික පුවත් පතක් නොවේ. එයට ආණ්ඩු වෙනස් වීම් වලදි රජයේ දැන්වීම් ලැබුනද, ඒවා ඉතා සීමිත කාළ රාමුවකට කොටුවිය. අදටත් රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ දැන්වීම් ලැබෙනුයේ ඉතා මද වශයෙනි.පුවත්පතට අනුවද එය පවත්වාගෙන යනු ලබන්නේ, අදටත් රාවයට ආදරය කරණ පාඨක පිරිස හේතුවෙනි. රාවය උපත ලැබුවේ සඟරාවක් වශයෙනි. පළමු සඟරාවේ පටන් අද දක්වා (විදේශ ගතව සිටියද.) එයට ඇබ්බැහිවූවකු ලෙස අදත් මම එය මිලදීගනිමි. භීෂණ සමයන්හි රාවයට මෙන්ම වික්ටර් අයිවන්ටද, විකල්ප පුවත් පත්වල පාඨකයන් වූ අපටද නොයෙක් කරදරවලට මෙන්ම ජීවිත තර්ජන වලටද, මැරකම්වලටද මුහුණ දීමට සිඳුවූවද. රාවය මරා දැමීමට ඒ කිසිවකුටත් නොහැකි විය.  

රාවයටම වෙන්වූ වෙනම පාඨක සමජයක් වෙයි. මගේ අදහස අනුව ඔවුන් බොහෝ විට මධ්‍යස්ත මතධාරින් වෙයි. අධ්‍යාපන තත්වය, ආර්ථික තත්වය, සමාජ තත්වය කුමක් වූවද ඔවුන් වෙනම සමාජ කුලයක් ලෙස හැඳින්වීමෙයි වරදක් නැත. කෙටියෙන් සඳහන් කළහොත් ඔවුන් සාධාරණ සමාජයක්, නීතීගරුක සමාජයක්, සාමකාමී සමාජයක් ප්‍රාර්ථනා කරන ශ්‍රි ලාංකිකයෝ වෙති.

රාවය විකල්ප පුවත් පතකි, අතීතයේ සිට පෙනී සිටියෙ ගැලරිය සතුටට පත්කරමින් ජනප්‍රිය දේ ඉදිරිපත් කිරීමට නොව එයට සම්පූර්ණයෙන්ම විරුද්ධවූ තිත්ත සත්‍ය ගවේශනාත්මකව, මධ්‍යස්තව ඉදිරිපත් කිරීමටයි. විශේෂයෙන් උතුරේ පැවති ත්‍රස්දවාදය (මේ මගේ දැක්මයි.) පිළිබඳව ද්‍රවිඩ ජන සමාජයේ අදහස් පළකිරීමක් පලවූ එකම පුවත් පත රාවයයි. අදටත් ද්‍රවිඩ ජනතාව විඳින්නාවූ පීඩනය සිංහල පාඨකයාට ලබා දෙන්නේ රාවය පමනි. එය ඉතා අගය කළ යුතු කරුනකි. යුධ ජයග්‍රහණය, ඉන් පසු ඇතිවූ තත්වය, බෑන් කී මූන් ප්‍රශ්නය, ක්‍රීඩාව, ආර්ථිකය, විදේශ විත්ති විචාර, කළාව යන යන කුමන කරුණක් ගැන වුවද සමබර තොරතුරු අදටත් විචාරාත්මකව ඉදිරිපත් කරනේ ඔවුන් පමණි. උසස් රස වින්දනයක් සහිත යහපත් පුරවැසිකයකු ලෙස ජීවත් වීමට රාවය සෑහෙන දුරට ඉවහල් වූ බව සඳහන් කළ යුතුමය. විශේෂයෙන් ළොව උසස් කළා කෘති පිළිබඳව අදටත් අප දැනුවත් කරනුයේ ඔවුන්මය.

මහින්ද මහතා බලයට පත්වන තුරුම රාවය කතුවර වික්ටර් අයිවන් මහතාගේ මත පිළිබඳව සුලු සුලු මත බේදාත්මක කරුණු තිබුනද සෑහෙන දුරකට එකඟ විය හැකි තත්වයක් තිබිනි. මන්ද රාවය මැද පිටුවෙන්, ලංකාවේ ඉහළම පුරවැසියාගේ පටන් මැති ඇමතිවරු, රාජ්‍ය නිළධාරීන්, අග විනිසුරු ඇතුලු විනිසුරුවන්, තානාපතීවරුන්ගේ සිට වංචාකාරී ව්‍යාපරකයින්, ක්‍රීඩකයින්, පැවිද්දන්, ආයතන යන එකි මෙකී සියල්ලන්ම කළ වැරදි. අකටයුතුකම් ගවේශ්නාත්මකව හෙලිදරව් කළ බැවිනි

සැබවින්ම වංචාකාරී පුද්ගලයින් සහ ආයතන රාවයට දැඩ් බියක් දැක්වීය. එමහින් ලබාගත් සිවිල් බලය හේතුවෙන් ආන්ඩු පෙරලීමට පවා අත්‍යාවශ්‍ය පුද්ගලයකුගේ තත්වයක් හා සිවිල් සමාජයේ ගෞරවය දිනාගත් පුද්ගලයකු වන්නට ඔහුට හැකි විය. සත්‍ය වශයෙන්ම ඔහු අපගේ වීරයෙක් විය. එහෙත් මහින්ද මහතා බලයට පත්වීමෙන් පසු ඔහුගේ මෙම අනගි මෙහෙවර නිමාවට පත්වී ඇත. දැන් ඔහුගේ කතුවැකිය හා මැද පිටුව කියවීමට අවශ්‍ය වන්නෙ නැත. මන්ද යුද්ධය දිනා ගත් දවසේ පටන් ඔහු ලියන්නේ එකම දෙයක් බැවිනි. 

එනම් මැක්කාගේ කතාවයි. මහින්ද මහතා ශක්තිමත්ම් ජනාධිපති බවත් ඔහු ඔප දමා ගත යුතු බවත් ජාත්‍යන්තරය බුද්ධිමත්ව හසුරුවා ගත යුතු බවත් සුභ අනාගතය උදාවන බවත් එතෙක් ජනතාව ඉවසා සිටිය යුතු බවත් පමනි. 18 වන ව්‍යවස්ථාව සම්මත කර ගත් විටත් එහි වරද ජූනියස් රිචඩ්ටම පවරා නැවතත් මැක්කාගේ කතාව ලිවීම පටන්ගනී. සරත් නන්ද සිල්වාට එලව එලවා ප්‍රහාර එල්ලකල වික්ටර් නිහාල් සිල්වාගේ කිසිම වරදක් නොදකී. (මෙය වික්ටර් අයිවන් මහතාට පමණක් වැළදුනු රෝගයක් නොවේ. තවත් පත්තර කාරයන්ටත්, ජනතාවාදීයයි කියු කළාකරුවන්ටත්. වමේ පචෝරිස් නායකයන්ටත් ඇතුලුව බොහෝ දෙනෙකුට වැළඳි ඇති රෝගයකි. මේ පිළිබඳව වෙනම ලිපියක් ලියන්නට බලාපොරොත්තු වෙමි.)

සමාවන්න ඔබව විවේචනයට භාජනය කිරිමට මා මොකෙක්දැයි ඔබට සිතෙනු ඇත. නමුත් ජනතාව ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මැක්කාගේ කතාව නොවේ. පෙර මෙන් හොරුන්, වංචා කරුවන්, දූෂිත දෙශපාලුවන්, නිළධාරීන්, ව්‍යාපාරකයින්, දේවගැතියන්, පූජයකින් සමාජයට හෙලි කරන, ඔවුන්හේ සිල්වත් සළුපිළි ගලව නිරුවත් කරන, ගවෙශනාත්මක, නිර්භීත, සත්‍යවාදී පත්තර කරුවායි.(මන්ද ජනාධිපති තුමා කොතරම් ජනප්‍රිය වූවත් ඔහුගේ අඩුපාඩු ඔහුට් පෙන්වා දෙන පිරිසක් ඔහුගේම යහපත සඳහා අවශ්‍ය වන්නේය.)

එතුමා වෙනස් වූවද, ගාමිනි වියන්ගොඩ, ජනරංජන, විමලනාත් වීරරත්න, තිසරනී ගුනසේකර, කුසල් පෙරේරා, නුවන් උදය වික්‍රමසිංහ, ප්‍රභාෂ්වර, මිණිසර, ටිරන් කුමාර බංගගමආරච්චි,රොහාන් සමරජීව, තිවංක, එලික් ඉලයප්ආරච්චි වැනි පිරිස අදටත් එම යුගමෙහෙවරෙයි යෙදෙනා බව ඔවුන්ට උපහාරයක් පිණිස ලියා දැන්විය යුතුමය. එමෙන්ම මකරන්ද කවි පිටුව හා අලුතෙන් එක්කල රැඩිකල් 18 පිටුවද අගය කළ යුතුමය. 

එබැවින් 25 වසරක් තිස්සේ අලුතෙන් යමක් සිතන්නට පඨකයින් පෙළබවූ ඔබ මැක්කාගේ කතාව ලිවීම නවතා. සාමාන්‍ය ජනතාව බලාපොරොතුවන පුවත් ඉදිරිපත් කිරීමට සිත යොමු කරනු ඇත යන්න අපගේ බලාපොරොත්තුවයි. ඔබට සහ රාවයට ජය...!!!

May 10, 2011

ගුණසිරි බුල්ටෝ - Gunasiri Bulto


ගුණසිරිගේ බුල්ටො ගැන කාළයක් තිස්සෙ ලියන්න හිතාගෙන හිටියත් පොඩි බයක් තිබුන කවුරු හරි මේ ගැන ලියල ඇතිදෝ කියල. වෙක් කොරල බැලුවම මේකේ රසේ ගැන තිබුනට ලිපියක් ලියල නැතුව වගේ..

අපි පොඩිකාලේ ජනප්‍රියම කෑමක් තමයි බුල්ටො.. ඒව කවුරු නිෂ්පදනය කලත් පේටන්ට් එක තිබුනේ ගුණසිරිට. හරියට ජිනදාසගෙ තලගුලි, ගංඟා බීඩී වගේ. අපේ ගමේ ජනප්‍රිය ප්‍රොඩක්ට් එකක් තමා මාෂල්ගෙ ටාටා. ගුණසිරිගෙ බුල්ටො නැත්තටම නැතිවෙලා ගියත්, ජිනදාසගේ තලගුලි කාළයක් නැතුව තීල ආයෙත් ව්‍යාපරය නැගලම යනව. අඹේපුස්සෙ පැත්තෙ යනවනම් අරගෙන කාල බලන්න. ජිනදාස විතරක් නෙමේ එයාගේ මල්ලිගෙ ඒ කියන්නේ පියදාසගෙ තලගුලිත් තියෙනව.

බුල්ටො කියන වචනෙ තේරුම හැම තැනම හොයල බැලුව ඒත් පැනි රස දෙයකට නම් නෙමෙයි යෙදෙන්නේ. ස්පාඤ්ඤ භාෂාවෙන් ටැබූ තේරුමක් තමයි වචනෙට ලැබෙන්න. පින්තුරත් එහෙමමයි. සෑහෙන අමාරුවෙන් බුල්ටො වලට සමාන පින්තූරයක් හොයාගත්තෙ. (දැකල නැති අය ඕන තරම් ඇති.)

බුල්ටො එක ඔය පින්තූරේ යටින් තියෙන එකට සෑහෙන දුරට සමානයි. සිලින්ඩරාකාරයි. පාටනම් ඔය යට තියෙන ටොපියෙ පාටමයි. තෙල් කරදාසියේ තමයි ඔතල තිබුනෙ. ඉස්සරම තිබුනේ ශත 5 පොඩි ඒවා. පස්සෙ කාළෙක ශත 25 ලොකු ඒවත් ආවා. ඒ කාළේ (70 දශකයේ) ටොපි ජාති දාල තිබුනෙ ඔය පින්තූරේ තියෙන බෝතල් වගේ වීදුරු බෝතල් වල. බුල්ටො එකට අමතරව තව ජනප්‍රිය පැනි රස කෑම තමයි ඩෙල්ට ටොෆි, හැක්ස් ටොෆි, (හැක්ස් ටොෆි කර්මාන්ත ශාලාව තිබුනේ ග්‍රෑන්ඩ්පාස් සෙයිස්තාන් සිනමා ශාලාව ගාව, දැන් දෙකම නෑ.) සීනී මුරුක්කු, පොල් ටොපි, රුලං කේක් වගේ ඒව.

හැම දෙනාම කියනව වගේ බුල්ටො එක හරිම රසයි. චුවින් ගම් එක වගේ කනකොට. දත් වල ඇලෙනව එකසිය ගානට. ටික වෙලාවකින් දියවෙලා යනවා. පැනි රස එක්කම හොඳ කිරි රසකුත් තිබුන. බුල්ටො කනවට ගෙදරින් බනින නිසා කඩේ ගිහින් ගෙදර එන්න කළින් පාරෙදිම වග කියලයි එන්නෙ. ජේ. ආර්. මුත්ත ඇවිල්ල රට ස්වීට් ජාති ගෙනාවට පස්සෙ මේ වගේ කෑම නැත්තටම නැතිවෙලා ගියා.

බුල්ටො එක්කම බැඳුනු තවත් කතාවක් කෙටියෙන් කියන්නම්. ඒ කාළේ මේ වගේ හැම තැනම කඩ තිබුනේ නෑ. අපි වැඩිපුරම යන්නෙ ඉස්කෝලේ මහත්තයගේ කඩේට මොකද ඒකේ පොඩි පොඩි දේවල් උස්සන්න පුළුවන් නිසා. බුල්ටො වලට කොච්චර ආසද කියනවනම් දවසක් මායි මගේ මැන්ගො ෆ්‍රෙන්තයි බුල්ටො බොතලේ ඉස්සුව. කඩේ මිදුලෙන් පාරට එන්න උනේ නෑ. ඉස්කෝලේ මහත්තයගේ ලොකු පුතාට දෙන්නම මාට්ටු.

හැබයි ඔහේල හිතන දෙයක් සිද්ද උනේ නෑ. ඉස්කෝලෙ මහත්තය දෙන්නගෙම කන් හතර අංශක 180 ට කරකවල අවවාද කරල නිදහස් කලා. අපෙ දෙමව්පියන්ටවත් ඉන්ෆෝම් කලේ නෑ. (වැදගත් දෙමව්පියන්ගේ දරුවෙක් නිසා බේරුන වාර අනන්තයි අප්‍රමාණයි.) ළොකු මහත් උනයින් පස්සෙ ඉස්කෝලේ මහත්තයගේ මළ ගෙදර ගියපු වෙලාවේ මේ සිද්දිය මතක් වෙල පොඩි කඳුලකුත් ආව. රත්තරං මිනිස්සු ඇත්තටම......

May 9, 2011

වෙසක් කූඩූවට ගිය කල - Generation 4 - wesak lanterns

පොඩි මහත්තයට ඉස්කෝලෙන් වෙසක් එකට සැන්ටි මීටර 30 වෙසක් කූඩූවක් ගේන්න කියල. කරුණු කාරණා විස්තර කරල බැලුවහම අටපට්ටමක් තමයි ගේන්න කියල තියෙන්නේ. කාලා වරෙන්කො. ඒත් මට මතක් උනා වෙසක් කූඩූ හදපුව තියෙනව නේද කියල. එහෙම හොයාගෙන යන විටදි තමයි හම්බ උනේ අළුත් ජෙනරේසොන් එකේ වෙසක් කූඩූ.

වැඩේනම් හරිම ලේසියි. අටපට්ටම විතරයි හැබැයි මේ විදියට දැනට වෙළඳ පොලේ තියෙන්නෙ. එකක් රුපියල් 80 - 100 විතර වෙනව. ප්‍රමාන තුනකින් ගන්න පුළුවන්. ප්ලාස්ටික් වලින් හදල ලස්සන බෑග් එකක එහෙම දාල තියෙන්නෙ. බිල්ඩින් බ්ලොක්ස් හදනව වගේ ගෙදර ගෙනල්ල සෙට් කොර ගන්න එකයි තියෙන්නෙ. (උණ බම්බු ටික ඉතුරු කර ගන්නත් පුළුවන්.) හැබයි ඉතින් සවු කරදාසි අලවල රැලි දාලා හැඩ වැඩ කර ගන්න එක අපි කර ගන්න ඕන. ඒකේ අර රෙඩි මේඩ් එකක් ගේනවට වැඩියෙ ආතල් එකක් තියෙනව. පොඩි එකත් එක්ක එකතුවෙල ඒක අලවන කොට.

මේ ගැන ලියන්න හිතුනෙ අපි පොඩි කාලේ මොනතරම් වින්දනයක් ලැබුවද වෙසක් කුඩූ හදල. අලුත් අවුරුද්දෙන් පස්සෙ සෙට් වෙන්නෙ වෙසක් කූඩූ හදන වැඩේට. පොඩිම කාලේ තාත්තත් එක්ක එක්කාසු වෙල තම්යි වැඩේ ඉගෙන ගන්නේ. පස්සෙ කාලේ රැලට වැටුනම උන් එක්කයි වැඩේට සෙට් වෙන්නෙ. ඉස්සෙලම කොරන්න ඕන වැඩේ තමයි උන බම්බු හොයා ගන්න එක. උණ ගස් කපා ගන්නෙ හොරෙන්. (ඒව හරි රස කතා පස්සෙ දවසක කියන්නම්.) ඊට පස්සෙ තම තමන්ට අවශ්‍ය ප්‍රමාණය කචල් බචල් දාගන්නේ නැතුව බෙදාගන්නව.

කූඩූවට අවශ්‍ය ගානට බට පතුරු කපාගෙන සුද්ද කරල අව්වේ දාලා දවසක දෙකක් වේලගන්න ඕන. ඉන් පස්සෙ තමයි පවුලම එකතු වෙල කූඩූ බඳින එක, සව් කොල අලවන එක, මොස්තර දාන එක. රැලි කපන එක එහෙම කරන්නෙ, කූඩූව හැදුවට බට කපන්න ගිය යාලුවෙකුටවත් ඒක බලන්න ලැබෙන්නෙ නෑ වෙසක් දවසෙ හැන්දෑව වෙනකල්. අනිත් අයත් එහෙම තමා. ඒක එල්ලන්නත් ලොකු උණ බම්බුවක කෙලවරේ නූල් රෝදයක් දාලා (ඉස්සර නුල් බෝල එන්නෙ ලී වලින් කපපු ලස්සන ලීවර් එකක ඔතල ඒකෙන් පොඩි මැෂිමකුත් හදනව ඒ කාලේ.) ඒක අතරින් ලණුවක් හරි එහෙම නැත්නම් ට්වින් නූලක් එහෙම දාලා කොඩි ගහ වගේ කලින්ම සෙට් කරගෙන තියෙන්නේ.

එල්ලන වෙලාවට පවුලෙ අයයි අහල පහල අයයි ඔක්කොම එක්කහු වෙනව. අවුරුද්දට අළුත් ඇඳුම් ඇඳල එලියට යනවට වඩා සන්තෝෂයක් ඒ වෙලාවට විඳින්නෙ. මේ කූඩූවට විදුලි ආලෝකය තාත්තගෙන් ලැබෙන්නෙ එයා තම්යි අර බම්බුවේ කෙලවරට කූඩූව ඇතුලට වැටෙන විදියට බලුබ් එකක් දාන්නෙ. ඊළග ආතල්ම වෙලාව තමයි ලයිට් එක දාන වෙලාව. ඊට පස්සෙ කෙසෙල් කඳන් වල ගහපු පොල්තෙල් පහන් දල්වල, ඉටිපන්දම් බකට් ගස්වල එල්ලල. කට්ටිය එක්ක යනව අසල් වාසින්ගෙ කූඩූ බලන්න.

එදා ඉඳල අදටත් මම කැමති සුදු පාට අරුමෝසම් නැති පැටව් හතරක් ඉන්න සුදු චාම් අටපට්ටමට තමයි. වෙසක් කූඩූවක් කියන නියම අරුතෙ තියෙන්නෙ ඒකේ කියලයි මට හිතෙන්නෙ. වෙන එක එක ජාතියේ අළුත් නිර්මාණවල වෙසක් කූඩූ හැදුවත් අටපට්ටමක් හදනවමයි. ඒකේ පුදුම පිරුනු බවක්, චාම් බවක්, නිවිච්ච බවක්, අලංකාරයක්, අහිංසක බවක් සහ බෞද්ධ බවකුත් කැටි වෙල තියෙනවයි කියන එක තමයි මගේ අදහස. 

අලුත් ජෙනරේසොන් එකේ වෛවර්ණ අළුත් කූඩූ ජාති කොච්චර තිබුනත් අටපට්ටම (දඩිබිඩිස්ගෙ එක නෙමේ.) සදාකල් පවතින බවත්, නියම වෙසක් කූඩූව අටපට්ට්ටමම වේවා ....!!! කියන එකත් මගේ එකම වෙසක් ප්‍රාර්ථනයයි

May 8, 2011

බුද්ධ ජයන්තියට කරන්න පුලුවන් ලොකුම පින්කම... - Dear Sir, Please release General

1956 දී බුද්ධ ජයන්තිය සමරල ඉවරයි. ඒත් මේ වෙසක් උත්සවයටත් මහ ඉහලින් ජයන්තියක් සමරනව. ඒ සිද්ධාර්ථ කුමාරයා බුදු බව ලබල අවුරුදු 2600 වෙන එකට. ඉතින් රට පුරා උත්සව සමරනවා. රජය විශාල වශයෙන් එයට ප්‍රචාරයකුත් ලබා දෙනවා. අනිවාර්යයෙන් සිර කරුවොත් නිදහස් කරයි.

මහින්ද මහත්තයට අභියෝගයක් එල්ල කරන්න පුලුවන් නායකත්වයක් පෙනෙන තෙක් මානයකවත් නෑ. තාමත් ඔබතුමා සාමාන්‍ය ජනතාව අතර අති ජනප්‍රියයි. සියළුම ඡන්ද ජයග්‍රහණය කලේ ඔබ නිසයි. නැතුව 1994 ඉඳන් ඉන්න වැඩ බැරි ටාසන්ල නිසා නෙමෙයි. 2005 පස්සෙ කරපු දෙයක් කලේ රාජපක්ෂල තමයි. මමනං කැමතියි 1994 ඉඳන් ඉන්න සෙට් එකම ජේෂ්ඨ ඇමතිවරු කරනවනම්. අදටත් දීල තෙයෙන අමාත්‍යශවල මොනවද ඒ සෙට් එක කරල තියෙන්නෙ. හැම වැඩේම නාගෙන චොර කර ගත්තයින් පස්සෙ ඒව විසදන්නෙත් ලොක්කම තමයි. ඉතින් ලබන සැරේ කුට්ටම අනන කොට මගේ යෝජනව ගැනත් සලකල බලන්න.

තකහනියක්ම මෙහෙම ලියන්න හිතුනෙ. රටවැසියෙක් වශයෙන් ඔබ තුමාගෙන් එකම ඉල්ලීමක් කරන්නයි. එනම් ජෙනරාල් උන්නෑහේ නිදහස් කරන්නෙයි කියන එකයි. හැබයි කොන්දේසි සහිතව. මොකද උන්නැහේගේ කට හොඳ නෑ. යුද්ධ කරන්න දන්නව උනාට පොලිටික්ස් බෑ. අපරාදේ ඒ මනුස්සය හිරේ යවපු එකට වග කියන්න ඕන ජ.වි.පෙම් තමයි. නිදහස් කලත් මාධ්‍යවේදීන්ට ඔහුව හමුවෙන්න දෙන්න නරකයි. මොකද එතුමව ඒ තත්වෙට පත් කරන්න එයාලත් කටයුතු කළ නිසයි. (නමුත් නියම ප්‍රජාතන්ත්‍රවාදයනම් ලොක්ක ඕන කෙනෙකුට තම මතය ප්‍රකාෂ කරන්න දෙන එකයි.)

උන්නැහේ යුද්දෙදි කරපු සේවාව ගැන විවාදයක් නෑ. එවගේම ඔබත්, ගොඨා මහත්තයත් අනෙකුත් සේවාවනුත් කළ දේ ගැන කිසිම විවාදයක් නෑ. උන්නැහේ නිදහස් කිරීම තුලින් ඔබ වඩාත් ජනප්‍රියත්වට පත්වනවා මිසක් කිසිම කෙනෙක් ඒ ගැන දොසක් කියන එකක් නෑ. ඒ වගේම් දේශපාලනයේදී කිසිම අභියෝගක් වන්නෙත් නෑ. ඒ නිසා ඔබ තුමාට කරන්න පුළුවන් ලොකුම පින්කම තමයි එතුමව නිදහස් කරන එක.

ප: ලි:
නිදහස් කිරීම ප්‍රශ්නයක් නම් අඩුම වශයෙන් නිවාස අඩස්සියටවත් පත් කරන්න. එතකොට වාර්තාකාරයෝ හම්බ වෙන්නත් බෑනේ....

May 5, 2011

මෙන්න නියම අනාවැකි - Real Fortune Teller


මෙව්ව ගණ පිහිටවල තරු බලල නක්ශස්ත්‍ර සාත්තරේ අනුව කියපුව නෙමේ. මේ රටේ දේශපලනයේ දේවල් සිද්ධ වෙන ආකාරය බලල කියපුව. මේක මම ලිව්වේ අවුරුද්දකටත් කලින් (අනාවැකිය මෙතනින් කියවන්න.). කොහොමත් රටේ තොටේ සිඳුවීම් ගැන අනාවැකි කියන්න අමාරුයි කියල තමයි හොඳ වැඩ කාරයෙක් වෙන මගේ මාමන්ඩි මට කියල තියෙන්නෙ.

වමත් ඇතුලුව සියලුම පක්ෂ වල, නායකත්වයට ආපු එකෙක්, ඒක ලේසියෙන් වෙන කෙනෙකුට දෙන්නේ නෑ. මැරෙනකන් වෙන එකෙකුට ලැබෙන්නෙත් නෑ. එහෙම එකේ රනිල් ගොයිය එළවගන්න හැම එකාම දත කෑව. එතන තිබුනේ නායකත්ව ප්‍රශ්නයකට වඩා පන්ති ප්‍රශ්නයක්. නමුත් කොහොම හරි රනිල් ඉන්න එක ගැනනම් ඒ පන්තියට අයිති නැති උනත් මම පෞද්ගලිකව කැමතියි.

ඒ මොකද සජිත්ට අළුතෙන් කියල මර්කට් කරන්න කිසිම දෙයක් නෑ. එයා ගාව තියෙන්නෙ මහින්ද මහත්තයගෙ ප්‍රතිපත්තිමයි. ඒකට සජිත් ලොක්ක අවශ්‍ය නෑ. මහින්ද මහත්තය ඒක නියෙමට ගෙනියනව. අනික එයාට මහින්ද මහත්තය ගාවට කිට්ටු කරන්නත් බෑ.යන්නං වාලේ දෙකයි පනහෙ වැඩ කරල නායකයෙක් වෙන්න බැරි බව දැන්වත් ඉගෙන ගත්තොත් ලොකු දෙයක්. (වේදිකාවල ගීත ගායනා කිරීම වගේ). රනිල්ගෙනුයි මහින්දගෙනුයි බලලවත් නායකත්වය ගැන තව ඉගෙන ගත්තොත් හොඳයි.

ඒකෙන් මේකෙන් උනේ සජිත් වටේ හිටපු ටැලන්ට් කීපයකත් තටු කැපුන එක විතරයි. හැබයි මෝඩ චූන් වැඩ කරන (බාකිර් මාකර් හැර.) ඒ කස්ටියටත් මේක හොඳ පාඩමක්. කට්ට වේට්ට් පිත්තල කශ්ටිය රනිල් වටේ. අනිත් අයට දුන්න බැටේ.