පසුගිය කොටස
බොහෝ දෙනෙක් පියාගේ ගේ අසල කිරි පාට ලාන්සර් බොක්ස් එකක් පාන්දර කාළයේ පාක් කර තියෙනවා දැක්කත් එච්චර ගානක් ගත්තේ නැත්තේ ඒ වෙනකොට වරාගොඩ පාරේ කීප දෙනෙක්ම වාහන හිමියෝ බවට පත් වී උන්න නිසාය. එහෙත් දික්වැල්ලේ මුදලාලිගේ හා ටැක්සි ජිනයාගේ රහස් ඔත්තු සේවයට මේ කාර් එක විශේෂයක් උනේ දෙන්නාම නිශාචරයෝ හෙවත් රෑ වව්ල්ලු දෙන්නෙක් වූ නිසාය.
ජිනයා මුදලාලී හා සෙට් උනායින් පස්සේ නුවර පාරේ නවතා තබා එන ටැක්සිය ගේ ගාව පාරේ පාක් කරේ දෙසරයක් තුන් සෑරයක් රේස් කරලාය. ඒ.. පොර ගෙදර ආපු බව අසල්වාසින්ට මෙන්ම ජිනයාගේ නෝනාටත් සිග්නල් එකක් ලෙසය. සමහරක් කීවේ රෝහිණී ආවායින් පස්සේ මුගේ රේස් කිරිල්ල තවත් වැඩි උනා කියලාය. ජිනයා නම් කිව්වේ බැස්ටිය බහින නිසා ඕනෑම කාර් එකක් නවත්තන්න කලින් එහෙම රේස් කොරන්න ඔනෑ කියලාය. හැබයි ඒ කතාව බොරු උනේ, අර අද්භූත ලාන්සර් බොක්ස් එක ආවාද ගියාද කියා ජිනයාගේ ගෑණී පවා දික්වැල්ලේ මුදලාලි කියනකන් ඒ ගැන හාංකවිසියක් නොදැන උන් නිසාය.
ටික දවසක් යන කොට කිරි පාට ලාන්සර් බොක්ස් එකේ එන්නේ ශාන්ත ජෝන්ගේ වීදියේ කඩේ ප්රසිද්ධ මුදලාලි කෙනෙක් උන මාළු විල්මට් හෙවත් විල්මට් මුදලාලී බව සහසුද්දෙන්ම සියල්ලෝම දැන ගත්තේය.
ඒ තොරතුරු නිශ්චිතවම දැනගෙන තිබුනේත් දික්වැල්ල මුදලාලිගේ රහස් ඔත්තු සේවයේ සමාජිකාවක වූ මාගරට් නෝනාගෙන්ය. මාගරට් නෝනාගේ මහත්තයාත් කරේ පියාගේ රස්සාවමය. ඔහුත් පියා මෙන් මාළු වෙළෙන්දෙක් හෙවත් මාළු කාරයෙක්ම විය. ඔහුගේ කස්ටමර්ලා උන්නෙ වරාගොඩ එස්ටේට් එක හෙවත් වරාගොඩ වත්ත පැත්තේය.
මාගරට් නෝනාත් වැල්ලේ මාළු කෑල්ලක්ම වූ අතර. රෝහීණී තරම්ම නැති උනත් හොඳ කඳක් තිබූ මැදි වයසේ ළඳක් වුනත් ගමේ රස්තියාදුකාරයෝ එයාට කිට්ටු කරන්න නොගියේ කඳ හොඳ උනත් කට ඒ තරම් හොඳ නැති නිසාය. මාගරට් නෝනා දිනක් කඩේට ගොඩ වී වට පිට බලා හඬ අඩුවෙන් අහන්නේ ...
මුදලාලී දන්නවද.... පියාගේ ගෙදෙට්ට එන එකා මොකාද කියලා....?
මං කොහොමෙයි බං දන්නේ....?
ඇත්තටම මුදලාලී හොඳින් දන්නා දෙයකට උනත් දෙන්නේ ඔය පිළිතුරය... හේතුව සමහර විට දන්නවාට වඩා දෙයක් නිව්ස් එක ගේනා රිපෝටර්ගෙන් දැනගන්ට පුළුවන් වෙයි කියනා පවිත්ර චේතනාවෙන්ය.
මුදලාලිට කියන්න පියාට නම් පලදීලා තියෙන්නේ පෙර පිනක්...
ඒ මොකෝ ඔහේ එහෙම කියන්නේ.....?
ඇයි මුදලාලි ජිනයාවත් කිව්වේ නැද්ද....? ඒ යකාත් පිටකොටුවේ ඉන්න එකා නේ....? ඔය එන්නේ සල්ලි කඳක්....
නෑ....
නෑ නෙමේ ඔව්.... මාළු කඩේ විල්මට් මුදලාලී කිව්වාම ඕන කෙනෙක් දන්නවලු... මම හිතන්නේ මුදලාලිලගේ ගම් පලාතේ... ඕන් ඔය මොකක්ද වැල්ලක් තමා කිව්වේ... මට හරියට මතක නෑ.... බෝට්ටු හිටන් තියෙනවලු.... ඒක නෙමෙයි....
මොකෝ.... ඒ පාර එකපාරට උඹට මක්කා උනයි ඇඹරෙන්න ගත්තේ...
මුදලාලී හෙන කුකුළාලූ... රට වටේම ගෑණුත් ඉන්නවා කියන්නේ...
ඒක නම් ඇත්ත වෙන්න ඇති.....
ඒ මොකෝ මුදලාලි එහෙම කිව්වේ...?
නෑ ඉතින් ඔය යකා හැමදාම එන්නේ නෑ නේ.....
අනිත් දවස්වලට අනෙක් ගෑණූ ගාවට යනවා ඇති.....
දික්වැල්ලේ මුදලාලි විල්මට් මුදලාලිට "යකා" කියා කිව්වේ ඒ මිනිහා හා තිබෙනා ඉරිසියාව හා කෙන්තිය නිසා බව මාගරට්ට තේරුනේ නැතිය.
මක්කා කොලත් හොඳ මනුස්සයෙක් වෙන්න ඇති...
ගෑණූ රට වටේම ඉන්න එකා කොහොමද මුදලාලි හොඳ මනුස්සයෙක් වෙන්නේ..?
ඇයි මාගරටෝ පවුල් කීපයක වියහියදම් දරාගෙන... ඒ අයගේ දුක සැප බලනවා කියන්නේ කොයි තරම් පින් අතේ වැඩක්ය....
තවත් ටිකක් කඩි කෑවා සේ ඇඹරුන මාගරට්......
අනේ යන්න මුදලාලී.... කියා කිව්වේ කඩේ දොර ලෑල්ලක් හූරන ගමන්ය.
කඩේට එන ගෑණූ වැඩියෙන් ඇඹරෙන තරමට ණය පොත පිරී යන බව දන්නා මුදලාලී.... ඊළඟ ප්රශ්ණය දමා ගැසුවේ මාගරට් එක්ක හුරතල් වනවාට වඩා... රෝහිණි ගැන දැන ගන්නා එක ඊට වඩා වටිනා නිසාය...
එතකොට බං.... රෝහිණී ඉන්නේ පියා එක්ක නේ.....?
මුදලාලි දන්න තරම තමයි.... කව්ද කිව්වේ පියා එක්ක ඉන්නවය කියලා...? පියා නිදාගන්නේ එලියේ....
උඹ කොහොමෙයි දන්නේ.... ?
රෝහිණී නංගිමයි කිව්වේ....
එතකොට පියා....?
පියාට මොන ගෑණුද මුදලාලී... ඒ යකාගේ ගෑණිත් ඒ යකා දාලා ගියේ.... මේ යකා කසිප්පු බීලා ගොරව ගොරව නිදා ගන්න නිසා නේ...
ජිනයත් කිව්වා ඕකා රෑට ඉන්නේ එක්කෝ පිලිකන්නෙය එහෙම නැත්නම් ඉස්තෝප්පුවේය කියලා... උඹ ඔය කිව්වට උන්ට එච්චර වාසියක් නැතිව ඇති... ඔය රෝහිණි කඩේට ආවත් මක්කා හරි පොඩි දෙයක් තමයි ගන්නේ... හැබයි සල්ලි දීලා ගෙනියන්නේ.....
මුදලාලී ඒක කිව්වේ හිතා මතා නොවන බව තේරුනේ...
ඒ කතාවෙන් මාගරට්ගේ මූණේ තිබූ සිරියාව එහෙම්මම නැති උනා කියා දැන ගත්ත වෙලාවේය...
අපිත් වෙලාවට සල්ලි බේරනවා නේ මුදලාලී....
අපිට කොහෙද පිනක් එහෙම මුදලාලිලා ලබන්න.....
කියා මුදලාලි චක බ්ලාස් කරලාම දැම්මේ, දික්වැල්ලේ මුදලාලිගේ හින්ට් ගැහිලි වලට වඩා මාගරට් නෝනාගේ කැපිලි කවදත් බලවත් වූ නිසාය...
විල්මට් මුදලාලී එන කොට සතියකට දෙකකට හරියන්න ඔක්කෝම ගෙනත් දානවලු.... පියා බිස්නස් එකේ යන්නෙ නැත්තෙත් ඒක නේ.... අපිට කොහෙද එහෙම වෙස්සන්තර මුදලාලිලා.... අපිට ඉන්නේ ඉල්ලිස සිටානෝලා නේ..... කියූ මාගරට් නෝනා රෙද්දත් හදාගෙන දමලා ගහලා යන්න ගියේ ආයෙත් කඩේ පැත්ත පලාතේ එන්නේ නැති ගානටය....
ඔය ගියාට ඕකුන් ආයේ පුරු පුරු ගාගෙන පූසෝ වගේ මෙතනටම එන්න එපාය අග හිඟ උනාම....
කියා තමාටම කියා ගත් මුදලාලී හිතා ගත්තේ මේ ගැන වැඩිදුර තොරතුරු හවසට ජිනයා හා රැස්වීමේදී සාකච්ඡාවට ගත යුතු බවය...