.

.

Jan 30, 2018

විරාග රාගය - Amarasiri Peiris & Amal Perera



ආදරණිය මාතලන් වෙත, 

ඉතිං කෙසේද සැප දුක් , මම නම් සුවෙන් සිටිමි . 

මේ ගීතය සහ රූප රචනය දුටු විගසම මට ඔබව මතක් වුනේ සැමවිටම නව්‍යතාවයෙන් යුතු සහ පැරණි මෙන්ම නව පරපුර අතර හිඩැස පුරවන්නට උත්සාහ කරන ඔබ වන්නෙකුට මේ නිර්මාණය ඇස ගැටිය යුතු නිසයි . 


අමරසිරි පීරිස් සහ අමල් පෙරේරා යන යුග දෙකක ගාම්භීර කටහඩ හිමි කරුවන් දෙදෙනෙකු ගේ සංකලනයෙන් ගීතවත් මෙම ගීතය සංගීතවත් වෙන්නේ නව පරපුරේ නිර්මාණාත්මක සංගීතයේ මැවුම්කරුවෙකු වන සුරේෂ් මාලියද්ද අතින් . පද මාලාව ඔබත් මමත් හැමදා ඇලුම් කරන බන්ධුල නානායක්කාරවසම් සහෘදයාණන්ගේ පන්හිඳ තුඩින්ය .

රූපරචනා අධ්‍යක්ෂණය තවත් තරුණ නිමාපකයෙකු වන  තිසර ඉඹුලාන ගේය. තිසර ඉඹුලාන මේ රූප රචනය සඳහා තෝරාගන්නේ ප්‍රවීණ සහ කෘතහස්ත රංගධරයෙකු වන මහේන්ද්‍ර පෙරේරාවයි , ඒ රංගනයේ තුන්වදෑරුම් අංගයන්හි සදා තරුණ නිලි යශෝධා විමලධර්ම සමගිනි . සියුම් භාවාත්මක හැගීම සිය නිර්ව්‍යාජ , නිදහස් රංගන ශෛලියෙන් හඟවන්නට සමත් එවන් නිලියක් අදටත් විරලය. එමෙන්ම මෙහි තුන්වන චරිතය ලෙස ඔහු ගෙන එන්නේ තාරුණ්‍යයේ සිහින කුමරා වන හේමාල් රණසිංහයි . 

මේ චරිත තෝරාගැනීමේ දී මා දකින විශේෂත්වය වන්නේ රූප රචනා අධ්‍යක්ෂක තිසර ඉඹුලාන යනු මහේන්ද්‍ර පෙරේරා රංග පාසලෙන් මහේන්ද්‍ර යටතේ රංගනය හදාරූ තරුණයෙක් වීමයි . ඔහු ඔබට හඳුන්වා දිය හැකි පහසුම ආකාරය නම් . පසුගිය කාලයේ ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපටියක් වන "නිනෝ ලයිව්" චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා වන්නේද ඔහු වීමයි .

විරාග රාගය අතරේ තනිවූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය
විරාග රාගය අතරේ තනිවූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

එකම ගැහැණිය ආදරය දෙආකාරයකට විඳින්නට හා එකවිටම නොවිඳින්නට උත්සාහ දරද්දී දෙආකාරයකට එකම අත්දැකීම විඳින්නට පරම්පරා  දෙකක දෙදෙනෙකු සූදානම් වන අරුමය .  

ඔබ අඬවන් නෙතු - කරමින් අද නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහළදා
ඈ මුකුලිත වූවා...

කරගනු ඈ සතු - නොරිසි ඔබේ සිතු

ඈතින් ඔබ මුනිවර මනසින් පෙම් කළදා
ඈ අසරණ වූවා...

ඇත්තෙන්ම ගැහැණිය ආදරය හැ රාගය අතරේ අතරමං වන අරුම , 

නුරා එගිනි දලු - ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඇය තනුවක් කරගත්දා
ඈ ලොව අහිමි වුණා...

ඔබේ නිවුණු ගති ඇයට නොවුණි රුති

ඔබේ වියළි පෙම ඈ හට කතරක් වූදා
ඈ මවෙතට ආවා...‍

ප්‍රේමයෙන් හෝ රාගයෙන් පමණක්ම ගැහැණිය අස්වසාලිය හැකිද , පැනයට පිළිතුරු සෙවීම ඔබ සතුය . 

බන්දුල නානායක්කාරවසම් ගේ විශ්මිත පදමාලාවට අමරසිරි පීරිස් සහැ අමල් පෙරේරා යුග දෙකක සංකේතිය හඬ යුග්මය සර්ව සාධාරණය ඉෂ්ට කරන බව මගේ හැගීමයි . 

මහේන්ද්‍ර , යශෝධා සහ හේමාල් මේ තප්පර දෙසිය හැත්තෑපහක කාලය පුරාවට අපේනෙත් සිත් සොරාගන්නා රංගනයක යෙදෙන්නේ මේ ගීතයක්ද චිත්‍රප්ටියක්ද යන්නැ පවා සිතාගැනීමට නොහැකිවන අයුරින් , 

සෑහෙන කලකට පසුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රූපරචනයකින් හැඩවූ අපූර්ව ගීතයක් රසවිඳින්නට අපට අවස්ථාව සලසා දුන් , ගීතරචක, සංගීත නිර්මාපක , රූප රචක , රංගන විශිෂ්ටයනට ආචාරය , ඔවුන්ට මේ සඳහා සහය වූ සියලු සහය ශිල්පීන්ටද මේ ආචාරය  

මේ ගීතය රසවිඳලා බලන්න 

ඔය ගීතය ගැන මට හිතුනු දේ මාතලන් වගේ රසවතෙකුට මීට වඩා මේ ගීතය රසවිදින්නට සහ ලියනවානම මේ ගැන ලියන්නට හැකිවනු ඇත. ඇත්තටම මේ ගැන යමක් ලියනවානම් සතුටුයි . 

එහෙනං මම නවතිමි 
මීට 

ඉවාන් පවුලූශා 


--------------------------------------------------------------------------------------------------------------------

හිතවත් සොයුරු ඉවාන් පවුලූෂා වෙත, 

ඔබ සැපෙන් සිටිනාතරේ, මම කවදත් වගේ ආතල් එකේ සිටිමි.

උඹට කෝල් එකක්කත් දෙන්න බැරි උනේ කලින් කළ රැකියාවේ හා දැන් නියුතු රැකියාවේ පට්ට බිසි බාවය නිසා.. අනික ඉතින් උඹේ බඩකඩිත්තුවට කෝල් එකක් ගත්තත්, කොයි වෙලෙත් කෑල්ලක් අරගෙන "ද ඩයලොග් යූ කෝල්ඩ් හැස් නොට් රෙස්පොන්ඩඩ්.." ගානවා. ඉතින් කෝල් අරගෙනත් වැඩක් නෑ..

මම ඊයෙත් බුකියේ පොඩි පෝස්ට් එකක් දැම්මා, පතීලා (ධර්‍මසෙන පතිරාජ.) දුක් වෙන්න ඕන නැතෙයිය. මාර පට්ට ටැලන්ටඩ් සෙට් එකක් නව පරපුරෙත් ඉන්නවය කියලා. ඒක ලියලා හැරෙන කොට තමයි මේක දැක්කේ. අපේ වෙසිගෙ පුතාලා හරි ආසයිනේ පෙට්ටි ඇතුලේ ගුලි ගැහිලා ඉන්න. (Living in a Box) පෙට්ටි කඩාගෙන කුඩු කරගෙන එලියට එන්නේ එහෙමත් එකෙක්. 

උඹ කවදත් මට එවන පට්ට කෙටි චිත්‍රපටි වගේම, මේ ගැනත්, මට කියන්න ලබ්බක් උඹ ඉතුරු කරලා නෑ.. ඒ නිසා උඹේ ලැටර් එක එහෙම්ම ගෙඩිය පිටින් දැම්මා.. අපේ ආදර ලියුම් මෙහම ප්‍රසිද්ධ කරනවට නඩු දාන්න වගේ ක්‍රියා මාර්ගයන්ට යන්න එහෙම එපා.. විට කනකොට එහෙම, බොහොම පරෙස්සමෙන් කාහන්.. මොකෝ ඕවයෙන් කැන්සර් පවා හැදෙන්න ඉඩ තියෙනවයි කියලා, රජයේ ප්‍රමිතිය ලත් දොස්තර මහත්තුරු කියනවා මම අහලා තියෙනවා..

එහෙනම් උඹටත් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරස්සාවයි..

ජයින් ජයම වේවා..!!!

මීට කවදත් හිතවත්,

මාතලන්


20 comments:

  1. විට කන එක නවත්තන්න ඕනි හිටං ..!

    ReplyDelete
    Replies
    1. ඔහෙත් කනවැයි...

      Delete
    2. නෑ...ඒත් ඉඳලා හිටලා කැවෙනවනේ...අනික මං නොකැවට කන ඇයෝ කොච්චරක් නං ඉන්නවැයි ඉතිං...😂
      වයිෆයි තියෙන හරියකට ගුහින් සිංදුව අහන්නංකෝ...😂

      Delete
    3. උපරිමයි... විඳින්න ගීතය ගායනය වගේම රූප රචනය...

      Delete
    4. ඇයි මේ දුප්පත් බුලත්විටට මෙච්චර කෙනෙහිලි ...???

      Delete
    5. @ Chef-Archt,

      සාමාන්‍යයෙන් බුලත්විටට පුවක් සහ හුණු ඇතුළත් වෙනවා. තවත් සමහරු බුලත්විටේ රසය වැඩි කරගැනීමට කරදමුංගු, වසාවාසී වැනි දෑ එකතු කරනවා. බුලත්විට දුම්කොළ සමඟ කන අයද සිටිනවා. පුවක්වල ඇල්කලොයිඩ නම් රසායනික ද්‍රව්‍යයක් අඩංගු වන අතර එය උත්තේජනය වන්නේ බුලත්විටට එකතු කරන හුණුවලිනුයි.

      බුලත් කන විට නිතර නිතර කටට කෙළ උනන්නෙත් ඒවා රතු පාට වන්නෙත් නිතරම කෙළ ගසන්න සිදු වන්නෙත් ඊට එකතු කරන දේවල් නිසයි.

      පුවක් ගෙඩියෙන් වන හානිය - බුලත්විට පිළිබඳව එක් වාර්තාවක (Oral Health) සඳහන් වුණේ මෙයයි. “බුලත්විට කෑමට පටන්ගත්තේ අද ඊයේ නොවෙයි. ආගමික වතාවත්වලදීත් සතුටු සාමිච්චියේදීත් සංස්කෘතියට අදාළ යම් කටයුතුවලදීත් බුලත්විට ප්‍රධාන තැනක් ගන්නවා. බුලත් කෑමෙන් හානියක් සිදු නොවන බවත් ඒ වෙනුවට ප්‍රාණවත් බවක් ලැබෙන බවත් සමහරුන් සිතනවා. නමුත් සාක්ෂිවලින් පෙනී යන්නේ ඉන් හානියක් සිදු වන බවයි.”

      මත්ද්‍රව්‍ය මර්දන අධිකාරීන් පවසන්නේ පුවක් ගෙඩියේ ඇති ඇල්කලොයිඩ නම් රසායනික ද්‍රව්‍ය නිසා කෙනෙකු ඊට ඇබ්බැහි විය හැකි බවයි. සමහර රටවල දිනකට පුවක් ගෙඩි 50ක් පමණ භාවිත කරන අය සිටිනවා. පුවක් කන අයගේ දත් වැඩි කල් නොගොස් දුර්වර්ණ වන අතර විදුරුමසේ රෝගද ඇති විය හැකියි. පුරුද්දක් ලෙස පුවක් කන අයගේ මුඛයේ ශ්ලේෂ්මල පටලය හැකිළී එය දුඹුරු පැහැයට හුරු රතු පැහැයක් ගන්නවා. එමෙන්ම සුව නොවන ලප කැළැල් වැනි දේද මුඛයේ ඇති විය හැකියි. මෙය පූර්ව පිළිකා තත්වයක් ලෙස (oral submucous fibrosis) හඳුන්වනවා.

      පුවක් කෑම නිසා මුඛයේ පිළිකා (oral squamous cell carcinoma) මෙන්ම ස්වාසනාලයේ පිළිකා ඇති වීමටද ඉඩකඩ තිබෙනවා. ආසියාතික රටවල ජීවත් වන වැඩිදෙනෙකුට මුඛ පිළිකා සෑදෙන්නේ ඒ නිසයි. තායිවානයේ මුඛ පිළිකා රෝගීන්ගෙන් සියයට 85% කටම එය වැලඳීමට ප්‍රධාන හේතුව පුවක් කෑමයි. “තායිවානයේ මුඛ පිළිකා රෝගීන්ගේ ගණන පසුගිය වසර 40 ඇතුළත හතර ගුණයකින් පමණ වැඩි වී තිබෙන” බව එක් ප්‍රවෘත්ති පත්‍රයක වාර්තා වෙනවා(The China Post).

      පැපුවා නිව් ගිනියාවේ තිබෙන්නෙත් එවැනිම තත්වයක්. එහි ප්‍රවෘත්ති පත්‍රයක මෙසේ වාර්තා වෙනවා. “එක් සෞඛ්‍ය සංගමයක වාර්තාවට අනුව පැපුවා නිව් ගිනියාවේ පුවක් කෑම නිසා වසරකට 2,000ක් පමණ මිය යන අතර බොහෝ සෞඛ්‍ය ගැටලුවලටද එය මඟ පාදා තිබෙනවා.” (Papua New Guinea Post-Courier) වෛද්‍යවරයෙක් පවසන්නේ පුරුද්දක් හැටියට “පුවක් කෑමෙන් දුම්පානය කිරීමෙන් ඇති වන බලපෑම හා සමාන බලපෑමක් ඇති විය හැකියි.” හෘද රෝග පවා ඇති විය හැකියි.

      Delete
  2. Replies
    1. Hmmmmmmmm????

      What the F?

      මේකත් මේ ගොඩ දෙනෙක් වගේ UNP එකට Super Market (කඩේ) ගිහිල්ල දැන් නනත්තාර වෙලා ඉන්නේ. නෝන්ඩිය වහ ගන්න දැන් අපි JVP කියනවා.

      මූ විතරක් නෙමෙයි, මේ වගේ තව අපේ යාලුවෝ කී දෙනෙක් Facebook එකේ ඉන්නවද. UNP RW හාමුට මැරීගෙන කඩේ ගියා, දැන් ගලේ *පු බළල්ලු වගේ රට ජවිපෙට කියල Comment දානවා. තිත්ත උනත් Real කතාව ඒකයි.

      Delete
  3. සැක් මදැයි ලියුමක් එව්වා.

    ඔය සිංදුව අහපු දැකපු වෙලාවෙ ඉඳං නිකං කරකෝල අතඇරිය වගේ. සිනමාව ඉවරයි. නවකයෝ කරන්නෙ හරසුන් දේවල්‍. නිර්මාණාත්මක හැකියාව නවකයින්ගෙන් ගිලිහිලා කිය කියා බෑඟිරි ගහන උන්ට හැම හිලකම ඇඟිලි ගහගන්න හිතෙන නිර්මාණයක් මේ

    ReplyDelete
    Replies
    1. ඕක එච්චර අවුලකුත් නෙමෙයි බලාගෙන ගියාම. මොකෝ භෞතිකව තරුණ තරුණියෝ උනත් සිතින් නාකි උන පට්ට ගෝත්‍රිකයෝ ඉන්න රටක් මේක...

      Delete
  4. ඇත්තටම කියන්න මම මේ සින්දුව අහපු දවසෙම බකමූණු කතා බ්ලොගේ "බස්සා සහ බොහිමියානුවා" කියන පෝස්ට් එකට මේ ගැන කමෙන්ට් එකක් දැම්මා. ඉතාමත් සාර්ථක ගීතයක් සහ මෑත කාලයේ අති අභියෝගාත්මක විශුවල් එකක්. යශෝධා ආපහු පෙන්නනවා තම රංගන ප්‍රතිභාව. සියල්ලම උඩින්ම ක්ලැසික්. ඇස් වහලා අහන්න පුලුවන් වගේම, කන් වහලා බලන්න පුලුවන් පට්ට වැඩක්.

    ReplyDelete
    Replies
    1. @ Aruna

      පට්ට වැඩක්...!

      +++++++++++

      // අපේ රටේ ඉන්නෙ දේශපාලනික වහල්ලු.//

      ඒත් රටේ ජනගහනයෙන් 98% ම වහල්ලු වෙන්ඩ බෑ නේද? JVP කියන්නේ වසර 50 පැරනි පක්ෂයක්. ජනතාවට බනින් නැතිව හොයලා බලපන් JVP එකට ජන්දේ දෙන 2% කැරැට්ටුව. එතකොට බොට තේරෙයි හැබෑ වහල්ලු ඉන්නේ කොහෙද කියලා

      89- ජන්දෙ දාන උන් මරපිය - එහෙමයි නායක සහොදරයා,

      94 - චන්ද්‍රිකාට දීපිය - එහෙමයි නායක සහොදරයා,

      2005 - මහින්දට දීපිය - එහෙමයි නායක සහොදරයා,

      2010- පොන්සේකට දීපිය - එහෙමයි නායක සහොදරයා,

      2015- මය්ත්‍රීට දීපිය - එහෙමයි නායක සහොදරයා,

      නායකය කියන කියන පදේට නටන JVP වහල්ලු....!

      Delete
    2. අවංකව කියනවා නම් සින්දුව හිට් වෙන එකක් නෑ. ඒත් මේ රූප රච්නය නම් ජීවත් වෙන තුරා සිතෙන් මැකෙන්නේ නෑ...

      Delete
  5. පෞද්ගලිකව music video බලන්න මා අකමැතියි. හේතුව ගීතයක් ඇසීමෙන් හදවතේ ඇතිවන චිත්ත රූප පෙළ එවන් video මගින් විනාශ කරන නිසා. ඇත්තෙන්ම මෙය මෑත කාලයේ නිර්මාණයවූ හොඳ ගීතයක්. නමුත් මේ ගීතය මුල්වරට මෙම music video මගින් ඇසූ දුටු කෙනෙකුට අනාගතයේ මේ ගීතය අසන සැම විටකම සිහියට එන්නේ මෙම video එකේ ඇති රූප පෙළ.

    ReplyDelete
  6. අපුර්ව රූප රචනයක් වගේම සොඳුරු ගීතයක්

    ReplyDelete
  7. Attama hadawathata denena therumak tiyna sundara geethayak

    ReplyDelete
  8. අමරනීය ගීතයක් වේවි ඒ වගෙම රූප රචනයත්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න