.

.

Sep 5, 2021

සුනිල් අයියා... ප්‍රබුද්ධ අයට අහිතකර විය හැක.

 


මම සුනිල් අයියගෙ මුල්ම ෂෝ එක බැලුවේ සරත් අයියයි නිර්මලා අක්කයි එක්ක. ඒක ජිප්සීස්ලගෙ මුල්ම ෂෝ එක. මට වයස හතයි.

ගෲප් එකම තනි සුදු බෙල්බොටම් එක්ක ස්ලිම් ෆිට් ෂර්ට් ගහලා උන්නේ. කොන්ඩ සායිබබාගේ වගේ. 

තිබුනේ සුගතදාස ඉන්ඩෝර් ස්ටේඩියම් එකේ. එදා තමයි "ළිඳ ළඟ සංගමය" යි "අම්මා අම්මා මේ මට" සින්දු දෙක ඇහුවේ. ඒ එයාලගෙ මුල්ම ඔරිජිනල්ස් දෙක. ඒවා අදටත් කට පාඩම්.

ජිප්සීස්ලා ලංකාවම දැනගන්නේ සිංහළ ඔරිජිනල්ස් ගහපු හින්දා, ක්ලැරන්ස්ගේ ගීත වින්දේ එක්තරා පන්තියක් උනාට, සුනිල් අයියා සමාජයේ ඉහළ ඉඳන්, පාදඩ පන්තියටම යනකන් ජනප්‍රියයි.

මේකට හැත්තෑව දශකයේ සංගීතයේ මොනෝපොලිය වෙච්චි හුළං විදුලි සංස්ථාවේ කුහකයෝ සෙට් එක ගේම ඇද්දා. ජිප්සීස්ලා සින්දු ගුවන් විදුලියේ තහනම්.

ඒ උනාට සුනිල් අයියට ෂෝ තිබුනා. රෙකෝඩ් උණු කැවුම් වගේ ගියා. කොළඹ ඉස්ටාර් හෝටල්වල තිබුන වෙඩින්ග්ස් ඔක්කොම කවර් කලේ සුනිල් අයියා.

ඒ ට්‍රෙන්ඩ් එක අවුරුදු පනහක් අද වෙනකන් එහෙම්මම තිබුනා. මෑතකත් දෙසැම්බර් 31, තර්ටි ෆර්ස්ට් නයිට් වැඩිම චාජ් කරේ සුනිල් අයියා. ඒවා කාටවත් කඩන්න බැරි රැකෝඩ්.

වෙඩින්, කොම්පැනි ගෙට්ටු ගෙදර්, ක්‍රිස්මස් පාටී, ඇනුවල් පාටි, එවෝඩ් සෙරමනි, ගෲප් නයිට්, වගේ කොළඹ තරු පහේ හෝටල්වල තිබුන නයිට් ෂෝ සුනිල් අයියා නැත්නම් නැගලා ගියේ නෑ. ඔය දැන් සින්දු කියන්න කලින් ගෲප් වල ඉන්න උන් කයියක් ගහන එක පටන් ගත්තේ සුනිල් අයියා.

රෝයල් ස්ටැග් නයිට් එකට ඒ කාළේ පලු ඇරපු උන්, අද ගිරාදුරුකෝට්ට ප්‍රාතමිකේ ස්ටැග් නයිට් දාන්නේ රෝයල් උන් කොර කරලා.

ඕනම ජාතියේ වෙස්ටර්න් සින්දු වගේම සිංහළ සින්දු කියන්නත් සුනිල් අයියට ගහන්න වෙන එකෙක් නෑ. 

පොප්, රොක්, චා චා, හිපොප්, රැප්, බයිලා, රෙගේ, ක්ලැසිකල්, සෝලෝ, රිදම් ඇන්ඩ් බ්ලූස් නෙමේ, ආතල් වැඩිම උනාම ජෑස් පාරවලුත් දැම්මා.

ඉස්ටේජ් එකට කුරුමිට්ටෝ, අංකල් ජොන්සන්, ලුණු දෙහි ගෙනත් ඒ වැඩේ පටන් ගත්තෙත් සුනිල් අයියා, ඊට කලින් මැක්ස්වල් මෙන්ඩිස් කරපු වැඩේ ක්ලාස් එකට කළේ සුනිල් අයියා.

ඒ විතරක් නෙමේ, ඔය අද ඉස්ටේජ් උඩ කුක්කු ඔක්කොම එලියේ දාගෙන පුච කරක කරක නටන නංගිලා  එතෙන්ට ගෙනාවෙත් සුනිල් අයියා. සුනිල් අයියා "පිටි කොටපන් නෝනේ..." කියනකොට, ඒ තුන් දෙනා අඹරපු ඇඹරිල්ලට ප්‍රබුද්ධ උන්ගෙ ජුන්ඩා පවා ඇඹරිලම ගියා. 

හැබයි පස්සෙ කාළේ එයාලත් කෑලි නැතුව සින්දු කිව්වේ නෑ.  ඒ ගෙනාපු කෑලි වලට ගහන්න පුලුවන් කෑලී ටිකක් ආයේ ගෙනාවෙත් සුනිල් අයියාමයි. ඒ කොත්තමල්ලි එක්ක.

ඊට කලින් රූපවාහිනියේ ජනප්‍රිය වෙච්චි මැණිකේ අත්තනායක එක්ක රඟපාපූ නොනෙ මගෙ සුදු නෝනේ හරහා සුනිල් අයියා නළුවෙක් වගේම ප්‍රසන්ටර් කෙනෙක් උනා. ඇඩ්ස් වලට සුනිල් අයියා නැතිව බැරි උනා.

හිනා හිනා හිනා වෙන්න හිනා කියලා ඔක්කෝටම හිනා උනා. අනේ මට මොකද මේ උනේ කියලා සිංඤෝරේලගෙ රෙදි ගලවලාම දැම්මා. ඒ සෝපාහාස ප්‍රේමසිරි කේමදසගේ මැති ඇමතිවරුන්ට වඩා ප්‍රබලයි. ඒත් ඒ ගැන ලියන්න කියන්න කට්ටිය බයයි.

ලංකාවේ බේබද්දො වර්ග කරලා ගහපු සින්දු වෙන "නොනෙ මගෙ සුදු නෝනේ...", "ලතා නෝ කතා...", "සයිමා කට් වෙලා..." වගෙ ගීතවල තියෙන අපූරූ සමාජ විශමාතවන්, කල්ට් ගැන මාතලන් ඇර කවුරුත් කතා කරලා නෑ , කරන්නෙත් නෑ.

ලංකාවට රැප් ගෙනාවෙත් සුනිල් අයියා. ඒ අන්කල් ජොන්සන් එක්ක. සුනිල් අයියා එයා එක්ක උන්න කළාකාරයන් ඔක්කොටම රැකවරණය දුන්නා, පඩි ගෙව්වා, මැරුණයින් පස්සෙත් ඒ පවුල්වල අය බලාගත්තා. ඉස්සරහත් ඒ දේ වෙනවා නම් ඒක තමයි සුනිල් අයියට කරන්න පුලුවන් ලොකුම උපහාරය.

සුනිල් අයියා එයාගෙ නිර්මාණවල ලෝබයෙක්වත් පෙරේතයෙක්වත් නෙමෙයි. මට වැඩිය හොඳට කරපන් කියලා ඕන පොඩි එකෙකුට නොමිළේම දුන්නා.

අළුත් පරපුරට ආදරේ කළා, අලුත් සංගීත කාරයෝ, පද රචකයෝ, ගායක ගායිකාවෝ සෑහෙන පිරිසක් සුනිල් අයියා ෆීල්ඩ් එකට දැම්මා.

පොර කාටත් බයත් නෑ ණයත් නෑ. ඒ නිසා කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා. හිතෙන දේ කරා. ඒ නිසා ගුටිත් කෑවා. හැබයි ලබන්න ඕන ගෞරවයත් සජීවීව විඳගත්තා.

ඔය බයිලා ගහන උන්ට වඩා සුනිල් අයියා හෙන රැඩිකල් පොරක්. පොර ජීවිතේ වින්දා. ඒ මදිවට අපිටත් ජීවිතේ විඳින්න ඉගැන්නුවා. ආතල් එකේ උන්නා. 

එයාගේ දේශපාලනය අපිට අදාල නෑ. මේ රටේ ආයේ උපදින්න ඕන නෑ කිව්වේ සුනිල් අයියා විතරක් නෙමේ. ඔය අදටත් පිටරටවල යන්න හදන සුනිල් අයියට බනින උන් කරන්නෙත් ඒකම තමයි.

අනික සුනිල් අයියා අන්තීමට හේත්තු උන සෙට්ටෙක පට්ට බොරුකාරයෝ කියලා දැනගත්ත ගමන් පොර එතනින් කැපුනා.

කොහිමත් සුනිල් අයියා මේ ගෝත්‍රික රටට ගැලපෙන චරිත නෙමේ. ඒත් අපි ඒ ගෝත්‍රිකත්වයෙන් මොහොතකට හරි මිදෙන්නේ මේ වගේ සංස්කෘතික විප්ලවකාරයෝ නිසා.

සුනිල් අයියා මොකද නිකං නාකි වෙලා වගේ කිව්වට, වයසෙන් තරුණ උනත් අමු මැං ගොඩි ගෝත්‍රිකයින් ඉන්නා මේ රටේ සුනිල් අයියා අජරාමර තරුණයෙක්.

සුනිල් අයියා දෙවියන් වහන්සේ එකසිය ගානට ඇදහුවා. තොප්පිය ඔළුවෙ කුරුසේ කරේ. ඉතින්  ආයේ ගේමක් නැතිවම කෙලුන්ම සුනිල් අයියා දෙවියන් වහන්සේ ළඟට යනවාමයි.

දෙවියන් වහන්සේ කොර වෙන්නේ.... අඩෝ ලංකාවෙන් ආපු එකෙක් ඉල්ලන ඕන නම්බර් එකක් දෙනවා නේ... මූ යකෙක් නේ කියලා...

ෂුවර් එකට එහේ පාටි එක හෙට පාන්දර වෙනකන්ම යනවට මෙන්න කැට. 

නිවේදක  හේමසිරි හල්පිට....


ආයේ හමුවෙමු සුනිල් අයියා...!

19 comments:

  1. හොඳ ලිපියක් මාතා , සුනිල් පෙරේර්ර ගැන //ඔය බයිලා ගහන උන්ට වඩා සුනිල් අයියා හෙන රැඩිකල් පොරක්. පොර ජීවිතේ වින්දා. ඒ මදිවට අපිටත් ජීවිතේ විඳින්න ඉගැන්නුවා. ආතල් එකේ උන්නා.

    එයාගේ දේශපාලනය අපිට අදාල නෑ. මේ රටේ ආයේ උපදින්න ඕන නෑ කිව්වේ සුනිල් අයියා විතරක් නෙමේ. ඔය අදටත් පිටරටවල යන්න හදන සුනිල් අයියට බනින උන් කරන්නෙත් ඒකම තමයි.

    අනික සුනිල් අයියා අන්තීමට හේත්තු උන සෙට්ටෙක පට්ට බොරුකාරයෝ කියලා දැනගත්ත ගමන් පොර එතනින් කැපුනා.

    කොහිමත් සුනිල් අයියා මේ ගෝත්‍රික රටට ගැලපෙන චරිත නෙමේ. ඒත් අපි ඒ ගෝත්‍රිකත්වයෙන් මොහොතකට හරි මිදෙන්නේ මේ වගේ සංස්කෘතික විප්ලවකාරයෝ නිසා.// එළ

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ කාලෙකින් හොදම ලිපියක්.100%ක් එකඟයි...සුනිල් අයියා ගැන හැම වචනයක්ම හරියට හරි.හේමසිරි හල්පිට කිව්වම මතක් උනේ ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ හිටිය දැන් රඟපෑමෙන් ඈත් වෙලා ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක් උන නිලූෂි හල්පිට මැතිණිය.ලංකාවෙන් බිහි උන අති විශිෂ්ට නිලියක් වගේම ගායිකාවක්..රටේ අවාසනාවට කලාවෙන් ඈත් වෙලා.ඇය අති බහුතර පිරිමින්ගේ අතිශ්‍යයින් ගෞරවයට පත් උන උතුම් කාන්තා රත්නයක්...මේ වෙලාවේ එතුමිය සිහි කරන එක යුතුකමක් කියලා හිතුනා

      Delete
  2. සුනිල් පෙරේරා සිංහල, මුස්ලිම් මිනිස්සුන්ගේ වැරදි නිර්දය ලෙස විවේචනය කල කෙනෙක්.
    එසේම සිංහල, මුස්ලිම් ජාති වාදයට විරුද්ධ කෙනෙක්.
    ඔහු සිංහල, මුස්ලිම් දේශ පාලකයෝ නිර්ධය ලෙස විවේචනය කලා.

    ReplyDelete
    Replies
    1. අයියෝ දෙමලට මොකුත් කිව්වෙ නෑනෙ

      Delete
  3. පොතකින් ලිවිය යුතු
    දේවල් සුනිල් සතු
    වගේමයි ගජමුතු
    කොතෙක් ලිව්වත් නොවේ කම්මුතු

    මට නං හිතට වැදුණේ
    සුනිලුන් නිහතමානේ
    ඔහුගෙ පරිමානේ
    හිඟය මිනිසුන් වර්තමානේ!

    ReplyDelete
  4. මාතලන් ඉස්තරම් සටහනක්
    මේ මගේ පුංචි සටහන

    සුනිල් පිළිබඳ සොඳුරු සත්සර මතකයෙන්
    කෙටි සටහනක්
    වාද නැතී, බේද නැතී
    ලස්සන ලොව හෙට අපට උදා වේවා..!


    අප කුඩා කාලයේත්, පූර්ව යොවුන් වයසේත් ආසාවෙන් ඇසුවේ ජිප්සීස්ලාගේ බටහිර සංගීත රිද්මය සමග මුසුවූ ගීතය. ප්‍රබුද්ධ නැති නම් සුබාවිත ගීත යනුවෙන් හැඳින්වූ ‍ගී අසන්නට පටන් ගත්තේ තරුණ වියේ සිටය. පාසල් වල මේස වලට තට්ටු කරමින්, චාරිකා යමින්, සාද වලට සහභාගිවෙමින් අප කවුරුත් ජිප්සීස්ලාගේ ගායනා කළේ ජිප්සීස්ලාගේ ගීතය. 1977 විවෘත ආර්ථිකයත් සමග කැසට් කර්මාන්තය නැග ඒමත්, විශේෂයෙන් මැද පෙරදිග රැකියාවන්ට ගොස් එන අය කැසට් යන්ත්‍ර බහුලව ගෙන ඒමත් සමග ලංකාවේ එතෙක් ගුවන් විදුලියට සහ තැටි වලට පමණක් සීමා වී තිබූ සංගීතය කැසට් හරහා වැඩි වැඩියෙන් ජනගත වන්නට විය. නාගරිකයා තැටි වාදන යන්ත්‍ර වලින් ගීත ඇසුවත් කැසට් පැමිණෙන තෙක් ග්‍රාමීය ජනතාවට තිබුණු අවස්ථාව වූයේ ගුවන් විදුලියෙන් ගීත ඇසීම පමණි.


    අධිරාජ්‍යවාදීන් මෙරට සියවස් හතරකට වැඩි කාලයක් තිස්සෙ අර්ධ සහ පූර්ණ වශයෙන් යටත් කරගෙන තිබීම නිසා ශ්‍රී ලංකාවේ ජනතාව අතර බටහිර කවරකට වුවද විරෝධය පෑමේ විඥානයක් ගොඩ නැගී තිබීම පුදුමයට කරුණක් නොවේ. මේ ජාතිකවාදී ස්ථාවරය නිසා ලාංකීය සමාජයේත්, නිළ ආයතනවලත් වැඩියෙන්ම පිළිගැනුනේ පෙරදිග සංගීතයයි: හින්දුස්ථානී සංගීතයයි. බටහිර සංගීතය ද තුප්පහි සංගීතයක් කියා නිර්දය ලෙස විවේචනයට ලක්විය. ‍ගුවන් විදුලි සංස්ථාවෙන් බටහිර ගීත වලට මුල් කාලයේ සැලකිය යුතු අනුග්‍රහයක් ලැබුණේ නැත. එහෙත් එවැනි සන්දර්භයක් තුළ බටහිර සංගීතය ඇසුරු කරමින්, බටහිර සංගීත තණු අනුකරණය කරමින්, පර්යේෂණාත්මක ලෙස ජනප්‍රිය සංගීතය නිර්භය ලෙස ඉදිරිටය ගෙනයන්නට ජිප්සීස් නායක සුනිල් පෙරේරා ඇතුළු කණ්ඩායම කටයුතු කළහ. මුල් කාලයේ සී.ටී.ප්‍රනාන්දු වැනි බටහිර ශෛලියේ ගායකයන්ට සිදුවූ අසාධාරණයන් ජිප්සීස්ලාට සිදුනොවන්නට හේතුව 1977 න් පසු ඇති වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය සහ ජිප්සීස්ලා වානිජමය හොඳින් ස්ථාවර වීම යන කරුණු දෙක යයි සිතමි. අනෙක් අතට විවිධ විචාර, විවෙචන හමුවේ නොසැලී සිටීමත් ජිප්සීස්ලාගේ ජයග්‍රහණයට හේතු වන්නට ඇත.


    මාගේ මතකයේ හැටියට 1987 එච්.ආර්. ජෝතිපාලගේ අභා‍වයෙන් පසු ලංකාවේ සංගීත කලාව පිළිබඳ ඇති වූ ප්‍රබුද්ධ පීචං වාදයේ දී වැඩියෙන්ම බැට කෑවෙ ජිප්සීස්ලා සහ එච්.ආර්. ජොතිපාලය ඇතුළු ජනප්‍රිය ගායකයින්ය. බටහිර සංගීතය මුසුවූ බජව් ගීත - ප්‍රබුද්ධ පදමාලාවක් නැති ගීත, පීචං ගීත යනුවෙන් ද, ඒවා ගර්හා කොට ඉවතලිය යුතු තරම් ඒවා ය යන මතය එකළ සමාජය තුළ මතවාදයක් ලෙස පැතිරිණි. එහෙත් වඩාත් විමසිල්ලෙන් බලන්නේ නම් ජිප්සීස්ලාගේ ගීත වල සුවිශේෂ අර්ථවත් පදමාලාවන් ඇත්තේය. ඒවායේ විවිධ සාධනීය සාමාජීය අරුත් තිබුණේය. නිදසුනක් ලෙස එකළ සරසවි සිසුන් සහ ඇතැම් වාමාංශික කාඩරයන් විසින් අවඥාවෙන් සලකන ලද “ ඕයේ ඔජායේ” යන ගීතය දැක්විය හැකිය ( නෑ කිසි භේදේ, සමගිය හා සහයෝගේ- වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ - නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ - ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ- තාමත් රැව්දෙයි වැදි ගී නාදේ). ජිප්සීස්ලාගේ ගීත රචන පොදු ජන සමාජයට සරළ ලෙස ආමන්ත්‍රණය කළ ඒවාය. සාමාජීය උපහාසය, උත්ප්‍රාසය සහ විවේචනය ඒවා තුළ ගැබ්ව තිබුණි. ඇතැම් ගීත වල අර්ථමය ගඹුරක් ද තිබුණේය. එමෙන්ම සෑම ගීතයකම තණු ජනප්‍රිය වීම සුවිශේෂ ලක්ෂණයකි. ජිප්සීස්ලා වෙනුවෙන් ගීත රචනා කළේද ප්‍රධාන ධාරවේ මෙන් ප්‍රසිද්ධ ගීත රචකයින් ද නොවේ. ජිප්සීස්ලාගේ ගී පද පිළිබඳ පූර්ණ ශාස්ත්‍රීය සහ කලාත්මක විචාරයන් සිදුවී ඇත්දැයි මම නොදනිමි. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල තුළ ජිප්සීස්ලාට එරෙහිව එවකට බලයේ සිටි ශිෂ්‍ය සංගම් විසින්ම ඇති කරන ලද දැඩි විරෝධයක් තිබිණි. ඒ නිසා විශ්ව විද්‍යාල තුළට වර්ණ රාත්‍රිය (color night) වැනි අවස්ථාවන් ජිප්සීස් සංගීත කණ්ඩායම ගෙන්වා ප්‍රසංග පැවැත්වීම ලෙහෙසි පහසු කරුණක් නොවීය. මගේ මතකයේ හැටියට ඔවුන්‍ ගෙන්වා පවත්වන්නට තිබූ එවැනි සංගීත ප්‍රසංග අවලංගු කිරීමට සිදුවිය ( මතක ඇති අය ලියන්න)


    අනෙක් පැත්තෙන් කලාකරුවකු ලෙස සුනිල් පෙරේරා ප්‍රගතිශීලී අදහස් ප්‍රශංසනීයය. ජාතිවාදයට, මිත්‍යාවට, දූෂිත දේශපාලනයට එරෙහිව ඔහු කෙලින් සිටගත්තෙකි.

    කලාව ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙලවර විය හැකිවාක් මෙන්ම කලාව ආනන්දයෙන් ඇරඹී ආනන්දයෙන්ම ද කෙළවර විය හැකිය. වඩාත් දියුණු ලෞකික සමාජයකට ඒ බහුත්වය ( Pluralism) අවශ්‍යය. ජිප්සීස්ලාගේ ගීත තුළ ඒ ලක්ෂණ දෙකම තිබුණා යයි මම සිතමි. සුනිල් පෙරේරා කලාකරුවානනි අපගේ ලෞකික ජීවිතය අපූර්වත්වයෙන්, රිද්මයෙන් සහ රසයෙන් පුරවාලන්නට ඔබ කළ කාර්ය තවත් කාලාන්තරයක් අපේ ජනසමාජයේ නින්නාද වනු ඇත. සුබ ගමන්.

    Athula Disanayaka

    ReplyDelete
    Replies
    1. නියම ප්‍රතිචාරයක් අතුල. ස

      Delete
  5. සුපිරි පෝස්ට් එකක් මාතේ, රහට ලියලා තියෙනවා මචන්. කොහොම හරි ඉතාමත් සැහැල්ලුවෙන් සහ ජීවිතය උපරිම වශයෙන් විඳිමින් ඉතා ආතල් එකේ ඉඳලා අපෙන් සමුගෙන ගිය අප හිතමිතුරු සුනිල් අයියා ඔහු පැතූ පරිදිම පින්කෙත හෙළ රන් දෙරණේ නොඉපිද ඔහු පතන නිදහස් විනෝදකාමී සමාජ සංස්කෘතියක් පවතින බටහිර ඉන්දීය කොදෙව් වැනි රටක හෝ ඇමරිකානු එක්සත් ජනපදයේ හෝ එවැනි වෙනත් රටක උපදින්න හෝ ඔහුගේ දහම අනුව දෙව් මව් තුරුලේ මොක් සුව පතමි. කෙසේවෙතත් ඔහුගේ නිර්දය විවේචනයට ලක් වූ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ (ධාරා) දෙක වන එක්සත් ජාතික පක්ෂය (75 යි) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (70 යි) යන පක්ෂ දෙකේ පාලනය රට කෑවද? රට හැදුවද?

    මේ ගැන අතීත ඉතිහාසය ප්‍රත්‍යාවලෝකනය (retrospectively) කිරීමේදී 1948 නිදහසින් පසු මේ දක්වා රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය හෝ එය මුල් කරගත් සන්ධානයක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එය මුල්කරගත් සන්ධානයක් මඟින්. නූතන පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලකිය යුත්තේ ද ශ්‍රීලනිපයේම රාජපක්ෂ මුහුණුවර ලෙසයි.

    ලංකාවේ සමාජ ජාල වල නිතර ඇහෙන කතා කීපයක් නම් ප්‍රධාන පක්ෂ දෙක හා රට පාලනය කළ දේශපාලකයින් රට කෑ බවය. මේ නිසා ලංකාව ඉතාමත්ම දුප්පත්, පාලනයක් නැති, දූෂිත රටක් වී ඇති බවය. මෙයට වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවය.

    ලංකාව රටක් ලෙස සිටින්නේ සිටිය යුතු හොඳම තත්ත්වයේ නොවන බව අමුතුවෙන් නොකිව යුතු නමුත් ප්‍රධාන පක්ෂ දෙක මේ රටට කිසිම දෙයක් කළේ නැත යනුවෙන් ඇති සමාජවාදී කණ්ඩායම් වල සුලබ චෝදනාවනම් සම්පූර්ණ ඇත්තක් නොවේ.

    මොකද අපි එම 70 වසර (1950 – 2020) ගතහොත් ලංකාව සමාජ සංවර්ධනය අතින් විශාල ප්‍රගතියක් ලබාගෙන නිදහස් සෞඛ්‍ය සේවයක් හා උපාධිය දක්වා වූ නිදහස් අධ්‍යාපනයක් සහිත දකුණු ආසියානු කලාපයේ ඇති එකම රට ලංකාවයි. වසර 1900 දී වසර 40 ක් පමණ වූ ආයු අපේක්ෂාව මේ වනවිට වසර 77 ක් බවට පත් වීමට හේතුව මේ රටේ ආණ්ඩු අනුගමනය කළ නිදහස් සෞඛ්‍යය ප්‍රතිපත්තියයි. ඒ ස්ත්‍රී, පුරුෂ, ජාති, ආගම් කුල භේදයකින් තොරව රටේ සාක්ෂරතාවය 93% ක් බවටත් යෞවන සාක්ෂරතාවය 98.8% ක් බවට පත් වීමට හේතුව ඒ ආණ්ඩු අනුගමනය කළ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියයි. ජාත්‍යන්තර මට්ටමින් ගතහොත් මේවා යෝධ ජයග්‍රහණයි. එහෙත් ඒ පිළිබඳව මේ පක්ෂ දෙකේ නායකයින්ට ප්‍රශංසා කෙරෙනවා අප දකින්නේ කලාතුරකිනි. මේ කියන්නේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය අපේ ආණ්ඩු විසින් හැමවිටම ස්ව කැමැත්තෙන්ම ආරක්ෂා කොට පවත්වාගෙන ගියා කියා නොවේ. ඒ සඳහා විවධ සමාජ බලවේග සහ සංවිධාන ක්‍රියාකාරීව මැදිහත් වූ බව අපි දනිමු. නමුත් තවමත් අප භුක්ති විඳින උසස් සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් සම්බන්ධයෙන් මේ පක්ෂ දෙකේ ආණ්ඩුවලට හිමිවිය යුතු ප්‍රශංසාවක්ද අනිවාර්යයෙන්ම තිබේ. එය ඔවුනට දෙන්නට අප ලෝභ විය යුතු නැති බව ඉතාමත් පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. නැවත වතාවක් ඉතිහාසය විශ්ලේෂණයේදී ලංකාවේ දක්නට ලැබෙන අතිවිශේෂ සිදු වීමක් නම් භයානක කැරලි තුනක් ඇතිවී තිබියදීත් කිසිදු දිනක හමුදා පාලනයක් ඇති නොවීමයි. නූතන නන්දසේන රෙජීමය පවා හමුදාව උපයෝගී කර ගනිමින් සවිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන යමින් පවතින බවත්, සාමාන්‍යයෙන් ඉහත විස්තර කළ ආකාරයට භයානක ගැටුම්වලට මදිවෙන රටවල් ඉතා පහසුවෙන් මිලිටරි පාලනයන්ට ගොදුරු වීමත් එයින්ම බරපතල විදිහට විනාශ වී යාමත් අපි දැක ඇත්තෙමු. නමුත් අපේ රට ඊට වෙනස්ව සියලු යුද ගැටුම් මැද අඛණ්ඩව, 1975 වසර දෙකකට කල් දැමීම/ 1980 දශකයේ පැවති එජාපයේ ඒකාධිපති වියරු ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ ත්‍රස්ත ක්‍රියාවන් හැරුණු කොට සමස්තයක් වශයෙන් ගත් විට නිසි කලට මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බලයට පත් කරගෙන ඇත. නිදහසේ සිට දස වතාවක් සාමකාමී ලෙස ආණ්ඩු බලය පක්ෂ අතර හුවමාරු වී ඇති අතර කිසිදු විටක බලයේ සිටියදී පරාජය වූ පක්ෂයක්, මැතිවරණ ප්‍රතිඵලය නොසලකා බලයේ සිට නැත. එහෙයින් එසේ හමුදා කුමන්ත්‍රණවලට ඉඩක් ලබානොදෙන ආකාරයට අපේ පාලකයින් ක්‍රියාකර තිබීමත් එසේම අඩුම තරමින් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සුරක්ෂිත කර තිබීමත් ප්‍රශංසනීයයි. අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදයන් ලෙස මේ දකුණු ආසියානු කලාපයේ පැවතී ඇත්තේ ඉන්දියාව හැරුණු විට ශ්‍රී ලංකාව පමණක් බව මෙහිදී සඳහන් කළ යුතුමය. ඒ පිළිබඳ ගෞරවයත් අපේ ප්‍රධාන පක්ෂ දෙකට ලැබිය යුතුයි.

      මේ නිසා මේ දේශපාලන පක්ෂ වල කුමන අඩුපාඩු තිබුණත් ශ්‍රී ලංකාව පරිසර සංරක්ෂණය අතින් ද තවමත් ‍පොහොසත් රටක්. වර්ග ප්‍රමාණය අනුව වැඩිම වන අලි ප්‍රමාණයක් සිටිනා රට ශ්‍රී ලංකාවයි. ඉංග්‍රීසීන් කළාක් මෙන් සමූහ වනසත්ව ඝාතන (Culling) ලංකාවේ සිදුකර නැත. අද බරපතල ප්‍රශ්නයක් වන දේශගුණ විපර්යාසවලට බලපාන කාබන් විමෝචනය අවම රටක් වන්නේද ලංකාවයි. ඒක පුද්ගල ආදායම හා ඒක පුද්ගල කාබන් විමෝචනය ගත්කල ලොවේ කාබන් පරිහරණය කාර්යක්ෂමතාව ඉහළ රටවල් අතරට ලංකාවත් එක්වී ඇත. එමෙන්ම විවිධ ආණ්ඩු විසින් නිල නිවේදන මඟින් ප්‍රකාශයට පත්කර ඇති සංරක්ෂිත ප්‍රදේශ ලංකාවෙන් 30% කි. එසේ කර ඇත්තේ ලොව වැඩිම ජන ඝනත්වය ඇති රටවල් අතරින් මුල්ම පහළොවේ සිටින ලංකාවේ විශාල ජන ඝණත්වයක් පවතිද්දීය යන කරුණ අමතක නොකළ යුතුයි. ඔහේ පරිසර දූෂණය ගැන චෝදනා එල්ල කරනවා විනා අපේ ප්‍රධාන පක්ෂ දෙකට පරිසර සංරක්ෂණය පිළිබඳව ප්‍රශංසා කෙරෙන්නේ ඉතා අඩුවෙන්.

      මේ වගේම විදේශීය වෘත්තීයවේදීන්, සංචාරකයින් ඇතුළු මට හමුවූ හැමෝම මහත් සේ මා සමග පවා ප්‍රශංසා කළ මුළු දකුණු ආසියාවේ පිරිසිදුම රට ලංකාවයි. මේ රටට එන අනෙකුත් දකුණු ආසියාතිකයෝ කොළඹ ඇතුළු නගරවල පිරිසිදුකම දැක මවිත වෙති. එහි ගෞරවයෙන් යම් ප්‍රමාණයක් අපේ ජනතාවටත් හිමි විය යුතු වුවත් පිරිසිදුකම රාජ්‍යයේ යුතුකමක් ලෙස පවත්වාගෙන යාම ගැන මේ රට ආණ්ඩු කළ පක්ෂ දෙක ප්‍රශංසාවට ලක් විය යුතුයි.

      Delete
    2. මේ සමගම අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ පසුගිය දශක කිහිපය පුරාම අපේ රටේ අගනගරයෙන් පිට ප්‍රදේශද සෑහෙන තරමේ සංවර්ධනයකට ලක් වී ඇති බව. ඇත්තෙන්ම මීට කාලයකට ඉහත දක්නට ලැබුණු ගම සහ නගරය අතර වෙනස දැන් දක්නට ලැබෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. රට පුරා මාර්ග පද්ධතිය සෑහෙන්න දියුණු වී ඇති අතර බොහෝ ඈත නගරවල පවා කොළඹ දැකිය හැකි පහසුකම් වලින් 90ක් පමණ දැකිය හැකියි.

      කෙසේ නමුත් ලංකාවේ ජනතාව ලංකාව සම්බන්ධයෙන් එල්ල කරන බරපතල චෝදනාවක් නම් ආසියාවේ සමාන්තර රටවල් මෙන් ආර්ථික සමෘද්ධියක් ලබා නොතිබීමයි. ලංකාව පසුගිය වසර 70 තුළම නොදියුණු හෝ දියුණුවෙමින් පවතින රටක් ලෙස හඳුන්වන බව නිතර පැවසේ.

      මේ වගේම නිදහස ලබන විට ලංකාව සිටියේ ජපානයට පමණක් ආර්ථික අතින් දෙවැනි වී යැයි ද මතයක් ඇත. නමුත් නිදහසින් පසු ලංකාවේ ඒක පුද්ගල ආදායම, ජපානයේ ඒක පුද්ගල ආදායමට ආසන්නයෙන් සමාන වූ බවට වූ එම ප්‍රවෘත්තියට අදාළ කිසිදු පිළිගත් මූලාශ්‍රයක් මේ වන තෙක් මට නම් ලැබී නැත. ඒ වගේම අන්තර්ජාලයේ 1960 වර්ෂයට අදාලව මා දැක ඇති දත්තවලට අනුව ජපානය පමණක් නොව තායිලන්තය ද ඒ කාලයේ පැවතී ඇත්තේ ලංකාවට වඩා කීප ගුණයක ඒක පුද්ගල ආදායමක් සහිත රටවල් ලෙසයි.

      එමෙන්ම ආදායම් තත්ත්වය ගැන සැලකිලිමත් වීමේදී ලංකාවේ අද ඒක පුද්ගල ආදායම ඩොලර් 4,000 කට ආසන්නයි. එය 1960 දී ඩොලර් 140 කි. අපට සමාන තත්ත්වයක තිබූ රටක් නම් මහ බලවතුන්ගේ යුද්ධයකට මැදිහත් වූ කොරියාවයි. එය ඉතා විශාල ආර්ථික දියුණුවක් ලබා ඇති බව ඇත්තක් නමුත් දකුණු කොරියාව ඇමරිකානු ආර්ථික සහයෝගය සහිතව එම ආර්ථික වර්ධනය ලබාගත්තේ (1960-90) දරුණු හමුදා පාලනයක් යටතේ බව අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකාව බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කර ගනිමින්ම අඩු තරමින් තිස් ගුණයකින් සිය ඒක පුද්ගල ආදායම වැඩිකරගෙන තිබේ. නූතනයේ ආර්ථික දියුණුව මනිනා ක්‍රය ශක්ති සාම්‍යයට Purchasing Power Parity අනුව ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,000 කි. එනම්, දියුණු යැයි සම්මත රටක තත්ත්වයයි !

      මේ වගේම දේශපාලන මතවාද අමතක කර ආර්ථිකය පැත්තෙන් බලද්දී අප සිටිය යුතු තැන නොසිටිය ද අපි දැනටමත් ඉන්දියාවට වඩා දෙගුණයක ඒක පුද්ගල ආදායමක් සහිත රටක් බව අමතක නොකළ යුතුයි.

      සියලු සාධක අනුව මේ සියලු ජයග්‍රහණ සඳහා වූ දේශපාලනික වශයෙන් වන ගෞරවය ප්‍රධාන පක්ෂ දෙකට ලැබිය යුතුයි.

      මේ වගේම ලංකාවේ මූල්‍ය කළමනාකරණ කටයුතු වලදී අප අසාර්ථක වූ තැන්ද තිබේ. එනම් අද වන විට අපේ ආර්ථිකය ඇදවැටෙමින් තිබීම සහ මේ රටේ ජනවාර්ගික සම්බන්ධතා නිසි පරිදි කළමනාකරණය කිරීමට අපොහොසත් වීමයි. මේ සම්බන්ධ වරදකාරීත්වයෙන් ගැලවීමටත් මේ පක්ෂ දෙකට නොහැකියි.

      ලංකාවේ රාජ්‍ය මූල්‍ය ගතහොත් දූෂිත ණය ගණුදෙනු හා දරාගත නොහැකි හා නාස්තිකාර ආණ්ඩුවේ වියදම් සහිතව, අතිවිශාල රාජ්‍ය ආයතන හා සේවක සංඛ්‍යා නඩත්තු කරන ක්‍රියාවලියක් නිසා ආර්ථික හා මූල්‍ය බංකොළොත්භාවයකට ලංකාව නමැති අප උපන් රට දැන් ඇදවැටෙමින් තිබේ. මීට අඩු වැඩි වශයෙන් එජාපය හා ශ්‍රීලනිපය යන පක්ෂ දෙකම වගකිව යුතු නමුත් මෙහි ප්‍රධාන වගඋත්තරකරු නම් රාජපක්ෂ පාලනය බව ලංකාවේ ජනප්‍රිය පොදු මතයයි. නමුත් ඊට වඩා ජේ ආර්, ප්‍රේමදාස සහ චන්ද්‍රිකා වඩාත් වැඩියෙන් සහ සිරිසේන ද ආසන්න වශයෙන් සමාන ප්‍රමාණයකට වගකිව යුතු බව මේ ගැන ගැඹුරට අධ්‍යයනය කරන විට පේනවා.

      විදේශීය දේශපාලන බලවේග හමුවේ ලංකාවට ඇති අනෙක් චෝදනාව නම්, සිය ජනවාර්ගික සබඳතා කළමනාකරණය නොකිරීම නිසා ජීවිත 60,000 ක් බිලිගත් තිස් අවුරුදු යුද්ධයක එය පැටළුණු බවය. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම 1948 සිට 1980 දක්වා රට පාලනය කළ ආණ්ඩු දෙකම සාමාන්‍ය ලෙස වගකිව යුතුය. නමුත් 1977 - 94 එක්සත් ජාතික පක්ෂයේ ජාතිවාදී වර්ගවාදී මුග්ධ පාලනය ඊට වඩාත් ඍජුවම වගකීම බාර ගන්න ඕන. ඒ සමගම කිව යුත්තේ, එසේ ඇති වූ යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලන නායකත්වය දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පැවති ශ්‍රීලනිප ප්‍රමුඛ රජයට ගෞරවය හිමි විය යුතු බවයි. නමුත් අවාසනාවට එම ජයග්‍රහණයෙන් පසුව ඔහුට මේ රට ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර හා ශක්තිමත් රටක් බවට පත් කරන්නට ලැබුණු ස්වර්ණමය අවස්ථාව ඔහු කනගාටුදායක ලෙස පැහැර හැරියේය. ඒ අනුව යුද්ධයෙන් පසුව ආශ්චර්යමත් ආර්ථික සංවර්ධනයක් ඇති වේ යැයි බලාපොරොත්තු වුවද ඇත්තෙන්ම සිදු වූයේ සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තය. එය එලෙසම 2015 සිට තවත් පහළට ගෙන ගිය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ලංකාවේ ආර්ථිකය පෙර කිසිදා අත්දැක නොතිබුණු ආර්ථික බංකලොත්භාවයකට රට පත් වීමට සැලැස්වීම ඉතාමත් කණගාටුදායකයි.

      Delete
    3. මේ වගේම ලංකාවට එල්ල වී ඇති බරපතල චෝදනාවක් නම් රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම මගින් සිදුවන දූෂණයයි. විශේෂයෙන්ම පාලක කණ්ඩායම් හා ඔවුන් සමඟ අත්වැල් බැඳගත් ජාවාරම්කාර කල්ලි කණ්ඩායම් හා රජයේ ඉහළ නිලධාරීන් මෙය සිදුකර ඇති බවට චෝදනා නැගේ. මෙහි බරපතල ඇත්තක් ඇත. මෙය 1977 න් පසු ඇතිවූ නරක සම්ප්‍රදායකි. එය 2010 න් පසු රාජ්‍යයේ වෙන්කළ නොහැකි කොටසක් බවට පත් විය. දූෂණය හා ජනමාධ්‍ය හැසිරවීම විසින් ජන විඥාණයට ඇතිකර ඇති බලපෑම මධ්‍යම ඇමරිකානු Nacro State (1980-90) කාලයේ තිබූ තත්ත්වය සිහිගන්වයි. එයට නම් අඩු වැඩි නැතිව එජාපය හා ශ්‍රීලනිපය මෙහෙයවූ නායකයින් හා පවුල් වගකිව යුතුය.

      ඊට අමතරව ලංකා දේශපාලනයට එල්ල වී ඇති තවත් චෝදනාවක් නම් එය ඊට සුදුසු නැති අශිෂ්ට පාදඩයින්ගේ හා පවුල් කීපයක සාමාජිකයන්ගේ ආධිපත්‍යයට යටත් වී ඇතැයි යන චෝදනාවය. රටේ ඇති වූ කැරලි නිසා දේශපාලකයාට අවි දැරිය හැකි පාතාලයක් අවශ්‍ය වූ අතර ඔවුන්ගේ නඩත්තුවට මත්කුඩු, මත්පැන් ආදී කළු ව්‍යාපාර ද අවශ්‍ය විය. එදා නායකයින්ගේ ගේට්ටුවේ හෝ කුස්සියේ සිටී මේ බලවේග දැන් සාලයේ සිටගෙන ඇති අතර මන්දිරවල පිළිගැනීම් නිලධාරීන් ද වී තිබේ.

      මේ කාරණා ගැන ගැඹුරින් කල්පනා කරන කොට තමයි පවුල් පිළිලය හා පාදඩ පිළිලය ලංකා දේශපාලනයෙන් කපා දැමීම රටට ඉදිරියට යන්න නම් අත්‍යාවශ්‍යම අංගයක් බව තේරෙනනේ.

      ඒ වගේම මීට පිළියම ලෙස ලංකාවේ මේ ප්‍රශ්නවලට විසඳුම සමාජවාදී විප්ලවය ද? සමහරු එසේ විශ්වාස කරන බව පෙනුනත් සමාජවාදී කියුබාව දෙස බැලූ විට නම් ඒ බවක් පෙනෙන්නේ නැත. ආදර්ශමත් සමාජවාදී රටක් ලෙස උදාහරණ කොට දැක්වෙන කියුබාව 1960 සිට එම සමාජවාදය ක්‍රියාවට නංවා ඇත. එහෙත් අප අමතක කරන කරුණ නම් එසේ නොකළ ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජ දර්ශක අතින් කියුබාවට සමාන තත්ත්වයක් මේ වනවිට අත්කරගෙන තිබෙන බවයි. සමාජවාදය 1960-80 අතර වැදගත් සමාජ ආර්ථික ක්‍රමයක් වුවත් දැන් එය වලංගු ක්‍රියාදාමයක් නොවන බව කියුබාව, වෙනිසියුලාව මෙන්ම වියට්නාමය හා 1980 ට පෙර පැරණි සමාජවාදී චීනය ද පෙන්වා දී තිබේ.

      ඉහත විස්තර කළ ලෙසම ලංකාවේ දේශපාලන ඉතිහාසය බලද්දී යම් දාර්ශනික ප්‍රවේශයක් සහිතව රටේ ආර්ථික පරිපාලනය හෙබවූ නායකයින් දෙදෙනා වන්නේ සොලමන් බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධනයි. පිළිවෙළින් 1956 දී හා 1977 දී ඔවුන් කළ සමාජ දේශපාලන පරිවර්තනය ඒ යුගයේ කලාපීය බොහෝ රාජ්‍යවලට ආදර්ශයක් වුණ නමුත් දැන් ශ්‍රීලනිපයට හා එජාපයට නැවත සිතන්නට අවශ්‍යව තිබේ. මන්ද රට ඉතිහාසයේ පළමු වරට ආර්ථික බංකොලොත්භාවයකට ඇද වැටෙමින් සමාජ පිපිරීමක් අභියස සිටිනා නිසාය.

      ඇතැමුන් එයට පිළිතුර ලෙස මර්දනය යොදාගෙන රට බැරැක්කකරණය කිරීමේ උත්සාහයක් ද පවතී. මේ අභියෝග ජයගැනීමට හැකි ශක්තිමත් පරපුරක් අපසතු වුවද එය අවදිකිරීමට බාධාවක් වී ඇත්තේද සාම්ප්‍රදායික පක්ෂවලට අරක්ගත් ඇතැම් නායකයින්ය. බණ්ඩාරනායක හා ජයවර්ධන ආර්ථික වශයෙන් ආදර්ශයට ගෙන ශ්‍රීලනිපය හා එජාපය නූතන ආර්ථික දේශපාලනික ප්‍රවණතා ගැන පුළුල් සහ ගැඹුරින් අධ්‍යයනය කර ඊට ගැලපෙන විදියට ප්‍රතිව්‍යුහගත වියයුතු වන අතර නැතිනම් ඉදිරි සමාජ පිපිරීම්වලදී ඔවුන් දැන් සිටින තැනින් ද අහෝසිවීම වැළැක්විය නොහැක. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද?

      Delete
    4. මේ දීර්ඝ ලියැවිල්ල ඉත්ත හොඳයි. බොහෝ කරුණු වලට එකඟයි. නමුත් කියුබාව හා වෙනිසියුවෙලාව ගත්තොත් - විශේෂයෙන් කියුබාව - ඇමරිකානු සම්බාධක නොතිබුනා නම් තත්වය වෙනස් වෙන්න ති බුනා නේද? මගේ කියුබන් මිතුරන් කිහිප දෙනෙක්ම සිටිනවා. ඔවුන් විවේචනය කිරීමේදී ඔවුන් කියනවා එයත් සලකන්නැ කියල. ඒක සාධාරණ ඉල්ලීමක්. වියට්නාමය දැන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය අකරණ රටක්. බෝම්බ දම විනාශ කලේ නැවතත් - ඇමෙරිකාව. ඒ අතින් අපේ නායකයෝ බොහොම සීරුවෙන් රට හැසිරුවා කියලත් කියත හැකි.

      Delete
  6. 100% agree Maathalan. RIP Sunil.

    Biwwa athi Kewa athi, natuwa athi, Gedara yang, Gedara yang

    First sinala rap? I think it is 'Maaage deneth adaha ganne kese dai sithe' not uncle Johnson. Wijebahu

    ReplyDelete
    Replies
    1. සිරි සංඝ බෝධි මාලිගාවෙදී මං- රැප් ගණයට වැටෙන්නේ නැත්ද?

      Delete
    2. Hmmmm, Good question, may be we have to ask Prof Sunil Ariyarathna

      Delete
    3. O mi gud inglis rytin mista wijebabu cum. veri gud sar. giv mathalam atti halenna. thankiv sar.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න