.

.

Sep 22, 2026

"එදා රෑ...... " ගැන මගේ සත පහ

 


"එදා රෑ...... "

ගැන මගේ සත පහ

➖➖➖➖➖😎➖➖


සාමාන්‍යයෙන් මම සිංහල ෂෝ එකක් බලන්න යන්නේ සතියක් විතර පරක්කු වෙලාය.... ඒ එක එකා ලියන චිත්‍රපට විකාර කියවා සෝ එක ගැන යම් අවබෝධයක් ලබා ගත හැකි නිසාය..... ඒ මක්කා වුවත් මිල්ටන් මල්ලවාරච්චිගේ එදා රෑ ෂෝ එක අනිවාර්යයෙන් බලනවා කියා හිතාගෙන සිටියේය.... ඒ මිල්ටන් මගේ ෆේවරිට්ම ගායකයෙක් නිසාය.


මිල්ටන්ට තියෙන්නේ මැජික් වොයිස් එකක් කියා චිත්‍රපටයේත් කීප අවස්ථාවක කතා වෙනවාය..... ඇත්තම කතාව ඒක නෙමේය.... මිල්ටන්ට තියෙන්නේ romantic voice එකක්ය..... ලංකාවේ සිටි රොමෑන්ටික්ම ගායකයා මිල්ටන් මල්ලවආරච්චිය.... රොමෑන්ටික්ම ගායිකාව ඉන්ද්‍රානී පෙරේරාය.


මම නම් කියන්නේ මිල්ටන් මල්ලවාරච්චිට ආදරය කරන ඕන එකෙක් අනිවාර්යයෙන් මේ සෝ එක බලන්නම ඕනෑය කියලාය.... මොකද මේක ඒ තරම්ම ලස්සන ෂෝ එකක්ය.... පටන් ගත් වෙලේ සිට අවසානයට පෙන්නන, චිත්තරපටයට දායක වුන පිරිසගේ නම් ගම් පවා තිරයේ දිස්වූ පසුවත්, රසිකයින් එකෙක්වත් නැගිට්ටේ නම් නැතිය....  ඒ තරම් පට්ටය.... සුන්දරය.... ඇහැ අහකටවත් ගන්න හිතෙන්නේ නැතිය.... සෝ එක ඒ තරම් ලස්සනය... ඉන්නා කෙල්ලෝ ටිකත් බොහොම සෙක්සි කෑලිය... හින්දි කෑලී කැලේය....


අපේ තාත්තා පික්චර් පිස්සෙක් වූයේය... සති අන්තයේ අනිවාර්යයෙන් පිචැර් දෙකක් බලනවාමය....  අහල පහල උනුත් ඒක දන්නවාය.... උන් අහන්නේ සෝ එකේ කෙල්ල කවුද කොල්ලා කවුද කියලා... 


ඇත්තටම ඒ කාලේ හිටියේ ලස්සන කෙල්ලෝය.... ලස්සන කෙල්ල කියලා සෝ එකකුත් ආවා මතකය.... ඒකේ හිටපු ලස්සන කෙල්ල වුනේ ගීතා කුමාරසිංහය.... මාලනී ගීතා සෝනියා දිසා මානෙල් වානගුරු ෆරීනා ලායි සුමනා අමරසිංහ ඔක්කොම වාගේ බොහොම සුන්දර නිළියෝ වූවාය....


මේ අය සිනමාවේ ස්වර්ණමය යුගය වූ 1970 දශකයේ පිචැර් හෝල් හවුස් ෆුල් කොට බොක්ස් ඔෆිස් වාර්තා තියපු කෙල්ලෝ වුනේය..... ඒ අය එහෙම ලස්සන වුනේ LUX සුවඳ සබන් ගාපූ නිසාය. ඒ නිසාම මේ ෂෝ එකේ ස්වර්ණාත් ඒ සබන් ගාන්නේය.


මේ අතිශයින් ජනප්‍රිය චිත්‍රපට රැල්ලෙන් මිදී, සම්බාව්‍ය සිනමාව කියා මලහත්තිලව්වක් ආවේ 1980 දශකයේය. සුභාවිත ගීත පමණක්ම අසමින් සිටි සුප්‍රබුද්ධ ශ්‍රාවකයෝ මේ මෙලෝ රහක් නැති බඩකඩුත්තු වැළඳගත් අතර ඇකඩමික විචාරකයෝ  මල මෙලෝ යකෙකුට නොතේරෙන අපභ්‍රංශ විචාර ලියන්නට පටන් ගත්තේය.


හැබයි ඒවා තිරගත වූයේ තුන්වන මණ්ඩලයේත් නොව පස්වන මණ්ඩලයේය.... ඒවා බලන්නට අර මන්ද බුද්ධික පිරිස් ගියා මිස, පිචැර් පිස්සෝ නොගිය අතර... ඒවා හදපු උන්ට කෙලවෙනකොට උන් කලේ ආණ්ඩුවට බනින එකය. අදටත් ආණ්ඩුවෙන් චිත්‍රපටිය හදන්න ඕන කියන්නේ ඒ වගේ පිස්සු උකන්නලාය. 


ඔයින් එක ෂෝ එකක .... විජය කුමාරතුංග ස්වර්ණා මල්ලවාරච්චිව ඇඳ උඩට පෙරලගන්නා අතරේ ඊළඟ රූප රාමුවට ආවේ වැසූ කාමරයේ එළියෙන් කාමරයේ දොර පෙන්වීමය.... ඇතුලෙන් ස්වර්ණා මරහඬ දී කෑ ගැසූ අතරේ... දොර යටින් ලේ ගංගාවක් ගලාගෙන ආවේය..... 


මම හිතුවේ ස්වර්ණා මරා දමන්නට ඇති කියලාය..... බැලින්නන් වෙලා තියෙන්නේ.... විජය විසින්  ස්වර්ණාගේ කන්‍යාභාවය අහිමි කිරීමය..... ඉතින් මේක අධ්‍යක්ෂණය කරපු ප්‍රබුද්ධ අධ්‍යක්ෂවරයා එහෙම xperiencee එකක් තිබුණු කෙනෙක් වෙන්නට බැරිය....  හැබැයි විචාරකයින්ට නම් අදත් ඔහු මුණිවරයෙක් වන්නේය.


මීට පස්සේ සිංහල සිනමාව උන්ටත් එහා ගියා අධ්‍යක්ෂකවරුන් සෙට්ටෙකක් අතට පත් වුනේය.... උන්ට මම කියන්නේ ටොක්සික් අධ්‍යක්ෂකවරුන් කියලාය.. 


උන්ට ඕනෑ උනේ.... ලංකාවේ ශිෂ්ටාචාරය සභ්‍යත්වය හා හැදියාවන් වලට කෙලින්නටය.... ඒ සඳහා උන්ට ඇන්ජීඕ වලින් අම්බානක සල්ලි හා සම්මාණයන් ලැබුණේය. 


ඒවායේ රඟපෑවේ.... දිරච්ච යකඩ කෑලි පරණ වොෂින් මැෂින් කැඩිච්ච ප්ලාස්ටික් බේසන් වාගේ මෙලෝ රහක් නැති ලොන්ත පෝල් නිළියෝය එයාලට දේශීය මෙන්ම විදේශීය සම්මාණ නම් නොඅඩුවම ලැබෙන්නේය. 


ඔක්කොමලා ස්වර්ණා මල්ලවාරච්චි වෙන්නට යනවාය.... ඒත් ස්වර්ණා කියන්නේ ලංකාවේ සිටින සරාගීම නිළියය.... අරුන්ගේ එහෙම සරාගීකමක් ඇත්තේ නැතිය. හැබයි උන් ඔක්කොම එකතු වෙලා සිංහල සිනමාව වල පල්ලටම යැව්වේය.


එහෙම ලොන්තපෝල් ටොක්සික් ෆිල්ම් බලපු උන්ට මේ චිත්‍රපටය දිරවන්නේ නැති බව විචාර කිහිපයකින්ම දැක්කේය.... චිත්‍රපටයේ දෙබස් පවා විහිළුවට ලක්වෙලා තිබුණේය.... දැන් ඉන්න උන් පෙම් කරන්නේ ඉස්මාට් පෝන් එකෙන් ඔන්ලයින් කුක්කු හා ජුන්ඩෝ පෙන්නලාය. එහෙම රෝගයක් ඒ කාළේ උන්ට තිබුනේ නැතිය.


ඒ කාලේ පෙම් කලේ එහෙමය. අපි ලව් ලෙටර්වල ලිව්වේ මිල්ටන්ගේ සින්දුය... ගල් අඩියක් ගැහුවම කිව්වේ මිල්ටන්ගේ... සුන්දරත්වයෙන් පිරි සොඳුරුම අතීතයේ ගීතයය... 


දැන් වාගේ ස්මාර්ට් ෆෝන් තියා ලෑන්ඩ් ෆෝන්වත් නැති ඒ කාලයේ.... චිත්‍රපටයේ සිදුවූ සමහර සිදුවීම් අභව්‍ය සිදුවීම් බවට සමහරුන්ගේ සිනහවට හා සමච්ඡලයට ලක්වී තිබෙනවාත් දැක්කේය.... හැබැයි උන් අපේ අම්මලා තාත්තලා ලියපු ලියුම් දැක්කා නම්...., රුක්මණී දේවී පෙම්වතිය කාලයේ ෆිල්ම්වල දෙබස් දැක්කා නම් සිඳු වෙන්නේ මොකක්ද කියා මට නං හිතාගන්නට බැරිය. 


ඉතින් අර ටොක්සික් වෙන්න ෆිල්ම් බලන්න පුරුදු වූ පිරිසට මේක අරහං වීම අරුමයක් නොවේය.... 


මිල්ටන් ලෙස රඟපාන රොෂාන් රවීන්ද්‍රගේ ඇක්ටින් කොරය.... ඔරිජිනල් මිල්ටන් මල්ලවාරච්චිමය. නෙත්මි රොෂෙල්, සෙනාලි ෆොන්සේකා  ශේෂාද්‍රි ප්‍රියසාද් "කුච් කුච් හෝතා හේ..." වෙත අප රැගෙන ගියේය. ඔවුන් ඒ තරම් සුන්දරය... රැඟීම් ප්‍රේමනීයය... 


බුකියේ බයිට් එකක් වී ඇති ගාමිනිගේ චරිතයට පණ පොවන ජනිත් වික්‍රමගේ ඔරිජිනල් ගාමිනි ෆොන්සේකාමය... ගාමිනි නටන්නේ ඔහොමය... ඕනෑම නම්... ඕනෑම ගොනෙකුට ඔරිජිනල් සින්දුව නරඹා පච විය හැකිය. 


චිත්‍රපටියේ සුන්දරත්වය හා හොඳ ගැනම කතා කරනවා වාගේම අඩුපාඩු කිහිපයකුත් අනිවාර්යයෙන් ලියන්නට ඕනේය. 


මේ තරම් තාක්ෂණය දියුණු යුගයේ..... ප්‍රේමකීර්ති ද අල්විස්, රුක්මණී දේවී, වික්ටර් රත්නායක වැනි අයගේ කටහඬ ටෙක්නොලොජියා හරහා ඔරිජිනල් කටහඬම ලෙස ගැනීමට අවස්ථාව තිබිණි.... එය මඟ හැර ගැනීම අපරාධයක් කියා මට සිතෙන්නේය....


"බැමි බැඳ ඇත ලොව සතර දෙසේ...." නිරූපණය කිරීම සඳහා මිල්ටන් හා ස්වර්ණාගේ ඉන වටා කඹ දෙකක් බැඳ කරන රංගනය විකාරයකි..... මීල්ටන්ට මෙන්ම රොෂාන්ටත් නටන්නට බැරි නිසා.... ඒ ගීතය සඳහා බැලේ රංගන ශිල්පීන් දෙදෙනෙක් එකතු කර කරගත්තේ නම්.... ගීතය බොහෝ සුන්දර වන්නට ඉඩ තිබිණ.


ගීත දෙක තුනක් හැරෙන්නට අනෙත් ගීතයන්හි රූප රචනය music video level එකට හෝ හින්දි පිචැර් තුල ඇතිවාක් මෙන්... සුන්දර දර්ශනීය පසුතලයන් යොදා ගනිමින් නිම නොකිරීම අපරාධයකි. එසේ කළා නම් මෙය හින්දි චිත්‍රපටයක් තරමේ සුන්දර එකක් වෙනවා නොඅනුමානය.


සුරේෂ් මාලියද්ද කියන්නේ ලංකාවේ ඉන්නා නොම්බර එකේ remake සංගීතවේදියෙක්ය. හැබැයි චිත්‍රපටයේ ප්‍රධානම ගීතය වන එදා රෑ ගීතය.... වෙස්සන්තර ජාතක ගායනාවක් කිරීම ගැන මාගේ බලවත් අප්‍රසාදය මෙයින් යොමු කරනවාය. අනෙක් ගීත සියල්ලම පට්ටය.


ලංකාවේ රොමැන්ටික්ම ගායකයා වන මිල්ටන් මල්ලවාරච්චි හා රොමැන්ටික්ම ගායිකාව වන ඉන්ද්‍රාදනි පෙරේරාගේ... "සමනල රෑනක් සේ..... අනන්ත හැඟුම් මැවේ..." නමින් අති සුන්දර ගීතයක් තිබෙනවාය..... මේ ගීතය නිෂ්පාදකයින්ට මෙන්ම අධ්‍යක්ෂකවරයාට මිස් වූයේ කෙසේදැයි යන කණගාටුවක් මට දරුණු ලෙසටම තිබෙනවාය. 


අධ්‍යක්ෂකවරයා මේ චිත්‍රපට ගීතය දැක තිබුණේ වී නම්..... අනිවාර්යයෙන්ම එය චිත්‍රපටයට එකතු කරගන්නවා නොඅනුමානය. එය එතරම්ම සුන්දර ගීතයක් මෙන්ම රංගනයකින් හෙබි නිර්මාණයක් වූයේය.


අවසාන වශයෙන් කීමට ඇත්තේ.... ඔබ මිල්ටන් මල්ලවාරච්චිට ආදරය කරන රසිකයෙක් නම්.... නොවරදවාම ගොස් මේ අති සුන්දර නිර්මාණය රස විඳිනා ලෙසය. 


#මාතලන්

2 comments:

  1. සුපිරි පෝස්ට් එකක් මාතේ මේක මරු මමත් බලලා කමෙන්ට් කරන්නම්

    ReplyDelete
  2. පෝස්ට් එක නම් මරු...මේක නිසාම ෆිල්ම් එක බලන්න හිතුනා.මෑත කාලේ ෆිල්ම්ස් එකක්වත් මම බැලුවෙ නැහැ.මේක නම් බලන්නම ඕනැ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න