.

.

Nov 12, 2012

කූඩැල්ලා - දෙවන කොටස (පොඩි අය අම්මිලගෙන් අහලා බලන්න) - The Leech - Part II


කූඩැල්ලා පළවන කොටස - මෙතනින් කියවන්න

මුලින්ම කියන්න ඕන.... මේක ටිකක් දිගයි... කේන්ති ගන්න එපා ඕන්...

ඒත් මැනිකගේ මූන ලස්සන නෑ... මම පූජිත මෙන්ඩිස් වගේ අනික් උන් ඔක්කෝටම ඔරවනවා. ඔන්න හිනාව නවතිනවා. දැන් නම් මැණිකගෙ මූන හොඳයි. ඒත් තරහ වෙන්න කලින් හිටිය වගේ ලස්සන නෑ.

උඹ තමයි ඔක්කෝම කරන්නෙ.. මැණිකා ප්‍රේමසිරිට කියනවා..

ප්‍රේමසිරි නෙමේ කටක් හොලවන්නේ. ප්‍රේමසිරි මැණිකට බයයි. ප්‍රේමසිරි පොළොවේ දිහා බලාගෙන ඉන්න ඇස් දෙකේ, අර මැද තියෙන බෝල දෙක මැණිකා පැත්තට යනවා. මගේ පැත්තට එනවා. මල්ලිගෙ පැත්තට යනවා. කවුරුත් සද්දයක් නෑ.

හා හා..... ළොකු බේබි ඔය සබන් ගා ගන්න ඉක්මනට. ගාලා හොඳට අතුල්ලලා හෝදන්න. නැත්නම් කට්ටියම මැටි බබ්බු වගේ ඉඳියි. ඔය වෙල් ගඳ යන්න හොඳට හෝදගන්න.

අම්මේ....!!!..... ඇති යාන්තම් මැණිකා කතා කරනවා. ආයෙත් කට්ටිය හෝ ගාල වැඩ. මමත් පස්ස පැත්තෙ සබන් ගාන්න ජංගිය පහත් කරනවා. මැන්ගොත් එහෙමයි. ඒ උනාට මල්ලියි, මැංගොගේ නංගියි, ප්‍රේමසිරියි එහෙම ජංගිය පාත් කරන්නෙ නෑ.

"බුදු අම්මෝ..........................!!!" මැණිකා මහා සද්දෙන් කෑ ගහනවා...

අම්මෝ මගේ කන් දෙක.....!!!. තව පොඩ්ඩෙන් පැලෙනවා..

කැළණි පන්සලේ පෙරහරට ගෙනත් ගස්වල බැඳලා ඉන්න අලියෙක්ට පිස්සු හැදිලා එක දවසක් හොඬේ උස්සලා කෑ ගැහුවා. එදා තමයි තාත්තා කියලා දුන්නේ කනේ බෙරයක් තියෙනවයි, ළොකු සද්දවලට, පුපුරණවයි කියලා. ඉතින් තාත්තේ ඒ බෙරේ මොන වගේද කිව්වට උත්තර හම්බ උනේ නෑ. මම හිතන්නේ තාත්තා දන්නෙ නැතිව ඇති. උත්තර දන්නෙ නැති ප්‍රශ්ණ ඇහුවම එයා සද්ද නැතුව හිනාවෙනවා. සමහර ඒවා නම් වෙන කාගෙන්වත් අහන්න එපා. ළොකු උනාම අහන්න, කියලා දෙන්නම් කියනවා. ඉතින් මම තාම පොඩියිනේ.

මම හිතන්නේ තොරණ හංදියටත් ඇහෙන්න ඇති. ෆිල්ම් හෝල් එකේනම් ඔයිටත් වඩා සද්දෙට ගෑණු අය බෙරිහන් දෙන ඒවා දැකලා තියෙනවා. සමහර වෙලාවට හෝල් එක ඇතුලෙ වගේ, කළුවර නැති නිසා වෙන්න ඇති... එච්චර සද්දයක් එන්නෙ නැත්තේ. හෝල් එකේ ලයිට් නිවන්නේ,,, නැත්නම්, මිනිස්සු ෆිල්ම් එක බලන්නෙ නැතුව, එක එක්කෙනාගේ, ඇද කුද හොයන නිසා කියලා මට කියලා දුන්නෙත් තාත්තා.

ඒ මම එක දවසක් හෝල් එකේදීම අහපු වෙලාවක. අම්මයි, වට පිටේ අයයි හිනා උනාට, ඒකනම් ඇත්තම වෙන්න ඕන. ඔය ඉන්ටවල් එකට තිරේ වහලා ලයිට් දාලා තිබුනට, කැන්ටිමේ විකුණන ඒවල ගාන තිර රෙද්දේ වැටෙන්නේ....ඒ කියන්නෙ ලයිට් දැම්මත් ෆිල්ම් එක පේනවා..... මේ කර්ට්න් එක තියෙන නිසානේ. නැතනම් ලස්සනට පෙනෙයි.  ඒත් මම විතරද කොහෙද ඒවා බලන්නෙ. අනිත් අය එක එක්කෙනා මොනවද කන්නෙ කියලා තමා බලන්නේ.. එතකොට ඉතින් මාත් ඔක්කෝම දිහා බලලනේ... ඒක නම් මාර වැඩක්නේ. අපේ තාත්තා ඇත්තම තමයි කියලා තියෙන්නේ.

ඒ සද්දෙට... මගේ අතේ තියෙන සබන් කෑල්ල ළිඳට පනිනවා.. මාර ලස්සනයි ඒක ගෙම්බා පනිනවා වගේ...

ඔන්න බේබී ලොකු කූඩැල්ලෙක්.. කියන කොටම.... ගෙවල් වල ඉන්න ඔක්කෝම අය ළිඳ ළඟට ඇවිල්ලා ඉවරයි. මාර වැඩේ. අපේ අම්මයි තාත්තයි, ආච්චි නංගිත් වඩාගෙන. මැන්ගොගේ තාත්තා ජුබ්‍රි අංකල් එයත් ඇවිල්ලා.

මොකද මැණිකා බෙරිහන් දෙන්නේ. කවුරු හරි ළිඳට වැටුනද...? තාත්තා ළිඳට එබෙනවා.

සබන් කෑල්ල නම් වැටුනා මම කියනවා..

මොකද මැණිකා කෑ ගහන්නෙ.. විකාරද උඹට.. නැත්නම් බේබිලා උඹට මොනවා හරි කරාද...?

නෑ නෝනා... මැනිකගේ සුදු පාට මූණ. මුදලාලිලගේ වත්තෙ තියෙන ජම්බු ගෙඩි වල පාට වෙලා. එයා ඩාන්ස් කරනවා. ඩාන්ස් එකකුත් නෙමෙයි. එච්චර ලස්සන නෑ. අත් දෙක වැලමිට ළඟින් උඩට උස්සගෙන ඇඟිලි තියෙන කෑලී දෙක දෙපැත්තට වනනවා, නවත්තනවා, ඇඟිල්ලක් කටේ දාගන්නවා ආයිත් එහෙම කරනවා, අනේ නෝනා...... කියනවා... ඩාන්ස් එක ලස්සනම නෑ. ඊට වඩා ලස්සනට ෆරීනා ලායි අක්කි ඩාන්ස් කරනවා. මේක ගමේ නැටුමක් වෙන්න ඇති.

මැනිකගේ තාත්තත් හොඳ නැටුම් කාරයෙක්නේ. එයා ගාව පෙරහැරවලට අඳින ඇඳුම් හිටන් තියෙනවා. එයාගේ අම්මත් හොඳ නැට්ටුක් කාරී කියන එක. අම්මයි තාත්තයි අපි නිදා ගත්තට පස්සේ කතා කරන කොට මට ඇහිලා තියෙනවා. ඒවා මම අහන්න යන්නෙ නෑ. මොකද අනිත් දවසෙ එයාලා දැන ගන්නවා නේ මම නිදි නෑ කියල. මට මුකුත් නොදන්න දෙයක් දැන ගන්න වෙන්නේ නෑ.

එයාලා මරු මරු ඒවා කතාකරනවා.. ඒ මම නිදිද කියලා බලලා. ඔන්න එක දවසක් අම්මා කිව්වා හොඳට නින්ද ගිහින් නම් කකුල වැනෙන්න ඕන කියලා ඉතින් මම ඇහැ අරලා හිටියේ. හොඳට කකුල් දෙක වැනුවා... හානේ එයා හොඳටම නිදි කියලා අම්මා කිව්වා. මට හරි ජොලි. අම්මා මගේ බොරුවට අහු උනානේ. ඒත් පස්සෙ දවසේ, අහු උනේ අම්මා නෙමෙයි, මමයි කියලා, කියා දුන්නෙ මැනිකා. ඊට පස්සෙ මම නෙමෙයි නිකමට වත් කකුල වනන්නේ.

සමයම. මේකිට පිස්සුද කොහෙද..? ආච්චි කියනවා...

මොකද මැණිකා උනේ. මොකෝ දරුවෝ කෑ ගැහැව්වේ....? ඒ අම්මා..

ඉස්සෙල්ල නම් අම්මත් මැනිකගෙන ඇහුවේ සැරෙන්.. ඒ පාර දුක හිතෙන්න ඇති.. අපේ අම්ම සෑර නෑ පොඩ්ඩක්වත්. ඒකට සෙලින් ඇන්ටි. මැන්ගොයි ,නංගියි විතරක් නෙමෙයි ප්‍රේමසිරිත් ගුටි කනවා සෑහෙන්න.

ඊ..........................ක්කා....... නෝනා ලොකු බේබිගේ කලිසම ඇතුලේ කූඩැල්ලෙක්..

ඒක ඉතින් අහන්න දෙයක්යෑ.. කලිසම් අස්සෙ කූඩැල්ලෙක් ඉන්නවා තමයි..හහ් හහ් හා...ඒ ජුබ්‍රි අංකල්.. එයාගේ හැටි එහෙම තමයි... කතාවකට කිසිසේත්ම නොගැලපෙන කතාමයි කියන්නෙ.

නෑ නෑ..... මහත්තයා ලොකූ කුඩැල්ලෙක් මෙච්චර විතර ඇති.. මැණිකා එයාගේ මුළු අල්ලම පෙන්නනවා..

අම්මට සිරි ගජ.... මගේ පුකේ කූඩැල්ලෙක් හිටියා කියලා මැණිකා කිව්වා නේද..? දැනුයි ඒක මටත් මතක් උනේ.

මොකද මොකද මිස්ටර් සැම්සන් කළබලේ.. ? මේ ළිඳ ගාව සෙනග වටවෙලා කවුද වැටුනේ...? ඉක්මනට ඉණිමග ගෙන්න ...

ආ.... දයියලයි තාත්තත් ඇවිල්ලා. එයා ඇවිල්ල තියෙන්නෙ ඉනිමග ඉල්ලන් යන්නද කොහෙද. ඇන්ටිත් ඇවිත් ඉන්නේ. දෙන්නා දෙපත්තෙන් අල්ලගෙන අරන් යයි. ඒ කියන්නේ අද එහේ තැඹිලි කඩන එක ෂුවර්. අද වෑවර කන්න පුළුවන් හකුරුත් එක්ක දාලා. සොරෝප් ගාලා සද්දෙට දිග කෑලී කන්න පුළුවන්. මම අයිස්ක්‍රිම් වලටත් ආසයි. ඒත මට හතිය නේ. ඒ නිසා තැඹිලි බොන්න නම් කවදාවත් හම්බ වෙන්නේ නෑ.කෝප්පෙට දාලා දුන්නට මම ආස තැඹිලි බෑයෙම තියාගෙන කන්න. කෝ ආච්චි කැමති නෑනේ ඒකට. කහට ගෑවෙනවා කියලා. කහටත් සබන් වගේම ජාතියක්. මේවා නැති උනානම් කොච්චර හොඳද. මගේ ඉස්කෝලේ කමිසෙ සාක්කුවේ රාජා දුන්න කජු පුහුලමක් දාගෙන ඇවිත් අම්මට අළුතෙන් කමිසෙකුත් මහන්න උනා එක පාරක්.

අංකල් දයානන්ද අයියා ගෙදරද....?

ආ.... ඔවු පුතා... එයාලා නිදි..

ඔය කෙලලා ඇරියේ මහ බොරුවක්. මෙයානම් කෙලින්ම අපායේ තමයි. දයියලට එළියට යන්න දෙන්නෙ නෑ. හරි පවු. අපි නම් එහේ ගිහින් සෙල්ලම් කරලා එනවා. දයියා නම් කොච්චර දේවල් දන්නවද....? එයාලගෙ ගෙදර ලයිබ්‍රරි එකක් වගේ. ඔක්කෝම පුටුවල වාඩි වෙලා පොත් කියවනවා. ලීලවති ඇර. ලීලවතී තාප්පෙ එල්ලිලා අනිත් ගෙදර ඇන්ටිත් එක්ක කතාකරනවා නිතරම. ඒ උනාට ඒ අංකල්ලා වැඩට ගිය වෙලාවට.

මොකද මොකද කළබලේ... අද මොනවද කරගෙන තියෙන්නේ....? සෙලින් ඇන්ටි ඇවිත් තියෙන්නෙ දැන්. හානේ එයා ගවුමක් ඇඳලා. නැත්නම් ඉතින් වෙනදට දවල්ට ඇඳලා ඉන්නෙත් අපේ අම්මා රෑට අඳින ඒවා නේ. ඒක වෙන්න ඇති එන්න පරක්කු උනේ. එයා ගුරුකුලේ උගන්නන ටීචර් කෙනෙක් උනත් ඕන දේකට එන්නේ පරක්කු වෙලා.

නෑ නෑ සෙලින් නෝනා අපේ ලොකු බේබිගේ පස්ස පැත්තේ කූඩැල්ලෙක්..

මෙහෙට එනවා.. මෙයත් යනවා කොල්ලොත් එක්ක ඔට්ටු වෙන්න .. වැලේ තියෙන් තුවායත් අරන් එනවා ඔළුව පිහිදාන්න.. සෙලින් ඇන්ටි මැන්ගොගෙ නංගිට කතා කර ගන්නවා... ඔය කූඩැල්ලෙක් නරක තැනක ගියොත් එහෙම..., මම අහලා තියෙනවා කූඩෑල්ලෙක් බඩට රිංගලා, බඩේ පැටව් ගහලා, ගෑණු කෙනෙක් මැරුනත් කියලා. කෝ මේ ළමයි කිව්වට අහන්නෙ නෑ නේ. කෝ මේ ප්‍රේමසිරියා මේ යකා තමයි ඔක්කෝම නරක් කරන්නේ.

ප්‍රේමසිරි පේන්න නෑ. මල්ලියි කනිෂ්කයි නම් ඉන්නවා.

සෙලින් ඇන්ටි කිව්ව දේ වෙන්න පුළුවන්ද..? මාර වැඩේ කූඩැල්ලා බඩ ඇතුලට ගියොත් එහෙම. ඒත් බය වෙන්න දෙයක් නෑ.. මෙයා විතරයිනේ. ඩොක්ටර් අංකල් බඩ කපලා හරි මූව එළියට ගනියි නේ. අනික පැටව් දාන්න තව එකෙක් ඉන්න එපාය. අපේ බ්‍රවුනිත් පැටව් දැම්මේ කොහෙන්ද තව බව්වෙක් ගෙනාවට පස්සෙ නේ. අපි ඇවිල්ලත් තියෙන්නේ. අම්මයි තාත්තායි කසාද බැඳපු නිසාලු නේ. හොඳ වෙලාවට ළොකු වෙලා,,,, කසාද බැන්දට පස්සෙ බබාලා හම්බ වෙන්නේ. නැත්තන් අපිටත් අර චූටී මාළුවෝ වගේ පොඩි කාළෙම බබාලා බලාගන්න වෙන්නේ. හප්පේ එහෙම කරදරයක්. කොයි වෙලාවෙත් කුක්කු ඉල්ලලා අඬනවා. කක්කි දානවා, චූ දානවා, කක්කි ඇඟ පුරාම ගා ගන්නවා. අප්පේ ඒ ගැන නම් හිතන්නවත් ඕන නෑ. මම තාම පොඩියිනේ.

කූඩැල්ලා තාම මගේ පුකේ...

මේන් මහතුනුත් ඇවිල්ලා. හප්පේ සෙනග හෝ ගාලා.... සමහර අය මම දැකලත් නෑ.

මොකෝ සුදු මහත්තයා මොකෝ මේ කෑ ගැහුවේ.....? කවුද ලිඳට වැටුනේ.....?

කවුරුත් වැටුනේ නෑ මහතුන් සබන් කෑල්ල නම් ළිදට වැටුනා

එහෙනම් මේ කෑ ගහන්නේ....?

මගේ පස්ස පැත්තේ කූඩැල්ලෙක්.....

අයියෝ ඕක මොකක්ද සුදු මහත්තයා මගේ පුකෙත් ඕන තරම් කූඩැල්ලෝ එල්ලෙන්නේ...

මාර වැඩේ.........!!! මේන් මහතුන් පුක කියලා කෑ ගහලා කියනවා. පුක කියන්නේ කැත වචනයක්නේ. ෂුවර් එකට අපේ අම්මගෙන බැනුම් අහනවමයි. ඔන්න බලන්න දැන් අපේ අම්මා මහතුන්ට බනිනවා.

එකයි, දෙකයි, තුනයි, හතරයි..

කෝ නෑනේ.. ..?

මම ගනන් කරනවා.... ස්පීඩ් වැඩිද දන්නෙ නෑ.. කෝ....? බනින පාටක් නෑනේ....? ඒ කියන්නේ අම්මා කිව්වට ඒක එහෙම වච්නයක් නෙවෙයි වෙන්න ඇති

මොකද මහත්තයා මොකද..? අප්පට බොල හෝ ගාලා සෙනග. පෙතියාගොඩ පෙරහැර බලන්න වගේ සෙනග හෝ ගාලා....

දැන් අපේ ළිඳ වටේම සෙනඟ. මාරක ළිදේ මෝටර් සයිකල් යනවා බලනවා වගේ ළිඳේ තාප්පවල ඔක්කෝම එල්ලිලා. ඒ අයගේ කරවල් අස්සෙන් අනිත් අය ඔළුව දානවා. හානේ.. ගෑණු අයත් ගොඩයි. මමයි, තාත්තයි, මැනිකයි, මැන්ගොයි, මල්ලියි, ළිඳ ඇතුලේ... මට හිතෙනවා බයිසිකලේ අරන් ඇවිත් පදින්න. ඒත් කොහොමද පදින්නේ....? ළිඳ රවුම් නෑනේ..? ෂා.... එහෙම තිබුනනම් මෙයාලා ගියායින් පස්සෙ ට්‍රයි කරලා බලන්න තිබුනා... ඔක්කෝම බලාගෙන ඉන්නෙ මගේ දිහා.... මටනම් හරි ජොලි.. මෙයාලවත් කොහොම හරි හිනස්සන්න ඕන...

කූඩැල්ලා තාම මගේ පුකේ..

නෑ නෑ මුකුත් නෑ... මෙ දරුවගේ මී හරක් කූඩැල්ලෙක්.. මම මේ ඇදලා දාන්න බැලුවේ..

හා හා මහත්තයා ලොකු උන් ගලවන්න එපා... වන වෙනවා.. මේන් අලිකලිසමයත් ඇවිල්ලා.. මටත් බලාගන්න එපැයි කූඩැල්ලා.. මම වම් පැත්තෙ උරහිස උඩින් බඩ ඉස්සරහට දාලා මගේ පුක බලනවා.. කෝ පේන්නෙ නෑනේ...

තාත්තෙ මට පෙන්නේ නෑ නේ.

කට්ටිය එක්කෙනා දෙන්නා එහෙට මෙහෙට වෙනවා. දැන් අලිකලිසමයා තමයි හීරෝ.

කූඩැල්ලා තාම මගේ පුකේ.... මම හෙමීට අත දාලා බලනවා..

ආ... මේ ඉන්නෙ පොර... කෝ බලන්න හ්ම් ළොකු තමයි. මම කලිසම ගලවන්න යනවා.

ඕක ගලවන්න ඕන නෑ. තාත්තා කියනවා..

කලිසම ගලවන්න එපා බේබි මේ මිනිස්සුත් ඉන්නවනේ මැණිකා කියනවා.

ඉතින් එයාල හිටියම මට මොකෝ....?  මහතුන් පාරු පදින්නෙම හෙලිවැල්ලෙන් නේ..පුක ඔක්කෝම එළියේ දාගෙන.. .මෙයාටත් ඕන නැති දෙයක් නෑ... .

ඔන්න කට්ටියම හිනා වෙනවා.. මට ඉතින් හරි ජොලි.. කූඩැල්ලටත් ජොලි ඇති... දැන් ඌ ඉන්නෙත් මගේ පුකේ නේ.

ඒයි..... ළොකු පුතා මොනවද ඔය කියන්නේ...?

අම්මට කේන්ති ගිහින්.. එයා හරි නරකයි.. අපිට තමයි පුක කියන්න බැරි.. මහතුන්ට කියන්න පුළුවන්.. මගේ කතාවට ඔක්කෝම හිනා උනත් එක්ක.. ඒ උනාට අම්මා නරකයි කියලා හිතන්න හොඳ නෑ.. මම අපායේ යයි.. අනික මහතුන් කිව්වට.. මම ඒක කියන්න ඕන නෑ.. එයාලගෙ අම්මා එයාට කියලා දීලා නැතුව ඇති. අනික අපායට ගියත් ළෝදිය නම් බොන්න බෑ...... කට පිච්චේවී. මට උනු කිරි එකක්වත් බොන්න බෑනේ. ළෝ දිය නිවල දෙන්නෙත් නෑ කියලා ආච්චි කිව්වේ...

මී හරක් නැතුව කොහොමද තාත්තේ මී හරක් කූඩැල්ලෝ එන්නේ....?

උත්තර නෑ...

ආයෙත් හෙමිහිට අත දාලා බලනවා..

ඔය ඉන්නෙ බඩු... රබර් එක වගේ... මූ මාර දිගයි නේ. කෝ අං දෙකක් නම් නෑ... මම හරිම ආස සතෙක්... ඌ අපේ කකුලෙ එල්ලුනාට, අල්ලට ගත්තම එයාට එල්ලෙන්න බෑ. හරියට රබර් බෑන්ඩ් එකක් වගේ. කළුම කළුයි. බඩ පැත්ත හරිම ලස්සන පාටක් තියෙන්නේ. ඒ පාට මම තාම දන්නෙ නෑ. එයා යන විදිය තමා මරු. වල්ගෙ පැත්ත උස්සලා ඔලුව ගාවට ගන්නවා හරියට අපි බඩ පිණුම් ගහන්න ලෑස්ති වෙනවා වගේ. එහෙම අරගෙන යූ එක වගේ නැමිලා පොඩ්ඩක් වෙව්ලනවා. හරියට අපේ නංගි බඩ පිණුම් ගහනවා වගේ. ඒ උනාට කූඩැල්ල නම් එයා වගේ වැටෙන්නේ නෑ.. ලස්සනට යනවා.මම නම් දැන් ඒවා ගහන්නේ නෑ. මම ගහන්නෙ බල්ටි. ඒකනම් පුරුදු උනේ පෙරහැරවල්ම බලලා. අපේ වත්තේ කාටවත් බෑ ඒ පිණුම ගහන්න.

කෝ සබන් කෑල්ල.....?

ඒක ළිඳට වැටුනා.. ඇයි මම ඉස්සෙල්ලා කිව්වේ..

කෝ පුතා ඔයාලගේ සබන් කෑල්ල.....?

මැන්ගෝ නෝ කතා..හරි මම දන්නවා... ඒකත් මැනිකගේ සද්දෙට ළිදේ.... එක්කෝ ප්‍රේමසිරි ඒකත් අරගෙනම දුවන්න ඇති.... හොඳ වෙලාවට එයා ගියේ. නැත්නම් ඔක්කෝම එයාට බනීවී.

මොකටද සබන් හොයන්නේ............? ආයිත් මගේ මූනේ ගාන්නද...දන්නෙ නෑ...?

ආයේ ගාන එකක් නෑ..... නෑ නෑ හරි හරි.... මම දන්නවා හොරේ.. සබන් ගෙනත් කූඩැල්ලගෙ මූනේ ගානවා. එතකොට. එයාගේ ඇස් දෙක දන්න පටන් ගන්නවා.. ඔන්න එතකොට එයා දඟලනවා, මෙයාට කකුලුත් නෑනේ... ඔන්න එතකොට මේයා එක අතෙන් නේ එල්ලිලා ඉන්නෙත්... එතකොට එයා වැටෙනවා.... ඒත්.....

ඒත් කූඩැල්ලට මූනක් නෑනේ.. ඇසුත් දැකලම නෑ කවදාවත්...

තාත්තේ කූඩැල්ලට ඇස් තියෙනවද...?

මම දන්නෙ නෑ පුතේ.. අනේ රාළහාමී මේකව ඉක්මනට අයින් කරන්නකෝ.. ලේ බීලා ඇති සෑහෙන... ගිය සුමානෙත් ඉස්පිරිතාලේ හිටියේ හතිය හැදිලා.. ඉක්මනට ඔලුව පිහදාන්න මැනිකෝ...

මාර වැඩේ... තත්තා අදමයි කිව්වේ එයා දන්නෙ නෑ කියලා... ඒ කියන්නෙ මම හිතුවා හරි... එයා දන්නෙ නැති ඒවා ඕන තරම් ඇති... හික්ස්...

කූඩැල්ල නම් තාමත් මගෙ පුකේ....

නෝනා ලුනු කැට ටිකක් හරි, ලුනු පොල්කට්ට හරි අරගෙන එන්නකෝ.....

ඒ පාර අලිකලසමයා මොකක්ද කරන්න යන්නේ......?

තාමත් සෙනග ටිකක් ඉන්නවා...

කූඩැල්ල නම් තාමත් මගෙ පුකේ....
- නිමී -
ප: ලි:
"හෙන්රි ද බ්ලොග්වෝකර් මෑන්" ගේ එකේ කවුද කොමෙන්ට් කරලා තිබුනලු ඇන්ඩි ග්‍රිෆිත් ගේ කතාවල කිසිම ආදර්ශයක් ගත යුත්තක් නෑ කියලා. මගේ කතාව, මම ම කියෙව්වම, කොච්චර දේවල් තියෙනවද කියලා මට නම් තේරුණා.

අවවාදය - ඔය නුවරඑළිය, අඹේවල වගේ කූඩැල්ලෝ ඉන්න පැතිවල යන කොට, ලුනු කුඩු පැකට් එකක් අරගෙන යන්න. කඩලා කූඩැල්ලෝ ඉවත් කරන එක සමහර වෙලාවට හොඳ නෑලු. කූඩැල්ලෝ වෛද්‍ය විද්‍යාවේ යොදාගන්නෙ කොහොමද කියලා ඕන නම් වෙද මහත්තයා කියයි. මගේ වාහනේ නම් හෝටල් වලින් ගත්ත පොඩි ලුනු කුඩු පැකට් මිටියක්ම තියෙනවා. සුද්දෝ සුද්දියෝ කොච්චර එපා කිව්වත් රිංගන තැන්වලට ගිහින් ආවම ප්‍රයෝජනේට ගන්න. සුද්දියන්ගේ නැචුරල් ඩාන්ස් බලන්න කූඩැල්ල කරන්නේ මහත් උපකාරයක්

80 comments:

  1. ෂා .... මාතලන් මේකනම් ජොලි. ළමයෙක්ගෙ දෘෂ්ඨියෙන් ලෝකෙ දකින හැටියට ලියපු කතා කොහොමත් රසවත්. අර සෙනඟ පිරිච්ච හැටි කියනකොටනම් මතක් වෙන්නෙ චන්ද්‍ර අනගිරත්ත මහත්මයගෙ ‘නරලොව හොල්මන්‘ කතා.

    මේ වගේ තව කතා ටිකක් ලියන්නකෝ. නිකන්ම ට්‍රැක් එකට වැටෙනව, දැනටත් නරකම නෑ, ඒත් සමහර දේවල් චුට්ටක් වෙනස් වුනානම් හොඳයි කියල හිතෙනව. ළමයෙක් හිතන හැටි වැඩිහිටියෙක් ලියන එක ටිකක් අමාරු වැඩක්, පුහුණු වුනාම ඒක සාර්ථකව කරන්න පුළුවන්වෙයි කියල මම හිතනව. සුභ ගමන් මාතලන් !

    ReplyDelete
    Replies
    1. හැදෙන්න ඕන තැන් කියපන්කෝ රත්තරන් තරහ නැතුව වෙලාවක් තියේනම්..

      Delete
    2. මේකයි මාතලන් සිද්ධිය, ඔය ගැන සම්පූර්ණ විස්තරයක් කරනව නම් මුල කොටසත් එක්ක අරන් ඒ ගැන මගේ අදහස් දිගින් දිගට කියාගෙන යන එක තමයි කරන්න වෙන්නෙ, ඒක හරියන්නෙ නෑ යාළු, එකක් මට එච්චර දිගට ටයිප් කරන්න කම්මැලියි, අනෙක ටික වෙලාවක් යනකොට මටම හිතෙනව මේක මහ ගොන් වැඩක් කියල. මොකද මේක සාපේක්‍ෂයිනේ. මට හරි නෑ වගේ කියල හිතෙන තැනක් වෙන කෙනෙක් කියන්න පුළුවන් එයා ආසම කරන කෑල්ලය කියල. ඒ නිසා මේකට හරියන ෆෝමැට් එකක් හොයාගන්න එක මාතලන්ම කරනව නම් තමයි හොඳ, ඒක අපි හැමෝටම පොදු උත්තරයක්.

      ඔය හෙන්රි අයිය පරිවර්තනය කරපු කතා, ඊඩිත් නෙස්බිට් මහත්මියගෙ පොත්, එතකොට අර ශ්‍යාම් දෙල්වදුරෙයිගෙ පොත්වල ඉන්න ළමා කාලෙන් ගැටවර අවධියට පා තබන එවුන්ගෙ (විශේෂයෙන් ෆනි බෝයි පොතේ) කථනයන්, පොඩි කාලෙ හම්බවුනු තවත් ඔය වගේ පොත් කිහිපයක් කියවල තිබුණු නිසා තමයි මට අර විදියට හිතෙන්න ඇත්තෙ. ඒත් මේක මාතලන්ගෙ මේ විදියට ලියපු මුල්ම කතාවනේ. ඒ අර්ථයෙන් ගොඩක් හොඳයි, දිගටම මේ වගේ කතා ටිකක් ලියන්න, එතකොට නිකන්ම ඔයා තමන්ට අවශ්‍ය රාමුවක් සකස්කරගනියි තියල මම හිතනව.

      ඔය පල්ලෙහායින් මුදියන්සෙ කියල තියෙනව වගේ අතුරු කතා ටිකක් දිග වැඩියි කියල මටත් හිතුන, ඒත් එතරම් කැපී පේන්නෙ නැතිවෙන්න ඒ කතා ඔබන්න පුළුවන් කියල මට හිතනව. තව අර ආච්චි කියනව, තාත්තා කියනව, මැණිකා කියනව වගේ දෙබස් කියපු කෙනා අමුවෙන්ම සඳහන් කරනවට වැඩිය වෙනත් උපක්‍රමයක් යොදා ගන්නව නම් හොඳයි කියල හිතෙනව.

      ඊළඟ කතාව මීටත් වඩා සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව මාතලන්. ජය !


      Delete
  2. පට්ට කථාව. මැණික කෑ ගහපු විදිහට මම හිතුවෙ බඩු එල්ලිලා තියෙන්නෙ එයාගෙ පස්ස පැත්තෙ කියල. කෙසේ වෙතත් උඹ මොකක් හරි ලිව්ව කියන්නෙ ලිව්වම තම්යි.

    ReplyDelete
    Replies
    1. නෑ නේ කූඩැල්ල ළොකු නිසා.. ඇත්ත කූඩැල්ල දැක්කොත් එහෙම මොකක් වෙයිද නේ...

      Delete
    2. වමනෙ දාවී...ඕක් ඕක් කියලා...හි හී

      Delete
  3. උඹ ගං වතුරේ ඇර කලපුවල එහෙම නාලා නැතිව ඇති නේද.. අර ඉස්සෝ ඉන්න එහෙක...

    ReplyDelete
    Replies
    1. ඇයි එයින් එකෙක් අතන රිංගලා වගේද දැනෙන්නේ....

      මට මැහි බං (මැරෙන්න හිනා)

      Delete
  4. //ජුබ්‍රි අංකල් //

    හි හී ඔන්න මම මාතලන්ගේ පෝස්ටුවෙන් අලුත් වචනයක් ඉගෙන ගත්තා...නියමයි.. :P

    ඔන්න අඟහරුවාදා මගෙ චාටර්ම දවසෙදී ඇති වෙනකල් හිනා උනා...අද දවසම කූල් තමා...ඇයි දෙයියනෙ ඔක්කොමත් හරි අර පෝස්ටුව ඉවර කරලා තියෙන හැටි... කූඩැල්ලා තාම මගෙ ..... ( ඒ වචනෙ කියන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ අප්පා...හි හී )

    ReplyDelete
    Replies
    1. කියන්න එහෙම නෑ... අම්මි ගහයි බැට් එකෙන්....

      Delete
  5. I am sorry.... Not a single comment Why???? what's the problem ????

    ReplyDelete
    Replies
    1. sorry it took log time to load..... sorry......

      Delete
  6. මාතලන් මේකනම් සුපිරියි බන්, ඩූඩ් ගේ ගාවට ඇවිත්,
    කිව්වත් වගේ හැදෙන්න දේවල් තියනවා නම් තමයි ඒත් උඹ කාටත් වඩා ඉස්සරහින්,
    අර එක සිද්දියක ඉදලා, තව එකකට පනින කොට නම් කතාවට අදාල නැති කොටසේ ( දැන් සිද්ද නොවන කොටස ) ටිකක් දිගයි වගේ දැනෙනවා.

    මොනවා වුනත් ලෙසටම ලියලා තියනවා. උඹට තව පොඩි කාලේ වුන සිද්දි මතක අතිනේ, ඒ වත් ඉස්සරහට ලියව්වානම්


    අපේ ගම් පැත්තේ පාවිච්චි කරනවා ලුණු පොට්ටනිය කියලා එකක්, ඒක රෙදි වලින් හද ගත්ත පොට්ටනියක්. ඒක ඇතුලේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ලුණු කැට, තව අඩුම කුඩුමත් දානවා. කොස් ඇටයක්-දෙක්ක් විතර මහතට හදා ගන්නවා.
    කූඩැල්ලෝ කෑවම අර පොට්ටනිය ඇගේ තිබ්බම කූඩැල්ලා බිම.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අදහස් වලට.. ලුනු වලට නම් බඩුම තමයි.... ඇඹරෙනවා ආයි නෑ පබා වගේ...

      Delete
  7. කථාව කියවගෙන යද්දි හෙන්රි අයියා පරිවර්ථනය කරන කථා වල ආභාෂය තියෙන බව දැනුනා... කට්ටිය කොච්චර හිටියත් දිගටම කූඩැල්ල පුකේ හිටිය එක නම් මාරයි...

    හෙළ වෙද කමේදී ගන්නෙ එක්තරා කූඩැල්ලන් විශේෂයක් පමණයි කියලයි මම අහලා තියෙන්නෙ... හැබෑටම මහාචාර්ය තුමා ඊට පස්සෙ කූඩැල්ලො පුකේ එල්ලුනේ නැතෙයි ?

    ReplyDelete
  8. Replies
    1. මොහෝම ස්තූතියි නොනේ...

      Delete
  9. කතාව දිග උනාට කිසි කම්මැලි කමක් නැතුව කියෙව්වා..
    නියමයි.. පොඩි එකෙක්ට හිතෙන දේවල් ලස්සනට ලියලා..
    සුපිරි..

    ජය..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මටත් හිතෙනවා තව අඩු කරන්න තිබුනා කියලා..

      බොහොම ස්තූතියි...

      Delete
  10. Replies
    1. මොකාද,....? කූඩැල්ලද.....?

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මැනිකේගේ අම්මත් මහ නැට්ටුක්කාරියක් නං මැනිකගේ තාත්තට වගේ නැටුං ඇදුං නැද්ද කියල තමා පස්සේ අහන්න තිබුනේ.. හහ්.. අර පලියේ තිබුන වගේ කව්ද කියන්නේ මේකේ ගන්න දේවල් නෑ කිටල. අම්මප ඕන තරං දේ තියෙනවා. අපුරුයි මාතලං. ඉදිරිය තව ලස්සන බව හිතාගත්හැකි.

      Delete
    2. ප.ලි. අර පින්තූරේ පස්සට කොහොමද බං කූඩැල්ල දැම්මෙ. හික්. හෙන්රියට කිව්වනං සැප කනේ යන පස්ට පින්තුරයක් දෙන එක සිකුරුයි...

      Delete
    3. මටත් හෙන්රි ට කියලා ඇඳගන්න හිතුනා. ඒත් මම ආස නෑ මචෝ කාටවත් ඇනයක් වෙන්න.. ඒ මනුස්සයත් අම්බානට බිසි.. කොව්වොත් බෑ කියන එකක් නෑ... ඒ උනාට මම කැමති නෑ.....

      Delete
  12. අපො මටත් පේන්න බැරි ජාතියක් කූඩැල්ලා..........

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට... ඕන් බලන්නකෝ මම කිව්වට... තව ටික දවසකින් කැමතිම සතා වෙනවා... බේරගන්න බෑ ඊට පස්සේ....

      Delete
  13. උඹ කැළණීය අවට ගම් ටික හොයා ගත්තෙ කොහෙන්ද බං ;ඩී

    ReplyDelete
    Replies
    1. යකෝ මගේ ගම ගැන මම දන්නෙ නැතිව කවුද දන්නේ....

      Delete
  14. තාමත් කිව්වේ ...?

    අපේ මිනිස්සුන්ගේ හැටිනේ ..අපරාදේ කියන්න බහ වට වෙනවා . කරන දේකුත් නැහැ .

    ReplyDelete
    Replies
    1. මේ ළඟදි මහ දවාලා අමු අමුවේ මනුස්සයෙක් කපලා දාන කොට වීඩීයෝ කර කර හිටියේ. වෙන රටවලනම් අපරාදකාරයව හරි වීඩීයෝ කරනවා. නිකන් හිතන්න ඒ කාළෙත් කැමරා ෆෝන් තිබුන නම්.. එහෙනම් අද මගේ පස්ස පැත්තත් බුකියේ...

      Delete
  15. පට්ට කතාව. උඩ ෆොටෝ එකේ කළු පාටට ඉන්නේ කූඩැල්ලද බං? :P

    ReplyDelete
    Replies
    1. හ්ම්...... කොහොමද වැඩ.....? ආර්ට් බයි මාතලන්....

      Delete
  16. කුදල්ලා තාමත්???? :ඔ හිකිස්...

    ReplyDelete
  17. කූඩැල්ලා අප් කරලා තියනවා වැඩිවි.. ඊයා රබර් වගේ ලූ.. මට නම් පේන්න බැරි සතෙක්.. දැනුත් ඇග හිරි වැටෙනවා.. ඊලග කො‍ටසත් දාන්ඩෝ ඉක්මනට..

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසක් හොහෙද බන්.... නිමී කියන්නෙ ඉවරයි... බොරු කියන්න එපා අපායේ යයි.... බලන්නෙ නැතුව නේ කොමෙන්ට් කොළේ....

      Delete
  18. දෙවන කොටස අනර්ඝයි.කතාව අවසන් කරපු හැටි ඊටත් වඩා අනර්ඝයි.මාතලන් කොයි තරම් වයසට ගියත් මනසින් තමන්ගේ ළමා කාලයට හරිම කිට්ටු වෙන් ඉඳල තියෙන්නේ.

    පුළුවන් නම් පළමු කොටස ආපහු ලියන්න.මොකද කියනව නම් පළමු කොටස දෙවෙනි කොටසෙ අහලකින් වත් කියන්න බැහැ. දෙවෙනි කොටස හරියට වෙන කෙනෙක් ලියල වගේ.....

    නියමයි මාතලන් අයියේ.........

    ReplyDelete
    Replies
    1. මට නිකං ලැජ්ජයි වගේ එකක් ආවා අනේ... ඒ කියන්නෙ මාත් වතුර ලේබකයෙක් නේ....

      Delete
  19. මදැ මාතලං ගෙ ඇ‍ඟේ එල්ලිලා කූඩැල්ල කරගත්ත දේ

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා රස ඒවා තියෙනවා.....

      Delete
  20. ඉස්සර ගම්වල ජිවත් වුන අප; පිටිපස්ස හමයනකන් පුවක් පට්ටයේ ඇදගෙන යාම,බයිසිකල් රිම් එක කෝටුවෙන් තල්ලුකරගෙන යාම,ලෙනින් මොරායස්ගේ චිත්‍රපටිවල විස්තර ලවුඩ්ස්පිකර් කටින් කියව කියව කොළ බෙදන "මයිනර්"කටුව පිටි පස්සේ ජංගිය උස්ස උස්සා දිව්ව සහ වැහි දිනවල ඔබ ලියල තිබෙන දේවල් කරපු අත්දැකීම් ඇති අපවැනි අයගේ මතකය අවදි කරන,රසවත් විදියට ලියල තියෙන විදිය අතිවිසිෂ්ටයි!ගම් මට්ටමේ,බිම් මට්ටමේ ලිපි ලියන්නත් දක්ෂය එහෙනම්.ඔහොම දිගටම යමු.ජය වේවා![අහ් !!ෆොන්සේකාගේ කෑල්ලක් කියවුනාද???]

    ReplyDelete
    Replies
    1. මේ උඹ දන්නවද අර්ජුනයි ටිරානුයි ෆොන්සේකා දාලා ගියේ ඇයි කියලා. ෆොන්සේකා මහත්තයා කියලා අර දෙන්නට කොන්ඩෙ ඩයි කරන්න නැත්නම් මාත් එක්ක යන්නෙ නාකි එවුන් කියල මිනිස්සු හිතයි කියලා. ඒකට තරහ වෙලා දෙන්නම යන්න ගිහින්...

      Delete
    2. ඈ බං එතකොට අර සිල්වා මහත්තයා...

      Delete
    3. එතැන තියෙන්නෙ "කොන්ඩ"ප්‍රශ්නයක් නෙමේ "පුන්ඩ" ප්‍රශ්නයක්.සුජිවයි,අරිජුනයි දුවට ට්‍රයි.ටිරීයන මුළු පව්ලටම ට්‍රයි but පන නැති එකට අපිට "පාන්"ද?

      Delete
    4. @ මාරයා
      සිල්වා මහත්තයා ලොක්කට හේත්තු වෙයි වගේ.. දෙරණෙ අංශක 360 ත් ආවා. මංගල ලකුණක් ඒක..

      Delete
    5. මේකනං පුදුම කරුමයක් බං.. ඒ අපතයත් එයිද..? යකෝ හෝදන්න ඇහැකි රෙද්දක්ද ඌට තියෙන්නේ... මගේම කරුමේ...

      :D

      Delete
    6. පිස්සුද බන් ඔයිට වඩා ගූ ගොඩවල් ලොක්කා ගාව ඉන්නේ ඕන තරම්..

      Delete
  21. කව්ද අප්පා මේවායේ ගන්න දෙයක් නෑ කියන්නේ.. ලොකු ලොකු අයට පොඩි උන් කරන කියන දේවල් වලට ඔලුව හංගගන්න වෙන්නේ නෑ එයාලටත් මේ වගේ කාලයක් තිබුනා කියලා මතක් කරලා දුන්නම... හි හි...

    ඉස්සර මොන්ටිසෝරි ගිහින් එනකොට බස් එකට නැග්ගම මං හෙන හයියෙන් සින්දු කියනවලු... අම්ම ඉතිං එයාගේ නෙවෙයි වගේ ඉන්නවලු... දැං කියනවා අපරාදේ ඒ කාලේ හිටිය විදියටම හිටියනං ඉවරයිලු.. හි හි..

    ඔය පාරු වැඩේ අපිත් කරලා තියෙනවා.. ඒත් අපේ ගෙවල් පැත්තේ කූඩැල්ලො නම් අඩුයි...

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය වගේ චන්ඩි උන්ට හරිම ආදරෙයි. උන් තමයි කවදා හරි පොරවල් වෙන්නේ.. මේ ළඟදි එකෙක් ලියලා තිබුනේ. ඇට්ටරයෙක් බස් එකේ කුක්කු ඉල්ලලා.. තනේ දුන්නම කිව්වලු. ඊයා මට ඕක එපා ඊයේ තාත්ති බීපු එක කියලා....

      Delete
    2. හැක්.. හැක්.. එළ චන්ඩියා..

      Delete
  22. දෙවෙනි කොටස පලවෙනි කොටසට වඩා ගොඩක් ලස්සනයි.
    පොඩි කාලෙ වෙල් වල නටද්දි මගෙ ඇගෙත් ඕනෙතරම් කූඩැල්ලො එල්ලිලා තියෙනව.මම නම් අමුවෙන්ම කඩල දානව.හැබැයි ඇගේ දත් ඉතුරු වෙනවලු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මාත් අහල තියෙන්නෙ ඔය කතාවම තමා. අපේ ඇඟේ කූඩැල්ලෝ දත් කොච්චර ඇතිද නේ....

      Delete
  23. ශා නියමෙට ලියලා තියෙනවා අයියා අර ඇන්ඩි කාරයා වගේම ලස්සනට කතාව ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇන්ඩියා අඳුන්නලා දීපූ එකා තාම ආවේ නෑ.. අමනාපයෙන්වත්ද දන්නෙ නෑ....

      Delete
  24. හෙන්රි අයියට සතුටු වෙන්න පුළුවන් , බ්ලොග් වලට ඇන්ඩි ශෛලිය හඳුන්වාදීම ගැන. මාතලන්ට ඒ කතා බොක්කටම වැදුණු බව මේ ලිවිල්ලෙන් පේනවා.

    ReplyDelete
    Replies
    1. බොක්කට නෙමෙයි රාමෝ බුරියටම වැදුනා උල් වෙන්නම.. හෙන්රියට තමා ක්‍රෙඩිට් ඔක්කෝම...

      Delete
  25. හනේ මචං සොරි වෙන්ඩෝනෙ උදේ ඉන්දං පට්ට බිසි වෙලා හිටියා ඉස්කෝලෙ රිපෝට් හදන වැඩ වලට. Busy as a mosquito in a nudist colony :D

    මේ දීලා තියෙන්නෙ බං ලෙසටම.

    මේක ඇත්තම කතාවක් කියලා මට ෂුවර් මොකද මේකෙ ඉන්න සමහර චරිත මම ඇත්තටම දන්නවා. මේ වෙලාවෙ දීපා Jailed Abroad ද කොහෙද බලනවා. බ්‍රේක් වලදි දුවගෙන එවිත් මේකෙන් ටිකක් බලලා යනවා විශේෂ උනන්දුවකින්. මොකද එයාගෙ යාලුවෙක් ඉන්න නිසා මේකෙ. හික් හික්.

    හනේ බං හෙන ඩිසපොයින්ට්මන්ට් එක නේද මැණිකා කූඩැල්ලට බය වෙච්ච එක! මමත්හිතුවෙ මැණිකා ගනී කියලා සබං හෙම ගාලා. කොහෙද මේ යෝදි මරහඬ තියලා වැඩේ වණ කලානෙ! :D

    එතකොට තාම කූඩැල්ලා පුකේ නේහ්?

    ඔන්න මම අර උඩ තියෙන ජීමේල් එකට ඊයක් එව්වා.

    උඹ මේ වැඩේ මෙතනින් අල්ලලා නොදා දිගටම මේ වගෙ අත් දැකීම් ලියාපං මාතලං තුමා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචෝ දෙමව්පියෝ දැක්කා වගේ.. මම උඹේ කොමෙන්ට එක එනකන් මේ මග බලාන උන්නේ.....

      ඊය බලන්නම්.. බලලා උත්තරේකුත් එවන්නම්කෝ....

      Delete
    2. උඹ ගුරුකුලේ කෑල්ලක් කියපු නිසා තමයි ඒක දැම්මේ...

      Delete
    3. "Busy as a mosquito in a nudist colony"
      ඔන්න මදුරුවට තියෙන වැඩ ගොඩ මතක් වෙලා මටත් හිනා යනවා නහුතෙටම..

      Delete
    4. එහෙම තැනක නම් මදුරුවෙක් වෙලා උපන්නත් සැපයි...

      Delete
  26. පස්සේ එල්ලිචිච කූඩැල්ල කෙසේවෙතත් අනිත් කුඩල්ලව මැණිකට කියල අත ගාවගන්න නම් හිතේ තිබිලා තියනවා ඒ කාලෙ ඉදන්ම.
    සුපිරියට ලියැවිලා තියනවා මාතලං. ඒත් අතුරු කතාවලට ගියා වැඩිද මන්දා. ඒ මට හිතුන හැටි.දිගටම ලියමු මේ වගේ පට්ට කතා ටිකක්.
    ඇ බං එතකොට තාම කූඩැල්ලා පුකේ.....

    ReplyDelete
    Replies
    1. මේ අනිකා... මොකෝ මෙච්චර පරක්කු උනේ... අතුරු කතා වැඩියි කියලා මේල් එකටත් කොමෙන්ට්ස් ආවා. සමහර අය හිත රිදෙයි කියලා බයට මෙතන කොමෙන්ට් කරන්නේ නෑ..

      ඇත්ත අතුරු කතා වැඩියි තමයි.. ඕනෑවට වඩා....

      Delete
  27. aththatama mathalan aiye kudella thawamath.....?

    Pasta post 1 ah.

    ReplyDelete
    Replies
    1. අරන් දැම්මා බන් අරන් දැම්මා.. ඒ උනාට ඉස්සරහ එකානම් ඉන්නවා පාඩුවේ...

      Delete
  28. ඔන්න මම වලත්තයා කියලා එහෙම කියන්න එපා.... ඇත්තටම වලත්තයා....
    අපි රසායන විද්‍යා ආයතනයෙ ඉන්න කාලෙ ගියා ට්‍රිප් එකක්... කූඩැල්ලො ඇති පලාතක.... මේ කාලෙ මම තනිකඩයා...
    ඉතින් අපි ගෑණු ළමයි කට්ටියක් එක්ක ආපසු එනකොට එක ගෑණු ළමයෙක් කෑ ගහනවා එයාගෙ කකුළෙ කූඩැල්ලෙක් එල්ලිලා කියලා.. ඉතිං කලිසම ගලවන්නයෑ කොල්ලොත් දෙතුන් දෙනෙක් ඉන්නකොට...
    මම කිවුවා ඇතුලට අත දාලා බලන්න කියලා.. අත දාන්න බෑ.. කලිසම තදයි..කලිසම ත්‍රී ක්වාටර් එකක්... දණහිස ගාවටත් උඩට දැන් කූඩැල්ලා යනවලු...
    මම කිවුවා මේක හරි යන්නෙ නෑ මම අත දාන්නද කියලා.. මගේ අත පොඩියි... අනේ කොහොම හරි මූව ගන්න කිවුවා.. අනේ ඉතිං ගෑණු ළමයව ගලක් උඩ වාඩි කරලා මම දැම්මා නේද අත... කලිසමේ කකුලකින්... (අන්න බලන්න පිංවතුනි පුංචි අතක් ලබා ඉපදීමේ වාසනාව, කවදා මෙහෙම ප්‍රසිද්ධියේ ගෑණු ළමයෙක්ගෙ කලිසමක් ඇතුලට අත දාන්නද කණේ පාරක් නොකා) දැන් ඉතිං මගේ අත සෑහෙන උඩට ගිහින් කූඩැල්ලා හොයනවා හොයනවා හොයනවා අන්තිමට කැලෑ රොදක් අස්සෙ ඉඳලා අල්ල ගත්තා.... කවුද මන්දා ජයග්‍රාහකයා.. මම ද කූඩැල්ලද නැතිනම් අර ගෑණු ළමයද, බලං හිටිය එවුන් ද මන්දා...
    අනේ මන්දා... කොහොම හරි ඉතිං කූඩැල්ලා ගත්තා නේ.....
    හැබැයි ඒ ඇල්කෙමිච්චිගෙ නං නෙවෙයි.... නමුත් වැඩේ ඇල්කෙමිච්චිත් දන්නවා....

    ReplyDelete
    Replies
    1. ඔතන එක්කෙනෙක්වත් ජයග්‍රාහකයෙක් නෙමෙයි. මොකද...? කූඩැල්ලට තිබුනේ කැලෑ රොද ඇතුලට යන්න. ඕන් එහෙම ගියානම් ඔක්කටම වඩා අර කෙල්ල නම් ජයග්‍රාහකයෙක් වනවා. මොකෝ ප්‍රසිද්ධියේ එහෙම ආතල ගන්න අමාරුයි නේ. එක්කො මූද අද්දර ගලක් අස්සෙ රිංගන්න ඕන. නැත්නම් ෆිල්ම් හෝල් එකක බොක්ස් එකකට රිංගන්න ඕන. හරි හරි දැනුයි මට තේරුනේ. මේ එහෙනම් කොල්ලො කරන්නෙ රිංගපු කූඩැල්ලෝ හොයන එකයි...

      Delete
    2. කූඩැල්ලාගේ වීර ක්‍රියාව ඇල්කෙමියාට ජයග්‍රහණය ගෙන දේ. මේ සිරාවට කුඩැල්ල හොයන කොට කොහොමෙයි කරේ. හහ්..පස්ට කතාව

      Delete
    3. යකෝ ඉරිසියාවේ බෑ ඇල්කෙමියෝ. ඉරිසියාවෙ බෑ. මට මොනවා කියනවද කියලා හිතන්නත් බෑ.

      ඇයි බොලං මේවා අර බ්ලොගේ ලියන්නෙ නැත්තෙ ලුණු ඇඹුල් දාලා.
      අනිවා උඹ කියන්න ඇති ඕකා ඇතුලට ගියොත් ඇතුලෙ ලේ බීලා බිත්තර දාලා කූඩැල්ලො ගුලියක් ඇතිවෙනවා කියලා, නැද්ද හා?

      හයියෝ ඉරිසියාවෙ බෑ.......හ්! :D

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    4. මාර චෑන්ස් එක.. නේද ඇල්.... හි හි

      Delete
  29. හෙහ් හෙහ් මට කුඩැල්ලා කිවුවාම කෙනෙක්ව මතක් උනා එයාත් පන බයයි කුඩැල්ලට.

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්න පුළුවන් කව්ද කියලා...

      Delete
  30. හොද ලිපියක්,අපේ ගම නුවර පැත්තේ පොඩි කලේ කුඩැලෝ ඕනෑතරම් කලා ඇති.දැන් කලේ ළමයිට අපිට වගේ ළමා කාලයක් නැති එක ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. දැන් කාළේ ළමයින්ට අපේ ළමා කාලය ලබා නොදීමයි වැරද්ද....

      Delete
  31. ප්‍රේමතිලකDecember 3, 2012 at 10:36 AM

    වාව්! පිචර් එකක් බැලුවා වගේ අනේ!! හැබැයි සමහර තැන්වල කොටු දාල කිබුනා! :( සෝ ස්වීට්!!

    ReplyDelete
    Replies
    1. කොටු දාපු එක නෙමෙයි ස්වීට් ඈ!

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න