.

.

Dec 27, 2014

අධිෂ්ඨානය - එල්. ටී. ටී. ඊ. පරාජය නාවික හමුදාවේ භූමිකාව - Adhishtanaya - Role of the Navy in LTTE's defeat


ග්‍රන්ථ විචාරය: 'අධිෂ්ඨානය - එල්. ටී. ටී. ඊ. පරාජය නාවික හමුදාවේ භූමිකාව'
කර්තෘ: අදිමිරාල් වසන්ත කරන්නාගොඩ
ප්‍රකාශක: එච්. කේ. මහින්දලාල්, කොළඹ 5
පිටු 418, මිළ රුපියල් 950


- චානුක වත්තේගම -

විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයකුගේ චරිතාපදානයක් කියැවීම තරම් නිදි දුරැත්තෙකුට මහඟු ඔසුවක් නැතැයි ඛුෂ්වන්ත් සිං වරෙක ලීවේය. මේ ඇත්තෙක් නම් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ 'අධිෂ්ඨානය' මේ තියරිය බොරු කරන පොතක් සේ මම දකිමි. පිටු හාරසිය ගණනෙකින් හා මනා නිමාවෙකින් යුතු මේ කෘතිය පොත් ගුල්ලකු නොවන්නකු පවා රැයක් අවදියෙන් තබා ගන්ට සමත් එකකි.

ඒ එසේ වන්නේ කරන්නාගොඩ භාවිතා කරන සරල සුගම භාෂාව නිසා පමණක්ම නොවේ. (කතුවරයා හත්වන පන්තියේදී 'කුස ජාතකය'ත් අටවන පන්තියේදී 'උම්මග්ග ජාතකය'ත් හදාළෙකි.) ඔහු තමන්ගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා දේශයක ඉතිහාසය වෙනස් කරන්ට සමත්වූවෙකි. වසර දොළහකට පමණ පෙර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ඊනියා සටන් විරාමයේදී මනිරාසකුලම් ඇතුළු අනවසර කොටි කඳවුරු ගැන මුල් වරට වාර්තා කරන්නේ ඔහුයි. අමාත්‍යාංශ තුනක් තමන්ට පවරාගෙන රනිල් වික්‍රමසිංහ රජය දුබල කරන්ට හිටපු ජනාධිපතිනිය ක්‍රියා කරන්නේ මේ අනුවය. එහි අවසාන ප්‍රතිඵලය පැවැති ආණ්ඩුව බිඳවැටී යුද්ධය පිළිබඳව ඉඳුරා වෙනස් අදහස් දැරූ වෙනත් ආණ්ඩුවක උපතයි. මින් කලෙකට පසුව නාවුක හමුදාපති සේ සතුරන්ගේ අවි සැපයුම් මහ සයුර මැදදීම නතර කරන්ට පියවර ගන්නේද කරන්නාගොඩය. මෙය ගොඩබිම සටන ජය ගැනීමේ තීරණාත්මක පියවරක් බවට පත් වේ. මේ සිද්ධි දෙක නොවේ නම් ලංකාවේ ඉතිහාසය වෙනස් විදියකට ලියවෙන්ට හොඳින්ම ඉඩ තිබිණි. එවැන්නකු තම පළමෝත අත්දැකීම් කියන්ට වන් කල්හි ඒ නිතැතින්ම අපේ අවධානයට බඳුන් වන්නේය.

ලංකාවේ පශ්චාත් යුද්ධ සාහිත්‍යය සී. ඒ. චන්ද්‍රප්‍රේමගේ 'ගෝඨාභයගේ යුද්ධය' ගැන සඳහනෙකින් තොරව කථා නොකළ හැකිය. මම මේ පොත් දෙක සන්සන්දනයට අකමැත්තෙමි. ඒවායේ අරමුණු වෙනස්ය. යම් උපරිපථනයක් ඇතද එක පොතක් සමස්ත යුද්ධය හා ඊට පසුබිම් වූ දේශපාලන පරිසරය ගැන කතා කරයි. අනෙක යුද්ධයේ යම් පැතිකඩක් එහි නියමුවකුගේ පෞද්ගලික අත්දැකීම් සමඟ වඩා විස්තර සහිතව කථා කරයි. එසේ වුවත් මේ දෙක අතර මූලික වෙනස්කම් සමහරක් දැකිය හැකිය. චන්ද්‍රප්‍රේමගේ උත්සාහය යම් පමණෙකට දේශපාලනිකය. කරන්නාගොඩ දේශපාලනය කථා කිරීමෙන් වැළකෙයි.  මේ බුද්ධිමත් තීරණයකැයි මම සිතමි. දේශපාලනය ගැන කථා කරන්ට ගියේ නම් කරන්නාගොඩ ගේ ප්‍රවේශය මේ තාක් ප්‍රශස්ත නොවන්ට ඉඩ තිබුණේය.

ඇත්තටම කරන්නාගොඩට ඕනෑවට වඩා පොලිටිකලි කරෙක්ට් වන්ටද ලොකු අවශ්‍යතාවයක් නොවේ. තම මුල් පොත ඉංගිලිසි පාඨකයන් සඳහා ලියූ චන්ද්‍රප්‍රේම මෙන් නොව ඔහු ලියන්නේ සිංහල පාඨකයින් වෙනුවෙනි. මීට වඩා භාවාත්මක වී සමාජයේ ප්‍රචලිත ඊනියා ජාතිකවාදී මතයන්ට මුක්කු ගැසුවේ නම් ඔහුට වඩා වැඩි පොත් ගණනක් විකුණා ගන්ට ඉඩ තිබුණේය. නමුත් කරන්නාගොඩ සැබෑ වෘත්තිකයකු සේ තම කාර්යය පිණිස පමණක් අවධානය යොමු කරයි. කොටින්ම 'ත්‍රස්තවාදියා' හා 'බෙදුම්වාදියා' වැනි අර්ථය අසම්පූර්ණ දේශපාලනික යෙදුම් භාවිතයෙන් පවා වැළකෙයි.

එකම එක කෙටි පරිච්ඡේදයක් හැරුණු කොට කරන්නාගොඩ මුළු පොතම වෙන් කරන්නේ 1971 දී ශිෂ්‍යභට නිලධරයකු සේ අරඹා 2005 දී නාවුක හමුදාපති දක්වා පියවරින් පියවර ඉහළට ගමන් කිරීමේ හා ඉන්පසුව කථාව කියන්ටයි. මෙයින් වැඩි කාලයක් ලංකාව යුද්ධයක පැටැළුනු නිසා මේ අත්දැකීම් කිසිසේත් සාමාන්‍යය නොවේ. සමහරක හොලිවුඩ් චිත්‍රපටයක ඇති ත්‍රාසය හා කුතුහලය ඇත. 1995 අප්‍රේල් මාසයේ දිනෙක තිරිකුණාමලයට ගමන් කරන්ට සිටි ඔහුගේ සැලැසුම් වෙනස් වන්නේ අදාළ ඇව්රෝ ගුවන් යානය ඉන් පෙර දිනයෙහි කඩා වැටී ඇති හෙයිනි. එදින තිරිකුණාමල ගුවන් ගමන් අත් හිටුවෙන අතර පලාලි වෙත ගොස් එතැන් සිට කුඩා ගුවන් යානයකින් තිරිකුණාමලයට යන්ට ඔහු වෙනත් ඇව්රෝ යානයකට ගොඩ වෙයි. ගමනේ මැද හරියේදී සැලසුම් නැවත වෙනස් වන අතර පලාලි වෙත ගමන් කරනු වෙනුවට කරන්නාගොඩ අනුරාධපුරයේදී බසියි. තිරිකුණාමලයට ළඟා වීමෙන් පසුව ඔහුට දැන ගන්ට ලැබෙන්නේ ඔහු පැය කිහිපයකට මත්තෙන් ගමන් කළ ඇව්රෝ යානයද සතුරු ප්‍රහාරයකින් ඇද වැටී නියමුවා සහ සියළු මඟීන් මරු මුවට පත්ව ඇති බවය. ඇව්රෝ යානයේ මගී ලැයිස්තුව දුටු ඔහුගේ බාල සොහොයුරා ගමන් සැලසුම් වෙනස් වීම ගැන විස්තර දැන ගන්නා තුරු ගෙවූ දුෂ්කර කාලය ඔහු ළගන්නා සුළු ලෙස විස්තර කරයි.

ළමා හා නව යොවුන් අවදියේ විස්තර කියන කෙටි පරිච්ඡේදයද රසවත් කමින් නොඅඩුය. සොහොයුරන් සිව්දෙනකු හා සොහොයුරියක සමඟ ගත කළ ළමා කාලය කරන්නාගොඩ විස්තර කරයි. පසුව අමාත්‍යාංශ ලේකම්වරයකු බවට පත්වන ඔහුගේ පියා එවක ඩී. ආර්. ඕ. (අද ප්‍රාදේශීය ලේකම්) විභාගය සමත් වන්නේ ඒ වසරෙහි පළමුවැන්නා ලෙසිනි. ඔහුගේ මව බෙන්තර ඉඩම් හිමි ව්‍යාපාරිකයකුගේ දියණියකි .වසර නවයක ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය ජීවිතය පොතේ ගලාගෙන යන්නේ වේගයෙනි. සුප්‍රකට ආනන්ද නේවාසිකාගාරයේ සිදුවීම් කිහිපයක් ගැනද වසර දහයකට පමණ පසුව ආනන්දයේ බාලදක්ෂ කණ්ඩායම 10-කොළඹ ලෙස ආරම්භ කරන්ට මුල් වූ හැටි ගැනද ඔහු කියයි. ආනන්දයේ පළමු රැජන බාලදක්ෂයා වන්නේ ඔහුය. ඒ පිහිනුම් හා ජලක්‍රීඩා කණ්ඩායම් වල නායකත්වයට අමතරවය.

නාවුක හමුදාපති හැටියට කරන්නාගොඩ නිර්මාණාත්මක හා ප්‍රායෝගික විසඳුම් ගණනෙකට මුල් වූවෙකි. ඒවා සමහරක් ඔහු මේ පොතෙහි විස්තර කරයි. සමහර තීරණ අධික අවදානමක් ඇති ඒවායි. යුද සමයේදී (ගොඩබිම් මාර්ග වැසුණු හෙයින්) තිරිකුණාමලය හා යාපනය අතර ආරක්ෂක හමුදා සාමාජිකයින් ප්‍රවාහණය භාර වන්නේ නාවුක හමුදාවටයි. මේ පිණිස ලොකු මඟී නෞකාවක් යොදා ගත යුතුය  කරන්නාගොඩ යෝජනා කරයි. 'ජෙට්ලයිනර්' සේ පසුව ජනප්‍රිය වූ පුද්ගලයින් 3,200 ක් එකවර ප්‍රවාහණය කළ හැකි ඉන්දුනීසියානු රජයට අයත් නෞකාව බද්දට ගැනෙන්නේ මේ අනුවය. මේ මුහුදු කොටි සෙල්ලම් උපරිම වූ යුගයයි. ප්‍රහාරයකට ලක් වී නම් එකවර තුන් දහසක් වැනි පිරිසක් මුහුද මැදදී ගලවා ගන්ට හැකියාවක් නාවුක හමුදාවට නොවේ. එබැවින්ම තුන් දහසක් හමුදා භටයින් පිරිසක් සමඟ නෞකාවක් එල්.ටී.ටී. ඊ. සංවිධානයට අපූරු ඉලක්කයකි.  යාත්‍රා කළ යුත්තේ මේ දවැන්ත අවදානම ගනිමිනි.  ඊට විකල්පය කුඩා යාත්‍රා දෙකක් මිළයට ගෙන සතියකට තෙවරක් ගමන් කිරීමයි. "ඒක එක ඉලක්කයක් වෙනුවට ඉලක්ක හයක් ලබා දීමක්" කරන්නාගොඩ තර්ක කරයි. අවසානයේ ඔහුගේ මතය ජය ගන්නා අතර ‘ජෙට්ලයිනර්’ නෞකාව උපද්‍රවයකින් තොරව  යුද්ධයේ අවසානය දක්වා සිය මෙහෙය ඉටු කරන්නීය.

කරන්නාගොඩගේ තවත් රැඩිකල් අදහසක් වන්නේ ඩෝරා යාත්‍රාවන් සමඟ කුඩා බෝට්ටු මුහුදු ප්‍රහාර පිණිස යොදා ගැන්මය. මේ අවශ්‍ය තරමට ඩෝරා යාත්‍රා නැති වීමට විකල්පයක් ලෙසිනි. අල්ලා ගන්නා ලද එල්.ටී.ටී.ඊ. බෝට්ටුවක ආකෘතිය අනුව මේ කුඩා බෝට්ටු නිෂ්පාදනයට ඔහු උපදෙස් දෙයි. යුද්ධයේ අවසානය තෙක් මේ බෝට්ටු සාර්ථක ලෙස භාවිතයට ගැනෙයි. මීට අමතරව ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් වෙතින් ලැබුණු පැරැණි ට්‍රෝලර් යාත්‍රාවක් හා නීති විරෝධී ලෙස මිනිසුන් ඕස්ට්‍රේලියාවට ප්‍රවාහනය කිරීමේදී අල්ලා ගන්න ලද නෞකාවක් ප්‍රතිසංස්කරණය කොට ඒවා ප්‍රහාරක යාත්‍රා වලට අවශ්‍ය ඉන්ධන හා ජලය ගෙන යන්ට භාවිතා කිරීම මඟින් ඈත මුහුදේ එල්.ටී. ටී. ඊ. අවි සැපැයුම් නෞකා විනාශ කිරීමද කරන්නාගොඩගේ තවත් අදහසකි. මෙය සතුරා හඹා ගොස් විනාශ කිරීම භාවිතයට ගැණුනු එක් ප්‍රධාන අවස්ථාවකි.

මා වැනි දේශපාලනිකව සංවේදී පාඨකයින්ට වඩා වැදගත් වනු ඇත්තේ කරන්නාගොඩ හා සරත් ෆොන්සේකා අතර චූලෝදර මහෝදර ගැටුමයි. පොතෙහි ඒ ගැන නිශ්චිතව සඳහනක් නැතද, මා අසා ඇති පරිදි මේ රෛවරලිය එකම සමයෙක එකම පාසලෙක අධ්‍යාපනය ලැබූ ඔවුන්ගේ පාසල් සමය දක්වා දිවෙන්නකි. සරත් ෆොන්සේකා හා තමන් අතර තිබුණු මිතුදම පසු කලෙක රෛවරලියක් දක්වා වර්ධනය වූ අයුරුද, ඊට පිටස්තරයින් පිදුරු දැමූ සැටිද කරන්නාගොඩ විස්තර කරයි. යුද සමයේදී තමන්ගේ කාලයෙන් හතරෙන් එකක් වත් ආරක්ෂක හමුදා අතර අභ්‍යන්තර ගැටුම් ඇති වනු වළකන්ට යොදා ගන්ට සිදුවූ අයුරුද ඔහු කියයි. මේ ගැටුම් නිසා නොවේ නම් යුද්ධය මීට කලින් අඩු මරණ සංඛ්‍යාවකින් අහවර කරන්ට ඉඩ ලැබෙනු ඇති බව කරන්නාගොඩගේ අදහසයි. අද විපක්ෂයේ දේශපාලන නයුවකුව සිටින සරත් ෆොන්සේකා මේ  ගැන සිය ප්‍රතිචාර දක්වනු ඇතැයි සිතමි.

'අධිෂ්ඨානය' වඩා සීරියස් පාඨකයින්ට උචිත පොතක් සේ මම දකිමි. එක් නියත පාඨක පිරිසක් වනු ඇත්තේ කළමනාකරණ සිසුන්ය. මේ පොත උපායමාර්ගික, මෙහෙයුම් හා මානවසම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික නිදසුන් සපයන අත් පොතක් වැනිය. සංකීර්ණ ගැටළු නිවැරදි විසඳුම් ඉදිරිපත් කිරීම මාර්ගයෙන් විසඳා ගන්නා ආකාරය එහි ගැඹුරින් සාකච්ඡාවට බඳුන් වෙයි. ඉන් අමතරව වැදගත් පොතක් කියවනු කැමැති ඕනෑම කෙනකුට මෙය රෙකමදාරුවෙහි මැළි නොවෙමි.

24 comments:

  1. දැන් මාතා ඒතකොට යුද්ධ හමුදාව යුද්ධ කරලාම නැහැ....... යුද්ධ හමුදාපති තමයි මෙතන අවුලට ඉදලා තියෙන්නේ.....

    //යුද සමයේදී තමන්ගේ කාලයෙන් හතරෙන් එකක් වත් ආරක්ෂක හමුදා අතර අභ්‍යන්තර ගැටුම් ඇති වනු වළකන්ට යොදා ගන්ට සිදුවූ අයුරුද ඔහු කියයි. මේ ගැටුම් නිසා නොවේ නම් යුද්ධය මීට කලින් අඩු මරණ සංඛ්‍යාවකින් අහවර කරන්ට ඉඩ ලැබෙනු ඇති බව කරන්නාගොඩගේ අදහසයි. //

    මාතා............. යුද්ධයක දී ප්‍රධානත ම කාර්යය කරන්නේ යුද්ධ හමුදාව.... පාබල හමුදාව සහ අනෙකුත් ෆයිටින්ග් යුනිට්ස් ඒ අතරිනුත් ප්‍රබලයි... අාධාරක යුනිට්ස් තවත් වැදගත් කාර්යයක් කරනවා...... සේවා යුනිට්ස් තවත් අංශයකින් සහය දෙනවා.... මේ සියල්ලෙන් ඉස්සරහාට ගිහින් නාවික හමුදාවකට කවදාවත් යුද්ධය කලින් ඉවර කරනවා කියන්න බැහැ... ඒක විලිලැජ්ජාවට කරුණක්..... ලංකාවේ නාවික හමුදාව භූමියේ සටන් වලට තාම ලොකු දායකත්වයක් දෙන්නෑ... අැමරිකාව ගත්තා ම තත්වය වෙනස්.................. මෙහෙව් නාවික හමුදාවක් යුද්ධය ඉවර කරන්න කල්ගියා කියන ඒක නම් විහිලුවක්........................... විචාරක අාවාම මීටත් වඩා හොදට මේක කියනවා නිශ්චිතයි.............

    ReplyDelete
    Replies
    1. මටත් ඔය විවේචනයම තියෙනවා.. මෙයා පොත ලියලා තියෙන්නේ යුද්ධයේ නියමුවා මෙයාය කියලා හිතලා.. මෙයා පොතෙන් කරපු චෝදනාවන්ට, ජෙනරාල් උත්තර දුන්නා ස්ටේජ් වලදි... සමහර වෙලාවට චානුක දකින්නේ නැතිව ඇති.. මටත් අවශ‍ය උනේ ඒ පිළිබඳ සංවාදයක් ඇති කරන්න.. ඒකයි චානුක මේක එවපු ගමන් මමත් බොහොම කැමැත්තෙන් පළ කළේ.. ඇත්ත තමයි මාත් බලාගෙන ඉන්නේ අපේ විචාගෙ කොමෙන්ට් එක එනකන්.. මොකෑ උනේ කියලා... හැබයි ඉතින් මේක පොත ගැන විචාරයක් පමණයි...

      Delete
    2. මෙහෙමයි මාතා....................

      යුද්දේ ඉවර කරපු ගමන් ත්‍රිවිධ හමුදාවේ නායකයින් සියල්ලම ඊළග නිලයට උසස් කරා... ඒ කියන්නේ සරත් ෙෆාන්සේකා මහතා ජෙනරාල් තනතුර දක්වා ඉහළ ගියා.. ඒ තමයි සේවයේදී ජෙනරාල් වුණ පළවෙනියා.. ඒ වෙද්දි ඒකට ප්‍රමාණවත් හමුදාවකුත් ලංකාවේ හිටියා... ඒත් ඔහු ඊළගට කරපු වැඩේ නොඉවසපු අාණ්ඩුව තමන් ඒක්ක හිටපු කරන්නාගොඩ මහතා අාණ්ඩුවේ තනතුරු දීලා තියාගත්තා..... සමහර විට ෆොන්සේකා මහතාටත් ඒ වෙලාවේ ඒ දේවල් දෙන්නම් කියන්න අැති.... ඒත් ඔහුගේ අවශ්‍යතාවය වෙනස් ඒකක් වුණා.. කොහොම හරි යුද්ධයෙන් පස්සෙත් අාපු ඊළග හමුදාපතිටත් සේවයේදී ම ජෙනරාල් කම් දුන්නා මේ වීරත්වය වහන්න... අනික තමයි ඒ වෙද්දිත් චරිතයක් වෙලා හිටපු කරන්නාගොඩ මහතාව උස්සලා තිබ්බා මේ වීරත්වය වර්ධනයවීම වහන්න

      ඒකයි පසුකාලීනව ගෝඨගේ යුද්ධය සහ කරන්නාගොඩගේ චරිතකතාව ඒළියට ඒන්නේ.... මේවායින් අර අැතිවුණ කැත නාමය නැති කරගන්න ඔවුන් උත්සහ කරා.... ඒ අතීතය සහ වර්ථමානය විතරයි.... ඒත් අනාගතය වෙනස් වේවි.............

      Delete
  2. පොතකුත් ලියපු එකේ පොතත් තමන්ගෙ එකේ තමන්ට ලකුණක් දෙකක් දාගත්තම මක්කැයි, හිටං.

    ReplyDelete
    Replies
    1. යකෝ..............

      දැන් හිටං ඒක ඉට්ටයිල් ඒකක් වෙලා නොවැ...............

      Delete
  3. Blow one's own trumpet කියන්නෙ මේ වගේ ඒවට තමා.කවුරුවත් ලියන්නෙ නැති තැන තමුන්ම ලියනවා.
    අපි වෙන කාගේ හරි පොතක් ගැන ලිව්වොත් උඹත් රෙද්ද උස්සගෙන කුණුහරුප කියාගෙන මරාගන්න එනවා.මේව හොඳ ඇති.

    ReplyDelete
    Replies
    1. අරින්ඩ එපා කතා කරහං හැලපයියේ , මාත් ඉන්නව උඹත් එක්ක

      Delete
    2. අනේ ඒවා හරි කමක් නෑ මචෝ ලියනවා නම්.. මම ඊයේ තිලකෙටත් කිව්වා.. උඹලා, අරූලා, තිලකෙලා නොලියන අඩුව හොඳටෝම දැනෙනවා කියලා.. හැමදාම දේසපාළණේ ලියන නිසා, චානුක මේක් එවපු ගමන්, මමත් පැනලම දැම්මා..

      Delete
  4. කරන්නාගොඩවත් ෆොන්සේකාවත් 100% නිවැරදි නැහැ. මේ දෙන්නාටම යුද්ධයේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක තමන්ගේ භුක්තියට සවි කරගන්නට බැහැ. නමුත් මේ දෙන්නාම අති විශාල කැපවීමක් කර තිබෙනවා යුද්ධය වෙනුවෙන්. යුද්ධයේ වැඩි හරියක් සිදුවුණේ ගොඩබිම් සටන්. නමුත් ඒ නිසාම ෆොන්සේකාට කියන්න බැහැ ඔහුයි යුද්ධය දිනුවේ කියලා. මුහුදෙන් කල මෙහෙයුම් අපමණයි. නමුත් කරන්නාගොඩට තනියම කියන්න බැහැ ඔහුයි යුද්ධය දිනුවේ කියලා. එතකොට ගුවන් හමුදාව පොල් ගෑවේ නැහැනේ.

    මේ ඔක්කොමලා යුධය පිලිබඳ මූලෝපාය strategies විදේශ හමුදා පුහුණු පාසල් වලින් ඉතා ඉහල පාඨමාලා මගින් ලබාගෙන තිබෙනවා. නමුත් ඒ න්‍යායයන් අමු අමුවේම අපේ රටට දාන්නේ නැතුව අපේ රටට ගැලපෙන ක්‍රමයට දේශීයකරණය localise කලේ ජෙනරල් කොබ්බෑකඩුව. යුද්ධය මීට වඩා හුඟක් කලින් ඉවර කරන්න තිබුණ ප්‍රධාන අවස්ථා දෙකයි මමනම් දකින්නේ.

    1. ජෙනරල් කොබ්බෑකඩුවට හමුදාපති වෙන්න බැරිවීම

    2. ලලිත් ඇතුලත්මුදලිට ජනාධිපති වෙන්න බැරිවීම.

    ReplyDelete
  5. දේශපාලන නායකත්වය නොලැබුණා නම් කරන්නාගොඩ සහ ෆොන්සේකා දෙන්නටම යුද්දයක් ඉවර කරන්න ලැබෙන්නේ නැහැ.

    1. ජෙනරල් කොබ්බෑකඩුවට හමුදාපති වෙන්න බැරිවීම

    2. ලලිත් ඇතුලත්මුදලිට ජනාධිපති වෙන්න බැරිවීම.

    මේ දෙකම එකට බැදී තියෙනවා නේද? මේ දෙකටම එකම එක සාධකයක් ඇත.

    ReplyDelete
  6. සරත් ෆොන්සේකව යුධහමුදාපති කරේ මහින්ද උනාට කරන්නාගොඩව හමුදාපති කරන්නෙ මහින්ද එන්න පෙර, චන්ද්‍රිකා තමන්ගෙ අන්තිමම කාලෙ ( ඒකට හේතුව මම හිතන්නෙ, යම් විදියකින් එවකට තිබූ තත්වය අනුව රනිල් ජයගත්තානම්, ඇතිවිය හැකි යම් අතුරු ඵලයන්ට පොඩ්ඩ්කට හෝ පමා කරවන්න ).

    නමුත් අන්තිමේ සරත් ෆොන්සේක මහින්දගෙන් අයින්වෙනකොට, කරන්නාගොඩ මහින්දට කිට්ටු වෙනව, ෆොන්සේකගෙන් හිස් වෙන තනතුර ගන්න.

    ඊලඟට කරන්නාගොඩ පොතක් ලියල ඒකෙ කියනව "චබකු ආරක්ෂක ඇමතිකම ගත්තෙ තමනෙග් හෙළිකිරීම් නිසා" කියල.

    නමුත් කවුරුත් දන්නව ඒ කාරනාවලට මුල, සරත් ෆොන්සේක උතුරෙ අධි ආරක්ශක කලාප අනතුරේ වැටෙනව කියල ච්න්ද්‍රිකාට දුන්න රහස් වාර්ථාව තමයි ආසන්නතම හේතුව මේ අමාත්‍යාංශ පවර ගන්න කියල.

    කොහොම උනත් රසවත් බසකින් ලියාපු පොතේ පොඩ්ඩක් මමත්වය අයින් කරානම් මීට වඩා කෝටියක් වටින්න ඉඩ තිබ්බ. ඒත් ඉතින් පෘතග්ජන මිනිස්සු වෙන මමත් ඔබත් අපි කවුරුත් තමන් පොර කියල පෙන්නන්නනෙ. ඉතින් මොකෑ කරන්නෙ!

    නමුත් කරන්නාගොඩ හඳුවල දීපු "කුඩා යාත්‍රා බලඝනය" නිසා නාවික බලය වැඩිවීම සහ මුහුදු කොටින්ට ඒ හරහ දුන්න ප්‍රභල ප්‍රතිරෝධය, යුද්ධ කාලෙ නාවික හමුදාවෙ විශිශ්ඨ කාර්‍ය්භාරය කියන මූලික කාරණා මේ නිසා අවලංගු වෙන්නෙවත්, ඒවගෙ ක්‍රෙඩිට් එක ඔහුට නොලැබී යන්නෙවත් නැහැ.

    අමතර නයෙක් සහිත කතාවක්.

    වසන්ත කරන්නාගොඩ නොහොත් "කරන්නාගොඩ අය්ය" මට හමුවෙන්නෙ 96 අගදි වගේ පණගහල ආපු "ඕල්ඩ් ආනන්දියන් සොකර් වින්ග්" එක හරහ.

    ඒ කණ්ඩායමේ හිටිය ලාබාලම එකෙක් එකෙක් උන මට, එදා එතන උන්නු ඉහල පෙලේ හමුදා, බැංකු සහ රාජ්‍ය නිළධාරින් බහුතරයක් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් අතරින් අද අවුරුදු විස්සක පස්සෙ නම් වශයෙන් මතක, පස්සෙ ආනන්ද ෆුට්බෝල් කෝච් කරපු මහේෂ්, අකාලෙ සමුගත්ත හේමන්ත, අපිට වවුනියාවෙදි අපමණ උදව් කල වාකිෂ්ඨ සහ අමතක නොවෙන ත්‍රීමලේ ගමණක් සෙට් කරපු කරන්නාගොඩ යන ආදි සහෘදයන්ව විතරයි.

    ඒ කාලෙ දැක්ක කරන්නාගොඩ කියන්නෙ බොහොම සුහද, ඕන යකෙක් එක්ක සහයෝගෙන් වැඩ කරන්න දක්ෂ, හරිම ක්‍රීඩාශීලි පුදගලයෙක් විදියට. කොටින්ම එතන හිටපු අනෙක් බොහොමයක් හමුදා නිළධාරින් අතරෙ කරන්නාගොඩ අය්ය කැපී පෙනුන, කාගෙත් හිතවතෙක් උනා. එතන උන්නු බහුතර බොරු ලොක්කන් අතරෙ "සැබෑ පොරක්" වෙච්චි දෙන්නගෙන් කෙනෙක් ඔහු. අනෙක උනේ අකාලෙ සමුගත්ත, හොඳ හිතක් තිබ්බ හේමන්ත අය්ය ( අපේ නැතිවෙච්චි ඔබා වගේම එල පොරක් තමයි හේමන්ත ) .

    ඔය චානුක කියන යුධ සහ නාවික හමුධාව අතරෙ සීතල යුද්දෙ, එදා එතනත් තිබ්බ. හැබැයි ඒ වෙලාවෙ අපේ වීරය උනේ හිනාවෙලා හිටපු සුහද නාවිකය, අද ඒක එහෙම නොවුනට..!!

    ReplyDelete
  7. මුලින්ම මෙය පළ කිරීම ගැන මාතලන්ට ස්තූතිවන්ත වෙමි. මාතලන්ට මා ගරු කරන්නේ ඔහු එකඟ නොවන දෙයක් වුවද පළ කරන්ට පසුබට නොවීම ගැනයි.

    පොතේ කරුණු වල නිරවද්‍යතාවය වෙනුවෙන් පෙනී නොසිටිමි. යුද්ධය සිදුවූ ආකාරය ගැන මටද ඇත්තේ සාමාන්‍ය පාඨකයකුට ඇති දැනුමම පමණක් නිසාය. මේ ටික පමණක් එක් කරමි.

    History යනු His-Story ය. ඉතිහාසය ලියන්නෝ ජයග්‍රාහකයෝය. පරාජිතයින්ගේ කෝණයෙන් කවදාවත්, කොතැනකවත් ඉතිහාසය නොලියැවේ. යුද්ධය නිමාවීමේ කථාන්තරය ලියවී ඇත්තේ තනිකරම මහින්ද-ගෝඨා-කරන්නාගොඩ කෝණයෙනි. එහිදී වැරදිලාවත් චන්ද්‍රිකා පාලන සමයේ කිලිනොච්චිය තෙක් යාපන අර්ධද්වීපය ඇල්ලූ කතාව, සටන් විරාමය තුළ සිදුවූ දැවැන්ත සංක්‍රමණය නිසා එල්.ටී.ටී.ඊ. එකට මානව සම්පත් හිඟවීමේ කතාව, පාරමී කුලතුංග හමුදාව නවීකරණය කරන්ට දැරූ උත්සාහය පිළිබඳ කතාව යනදිය කොතැනකවත් ලියැවී නැත. සරත් ෆොන්සේකාද ජයග්‍රාහකයකුට වඩා පරාජිතයකු හෙයින් ඔහුගේ කතාවද ඊට එකතු වී නැත. අප යුද්ධයේ නිමාවේ කථාව කියැවිය යුත්තේ මේවා සිහි තබා ගනිමිනි.

    හැබැයි එනිසාම යුද්ධයේ නිමාවට කරන්නාගොඩගේ සම්මාදම අවතක්සේරු කළ යුතු නොවේ. එසේම තමන්ගේ කතාව කියන්ට ඔහුට අයිතියක් ඇත.

    මහින්දගේ දේශපාලන නායකත්වය දෙවන ලෝක යුද්ධ සමයේ චර්චිල්ගේ හෝ රූස්වෙල්ට්ගේ නායකත්වය තරමටම තීරණාත්මක නුවූවත් ඔහු ස්ටාලින් කිට්ටුවට එයි.

    චානුක වත්තේගම

    ReplyDelete
  8. උඹලා මාව මරාගෙන කන්නේ නැත්නම් මම යමක් කියන්නද...ඊලාම් යුද්දය දිනන්න තිබුනෙ හේතු 5.
    1. පොලිටිකල් ලීඩර්ශිප් 1ක - මරාගෙ
    2. පොනියගෙ මිලිටරි ලීඩර්ශිප් 1ක - වන් මෑන් ෂෝ එක
    3. රනිල්ගෙ ගිවිසුම - මේකෙන් කොටින්ව ගරිල්ලා සටනින් අහක් වෙන්න වුන් 1ක
    4. නේවි 1ක කොටින්ගෙ ආයුධ නැව් වලට ගහලා ගරිල්ලා මොඩල් බෝට්ටු ස්කොඩ් 1ක් හදපු 1ක
    5. ප්‍රධානම් දේ , ඉන්දියාවේ රෝ එකේ උද්ව්ව

    ReplyDelete
  9. ලිපිය කියෙව්වේ ඊයේ.. කෙලින්ම කොමෙන්ටුවක් දානවද ඇනෝ කොමෙන්ටුවක් දානවද කියල හිතා ගන්න ටිකක් කල් ගියා..

    මට වඩා අවුරුදු 25කට වඩා නාවික හමුදාවට ජේශ්ඨයෙක් වුන නිසාත් අද වනවිට ලෝකයම පිළිගන්නා 'අග්‍රගන්‍ය' අද්මිරාල් වරයෙකු වන නිසාත් යමක් කියන විට හිත තවමත් ගැස්සේ. ඒ කෙසේ වුවත් බ්ලොග් අවකාශය මගින් අපට ලබා දී ඇති මේ 'වල් බූරු' මාධ්‍ය නිදහස හෑල්ලුවට ලක් කිරීමට අකමැති නිසා කෙළින්ම ලියා තබමි.

    ඔහු සුක්කානම අතැතිව සිටින කාලයේත් ඉන් පෙරත් රාජකාරි කල හිටපු නාවික නිළධාරියෙකු ලෙස මට කීමට කරන්නාගොඩ මහතා යනු ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට ජයග්‍රහණ පිට ජයග්‍රහණ කැඳවූ 'අද්මිරාල් යමමොටෝ' කෙනෙකුටවත්, අප්‍රතිහත ධෛර්යයෙන් හා වෑයමෙං එය ගොඩ දැමූ 'ලී ක්වාන් යූ' කෙනෙකුටවත් වඩා ඔහුගේ කාලයේ 'ගෝඩ් ෆාදර්' කෙනෙකු වූ බවයි.. අද්මිරාල් සඳගිරිගෙන් පසුව නාහා ඔටුන්නට හිමිකම් කීමට සිටි රියර් අද්මිරාල් විජේවික්‍රමයන් කපාගෙන ඉදිරියට ඒමට ඔහු 'චබකු' ට ඇල්ලූ ගොටු හා දාගත් ලකුණු (මනිරාසකුලම් වැනි) ගැන හරිනම් වෙනම පොතක් ගැසිය යුතුය. නාවික හමුදාපතිවරයා ලෙස ඔහුගේ තීරණ කොයිලෙසකින්වත් 100% නිවැරදි නොවීය. සමහර ඒවා අමුම භ්‍රන්ත විය. එහෙත් හැමවිටම ඔහු තම තීරණ සධාරකණීකරනය කිරීමට හා ඒවා ජනප්‍රිය කිරීමට ඒ වෙනුවෙන් පෙනී සිටියේය. ආසන්නම උදාහරණ ලෙස ඉහතින් ඉන්දික සටහන් කර ඇති ජෙට්ලයිනර් නැව හා ක්ශණික විහිදුම් යාත්‍රා බලඝණය Rapid Action Boat Squadron (RABS) හැඳිවිය හැක. යුද්ධයේදී 4වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණය (FAF 4) හෙවත් සුප්‍රසිද්ධ ඩෝරා යාත්‍රාවන්ගේ දායකත්වයෙන් සියයට එකකවත් සේවයක් කිරීමට මෙම කණ්ඩායම් වලට නොහැකි විය. එයට ප්‍රධාන හේතුව වූයේ දියමත සටන් කිරීමේදී අත්‍යාවශ්‍ය Command & Control 'අණ හා පාලනය' මෙහි නොමැති වීමයි.. ඩෝරා යත්‍රාවකදී OIC/ 2IC සහ බොහෝවිට තවත් නිළධාරියෙකුගෙන් ලැබෙන අණ මත 'ටාගට්' එකක් ගැනීමට පුරුදු වී සිටි නැවියෝ මෙලෙස තනි තනිව මුහුදේ අතරමං කිරීමෙන් අවසානයේදී නොවූයේ උනුන් එකිනෙකාට වෙඩි තබා ගැනීම පමණකි. එසේ වූවේද 'කිසිම' වැදගත් මෙහෙයුමකට ඔවුන් 'වද්දා' නොගත් නිසයි.. රාත්‍රී කාලයට ඔවුන්ට කල හැක්කක් නොවීය. සතුරාට මුහුණ දීමට දැනගතයුතුම වූ Bigger Picture of Action Plan එක ගැන සාර්ථකව ඔවුන් අතර Communicate කිරීමට නොහැකි නිසා කිසිම ලොක්කෙක් ඒ 'කුණු ගෙඩියට' අත නොගැසීය. නමුත් කිසිවෙකු එය විවේචනය කිරීමට නොගියේද හමුදා විනය හා 'ලොක්කාගේ වැඩක්' නිසායි. ඇත්ත වශයෙන්ම කරන්නාගොඩ මහතාට අවශ්‍ය වී තිබුණේ ඒ වෙනවිටත් නාවික හමුදාවට හඳුන්වා දී තිබු ' විශේෂ යාත්‍රා බලඝණය' Special Boat Squadron (SBS) මොඩලයේ තවත් එකකට තමන්ගේ නම යොදා ගැනීමයි. SBS එක ඒ වනවිටත් 'විශේෂ වරප්‍රසාද' රැසක් ලබමින් හොඳින් පුහුණු වූ නිළධාරීන් හා නැවියන් සමූහයක් සමග මහ මුහුදේ නොවුනත් කලපු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල 'යම් කිසි කාර්‍යයක්' කරමින් සිටියේය.. ඒ සඳහා ඔවුනට RABS ලට වඩා හැකියාව හා පළපුරුද්දද දක්ෂ නිළධාරින් කණ්ඩායමක් ද සිටි නිසා කරන්නාගොඩට අවශ්‍ය වූයේ නම් එය තවදුරටත් ඉදිරියට ගෙනයාමට තිබුණි. නමුත් සිදුවූයේ කරන්නාගොඩ විසින් නාවික හමුදාව තුල තවත් 'හම්බන්තොට වරායක්' ඉදි කිරීමකි. යුද්ධය අවසන් වකවානුවේ සුප්‍රසිද්ධ 'ජේන්ස්' ආරක්ශක සඟරාවට ලිපියක් ලබා දෙමින් කරන්නාගොඩ විසින් RABS, SBS පමණක් නොව FAF 4 ටත් ඉහලින් ඔසවා තැබීය. To be Continued.

    ReplyDelete

  10. Contd/-

    RABS ප්‍රමෝට් කිරීමේදී මොහුගේ යුධ න්‍යාය වූයේ 'ටාගට්' එක හැකි තරම් කුඩා කිරීමයි. නමුත් ජෙට්ලයිනර් කුළියට ගැනීමේදී එය කණපිට විය. ප්‍රායෝගිකව ජෙට්ලයිනර් යනු ඉතා අධික වියදමක් දරා නඩත්තු කටයුතු කලයුතු හා ගමනාගමනයට ඉතා විශාල වශයෙන් ඉන්දන වැය කිරීමට සිදුවූ යාත්‍රාවකි. අඩු වේගයකින් හෙබි මෙය ඇත්ත වශයෙන්ම කොටින්ට පහසු ටාගට් එකක් විය. එය Counter කිරීම සිදුවූයේ අති විශාල පරිවාර යුධ නැව් හා ඩෝරා යාත්‍රා ගනනකිනි. ගොඩ බිමට ඉතා ඈතින් ගමන් කල මෙම නැව ආරක්ශා කිරීමට ඊශානදිග මෝසම් සමයේ රළු මුහුද සමග පොර බැදීමට සිදුවීම එකල නාවිකයන්ගේ මහත් අභාග්‍යසම්පන්න අත්දැකීමක් විය. එය එසේ නොකර බැරි වූයේ ඉහතින් ඉන්දික සටහන් කල ආකාරයට ඉතා විශාල යුද නාවික සොල්දාදුවන් රැසකගේ ජීවිත ඔවුන් මත යැපී තිබීමයි. කොටින්ද ජෙට්ලයිනර් ඔවුන්ට හරඹ කිරීමට හැකි දුරකට ලංවෙන සෑම විටකම ඊට පහරදීමට මාන බැලූහ. ජෙටයිනර් බේරා ගැනීමේ මහා සටන් වලදී මා මිත්‍ර බොහෝ අති දක්ශ රණවිරුවන් තම ජීවිත පරදුවට තබා ඒ යුතුකම ඉටු කළහ. ඇත්ත වශයෙන්ම සටනකදී මිය ගිය සාමාන්‍ය රණවිරුවෙකුට වඩා බොහෝ බිහිසුණු ලෙස මැරෙන බව දැනි දැනී සටන් කොට ඔවුන් කල ඒ ජීවිත පරිත්‍යාගයන් ඉතිහාසයේ රන් අකුරින් විශේෂයෙන් සටහන් විය යුතු වූ නමුත් 'සමහරුන්ගේ' Accounts වලට හරි නැති නිසා ඒවා එතරම් මතුකොට නොදැක්වීය. මේ ජෙට්ලයිනර බේරා ගැනීමේ සටන් ගැන ඒ දිනවල එහි ගමන් කරද්දී සටනකට මැදිවූ යුධ හමුදා සාමජිකයින් බොහෝ ගනනක් FAF4 වෙත තම කෘතඥතාවය ලිපි මගින් දන්වා තිබූ අතර ඒවා ඉතා සංවේදී සටහන් විය.

    කොමෙන්ටුව දීර්ඝ වන හෙයින් මෙසේ ඉක්මණින් අවසන් කරමි. කරන්නාගොඩ මහතා නාවික හමුදාවට ඔහුගේ කාලයේ ඉතා දක්ශ 'බොස්' කෙනෙකු විය. ඔහු යටතේ සිටියවුන්ගෙන් වැඩ ගැනීමට ඔහු දක්ශ වූ අතර ඔහු හා තරඟයට පණ ඇති දෙවෙනියෙක් තියා නොගැනීමට තරම් ඔහු සූක්ශම විය. ඔහු යටතේ නාවික හමුදාවේ නැවියන්ගේ සුභ සාදන කටයුතු බොහෝ දියුණු වූ නමුත් එහි කොඳු නාරටිය වූ නිළධාරීන්ට නොසළකා හැරියා පමණක් නොව එතෙක් කල් නාවික නිළධාරීන් විසින් පවත්වාගෙන ආ අභිමානය සෝදා හැරීමට සූක්ශමව කටයුතු කලේය. එමගින් ඔහු යුධ ජයග්‍රහණයේ වැඩි බර තම සාක්කු වලට පුරවා ගෙන ඉතිරි ටික නාවික හමුදාවට විසි කර දැම්මේය..

    යුධ ජයග්‍රණයේ නාවික හමුදා කාර්යභාරය ගැන හා LTTE ආයුධ ගබඩා පුපුරුවා හැරීමේ මෙහෙයුම් ගැන වෙනම පෝස්ටුවක්වත් ලියන්නට අදහසක් පැන නැගිනි. දීර්ඝ කොමෙන්ටුව කියෙව්වානම් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ක.මිය,

      උඹෙ මේ කමෙන්ට් එක මල් මසුරන්! මොකද, ඒක මේ මනුස්සය ගැන අපි නොදැක්ක, නොදන්න තාක්ෂනික පැත්තක් එලි කරා.

      මින් පෙර චානුකම කියා ඇති පරිදි "ඒ ඒ අයගෙ හිස්-ස්ටෝරීස්" වලින් ඉතිහාසය රෙකෝඩ් වෙනව. ඒවට විකල්ප අදහස් මෙහෙම කලාතුරකින් හරි නැගෙන එක මොනතරම් ලොකු දෙයක්ද!

      මේ උලව් ඡන්දය අස්සේ මෙතරම් සාකච්ඡාවට බඳුන්විය යුතු කරුනක් ගැන ලිවීම පිළිබඳව චානුකට මගේ විරුදත්වය ප්‍රකාෂකරන අතර, ක.මියා තම ලිපිය පෙබරවාරි දක්වා කල්දමනු ඇතැයි බලාපොරොත්තු වෙමු!

      Delete
    2. අපි නොදන්නා තොරතුරට ස්තුතියි.
      FAF 4 ක්‍රියාත්මක වීමට මධ්‍යගත Command & Control ඒකකයක සෑදීමට බරිවුයේ ඇයි.gps වැනි ක්‍රම සහ තාක්ෂණික ක්‍රම මගින් අසල පවතින යාත්‍රාවක සිටින අණ දෙන්නෙක් හරහා පහසුවෙන් පාලනය කරන්න පුළුවන් නේද?

      Delete
    3. නියම කොමෙන්ට් එක කල්‍යනමිත්‍ර. වෙනම පොස්ටුවක් දැම්මත් හොඳයි. නොදන්නා දේවල් දැනගත්තා.

      Delete
    4. @ ඉන්දික හා අජිත් අයියා.. ස්තූතියි.. පෝස්ට් එකක් දාන්නම් ටිකක් නිවී සැනසිල්ලේ.. ගොඩක් වෙලාවට පෙබරවාරි පහුවෙයි තමයි..

      Delete
    5. @ මකසි.. අගය කිරීමට ස්තූතියි.. මුලින්ම ඔබට වැරදුනු තැනක් නිවැරදි කරන්නම්.. FAF 4 (4th Fast Attack craft Flotilla) යනු ඩෝරා ස්කොඩ්‍රන් එකයි.. යුද්දයේදී නාවික හමුදාව වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදුන්, රටට ආසන්නයෙන්ම රට වටේටම බැඳලා තිබ්බ ඔරිජිනල් රන් වැට තමයි ඩෝරා යාත්‍රා බලඝණය.. 'කිලර් ස්කොඩ්‍රන්' Killer Squadron කියන අන්වර්ථ නාමයෙන්ම ඒ ගැන හිතා ගන්න පුළුවන්නේ. ඉහළම තාක්ශණය, පුහුනුව හා යුද උපාය මාර්ග එක්ක සතුරාගේ මුහුදු බලය යටපත් කර ගෙන හිටියේ ඩෝරා ස්කොඩ්‍රන් එකෙන් තමයි. අනිත් බලඝනයන් පහතට දානවා නොවෙයි නමුත් හැකියාවන්ගේන් හා ලබා දෙන සම්පත් වලිනුත් අපිට මුහුණ දෙන්න වුනු යුද්ධයේ ස්වාභාවය නිසාත් ඒක එහෙම උනා.. ඕනම නාවිකයෙක් (මුහුදට ගිහින් යුද්ද කරල තියෙන) මගේ කතාවට එකඟයි. ඒකේ සැකයක් නෑ.

      SBS කියන්නෙ ඊට වඩා වෙනස් සුවිශේශ මෙහෙයුම් සඳහා නොගැඹුරු මුහුද හා ගොඩබිම දෙකේම විශේෂයෙන් කළපු ආශ්‍රිතව මෙහෙයුම් කිරීම සඳහා සැකසූ බලඝණයක්.. තාක්ශණයට වඩා ඔවුන් යැපුණේ පුහුණුව හා කුඩා අවි, පිරිස් බලය මත.. යම් යම් නිළධාරීන්ගේ දක්ශතා අනුව ඔවුන් බොහෝ සාර්ථකව මේ මෙහෙයුම් සිදු කල අවස්ථා තිබුණා.. ඒ වගේම එහෙම නොවුණු අවස්ථාත් තිබ්බා.. මගේ පුද්ගලික මතයනම් SBS එකට උනත් ඔවුන්ගෙන් ලැබුණු සේවයටත් වඩා 'විශේෂත්වයක්' එකලත් ලැබුණා කියන එකයි.. එහෙම වෙන්න හේතු උනේ ඒවා ඇති කිරීමට මුල් වුණු නිලධාරීන් ඒ වෙනකොට නාවික හමුදාවේ ඉහළ ස්තාන වල වැජබීමයි..
      කරන්නාගොඩ මහතාට අවශ්‍ය වුනේත් මේ වගේ ඔහුගේ යමක් නාවික හමුදාව තුල කිරීමයි. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ RABS (Rapid Action Boat Squadron) එකයි. නමුත් නිළධාරින්ගේ හා නැවියන්ගේ සංයුතිය අනුව මේ කුඩා යාත්‍රාවකට නිළධාරියෙකුව අනුයුක්ත කිරීමටවත් එහි නවීන අධි තාක්ශණික උපාංග රැගෙන යාමටවත් මහ මුහුදේ රල අතර හරඹ කිරීමටවත් කල නොහැකියි.. ඉතින් මේ සඳහා යොදා ගත්තේ ඒ වෙනකොට ඩෝරා යාත්‍රා වල සාර්ථකව සේවය කරමින් සිටි නැවියන් ඔවුන්ගේ කැමැත්ත අනුව. ඔවුන් පුරුදු වී සිටියේ නිළධාරියෙකුගේ ඕඩරයකට වෙඩි තැබීමට මිස අවස්ථානූකූලව සතුරා තෝරා බේරගෙන පහරදීමට නොවෙයි. ඒ සඳහා අවශ්‍ය තාක්ශණික දැනුම, පුහුණුව හෝ පළපුරුද්ද මාස 6ක වගේ කෙටි පුහුණුවක් ලබන නැවියෙකුට ලැබෙන්නේ නෑ. නිළධාරියෙකු මේ වපසරිය ලබා ගන්නේ අවුරුදු 3ක පුහුණුවක් හා උප ලුතිනන් වරයෙකු, කනිශ්ඨ ලුතිනන් වරයෙකු ලෙස අවම වශයෙන් තවත් අවුරුදු 5ක්වත් සජීවීව මේ අත්දැකීම් ලබා ගැනීමෙන් පසුවයි. ඉතින් මේ අකාරයට නැවියන් සමූහයක් මුහුදට මුදා හැර ඔවුන්ව හැසිරවීම ප්‍රායෝගිකව කල නොහැකි බව ඔබට යන්තම් හෝ වැටහෙනවා ඇතැයි සිතනවා..
      ලංකාවේ නේවී එක මුළු ලෝකයෙන්ම මුහුණට මුහුණලා කරන මුහුදු සටන් (Close quarter sea battles) සඳහා විශිෂ්ඨතම කණ්ඩායම බව මුළු ලෝකයම දන්නවා. වෙනත් රටවලින් ඒ දවස් වල ඉඳල මෙහෙ එනව නොයෙකුත් ට්‍රේනින් කරන මුවාවෙන් අපෙන් මේ පිළිබඳව ඉගෙන ගන්න. ඒ වගේම අපේ නිළධාරීන්ට එවැනි ට්‍රේනින් දී තම රටට ගෙන්න ගන්නත් ඔවුන් කටයුතු කරනවා. ඇමෙරිකාව (සීල්) පවා.. ඔබ විශ්වාස කරනවාද? ඉදිරියේදී මේ ගැන තව විස්තර සහිතව පෝස්ට් එකකින් කරුණු ඉදිරිපත් කරන්නම්. ජය ශ්‍රී!

      Delete
    6. කලාගේ උත්තරෙන් පෙන්නේ RABS එක හොඳ අදහසක් උනත් අපි ඒක කරපු (implementation) විදිය වැරදි වගේ?
      අපේ රටේ හුඟක් දේවල් ඔහොමනෙ අදහස් මල මසුරන් හැබැයි කරන්න ගියාම ගු නාගෙන අදහසත් එපා කරවලා තමයි නවතින්නේ

      Delete
    7. RABS හොඳ අදහසක් කියල මං කොහේවත් කියල නෑ.. ඒක මහ අමු මැටි අදහසක්.. මොකද RABS වෙනුවට FAF 4 හා SBS තව දියුණු කරල පහසුකම් දීල මොරාල් අප් කරල ගන්න තිබ්බ.. එහෙම කරානම් කරන්නාගොඩගෙ නමින් නාවික හමුදාවේ මොකුත් නැතිවෙනවනේ.. ඒකයි මං මුලින්ම කිව්වේ කරන්නාගොඩ නේවි එක ඇතුලේ තව 'හම්බන්තොට වරායක්' හැදුවා කියල.

      Delete
    8. @කල්‍යාණ මිත්‍ර
      ඇත්තටම FAF 4 කියා අදහස් කලේ RABS වුනත් ඔබ මට වැරදුනු තැන සොයා පැහැදිලි කළා, ඔබගේ දීර්ග පැහැදිලි කිරීමට ස්තුතියි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න