.

.

Mar 1, 2019

77 ට පෙර නොදන්නා මී හරක්...




මේ දවස්වල  77 ට පෙර තිබූ කර්මාන්ත උත්කර්ෂවයට නගලා බුකියෙ පෝස්ට් එකක් ෂෙයාර් වෙනවාය.

මේවා දාන්නේ අර රාවණා විශ්වාස කරනවා වාගේ මී හරකුන්‍ ය.


උන් කියන්නේ අර සිරිමාගේ සංවුර්ත ආර්ථිකේ තිබ්බා නම් මේක දිවිය ලෝකේ කියලාය. කතාව සහතික ඇත්තය. සාගරයෙන් වටවූ ගෝත්‍රික දිවයිනක ජීවත් වන ගල් වැද්දන් හිතන්නේ මේක තුන් ලෝකේම තිබෙනා සුරපුරේ කියලාය. ආගම ලෝකේ හොදම එක කියලාය. ජාතිය ලෝකේ උතුම්ම එකෙයි කියලාය. ඉතිහාසය හා සගිස්කුරුතියත් එසේමය.

ප්‍රේමදාසගෙන් පස්සෙ ආපු එකෙක්ටවත් විවෘත ආර්ථිකේ කළමනාකරණය කර ගන්න බැරි උනාට, අදටත් හැම එකාම පවත්වාගෙන යන්නේ ඒ ක්‍රමයමය.

ජේ ආර්, ප්‍රේමදාස වාගේ සොලිඩ් බඩුවක් නොව මෙලෝ රහක් නැති රනිල්ට එජාපයේ වැඩ පිලිවල ඉදිරියට  ගෙනයන්නට බැරි උනාට ඒ ක්‍රමයට ගහලා ඇති වැඩක් නැතිය.

උන් කියන්න හදන්නේ ජේ ආර් විවෘත ආර්ථිකය ගෙනා නිසා දේශිය කර්මාන්ත වලට කෙලවෙලා ගියාය කියලාය.

මුන් කියනා කර්මාන්තශාලා වලින් අති බහුතරය රජය විසින් පවත්වගෙන ගිය ලාබ නොලබන ව්‍යාපාරයන්‍ ය. ඒ හැර සදහන් කරන්නේ උපාලි ෆියට්, යුනීක් රේඩියෝ, දාසගේ මදුරු දැල් හා රාණි සබන් ගැනය.

එහෙත් මුන්දලා නොදන්නා දෙය නම් මේ ව්‍යාපාරිකයින් සියල්ලන්ම වාගේ ආන්ඩුවේ හිතවතුන් හා නෑයන් වූ වගය. ජේ ආර් විවෘත ආර්ථිකේ ගෙනාවා කියා මේ අයගේ හෝ ආන්ඩුවේ ඒවා වසා දැම්මේ නැතිය. මේවාට කෙල උනේ අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් කොලිටි බඩු හා තරග කිරීමට නොහැකිවීමෙන් ගමේ චන්ඩින්ට කෙලවෙලා ගිය එකය. ජනසතු කරපු වතු වලට  අත් වී තිබෙන්නේද ඒ සැන්තෑසියමය. ඒ කාළේ මාර පොරක්වූ මරදානේ ජෝන් බ්‍රදර්ස් අදටත් එසේමය.

 අනෙක් කරුන නම්, ඕවා තිබුනා නම්, මුළු ලෝකයම ජය ගන්න තිබුනාය කියනා මුලාවය. ඔය කියනා රාණි සබන් හදන ස්වදේශී කර්මාන්තශාලව අදටත් කදානේ තියෙනවාය. ඒත් දම්‍ රෝ කාරයා ලොව ජයගත්තා සේ, ලොව ජයගත් අනෙක් ව්‍යාපාරිකයින් සේ, රාණි සබන් සුද්දෝ ගන්නේ නැති එක විවෘත ආර්ථිකේ වරදක් වෙන්නේ නැතිය.

ඇත්තටම සිදු වූයේ තිබුනාටත් වඩා කර්මාන්තශාලා රට පුරාම බිහිවීමය. ප්‍රේමදාසගේ ඇගළුම් කර්මාන්තශාලා ඉතා සුළු කලෙකින්ම රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් වුනේය. එය තවත් වර්ධනය කළේ නම්, මැද පෙරදිගට නොපුහුණු ශ්‍රමය අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පුළුවන් කම තිබුනේය.

එහෙත් ඉන්පසු පැමිණි කිසිම පාලකයකු කර්මාන්ත හෝ ක්‍ෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා මෙලෝ දෙයක් නොකෙරු අතර, එයාලාගේ පවුල් නගා සිටුවීම සදහා -

දියවන්නාවේ හරක් ගාලට අමතරව, පලාත් වශයෙන් ගවගාල්ද, ප්‍රාදේශිය ගවගාල් වලට හරකුන් ගහනය වැඩි කිරීමෙන්ද, එයාලාගේ ආර්ථික වර්ධන වේගය පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නගා සිටුවාගෙන ආතල් ගන්නා අයුරු, රටට මෙලෝ අල බෝලයක් නොකල ඛේමාගේ කොලුවාගේ පාටියෙන් මේ රටේ ජහමනයාට අපූරුවට බලා ගන්නට හැකි උනේය.

අදත් රජයේ සේවා සියල්ල පවත්වාගෙන යන්නේ ලොසේ ලොස් පිටය. රාජ්ජ සේවකයාගේ කාර්‍යක්ෂමතාවය ගැන පොඩි උන් පවා දන්නවාය. ඒවා තියෙන්නේ කාළකන්නි දේශපාලුවන්ගේ පැවැත්ම සදහා උන්ගේ හෙන්චයියන් පුරවා අයිස් ගසන්නට දැමීමටය.

පාලකයන් නොව ජනතාවද ඉන්නේ මෙවන් මතයක නම් ස්වාසිලන්තේ පින්ලන්තේ උනත් අපිට නම් සදා සොත්ති භවන්තුතේමය...








20 comments:

  1. ආණ්ඩුවේ ගූ-තැලීම කලාවක් නම්,
    මාතලන් එහි පිකාසෝ වේ

    ReplyDelete
  2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. මම මේ කියන පෝස්ට් එක ගැන ඇති වූ සංවාදයකට ප්‍රතිචාර දෙකක් දැම්මා. මම ඒ දෙක පහතින් පේස්ට් කරන්නම්. මෙහිදී පිලිවෙලින් ඒ ඒ කරුණු වල සත්‍ය අසත්‍යතාවය හෝ මා දන්නා ඇත්ත ලියා තිබෙනවා.නොකියවූ කෙනෙකුට කියවන්න ඒ ඔරිමජිනල් ලිපියත් මෙහි දැක්වුවාට මාතලන් තරහා වෙන එකක් නැහැනේ. පහතින් තියෙන්නේ ඒක' එක රිප්ලයි එකකට දාන්න බැරි නිසා දෙකකට දානවා.


    මේක කියවලා ඇත්තටම ඇඬුනා!

    ලංකාවේ සශ්‍රීකම දශකය❤❤

    The Golden Decades of Sri Lanka ����

    දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස් දරන්නන්ට දැන ගැනීමටයි මේ ටික.


    JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි.

    ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා පාලම් කාප්ප දක්වා වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.

    ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා.

    UniC රේඩියෝව හදලා ආසියාවේ රටවල් වලට අපනයනය කරා.

    රටේ හැම ගමකම weaving mills දාලා අපේ රෙදි පිලි අවශ්‍යතාවය ගම් මට්ටමින්ම සපුරා ගත්තා.

    එතකොට මදුරු දැල් තිබුනා ඩියුරෝ කියලා සවි ශක්තිය අතින් ඉහලයි.

    දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කලා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා.

    අපේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම් condensed milk.
    ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොලොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා �� �� . දැං ඒ ඔක්කොම වගේ පිටරටින් තොරම්බල් බඩු ගේන්න පුරුදු වෙලා.

    ඒ කාලේ ⁣Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි දුන්නෑ මොකද අපි Upali Fiat එක හදන නිසා තව නොබෝදිනකින් saloon car එකක් ලෝකෙට හඳුන්වා දෙන්න කියලා බලාපොරොත්තු තිබුණු නිසා.

    වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා,

    ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St.Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා.

    ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයරය ලොකුවට made in Sri Lanka ���� කියලා ලියලා.

    බරවාහන දේශීයව හදාගන්න කාලය අත ලඟ කියලා හීන දැක්කා.
    ලංකාව, සෝමාලියාවක් වෙලා තිබුනා කියන අය ලංකාවට ආසියාවේ ස්විට්සර්ලන්තය කියපු කාලක් තිබූ බව දන්නැතුව ඇති.

    චොකලට් �� කර්මාන්තය පටන් අරං පිටරටවල පවා කොකෝවා වැව්වා ලංකාපුත්‍රයන් යටතේ ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුනා.

    එවකට ආසියාවේ තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය මෙන්ම සාඩම්බර ලාංකික ගැහැණිය අරාබියට විකුණලා දැම්මා. (පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑණු වහල් සේවයට යවන එක නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ. එකම එක්කෙනෙක් ඒ වැඩේ ටිකාක් විතර control කරා එච්චරයි)

    සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න).

    කුඩා දරුවන් වූ අපි නිතරම අධ්‍යාපන චාරිකා ගියා අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමටයි. අද ලුණු ටිකත් ඉන්දියාවෙන්.

    මේ කිවූ කිසිම දෙයක් නාදුනන මා කීවාට පිළිනොගන්න. කරුණු ⁣තව දුරටත් සොයාබලා විශ්වාස කරන්න.

    එකල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල ⛵ නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම. අද 1977ට පස්සේ, අපි ⛵වල පාවෙලා ජීවිත පවා නැති කරගෙන වෙන රටවල් වලට පනින ලැජ්ජා නැති ජාතියක් වෙලා. කවදද වැරදිලා තියෙන්නේ?

    ස්තූතියි Dr ප්‍රසන්න කුරේ..


    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ...

      මටත් ඇඩුනා

      Delete
    2. ඔය කොටසට 100 % ක්ම එකගයි නිතර ඉන්දියාවට යන එන මම ඉන්දීය මිතුරන්ගෙන් සෑම විටම අහන්නේ ලංකාවෙන් මොනවද ඔයාලට ගේන්න ඕන කියල ඉල්ලනේනෙම Rani සබන්.

      Delete
    3. දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කලා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා. ඔය කොටසට 100 % ක්ම එකගයි නිතර ඉන්දියාවට යන එන මම ඉන්දීය මිතුරන්ගෙන් සෑම විටම අහන්නේ ලංකාවෙන් මොනවද ඔයාලට ගේන්න ඕන කියල ඉල්ලනේනෙම Rani සබන්.

      Delete
  4. මේ තියෙන්නේ මම ලියාපු උත්තරයයි

    මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. මට නම් ඇඬුනේ නැහැ, හිනා ගියා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.

    වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ.

    කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්.

    unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි.

    ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?

    proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.
    පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්.

    බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

    ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??

    ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.

    1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල්/විශ්ව විද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා. ඒ දක්වා අපි ආසියාවේ ස්විට්සර්ලන්තය කියා කීම නිවැරදියි.

    උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි.

    ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.

    අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .

    70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.

    තවත් දිගට තියන ටික තුන් වෙනි පෝස්ට් එකක දාන්න උනා.

    ReplyDelete
  5. තවත් දිගට තියන ටික තුන් වෙනි පෝස්ට් එකක දාන්න උනා. මේ තියෙන්නේ අන්තිම ටිකයි.

    77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ.

    වැඩිහිටියෙකුට දිනකට තම පාං කාඩ් එක ඉදිරිපත් කර පාන් බාගයක් සලාක ක්‍රමයට ලබාගත යුතු වූ, සිකුරාදාට සහ අඟහරුවාදාට බත් කෑම (කඩවල විකිණීම පමණක් නොව, තමන්ගේ බත් මුලක් හෝටලයක් තුලදී ආහාරයට ගැනීමටවත් ඉඩ ලැබුනේ නැහැ.) තහනම් වූ, හාල් සේරු දෙකකට වඩා රැගෙන පාරේ යාම වරදක් වූ, පරිප්පු, උම්බලකඩ, වැනි දේවල් දකින්නවත් නොතිබුන යුගයට golden decade කියා ඉංගිරිසියෙන් මෙහි දක්වා තිබුනාට එකල සිංහලෙන් කිව්වේ ''සත් අවරුදු සාපය '' කියලයි.

    මට පිළිතුරු දීපු කෙනෙකුට මම නැවතත් යම් පැහැදිලි කිරීමක්, එහෙම නැතිනම් මගේ අත්දැකීම් ගැන විස්තරයක් කිව්වා . මේ තියෙන්නේ ඒකයි

    ඔහු මට කියා තිබෙන්නේ මෙලෙසයි
    ඔබතුමා හොඳ UNP කාරයෙක් බව නම් පේනවා.පරම්පරාවම කැපුවත් කොල වගේ...

    ඒකට මගේ පිළිතුර මේකයි

    මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්‍යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්‍යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්.

    එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්‍යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා.

    1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා.

    රතු ලූණු ප්‍රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ.

    අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි.

    කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්‍රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්.

    1990 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්‍රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ.
    මේවා පල කලාට මාතලන් අමනාප නොවනු ඇතැයි සිතමි. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දීර්ග කොමෙන්ටුවට..

      හැකිනම් ෆේස්බුක් එකේ පෝස්ට් එකටත් මේ රිප්ලයි එකම දාන්න

      Delete
    2. සෑම්, පොඩි නිවැරදි කිරීමක් කරන්න අවසර. උපාලි මැස්ඩා එක හැදුවේ සිරිමාගේ කාලෙ තමයි. ඒකට කරපු කරදර නිසා උපාලි විජේවර්ධන නැවත වාහනයක් හැදුවේ 1977 න් පසුව. එමනිසා උපාලි ෆියට් එක හැදුවේ සිරිමාගේ කාලෙ නෙවෙයි. 1980 දී පමණ. 1982 උපාලි විජේවර්ධන මියයනවා. ඒ නිසයි ඉන්පසු ඔහුගෙන් වාහන නිපද නොවුනේ. ඔය යුනික් රේඩ්යෝ එක සහ ඩෙල්ටා ටොෆි හැදුවෙත් ඔහු බව ඔබට මත ඇති.

      Delete
    3. කැන්ඩොස් විතරයි ඉතුරු උනේ...
      නොනයි දිවයිනයි වෙල්ගමලා ඉස්සුවා...

      Delete
    4. ඉයන්, ඔබගේ කොමෙන්ට් එක දැක්කාම ඒ ගැන මම තවදුරටත් හොයා බැලුවා. Fiat 128 එකේ licensed production යටතේ තියෙන්නේ මෙහෙමයි.

      'In Sri Lanka, the Fiat 128 was manufactured by the Upali Motor Company until 1978.'

      1981 දී දිවයින පටන් ගත්තාම ඒක මුල ඉඳලාම අච්චු ගැහුවේ ගලවිලවත්තේ ද එහෙම නැතිනම් බ්ලුමැන්ඩල් පාරේ පටන් අරං පසුව ගලවිලවත්තට ආවාද කියන එක මට හරියටම ෂුවර් නැහැ. නමුත් බ්ලුමැන්ඩල් එකේ තිබුනේ ඔෆිස් එක පමණයි, පත්‍රය මුල ඉඳලාම ගැහුවේ ගලවිලවත්තේ කියලා තමයි හිතෙන්නේ. එහෙම නම් 78 දී කාර් නිෂ්පාදනය නවතලා 81 ට පෙර මුද්‍රණාලය ස්‌ථාපිත කළා යැයි හිතන්න පුළුවන්. ස්තුතියි.

      Delete
  6. /සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න)./

    1962 1963 කාලයේ ඉන්දියාවේ අග්‍රාමාත්‍යව සිටි ජවහර්ලාල් නේරු මැතිතුමා, 1962 වසරේදී, කොළඹ විශ්ව විද්‍යාලයේ King George ශාලාවේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී කරන ලද ප්‍රකාශයක් මට සිහියට නැගෙනවා. එය මෙසේය. " අද ලංකාව දියුණු වී තිබෙන තත්ත්වයට, තව අවුරුදු දහයකදී ඉන්දියාව,ගෙන ඒමට හැකිවුවහොත් ඉන්දියාවේ පාලකයින් වන අපට මහත් සේ ආඩම්බර විය හැකියි." (එකළ University of Ceylon හි විද්‍යා අංශය තිබුණේ අද කොළඹ විශ්ව විද්‍යාල භූමියේය.)
    ඒ කාලයේ අපගේ සෞභාගය පිළිබඳව ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුණා. අද තිබෙන පසුබෑමට ඉහත විස්තර කර තිබෙන සියලුම දේශපාලකයින් වගකිවයුතු බවයි මා සිතන්නෙත්. ( මෙම සිද්ධිය වාර්තා වී ඇති තැනක් ගැන නම් මා දන්නේ නැහැ.)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... සිරිමාවෝ වමේ හරක් සෙට් එකක් දාලා මේ රට කෑවා....

      Delete
  7. 70 වේදි unp වේදිකාවට නැග්ග නිසා මාව බත්ගොට්ටෙක් විදියට හංවඩු ගැහිලයි හිටියේ.
    73-77 කාලයේ සේවිකාවන් 60 කට වඩා සේවය කළ බතික් ආයතනයක් මං පවත්වාගෙන ගියා. (පටන් ගත්තේ තනි මගෙන්. ඒක කියන්නේ කළමනාකරණයේ වරදක් නොවුණු බවට සාක්ෂියක් වශයෙන් විතරයි.)
    හැබැයි unp හංවඩුව නිසා රෙදි කෝටා එකක්වත් ගන්න බැරි වුණා. (ඒ කාලේ එහෙම එව්වාට ග්‍රාම සේවකගේ සහතිකය එහෙම ඕනෙමයි.) සේරම වැඩි මිලට අරගෙනත් අපි බතික් වැඩේ කරගෙන ගියා. හැබැයි දාස වගේ ව්‍යාපාරවලට හිටු කියලා සලකද්දී තමා අපට කෙනෙහිලි වුණේ.
    77 න් පස්සෙත් මම නම් unp රජයකින්වත් මොනම වාසියක්වත් ඉල්ලුවෙත් නැහැ; ලැබිලත් නැහැ.
    නමුත් විවෘත ආර්ථිකයත් එක්ක රටට ලාබෙට රෙදි-පිලි ගලාගෙන එද්දී බතික් වැඩේ නවත්වන්න වුණා. මොකද, අපි මාස පහ හයක් සුද්දොන්ට හරියන දේවල් හැදුවට ඉතිරි ටිකේ කළේ ලංකාවේ අයට සාරි, සරොම්, කමිස හැදිල්ල. ඒවාට අලෙවිය නැතිවෙද්දී කොහොමද වැඩ කරන අයට පඩි ගෙවන්නේ. මාස හයක් විතරම එකතුවෙන stocks තියාගන්නත් බැහැනේ, අපි වගේ අයට. ඒක හුඟ දෙනෙකුට වුණා.
    අපේ රටේ මොන කෙරුවාව කරන්න ගියත් ආණ්ඩුවේ හෙන්චයියෙක් නෙවෙයි නම් හරි අමාරුයි. උදව් නොකළත් කමක් නැහැ, අකුල් නොහෙළා ඉන්නවා නම්.
    නිමක් නැති පෝලිම්, තහංචි, කරදර හින්දා අමාරුකම් වගේම හොඳකුත් වුණා. ඒ දවස්වල මිනිස්සු මල් පෝච්චිවලත් මිරිස් පැළ හැදුවා. වත්තෙත් මඤ්ඤොක්කා හදා ගත්තා. වැරැද්ද වුණේ සේරෝම අමාරුකම් සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් විඳින්න වුණ එකයි.

    ReplyDelete
    Replies
    1. හැමෝටම වින් කරන්න බෑ... බුද්ධි බතික් ලෝකෙම ජය ගත්තා... බෙයාර් ෆුට් හොයාගෙන සුද්දොත් එනවා... සිස්ටම් එකට අනුගත වෙන්න බැරි කෙනා කොහෙත් ෆේල්...

      Delete
  8. ඔබ හරි. ඒ තියරියට අනුව තමා දැන් හැම ගමකම සුපර් මාර්කට් හදෙද්දී පොඩි කඩකාරයෝ නැති වෙලා යන්නේ!

    ReplyDelete
    Replies
    1. කස්ටමර් යන්නේ තමන්ට වාසි තැනට

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න