.

.

Oct 18, 2011

කඩලෙ - Kadale


සාමාන්‍යයෙන් පාසල් ජීවීතේ දී මුන ගැසෙන චරිත මුළු ජීවිත කාළයටම වීරයෝ. විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, හෙඩ් මාස්ටර්ලා, නපුරු ගුරුවරු ගුරුවරියෝ, ආදරණීය ගුරුවරු ගුරුවරියෝ, කෝච්ලා, හෙඩ් ප්‍රිෆෙක්ට්, ක්‍රිකට් කැප්ටන්, රගර් කැප්ටන්, බ්‍රයිට් පොරවල්, කචල් පොරවල් වගේ අය. ඒත් ඔයාලට හිතන්න පුළුවන්ද ඉස්කෝලයක් ඇතුලේ කඩල විකුණපු කෙනෙක් හැමෝගෙම ආදරය දිනා ගත්ත චරිතයක් වෙයි කියලා. ජීවීතයටම අමතක නොවන.

කට්ටිය දන්නවනේ මම ගියේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට කියලා ඒ 6 පන්තියේ ඉඳලා. ඊට ඉස්සෙල්ලා ධර්මාළෝක පොඩි ඉස්කෝලෙට, ඊටත් ඉස්සේල්ලා කේරී එකට, මොන්ටිසෝරී 3 කටත් ගියා. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ අමතක නොවනම චරිතය තමයි DP. බොරු කියන්න ඕන නෑ අදත් බයයි. ඒ වගේ ප්‍රතාපවත් චරිතයක් අද වන තෙක් මට මුන ගැහිලා නෑ. මම ඒ ගැන පෝස්ට් එකක් කලින් ලිව්වා.

ඒ වගේම අමතක නොවන අය අතර පීරීස් ප්‍රින්සිපල්, ධර්මතිලක සර්, කුරේ සර්, වීරසිංහ ප්‍රින්සිපල්, අමරදාස සර්, මුණසිංහ සර්, සමරකෝන් සර්, මාල් සර්, රණසිංහ මැඩම්, කළුආරච්චි මැඩම් , බස්සා, බම්බා, ගංජා හුටන් වගේම පාසල් කාළයෙත් පොරවල් වෙච්ච මඩ්ඩා, අසන්ත ඩි මෙල්, හේම නලීන් වගේ අයත් ඉන්නවා. අපේ පන්තියේ එකට හිටපු පොරවලුත් සමාජයේ උසස් ස්ථානවල වැජබෙනවා දකින කොට කාටද ආඩම්බර. 

ඒත් මේ ඔක්කොම අතරේ කාටද අමතක වෙන්නේ "කඩලෙ". මම හිතන්නේ කඩලෙ ඉන්න කාළේ පාසලේ හිටපු කාටවත් කඩලෙ අමතක වෙන්නෙ නම් නෑ ජීවීතේ තියෙනකම්. කඩලෙගේ ඇත්ත නම කවුරුවත් දන්නෙ නැති උනත් හැමෝම එයා ඇමතුවේ කඩලෙ කියලා. ඔය පින්තුරේ ඉන්න කෙනා වගේ තමයි පොඩ්ඩක් හැඩ හුරු කම. නමුත් ඔයට වඩා කොන්ඩෙත් රැවුලත් තිබුනා. පුළුන් ගොඩක් වගේ සුදුම සුදුයි, හැඩි දැඩි මනුස්සයා. සුදු සරමයි සුදු කමිසයයි තමයි නිතරම ඇන්දේ. හරිම පිරිසිඳුයි, සෙරෙප්පු දැම්මේ නෑ. කමීසයේ බොත්තම් දෙකක් විතර දාන්න අමතක වෙලා තිබුනා හැමදාම. පපුවෙත් පුළුන් ගොඩක් තියෙනවා කියලා පෙන්වන්න වෙන්නැති එහෙම කළේ. ඔය වගේම කරේ ලේන්සුවකුත් දාගෙන හිටියා. නමුත් නිතරම නම් නෙමෙයි.

කඩලෙ කලේ පොඩි ලෑලී ට්‍රේ එකක කඩල, ටොෆි වගේ දේවල් විකුනපු එක. ලොකු ඉස්කෝලේ දකුණු අත පැත්තේ ප්‍රයිමරි එකට ඇතුල් වෙන පැත්තේ පරණ බිල්ඩිමේ එසෙම්බ්ලී හෝල් එක ගාව තමයි කඩලේ හිටියේ. කඩල ගොට්ටක් මට මතක හැටියට ශත 25 යි. මහ ගොඩක් තිබුනේ නෑ. ඉන්ටර්වල් එකට විතරයි සේල්ස් කරේ වටේට වටවෙලා කොල්ලො කඩල ඉල්ලන කොට සමහර වෙලාවට මල පනිනවා. සමහර වල් කොල්ලො (අපි නම් බෝ පැල.) ඕනකමින් මල පන්නනවා. සමහර උන් හොරෙනුත් ගන්නවා අච්චර සද්ධන්ත පොරට හොරෙන්. කඩලේ කිව්වට කඩලෙ විකුනුවේ කඩල නෙමෙයි රට කජු.

හැමදාම උදේම පිටකොටුවෙන් දුඹුරු පාට කඩදාසී බෑග් එකක රටකජු අරගෙන 138 බස් එකේ ඇවිල්ලා ලයනල් වෙන්ටඩ් හෝල් එක ගාව හෝල්ට් එකෙන් බහිනවා, ඒකට කිව්වේ රෝයල් හෝල්ට් එක කියලා, ඊට පස්සේ එක තර්ස්ටන්. පොඩි පන්තිවල ඉන්න කාළේ උදේම පාසල් එන සිරිතක් මගේ තිබුනා. (ළොකු පන්තිවල ඉඳිද්දී මගේ නම එක්සෙකටිව්, හිතා ගන්න පුළුවන් නේ ඇයි කියලා.) එහෙම එන්නේ ෆ්‍රෙන්ච් ක්‍රිකට් ගහන්න. ඒ කාළේ මගේ ප්‍රියතම ක්‍රීඩාව. ඉතින් බස් එකේදී ගුඩ් මෝනින් කඩලේ කිව්වහම පොර දැන ගන්නවා රෝයල් පොරක් කියලා. එතකොට හිනාවෙලා මෝනිං කියල කඩල අහුරක් දෙන්න අමතක කලේ නෑ කවදාවත්. ඒ තරම් පොඩි උන්ට ආදරෙයි.

කඩලෙ ජනප්‍රිය උනේ බිග් මැච් එක සහ ක්‍රිකට් නිසා. ක්‍රිකට් පිස්සෙක්. හරියට පර්සි වගේ. පාසලේ ක්‍රිකට් මැච්වල අනිවාර්ය චරිතයක්. බිග් මැච් එකෙදි කන පැලෙන්න ගහල හිටියේ. VIP ලගෙ "මස්ටෑන්ග්" ටෙන්ට් එකේ ඉඳලා හැම ටෙන්ට් එකේම ඕල්ඩ් බෝයිස්ලගෙන් බොන්න හම්බ උනා. VIP ලත් එක්ක කරේ අත දාගෙන නැටුවා. කන පැලෙන්න ඉස්සෙල්ලා බෝයිස් ටෙන්ට් එකට එන්න අමතක කලෙත් නෑ. රෝයල් ෆ්ලෑග් එකක් අරන් චියර් කරන්න අමතක කලෙත් නෑ. අපෙ ඉස්කෝලේ විතරක් නෙමෙයි තෝරගේ ඉස්කෝලෙත් කොළඹ අනෙක් ඉස්කෝලවල ක්‍රිකට් වලට ආදරය කරපු හැමෝටම කඩලෙ මත ඇති.

බිග් මැච් එකේ අනික් අය වගේම පිස්සු කෙලියට පාසලේදී ජීවීතෙට බීලා හිටියේ නෑ. පේන්න සිගරට් එකක් වත් බිව්වේ නෑ. අපිත් ළොකු පන්තිවලට ආවට පස්සේ ලීඩර් ලා උනයින් පස්සේ කඩලෙ හොඳටම අඳුනගන්න ලැබුනා. රත්තරන් මනුස්සයෙක්. ඒ කරපු දේවල් මේකේ ලියන එක හොඳ නෑ.  නමුත් අනිවාර්යයෙන් කියන්න ඕන සුදු ඇඳුමේ ගෞරවය රැක්ක අහිංසක පොරක්, හොඳ යාළුවෙක්, ආදරණීය වැඩිහිටියෙක්, සාධාරන වෙළෙන්දෙක්. ජීවීතය වින්ද කොල්ලෙක්, ජීවිතයටම අමතක නොවන චරිතයක්.

කඩලෙ කවදා හෝ යලි හමුවෙමු.......

ප: ලි:
මේ ෆොටෝ එකේ ඉන්නේ ඔරිජිනල් කඩලේ, ෆේස්බුක් එකේ තීලා පෝස්ට් එකට අප්ඩේට් කලේ 13/06/2016


 

49 comments:

  1. රාජකීය පුද්ගලයෙක් ගැන රාජකීය කතාවක්. ලස්සනයි.

    ReplyDelete
  2. මම හරි කැමති මේ වගේ කෙනෙක් ගැන සටහනක් තැබුවට ...විස්තර කරල තියන විදියට හරි අපූරුවට මේ සොඳුරු හිතවතාව සිතේ මැවෙනවා....

    ReplyDelete
  3. මම ‍හිතන්නෙ කොළඹ ඕනම ඉස්කෝලෙක ඔහොම කෙනෙක් ඉන්නව...

    වීරසිංහ ප්‍රින්සිපල් කිව්වෙ කවුද මාතලන් අයියෙ... අල්ලපු වැටේ හිටපු කෙනාවත්ද?...

    ReplyDelete
  4. මට පුදුම සතුටක් ඇතිවුනා මේ පෝස්ට් එක දැකල, මට පේන්නෙ මම ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ මාතලන්ට ටිකක් පස්සෙ, මාක්ස් ෆනෑන්ඩු සර් ගෙ අන්තිම අවුරුද්ද තමා මගේ පළවෙනි අවුරුද්ද.. ජුරම්පති කැප්ටන් කරපු අවුරුද්ද...

    අපි යන කාලෙ කඩලෙ පුංචි දරුවන්ගෙ ඉතාම ආදරේට ලක්වෙච්ච චරිතයක්... ඉස්කෝලෙම හිටපු ඩැනී ල වගේම අපිටත් වඩා ඉස්කෝලෙට ගරු කරපු ආදරේ කරපු කෙනෙක්...

    මාතලන් නොදන්නවද, හිතලම නොලිව්වද මන්ද.. කඩලෙ අපේ ඕල්ඩ් බෝයි කෙනෙක්... බොක්සිං කෝච් ඩොන්ටන් මතකද... අන්න ඒ කට්ටිය ඉස්කෝලෙ ඉගෙනගත්ත හරියෙ බැච් වල ...

    බෝහෝම ස්තුතියි මේක ලිව්වට .. තව හුඟාක් දෙනෙක් මතක් වුනා...

    ReplyDelete
  5. @ පොඩි කුමාරිහාමී
    රාජකීය පොරක්...

    ReplyDelete
  6. @ ගිම්හානී
    පින්තූරෙත් සෑහෙන දුරට ඒ වගේ...

    ReplyDelete
  7. මෙහෙම චරිත ගැන අදටත් මතකයේ තියෙන එක ගැන සතුටුයි..... ආසාවෙන් කියෙව්ව ලිපිය.... දෙපාරක්ම

    ReplyDelete
  8. @ සාතන්
    විජේ වීරසිංහ සර්... ඔව් ඔව් අල්ලපු වැටේ අපි ඒකෙත් අවුරුද්දක් උන්න නේ...

    ReplyDelete
  9. @ සපතේරු උන්නැහේ
    කරුණු කීපයක්ම මම ලිව්වේ නෑ. එයින් දෙකක් ප්‍රධානයි.
    1. රාජකීය පොරක් කියන කටකතාව කඩලෙ කවදාවත් කන්ෆර්ම් නොකල එක
    2. කඩලෙ දෙමලෙක් කියන එක - ඒක මට කිසි සේත්ම අදාල නොවන දෙයක් නිසා

    අනික් ඒවා උඹ දන්නවා ඇතිනේ...

    ReplyDelete
  10. ගොඩාක් ඉස්කෝලවල ඉන්නව ඔහොම ජනප්‍රිය චරිත . . . හැබැයි ඒ අතරින් ගොඩක් පොරවල් තමන්ගෙ බිස්නස් එක ගැන විතරක් හිතන එවුවො . .. ඒ අතින් බලද්දි උඹලගෙ ඉස්කෝලෙ හිටපු ඔය කියන කඩලෙ කියන බුවාව අදහන්න වටිනව.

    ReplyDelete
  11. @ පිස්සා පලාමල්ල
    සමහර පුද්ගලයෝ ජීවීතේට අමතක වෙන්නේ නෑ..

    ReplyDelete
  12. @ ඕනයා
    ඌට අපි හැමෝම ආදරෙයි මචෝ. මට ඉස්කෝලේ ඔය කියපු තැනින් යනකොට අදත් කඩලෙ ඉන්නවා පෙනවා...

    ReplyDelete
  13. සංවේදී සටහනක් මාතලන් . . ..

    ReplyDelete
  14. @ දුකා
    තෑන්ක්ස් දුකෝ....

    ReplyDelete
  15. අපේ ඉස්කෝලෙත් හිටියා ඔය වගේ චරිතයක්....අච්චාරු විකුනපු අම්ම කෙනෙක්..ගේට්ටුව ලඟ...මම දාඩිය පෙරාගෙන ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරලා දුවගෙන ඇවිත් මේ අම්මගෙන් අච්චාරු අරන් කනවා...වතුර තිබහා වැඩි හන්දා එතැනම තියාගෙන කන්නෙ සමහර වෙලාවට...මේ අම්මා මට වැඩියෙනුත් දාලා දෙන්නේ...මටත් ඒ අම්මාව අදටත් මතකයි..

    ReplyDelete
  16. හරිම සංවේදී සටහනක්. මටත් මතක් වුනා එහෙම චරිත කීපයක් අපි ඉස්කෝලෙ යන කාලේ.

    ReplyDelete
  17. සංවේදී ලස්සන සටහනක් !!

    ReplyDelete
  18. ළමා කාලෙ මුණගැහෙන මෙවැන්නන් මොන තරම් හිතේ රැඳෙනවද? ඒ කාලෙට අපි එහෙම හිතන්නෙවත් නැහැ. නමුත්, ආයාසයකින් තොරවම ඔවුන් අපේ මතකයේ රැඳිලා. සුන්දර සටහනක්.

    ReplyDelete
  19. මටත් ඉන්නවඔහොම අමතක නොවන මනුස්සයෙක්..... ඒ කිව්වට තරුන දෙමල අවාසනාවන්ත කොලු ගැටයෙක් අවුරුදු 13ක විතර... පිටකො‍ටුවෙ බෝගහ ඉස්සරහ පාරෙ අනිත් පැත්තෙ..... කඩල වික්කෙ... අයියයි මායි හැමදාම ශත 50 කඩල ගොට්ටක් ගත්ත... අපි ඈත එනකොටම පුංචි මහතෙලා අද පරක්කුයි..? අද කලිං..? මොකෝ මහන්සි....වගෙ ප්‍රශ්න පත්තරයක් අහල තමයි කඩල ටික දෙන්නෙ..අපි දෙන්නත් ඉතිං හැමදාම විනාඩි 15 විතර කදේ දාගෙන ඉන්නව......ඒත් ඒ මහ මූසල අවාසනාවන්ත දවසෙ... අපි කලබකෙන් බයෙන් ගැහි ගහී බෝගහ යටට එනකොට මේ අහින්සක කොල්ල ඉන්නව... ගින්නෙන් බාගෙට පිච්චි පිච්චි... ඇඹරි ඇඹරි... ඔලුව කොමඩු ගෙඩියක් වගේ චප්පවෙලා.... ඒක කරපු තඩි කලුගල ඔලුව ලඟ තිබ්බ. කඩල කරත්තෙ කුඩු පට්ටන් කරල කඩල සී..සී කඩ....ඒ මහා බෝගහ ඔහේ ඒදිහා බලං හිටිය... දුකෙන්ද... සතුටෙන්ද දන්නෙනෑ...සමහරවිට අපේ රට ජාතියගැන උතුරා යන සෙනෙගසින් වෙන්න ඇති. අපි දෙන්නට එතනින් අවිදගෙන යන්න බැරිඋනා.... අපි දෙන්නම එතන වාඩිවෙලා මාහයියෙන් ඇඬුවා...අපේ හිත් දඬුඅඬුවකින් මිරිකල අඹරල චප්පකරල දැම්ම වගේ. පොලිස් කාරයෙක් තමයි අපිව එතනින් අරන් ගියේ.. බලෙන්මවගේ.. ඒ...1983 ජූලි මාසෙ.... සිංහලයිංගෙ තුච්ච නින්දිත පඩත්තර මහා ජාති ආලෙ පෙන්නුවදවසෙ . එදා ඉඳන් මට ඔය දේශමාමක, දේශප්‍රේමී, ජාති හිතෛශී බලු කපු‍ටු මිනීමරු හැතිකරේ පේන්න බෑ.....අදටත් මම බෝගහ ඉස්සරහින් යන කොට හිතට මහා බරක් දැනෙනවා.කකුල් දෙකට විලංගු වැටිලවගේ දැනෙනවා.. ඒ මම සිංහල වෙච්ච පවට හා දුකට... ඒ එක්කම බෝ ගහගැනත් මහා තරහක් එනව.. ඇයි කියන්න දන්නෙනෑ...ඒ එක්කම නහයට ඒ පුලු‍ටු ගඳත් දැනෙනව..... ඒ කඩල අයිය ඔය බෝගහ යටින් මම යනෙන තුරා මගේ හිතේ හොල්මං කරයි....ඒ වාරයක් වාරයක් පාසා මම මටම වෛර කරයි මම සිංහල උනාට..

    X-Porter

    ReplyDelete
  20. කඩලෙව මතකද කියල අහල බලන්න ඕනේ . අපේ ඉස්කෝලේ නම් ඇතුලේ තියා තාප්පේ ගාව වත් අච්චාරු කඩල විකුනන්න දුන්නේ නැහැනේ . පොඩි කාලේ ගිය ඉස්කෝලේ ගාව නම් තිබුනා . වැටෙන් පැනල ඉස්සරහ කඩේට වුනත් යන්න හැකියාව තිබුනා ඒ පොඩි කාලෙනම් . අච්චාරු , දන් හෙම විකුනපු ආච්චි මට තාම මතකයි . ලොකු ධර්මලෝකේ තමයි අපේ අක්කගේ ඉස්කෝලේ . මාතලන් ගම පළාතේ වෙච්ච එකට බොහොම සතුටුයි .
    හරිම ලස්සන සටහනක් . එයා මාතලන්ට වැඩිපුර කඩල දීපු එකට පාඩුවක් නැහැ . ළමයෙක්ට පුංචි කාලේ රටකජු ගොට්ටක් වුනත් මහමෙරක් වගේ . ලොකු ලොකු ආසාවල් නැති අහිංසක කාලේ . එකයි එයාව ඔබට හොඳ හැටි මතක . මනුස්සයෙක්ට හොඳ වෙන්න මහා ලොක්කෙක් වෙන්න ඕන නැහැ කියල මේකෙන් පේනවා .

    ReplyDelete
  21. මටත් අමතක නොවන චරිතයක් තමා "වෙරළු ආච්චි", එහෙම කීවට ගොඩාක් පලතුරු ජාති ,අච්චාරු එහෙමත් විකුනනවා.ටිකක් මහතයි රෙද්දයි හැට්ටෙයි ඇඳලා පොඩි තුවායක් කරේ ගෙන ඉන්නේ හැමදාම ඉස්කෝලේ ඇරෙන වෙලාවට අපේ ගේට්ටුව ඉස්සරහ.එයටත් වෙලාවකට ටිකක් තරහ යනවා.මන් පොඩි කලෙත් ඒ ආච්චි වයසයි.තාමත් ඒ විදිහමයි ,මේ ලඟදි දවසක් මන් බස් එකේදී දකිද්දී කොන්ඩේනම් තට්ටේ පෑදෙන තරමට ගිහින් හැබයි බස් එකේ හිටන් යන්න පුළුවන් අදටත්.තාමත් එයම හම්බ කරන් ජීවත් වෙන්නේ.
    *වසිලිස්සා*

    ReplyDelete
  22. හොඳ මිනිසෙක් ගැන හොඳ මිනිහෙක් ලියල!

    ReplyDelete
  23. සොදුරු චරිතයක්.. කලාතුරකින් හමුවෙන...

    ReplyDelete
  24. අපේ ඉස්කෝලේ හිටපු ඔය වගේ ඩයල් එකක් තමා මුත්තු .. ඒත් අනිතිමට අපේ එවුන්ම මුත්තුව එලව ගත්තා ..

    සංවේදී ලිපියක් ලීවට ස්තූතියි මාතලන් .. කොයි ඉස්කෝලෙත් ඔහොම අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවා .

    ReplyDelete
  25. මං හිතන්නෙ හැම මනුස්සයෙක් ගාවම, පොඩි කාලෙ හමු වුන "කඩලෙ" කෙනෙක් ඉන්නවා.

    මාතලන් "කේරි" එකටත් ටික කාලයක් හරි ගිහිං තියෙනව කියල දැක්ක. කේරි එකෙත්, ඒ කාලෙ ඉස්කෝල භුමිය ඇතුලේ කිසි වෙළෙන්දෙකුට අවසරයක් නොතිබුනත්, එක ආච්චි කෙනෙකුට විතරක් ඉඩ දීල තිබුන කඩල,අච්චාරු, වෙරළු එහෙම විකුනන්න. එයා නං "කඩලෙ" වගේ සුවිශේෂ කෙනෙක් නෙමේ. මං කියන වකවානුවේ, මාතලන් ඉපදිලත් නැතුව ඇති.

    "එහෙම එන්නේ ෆ්‍රෙන්ච් ක්‍රිකට් ගහන්න"
    මාතලන් පොකට් බිලියර්ඩුත් ගැහුවද දන්නෙ නැහැ.

    ReplyDelete
  26. @ දිල්
    දැන් එහෙම අය හොයන්න අමාරුයි..

    ReplyDelete
  27. @ වෙද මහත්තයා
    තරුණ කාළේ මුනගැසුන චරිත වීරයෝ වෙනවා නිකම්ම..

    ReplyDelete
  28. @ රසික කාරියව්සම්
    බොහොම ස්තූතියි...

    ReplyDelete
  29. @ නලිනි චන්දිමා
    ස්තූතියි... දොස්තර නෝනා කාළෙකින් ගොඩ වැදුනේ... මම ලියපු කවි වගේ ඒවටත් නෝ කොමෙන්ට්ස්...

    ReplyDelete
  30. @ එක්ස් පෝටර්
    කඩලෙත් දෙමල, 83 කඩලෙත් දෙමල සර්ලත්, ළමයිනුත්, දෙමව්පියොත් බේර ගත්තේ බොහොම අමාරුවෙන්. ගොඩක් දෙමව්පියන්ටත් පාසැල් මාතාව රැකවරණය දුන්නා. ඒකට රිටන් එක හම්බ උනානේ බෝ ගහ ළඟම...

    ReplyDelete
  31. @ බින්දි
    කරුණාවන්ත මිනිස්සු මතකයේ රැඳෙන්නේ දෙවිවරු වගේ....

    ReplyDelete
  32. @ වසිලිස්සා
    පුළුවන් වෙලාවක උදව්වක් කරපන්. සෑහෙන පින්...

    ReplyDelete
  33. @ ඉන්දික උපශාන්ත
    උඹ කොහෙමෙයි දන්නෙ මම හොඳද නරකද කියලා..
    ස්තූතියි මචෝ....

    ReplyDelete
  34. @ දිනෙශ්
    ඉතාමත් කළාතුරකින්...

    ReplyDelete
  35. @ සඳරූ
    තෑන්ක්ස් මචෝ. අපේ ඉස්කෝලෙත් තව කස්ටිය ගොඩක් හිටියා. නමුත් කඩලෙ විශේෂයි...

    ReplyDelete
  36. @ ඔබා
    හෙහ්... හෙහ්..
    පොකට් බිලියඩුත් ගැහුවා..
    දැන් ගහන්නෙ බෙඩ් රගර්....

    ReplyDelete
  37. සංවේදී කතාවක්

    ReplyDelete
  38. @ සීජේගයාන්
    බොහොම ස්තූතියි....

    ReplyDelete
  39. මචං ඔලුව කොලොප්පම් උනා කියෙව්වාම.දැන්ම බොන්න හිතුනා.උඹ මාත් එක්කම පැරලල් එකෙක්ද කොහෙද?මම 12NBS4 ජෙරමි බෝලින්ග්,අජිත් දේවසුරේන්ද්‍ර,කපිල පීරිස්,ශ්‍රිනාත් එහෙම එකට හිටියේ.පහේ ශිෂ්‍යත්වෙන් තමයි මාත් ආවේ.

    ReplyDelete
    Replies
    1. නෑ මම උඹට බාලයි... මම 84

      Delete
    2. මචෝ කඩලේ මේ වගේමයි නේ... ටිකක්...

      Delete
    3. බොහෝ දුරට ඔය වගේ බන්.

      Delete
  40. උඹ ගැන මම හිතාපු විදිහ හරියි කියලා හිතුනා මේ ලිපිය කියවපුවහම . අතන ලින්ක එක දැම්මට පිං

    ReplyDelete
    Replies
    1. මම දන්නෙ කොහෙමෙයි උඹ හිතපු හැටි..

      Delete
  41. පහුගිය දවසක ජන්ජාලෙ කරක් ගහන්කොට තමයි මට "අරූගේ අඩවිය" සෙට් උනේ. පස්සෙ බලනකොට එයා අපේ අයියලගෙ බැච්මේට්. ඒකෙ කොස්ගස්හන්දිය …. පොස්ට් එකට මම රිප්ලයි කලා. ඒ රිප්ලයි එකේදි මම අරුගෙන් ඉල්ලීමක් කලා පුලුවන් නම් කඩලෙ ගැන සටහනක් කරන්න කියල. අඩ මම ඒ සටගන දැක්ක. ඒ එක්කම කඩලෙ ගැන ඔයත් ලියල තියනව දාල තිබුන ලින්ක් එකේ තමයි මෙතනට සෙට් උනේ.

    …මමත් රාජකීයෙක් තමයි 83 බැච් එකේ. කොමර්ස් කලේ.

    …පොතේ හැටියට අද මම ඉන්න ඕනේ නුවර බ්‍රැඩ්බි 2nd leg එකට ගියගමන්. ඒත් මට මේ පාර යන්න හැකියාවක් තිබුනෙ නැහැ.

    …සතුටුයි හදුනගන්න ලැබීම ගැන

    ReplyDelete
  42. මෙතුමව මතකද කියල බලන්න
    …http://i59.tinypic.com/1236t1f.jpg

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2010/06/dp-deputy-principal-kataya.html

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න