.

.

Aug 31, 2017

ඇගේ ගර්භාෂය ඔබේ නොවේ ! - by Dr. Bodhini Samaratunga






වෛද්‍ය බෝධිනී සමරතුංග

මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල් බොහෝ ය.
ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත සිහියට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.

අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්.

එදින ඇය ගෙන ආ ඒ දැරිවියගේ මුහුණේ තිබුනේ අතිශය වේදනාබර හැඟීමක්. මා දැනගත් පරිදි , ඇගේ මව පියා දෙදෙනාම නැතිව ඇය ආච්චී සමග විසූ අතර බඩු ගෙන එන්න කඩයට ගිය විට එම මුදලාලි විසින් ඇයට අතවර කර තිබුනා, පසුව ලැබෙන තෑගි බෝග නිසා ඇය කිහිප වරක් මෙලෙස අපයෝජනය වී තිබුනා. හරි හමන් ඉස්කෝල අධ්‍යාපනයක් නොලැබුණු මේ දරුවන් යන්තම් ඉස්කෝලේ යන්න පටන් ගන්න කාලය(යුද්ධය ඉවර නිසා) මේ වන විට එළඹ තිබුනා. නමුත් ඇයගේ බඩ ලොකු වෙන්න ගත් නිසා ආච්චි සමග රෝහලට ආපු ගමනේ දී ඇය දැනගත්තේ පිරිමියෙකු අරම කළහම මෙහෙම දේවල් වෙන්න පුළුවන් බව. එතකොට ඇයට මේ සංහදිය කළ වැඩිහිටි පිරිමියා ? ඔහු මෙහෙම වෙන බව නොදැන සිටියා වෙන්න බෑ.
නමුත් ඔහු කියා තිබුනේ ඇය බොරු කියන බව. අධිකරණ වෛද්‍ය සාක්ෂි කැඳවන්නට පොලීසියට පැමිණිලි දමා ඇය පරිවාසය ඔස්සේ කන්‍යාසොයුරියන් විසින් පාලනය කරන ළමා නිවාසයට බාර කර තිබුනා.

හඳුනා ගනිද්දී ඇගේ දරු ගැබට සති විසිපහක් වුනා. ඇය මේ වන විට අවුරුදු 13 විය එළඹ සිටියා. බොහෝ දරුවන්ට මේ දේවල් ගැන දැනුමක් නෑ , බඩ ලොකු වෙද්දි තමයි මේ අය එන්නේ. ඇයට ඕනෑ වුනේ නෑ දරුවා.. ඇය දරුවා පරිවාසයට බාර දුන්නා.

මට තවම මැවී පෙනෙන්නේ, ඇය වාට්ටුවේ ඇඳ මත සිට, හවස කාටූන් යන විට ටී වී එක දිහා බලන් ඉන්න හැටි. මම දහස් වර හිතෙන් හඬා වැටුනා. ඇතැම් විට පපුව රිදෙන්න තරම් ඒ කම්පන බලවත් වුනේ අපි මනුස්සයන් නිසා වෙන්න ඇති.

ඇය දරුවා ප්‍රසූත කරන්නට ආවේද මම වැඩ කරන වාට්ටුවටමයි. ඇයට ප්‍රසූත වේදනා එඅ විට විශේෂඥ වෛද්‍යවරයා කීවේ සාමාන්‍ය ආකාරයෙන් ප්‍රසූත කරවන්න පුළුවන් වෙයි. සැත්කමක් කරලා මෙච්චර පොඩි වයසෙම එයාට අසාධාරණයක් කරන්න ඕනේ නෑ කියලයි. (මෙයට වෛද්‍ය විද්‍යාත්මක හේතු තියෙනවා).

ඇය ප්‍රසව වේදනා දරා ගනු නොහැකිව කෑ ගහපු හැටි, දඟලපු හැටි මගේ හිතේ අදටත් කම්පනයන් ඇති කරන දර්ශන ලෙස මතකයට නැගෙනවා.

මට මතක් වෙනවා, තමන්ගේ තාත්තා විසින් හෝ නෑයෙක් විසින් දූෂණය කරන ලද දැරිවියන් ගැන. ප්‍රමාණය මතකයට නොනැගේ. ඒ තරම් හිත සසල කළ සිදුවීම් වෛද්‍ය සේවයේ යෙදෙන මට දරාගන්නට බැරි වුනා නම්, ඒ පොඩි හිත් වලට කොයිතරම් කම්පනයන් ගෙන ආවේ දැයි මට සිතේ.

එක් දැරිවියක් අප වෙත පොලිසියෙන් බාර දුන්නේ ඇගේ අවුරුදු 8ක කුඩා නැගණියද සමග ය. ඇය අවුරුදු 13 වයස් වූ අතර පියාගෙන් ලැබුණු තිලිණය සති 12 ක කළලයක් ලෙස වැඩෙමින් තිබුනා. මව ගෘහසේවිකාවක ලෙස මැදපෙරදිග රැකියාවකට ගිහින් තිබුනා.

අක්කාට මේ දේ කළත් ඇය නිහඬව සිටි අතර නංගීටද අතවර කළ පියා ගැන ඇය අසල්වැසි කාන්තාවක් මගින් පවුල් සෞඛ්‍ය සේවිකාවට කියා තිබුනා.

ඔවුන් දෙදෙනාගෙම ලිංඟාශ්‍රිතව, බෝවන සමාජ රෝගයක ලක්ෂන වන සැරව බිබිලි තුවාල මතුවී තිබුනා.
"bastard ! must have gone around too giving these innocent kids this disease" විශේෂඥ වෛද්‍ය තුමන් තරහින් පැවසූවේ මොවුන් පරීක්ෂා කරන අතර තුර.

වාසනාවකට, ඒ දැරිවිගේ කළලය ගබ්සා වුනේ ඇය රෝහල් ගතව සිටියදී. අප ඇයට අත්වෙන්නට ගිය ඉරණම වෙනස් වූ බව ඇයට කියද්දී, "ඒක එහෙම වුන එක දේවාශිර්වාදයක්" ලෙස ඇය කීවා. ඔවුන් ගැන බොහෝ දුක හිතුනා.

මේ කතා ගොන්නෙන් කිහිපයක්. තව මෙවැනි ලියූ නොලියූ කතා බොහෝමයි.

ඊළඟට මට හමුවෙන ජාන විකෘති සහිත දරුවෙක්ට ජීවිතය ගැන කතා බස් කරද්දී " ඇයි ඩොක්ටර් මගෙ අම්මට මාව පොඩි කාලෙම මරලා දාන්න බැරි වුනේ " කියා මගෙන් ඇසුවා. ඔහුට දුක් විඳින්න, ළමා නිවාසෙක අත හැර ගිය මව ට ඔහු සදාකාලිකව වෛර කරමින් සිටියා.

තැලසීමියාව නම් ජාන රෝගය වැළදී සිටි දරුවන් සමග වැඩ කරද්දී එවැනි අක්කා නගෝ දෙන්නෙක් කීවේ, "අපිට ජීවත් වෙන්න කොහෙත්ම ඕනෙ වුනේ නෑ ඩොක්ටර්, අම්මා උස්සන් ගිහින් ළමා වාට්ටුවේ තියාගෙන කොහොම හරි ජීවත් කෙරෙව්වා" කියමිනි.

"ඩොක්ටර් අපි කොච්චර දුක් විඳිනවද ! ඇයි ඔයාට අපේ කතා ලියන්න බැරි. " කියා මාස කිහිපයකට කලියෙන් ද මා කලින් වැඩ කළ ඒ වාට්ටුවල දැරියක් මා හමුවේ චෝදනා රැසක් ගෙන හැර පෑවා.

අප ළමා වාට්ටුවට, මානසික ඒකකයෙන් ළදරුවන් යොමු කරයි. මොවුන් ඇති දැඩි වෙන්නේ, සාත්තු සේවිකාවන්ගේ සෙවනේය. මව එක්කෝ හිර ගත වී ඇත, නැත්නම් මනෝව්‍යාධියකින් අසනීප වී දරුවා එපා කියා අයින් කර සිටී.

ළමා රක්ෂණ අධිකාරියේ ළමානිවාසයකට ගෙන යන තෙක් දරුවන් බාර කරන්නේ රෝහල් වලටය. එයින්ද මානසික ඒකකයට එවන පිරිසකුත් සිටී.

"මෙයාගේ අම්මා මානසික රෝගියෙක්. තාත්තෙක් නෑ. මේ ළමයා අරගෙන මෙයාගේ අම්මාගේ නංගි කෙනෙක් හිඟා කද්දී, එයාවයි ළදරුවාවයි අල්ලලා උසාවි දාලා, උසාවියේදි, මෙයා ඉදිරිපත් වෙලා අර මෙයාගේ පුංචිව නිදහස් කරලා, දැන් මෙයා තමා අත් අඩංගුවේ ඉන්නෙ. එතකොට මෙයා කියන්නේ එයා දන්නේ නැතුව ළමයා අරන් ගිහින් තියෙන්නෙ කියලා" අපෙ ප්‍රශ්න හමුවේ මේ කතා දිග හැරේ.

1. තමන්ට උවමනා නැති ඉරණමකට බලෙන් තල්ලු කරන ලද ගැහැණු සහ දැරිවියන් , ජීවිත කාලයක්ම තමන්ට අනවශ්‍ය දරුවෙක්ගේ බර දරාගෙන ජීවත් විය යුතු ද ?
අපේ රටේ එවැනි දරුවන් , මවට එපා කියන දරුවන්, සියල්ලෝම අන්තිමට නවතින්නේ, රජයේ ළමා නිවාසවල ය. හදා ගන්නට කෙනෙක් ඉදිරිපත් නොවුනොත් මොවුන් ඒවායේ උස් මහත් වේ.

එනිසා මේ සම්මත වුනු ගබ්සා නීති ගැන මේ මොහොතේ විරුද්ධව බණ කියන්න එන කවුරුන් හෝ වෙත්නම් ඔවුන් ගැන දැනෙන්නේ පිළිකුලකි. මන්ද ඔවුන් හැමටම වඩා ,
මේ ගැහැණුන් සහ දරුවන් විඳින දුක හොඳින්ම දැකිය හැකි ඒකක කිහිපයක මා අවුරුදු ගණනාවක් තිස්සේ වැඩ කරන නිසා ය.
ඔව් එය ජීවියෙක් කළලයක් වැනි බොහෝ තර්ක තිබෙනවා. හැකිනම් රජයේ ළමා නිවාස වලට ගොස් බලන්න.

2. කරදර කාරී ප්‍රතික්ෂේපිත පරිසරයක වැඩෙන්න සිදුවෙන ඒ දරුවා ඊට වඩා අමාරු ජීවිතයක් ගත කරනවා නොවෙ ද ?

3.මේ මව්වරුන් ට තනිව දරු බර දරන්නට වීමෙන් ඔවුන් පත් වෙන කරදරකාරී තත්වය ගැන අප සංවේදි වෙනවා ද ?

4. අප දකින්නේ පණ ඇති ගැහැණු ය. පණ ගැහෙන ජීවී ගැහැණියකගේ , ගැහැණු දරුවෙකුගේ ජීවිතය තමන්ට අනවශ්‍ය තමන් ඉල්ලූ නැති, කාටවත් වගකිව නොහැකි ජීවියෙකුගේ බරක් සමග ඉතිරි වෙනවා නම් ඒ දරුවා ඉන්පසු සමාජයේ නොයෙකුත් අකටයුතුකම් මැද දිවි ගෙවනවා නම් එය කොයි තරම් නම් සමාජ ඛේදවාචකයක්දැයි ඔබ මදකට සිතුවා ද ?

Motherhood is a choice! මාතෘතවය යනු ස්ව කැමැත්තක් !

අප හමුවට විවිධ වූ සංකූලතා ඇතිව , හොර ගබ්සා කරුවන්ගේ අලකලංචි නිසා අසාධ්‍ය තත්වයෙන් පසුවන ගැහැණුන්ද දරුවන් ද, පැමිණේ, මා විටින් විට ඔවුන් ගැන ලියා තැබුවා ඔබට මතක ඇති.
ජීවී වේවා අජීවී වේවා, ජීවත්වෙන්නට ඇති අයිතිය ගැන පඬි වදන් දොඩවන මහතුනි, නෝනාවරුනි, ඔබ අසල ඇති මහ රෝහලේ ප්‍රසව හා නාරි වේද ඒකකයට ගොස් ඇත්ත තත්වය වටහා ගන්න!

ඇගේ ගර්භාෂය ඇගේ ය. ඒ ගැන තීරණයක් ගැනීමට ඇයට නිදහස තිබිය යුතු ය !
මේ ගබ්සා නීති ගෙන ආවේ බොහොම සාධාරණ මානුෂීය හේතු සහිත කාරණා දෙකකදී ය ! 
එනිසා මම ඒවාට එකඟ වෙමි.

වෛද්‍ය බෝධිනී සමරතුංග

62 comments:

  1. මේ වගේ පාපතරයන් ඉන්න රටකට මෙය අවශ්‍යයි හැබැයි එතකොට අර සල්ලි වලට විකිනෙන යටත් නොදබීම් අමෙකෙන් හුගක් වාසි හිමිවෙනවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. එය මේ ලොව පවත්නා තෙක් තිබෙනා රැකියාවකි...

      Delete
  2. "තුවාල කාරයා තමයි වේදනාව දන්නේ". ලංකාවේ කටවහරට කියන මේ කතාව බොහෝ ඇත්ත. ගබ්සාවට, ගණිකා වෘත්තියට, සම ලිංගිකත්වයට, කැනබිස් වේදනා නාශකයක් ලෙස භාවිතයට වගේ දේවලට බොහෝ විට ආගම ඔළුවේ තියාගෙන විරුද්ධ වන හේතුව ඔන්න ඕකයි. ලංකාවේ විතරක් නෙමෙයි. වෙන ලෝකයේ දියුණු රටවලත් මේ වගේ හිතන සුළු පිරිසක් ඉන්නවා. ලංකාවේ මේ කට්ටිය වැඩියි. ලංකාවේ පිරිමි හිතන්නේ ගැහැණු ඉන්නේ ළමයි හදන්න විතරයි කියලා. තමන්ට තමන් කැමති ඕන කෙනෙක් එක්ක සංවාසයේ යෙදෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන ගෑනි වේසි, එහෙම නැත්නම් 'ආප්පේ'. පිරිමියා 'පොන්නයා'. ඕස්ට්‍රේලියාවේ මා ජීවත්වන ප්‍රදේශය කිට්ටුව ගබ්සා ආයතනයක් තිබෙනවා. එතන ගේට්ටුව ගාව හැමතිස්සෙම කුරුස තියාගෙන කට්ටියක් සත්‍යග්‍රහ කරනවා. මෙහේ මෙහෙමනම් ලංකාවේ තත්ත්වය ගැන කුමන කතාද?

    ReplyDelete
    Replies
    1. ඒ කුරස තියාගෙන ඉන්න අයට මේ දේ උනාම තමයි තේරෙන්නේ...

      Delete
  3. ඒත් ළදැරියන් ගර්භාසය තමන්ගෙ කියල දැන ගන්නකොට එයා පරක්කු වැඩියි නේද

    ReplyDelete
    Replies
    1. ළදැරියන් කියන්නේ ඒ නිසා නේ...

      Delete
  4. මාතා,

    උබේ බොහෝ දේට එකග වෙන්න පුළුවන් උනත් මෙතැනදී නම් එකග වෙන්න බෑ, ඔයිට වැඩිය යමක් බලන්න ඕනේ,

    //අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ
    මම දහස් වර හිතෙන් හඬා වැටුනා.//
    මේ කියමන නරකම උපකල්පිතයක් "hypothetical" සිද්ධියක් පාවිච්චි කරමින් කරන්න හදන සාමාන්‍යකාරණයක්.

    දැන් ටිකක් මේක බලන්න https://www.youtube.com/watch?v=U0vu-NkkxUk
    සංවේදී අය මේක නොබැලුවට කමක් නෑ

    //ඇය ප්‍රසව වේදනා දරා ගනු නොහැකිව කෑ ගහපු හැටි, දඟලපු හැටි මගේ හිතේ අදටත් කම්පනයන් ඇති කරන දර්ශන ලෙස මතකයට නැගෙනවා.//

    දැන් මට කියන්න ඔය උඩ විඩියෝව බැලුවහම ඔය කියන කම්පනය නොදැනෙන්නේ ඇයි මාතා ?

    මෙතන ආගම් ගාවගන්න ඕනේ නෑ ටිකක් අවංකව හිතල බලන්න.

    මෙරටේ මේ ළමයින්ට ලිංගික අධ්‍යාපන දැනුම කුඩා වයසේ ඉදල ලබාදියයුතු වෙනවා මේ ගැන තර්කයක් නෑ.

    නමුත් මවගේ ජිවිතයට අනතුරක් නැත්නම් සහ අවම වශයෙන් අදාළ දරුවාගේ විකුර්ති තත්වයක් හදුනාගන නැති අවස්තාවක මෙවැන්නක් සාදරනිකරණය කරන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ලංකා, උඹ ලංකාවේ සාමාන්‍ය ගැමි ජීවිතය. ජන ජීවිතය, යුද්ධයක් තුල මිනිස් සිතුම් පැතුම් පරිසරය හැදියාව වෙනස්වීම්. එයින් ඇතිවන කායික මානසික ගැටළු කිසිවක් නොදන්න කෙනෙක්.

      රනිල් වික්‍රමසිංහත් ඔය මානසිකත්වයේම් ඉන්න කෙනෙක්...

      මට කියන්න තුයෙන්නෙ එපමනයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ගබ්සාව නීතිගත වෙනවානම් එසේ වන්නේ ඔබ ඔය කියන දරුවාගේ විකුර්ති තත්ත්වයන්, බාල වයස්කාර ගැබ්ගැනීම්, දුෂණයට ලක්වීම හේතුවෙන් ගැබ්ගැනීම් වැනි හේතු මත පදනම්ව මිස තමන්ට ඕන ඕන විදිහට (දැන් නීති විරෝධීව සිදුවන ආකාරයට) නෙමෙයි.

      Delete
    4. ලිංගික අධ්‍යාපනය දීමෙන් ලාබාළ දැරියන් අපහරණයට ලක්වීම වැළකෙන්නේ කෙසේද? දුෂණයට ලක්වන්නේ ස්ව කැමැත්තෙන්ද? බාළ වයස්කරුවන් ස්ව කැමැත්තෙන් ලිංගිකව එක්වෙනවානම් ඔය අධ්‍යාපනය වැදගත් වෙනවා.

      Delete
    5. මේවා හයිපොතෙටිකල් සිදුවීම් නොවේ.
      අපි වැඩකරන සහ කරපු රෝහල් වල,දකින්න අහන්න විඳින්න ලැබුණු හර්ද කම්පන.
      දරුවෙක්ට දරුවෙක් ලැබෙන එක කම්පනයක්. දරුගැබ අවශ්‍ය නැති අම්මෙක් ඒ දරුවාට කරන කෙනෙහිලි කම් කම්පනයක් ! ඒ දරුවෝ ළමා නිවාස වල ඇති දැඩි වෙන එක, දුක් විඳින එක, කම්පනයක් !
      රටක් වශයෙන් ගත්තත් ඇතැම් පුද්ගලයින් ප්‍රකෘති සිහියෙන් නොවේ ඉන්නෙ කියලා මේ ලාංකික සිතුවිලි ගේ කමෙන්ටුවෙන් මොනවට පැහැදිලි වේ.

      Delete
    6. Bud in OzAugust 31, 2017 at 11:35 PM

      //දුෂණයට ලක්වීම හේතුවෙන් ගැබ්ගැනීම් වැනි හේතු මත පදනම්ව මිස//

      ඕනෑම කාන්තාවකට තමන් දුෂණයට ලක්වූ බව කියල ගබ්සා කරගැනීමට ඇති අපහසුව කුමක්ද ?
      කෙනෙක් දුෂණයට ලක්වුනා නම් ක්ෂණිකව වාර්තා කලානම් අදාළ කාන්තාවගේ ගර්භාෂය සොදාදැමීම වැනි දෙයක් දරුගැබක් ලෙසට මෝරා නැති මුල් අවස්ථාවේ කරන්න හැකියාව තියෙද්දී, දරු ගැබක් ලෙස වැඩුණු පසු ගබ්සාවක් කිරීම, සොරකමක් හෝ මංකොල්ලකෑමක් සිදුවී වසර ගණනකට පසු වාර්තා කිරීම වගේ නෙමෙයිද ? මෙමගින් කිසිදු ප්‍රශ්නයක් නැති වගකීමෙන් තොර හැසිරීමකින් පිලිසිදගත් විවාහක කාන්තාවකට තමා කැමති නම් ගබ්සා කල නොහැකි කුමක් නිසාද ?

      Delete
    7. Anith konaSeptember 1, 2017 at 2:26 AM,
      ගබ්සාව කම්පනයක් නෙමෙයි

      Delete
    8. මාතා,

      උබ හරි මම මෙවැනි අපරාදයක් සදහා කිසිම විටක සහබාගිවෙලා නෑ, මගේ දැනුවත් නෑයෙක් වත් මිත්‍රයෙක් වත් මෙවැනි ප්‍රශ්නයක් තිබුන බව මට කියලත් නෑ ඒ අතින් මචෝ මට මේ ගැන අද්දැකීම් නෑ මට තියෙන්නේ හර්ද සාක්ෂියයි, ඔබටවත් මේකේ කොටලා තියන එකෙකුටත් වැඩිය අද්දැකීම් ඇති දොස්තර වරයකු ගේ උපදේසයක් පමණයි.

      https://www.youtube.com/watch?v=ESqdmQFTNhE

      Finally expert knows the best! so try to listen to a expert!!!

      Delete
    9. ලංකා උඹට පේන්නේ එක අපරාධයයි..

      Delete
    10. මාතා,

      ගබ්සාවෙන් උබ ඔය උඩ කියන ප්‍රශ්න තාවකාලිකව යට යයි නමුත් ජිවිත කාලයටම අදාළ කාන්තාවට විදවන්න වෙනවා මානසිකව.

      Delete
  5. ලාංකික සිතුවිලි.. ඔබට මෙම නීතියෙ ඇති වැදගත්ම කරුණ මගහැරිලා. ඒ මේ සියල්ල වෙන්නෙ මවගෙ කැමැත්ත මත පමණයි. අංග විකල, දූෂණයක් නිසා බිහි වන දරුවෙක් වුවත් මව කැමතිනන් හදාගන්න මෙයින් කිසිම බාදාවක් නෑ. මෙම නීතිය මීට වසර ගනණකට පෙර ගෙන ආ යුතුව තිබූදෙයක්. කතෝලික ආගමෙ ඉගැන්වීම් මෙයට විරැද්ධ වුවත් මෙහි ප්‍රායෝගික වැදගත් කම නිසා හැම දේටම මැදිහත් වන සංඝ සමාජය පවා මෙයට විරුද්ධ නෑ.

    ReplyDelete
    Replies
    1. ඕනෑම කාන්තාවකට තමන් දුෂණයට ලක්වූ බව කියල ගබ්සා කරගැනීමට ඇති අපහසුව කුමක්ද ?
      කෙනෙක් දුෂණයට ලක්වුනා නම් ක්ෂණිකව වාර්තා කලානම් අදාළ කාන්තාවගේ ගර්භාෂය සොදාදැමීම වැනි දෙයක් දරුගැබක් ලෙසට මෝරා නැති මුල් අවස්ථාවේ කරන්න හැකියාව තියෙද්දී, දරු ගැබක් ලෙස වැඩුණු පසු ගබ්සාවක් කිරීම, සොරකමක් හෝ මංකොල්ලකෑමක් සිදුවී වසර ගණනකට පසු වාර්තා කිරීම වගේ නෙමෙයිද ? මෙමගින් කිසිදු ප්‍රශ්නයක් නැති වගකීමෙන් තොර හැසිරීමකින් පිලිසිදගත් විවාහක කාන්තාවකට තමා කැමති නම් ගබ්සා කල නොහැකි කුමක් නිසාද ?

      Delete
    2. ඕනෑම කාන්තාවකට තමන් දුෂණයට ලක්වූ බව කියල ගබ්සා කරගැනීමට ඇති අපහසුව කුමක්ද ?

      මේකට පිළිතුර තමයි එය නීතීගත කිරීම... එතකොට ඕවා හොරෙන් කරන්න ඕනා නෑ...

      Delete
    3. //ඕනෑම කාන්තාවකට තමන් දුෂණයට ලක්වූ බව කියල ගබ්සා කරගැනීමට ඇති අපහසුව කුමක්ද ?//
      මහලු වී තමන්ගේ කටයුතු කරගන්න බැරි මහලු දෙමාපියන්ව මරාදැමීමත් නිතියානුකුල කරන්න පුළුවන් ඔබේ තර්කය මතම.

      Delete
    4. ලාංකික සිතුවිලි... දූෂණයට ලක්වූ අය වෛද්‍යවරයෙක් ලඟට එද්දි ඇයගෙ ගර්භයට වයස තීරණය වෙන ප්‍රධානතම සාධකය ඇගෙ වයස. වැඩිමහල් කාන්තාවන් මුල් අවස්තාවෙම ඉදිරිපත් වුවත් දැරියන් එන්නෙ පහුවෙලා. අඩු තරමෙ සමහර විට ඔවුන් දන්නෙත් නෑ ඔවුන් ගැබ්ගෙන ඇති බව. මෙතන තියෙන්නෙ තමන් වගකිව යුතු ⁣නැති දෙයකට මවට/ දරුවට විඳවන්න දෙනවද නැද්ද කියන දේ පිලිබඳ ගැටලුවක්. එය පිටතින් මේ ගැටලුව දිහා බලන අපිට තීරණය කළ⁣හැකි දෙයක් නෙවෙයි.
      ඔබ මෙම ගැටලුව මහලු දෙමාපියන් රැකබලා ගැනීමට අදාල කර ගැනීම මා පුදුමයට පත් කරා. එතරම් බොලඳ දෙයක් පැවසීම ගැන. මෙහි ඔබ පවසන පරිදි ගැඑලු/වංචා ඇති වන්නක් නෙවෙයි. මෙය දීර්ඝ ක්‍රියාවලියක්. පෙලීසිය, අධිකරණ වෛද්‍යවරු, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු දෙදෙනෙක් හරහා රජයේ රෝහලක පමණක් සිදුවන්නක්.

      Delete
    5. prabhath wijesingha,

      //මෙතන තියෙන්නෙ තමන් වගකිව යුතු ⁣නැති දෙයකට මවට/ දරුවට විඳවන්න දෙනවද නැද්ද කියන දේ පිලිබඳ ගැටලුවක්.//
      මෙතන ක්‍රියාමාර්ග කීපයක් ගත යුතු වෙනවා
      01 මේවට සම්බන්ද පිරිමියාට දැඩි දඩුවම් ලබාදීම, අද DNA තක්ෂණය ඇති තත්වයක් තුල පහසුවෙන් මෙය කලහැකියි. තවම මිනීමරුවන්ට මරණ දඩුවම නියමකරගන්න බෑ හැබැයි ගබසාව ගැනයි කතාව.

      මිනිසුන් දඩුවමට ඇති භය වැඩි උනාම අතිවිශාල ප්‍රතිශතයක් මෙවැනි අපරාද සිදුකරන්නේ නෑ.

      02. කුඩා වයසේ සිට දරුවන් ලිංගික අද්‍යාපනය පිළිබද දැනුවත් කිරීම.


      //ඔබ මෙම ගැටලුව මහලු දෙමාපියන් රැකබලා ගැනීමට අදාල කර ගැනීම මා පුදුමයට පත් කරා. එතරම් බොලඳ දෙයක් පැවසීම ගැන. //

      ඇයි ඔබ පුදුමයට පත්වෙන්නේ ? ඔබල වගේ අයට හරි පහසුයි කියන්නේ "අනේ මේ වයසට ගිහිල්ල දුක්විදින අය මේ දුකින් මුදාගැනීම සදහාත් ජිවත් වන දරුවන්ට මහලු දෙමාපියන් නිසා ඇතිවන දුක නැතිකර ගැනීම සදහාත් දිවි හානිකරගැනීමට උපකාර කරන වැඩපිළිවලක් සදහා නීති සම්පාදනය කරන්න " කියල නව සස්කෘතියක් ගෙන එන්න පුළුවන් ඔබ නොදැන සිටියට එහෙම ඒවා ලෝකයේ දැනටත් ඇතිවෙමින් තියනවා Voluntary active euthanasia, called "physician assisted dying", is legal in Canada for all people over the age of 18.

      මෙතන බොලද ඔබද මමද ? තමන්ගේ දරුවා මරණ කෙනාට එච්චර අමාරු නෑ තමන්ගේ දෙමාපියන් මරන්න.

      Delete
    6. Voluntary active euthanasia ගැන හොඳින් සොයා බලන්න. එය මහලු වීම නිසාවත්, දරැවන්ට රැක බලා ගැනීමට නොහැකි නිසාවත්, ඇති කරන ලද ක්‍රමයක් නෙවෙයි. රෝහලක oncology වාට්ටුවකට ගිහින් බැලුවම තමන්ට voluntary active euthanasia වැනි ක්‍රමයක් ප්‍රාර්ථනා කරන රෝගීන් ඕනෑ තරම් ඉන්නවා. නමුත් මෙයට ඇති ප්‍රධානම බාධකය ( කැනඩාවේ පවා) මෙය ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරු අකමැති වීම. නැතුව රෝගියාගෙ පැත්තෙන් මෙය අතිශය සාධාරණ නීතියක්. මෙම ගැටලු වලට මුහුණ දුන් රෝගීන්, මවුවරුන්, දරුවන් සිය ගනන් මා දැක තිබෙනවා. ඔවුන්ගෙ දුක් ගැනවිලිත් ඇති තරම් අසා තිබෙනවා. මෙවැනි නීති හරහා අනික් සියල්ලටම වඩා ඒ ගැටලු වලට මුහුණ දුන් අය ඉල්ලන දෙයක් ඔවුන්ට ලැබිලා තිදේදි මේ නීතිය ඊට වඩා සාධාරණය කිරීමක් අනවශ්‍යයි.

      Delete
    7. prabhath,

      //නමුත් මෙයට ඇති ප්‍රධානම බාධකය ( කැනඩාවේ පවා) මෙය ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරු අකමැති වීම. //

      ඔබම අවංකව හිතල බලන්න ඇයි කැමැත්තෙන් මියයන්න උපකාර කිරීමට කැමති අයට මරණයට උපකාර නොකරන වෛද්‍යවරු ගබ්සාවට (කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට නොහැකි ළදරුවකුගේ ) ජීවිතය නැතිකිරීමට කැමතිවෙන්න හේතුව මොකද්ද ?

      වයසක රෝගියා මරණයට පත්කිරීම පෙන්න තියන නිසාත් ළදරුව මරණයට පත්කිරීම නොපෙනෙන නිසා ද ?

      මට කියන්න ඇත්තේ https://www.youtube.com/watch?v=ESqdmQFTNhE
      දගස්ගනන් ගබ්සා කරපු මේ දොස්තර වරයා කියන්නේ නෑ නේද මම අපමණ කාන්තාවන්ට සහනයක් ලබාදුන්නා කියල, ඔහු පසුතැවෙනවා නේද තමා කරපු දේ පිලිබදව, මෙතන කීබෝඩ් එකෙන් කොටන මටත් ඔබටත් වඩා අද්දැකීම් මෙසම්බන්දව ඔහුට තියන බව ඔබ පිළිගන්නවද ?

      Delete
    8. කරුනාකර මෙහි අදහස් පලකරන අය කියල තියන දේ කියවල බලන්න.
      https://www.youtube.com/watch?v=ESqdmQFTNhE

      //I had abortion before because i just had my son I gave birth to 2 months after I got pregnant it was the hardest thing I ever done I never knew this is what happen to my baby I never knew it was this evil I'm so sorry to my unborn child and I pray to my child every other day to say sorry to my baby
      REPLY

      //

      Delete
  6. ගර්භාෂය ඇගේය එසේම මොලොව එලිය දැකීමේ අයිතිය ඔහුගේය.

    ReplyDelete
    Replies
    1. එලිය දකින එකා නිසා විදවන්නෙත් ඔයා නෙමේය

      Delete
  7. හා හා කෑ ගහන්න එපා කාදිනල්ට ඇහෙයි. එයාට ඕනි විදියට තමයි නීති

    ReplyDelete
    Replies
    1. මහින්ද ඕක ගෙනාවා කටේ පිට්ටු දාගෙන බ්ලෙස් කරලත් යවයි...

      Delete
  8. ඔන්න මම තමයි 1000 වෙනි පස්සෙන් පන්න එකා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.... ඒ වගේම බොහෝම ස්තූතියි මචෝ...

      Delete
    2. වෙල්කම්ල ඒ වගේම (සිංහලෙන් එහෙම එකක් නෑ නේ බං)

      Delete
  9. මමත් ඔය නීතියට එකඟයි.

    ඒ වගේම මරණීය වේදනාවකින් දීර්ඝ කාලයක් පෙලෙන කෙනෙකුට තමාගේ මරණය සිදුකරවා ගැනීම සඳහා (වෛද්‍ය නිර්දේශ අනුව ) අයිතිය තිබිය යුතුයි.

    ඉහත දෙකම මගේ කැමැත්ත. හැබැයි ඒවා ක්‍රියාත්මක කරවන්නත් ඕන ඉතාම පාලනයක් යටතේ මෙන්ම සාධාරණ හේතුන් මත...

    අසංක

    ReplyDelete
    Replies
    1. මේවා මූලික මිනිස් අයිතිවාසිකම්...

      Delete
  10. ස්තූතියි මාතලන් අයියා මේ ලිපිය බෙදා ගත් එකට.
    බ්ලොග් එකේ ඊළඟ ලිපියත් කියවන්න,( මොකුත් කරන්න බෑ අම්මේ) ඊට කලින් ලිපියේ 2010 සිට ලියූ මෙවැනි කතා ඕනෑ තරම් ඇති. මේවා මෙලෙස ලියවෙන්නේ මා තුල සිටින ලේඛකයා නිසා, එනිසා මේවා ජීවන අත්දැකීම් ලෙස ද වෛද්‍ය වරයෙක් දකින සිදුවීම් ලෙස ද කියවන්න. මතවාදීව ගැටෙන්න !

    ReplyDelete
    Replies
    1. මම ඔබේ සියළුම පෝස්ට් කියවන රසිකයෙක්..

      මේ සටහන මා සසල කළා... මොකෝ මෙබඳු සිඳුවීමක් අපේ ගමෙත් උනා... එය ප්‍රසිද්ධ මාධ්‍යක තියා තා කෙනෙක් හා කියන්න බැරි තරම් අසික්කිතයි...

      මා සසල උනේ මේ සටහනෙන් ඒ මිලේච්ඡ සිඳුවීම යලි සිහි ගැන් වූ නිසයි...

      Delete
    2. බ්ලොග් ලියන වැඩි හරියක් බෝ ගේ ලිපියට එකඟ බව දැකීමත් සතුටක්. මාතලන් ෂෙයාර් කරල දෙන ප්‍රසිද්දියත් අගෙයි. මමත් ෆේස්බුක් එකේ ෂෙයාර් කලා.

      Delete
  11. එකෙන්ම එකඟයි මාතෙ, මේව නීතිගත කරන්න ඒ වගේම නීති ඉතා ඉක්මනින්ම වෙනස් කරන්නත් වෙනව. හැබැයි ඒව වෙනස්වෙන්නත් ඕන ආගම් ජාති වලට ඕන විදිහට නෙමෙයි. අනික ඕක නීතිගත උනා කියල පත්තරකාරයොන්ට ඒක සිරස්තල නොකරගන්නටත් පියවර ගන්න ඕන. මොකද ඉතිං ලංකාවේ දෙයක් නීතිගත ගතවෙනව කියන්නෙ නීතිය වල් වැදිල අවනීතිය රජ වෙන එකනෙ.

    ReplyDelete
    Replies
    1. සිරා අපි හිතුවට වඩා මොඩර්න් වගේ...

      Delete
  12. මිනීමරුවන්ට මරනදඩුවම නොදීමට කාරුනිකවෙන රජය ගබසාවට (කිසිදු වරදක් නොකළ දරුවකු මරණයට පත්කිරීමට ) නීති සම්පාදනය කරන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඕනම දෙයක් දෙපැත්තක් තියෙනවා... එහෙනම් බෙහෙත් නොබී ඉන්න කියන ගොන් දේව ධර්මයත් ෆලෝ කරන්න...

      Delete
    2. මොකද්ද තියන දෙපැත්ත? මිනීමරුවන්ට ජනතා මුදලින් ජිවත් කරන අතර නුපන් දරුවන් මරාදැමීමට නීති ගේනවා, ජනාධිපති එල්ලූ ගහේ යවන්න බයයි අපරාද කරුවන්ව හැබැයි නුපන් දරුවන් මරන්න අවසර දෙන්න බය නෑ.

      උබේ තර්කය සාදාරණිය කරණය කරන්න පුළුවන් මිනිපරුවන්ට මරණ දඩුවම දෙන්න ගබ්සා කිරීමට පනත් ගේන විටම කිව්වනම්, යම් තර්කයක් තියනවා.

      Delete
  13. ගබ්සාව නීතිගත කොරත් නැතත් ඒක අපේ රටේ අස්සක් මුල්ලක් නෑර ගජරාමෙට කෙරෙනවාය. ඒත් ගං ගොඩවල් වල ඉන්නා ගල් වෙද්දු එඬරු නැටි වලින් එහෙම ඇන ඇන කරන වින්නැහි වලක්වලා අපහරණයට ලක් වූ දැරියන්ටත්, වෙනත් සාධාරණ හේතු නිසා ගබ්සා කර ගත යුතු කතුන්ටත් ඒ කාර්යය පිළිවෙලකට කර ගන්නට මඟ සලසන්නට හිතූ සැණින් පූජක ගොල්ලන් පරල වෙලා. මේ ආගම් කාරයන්ට ස්ත්‍රී දේහයත් එක්ක පිස්සු නටනවා ඇරෙන්ඩ වෙන වැඩක් නැතිද කියා හිතෙන තරම් ඒ බලපෑම් වැඩි වෙලා. ලෝකයේ සමහර පලාත්වල ආගමේ නාමයෙන් කුඩා දැරියන් කපා කොටා මැහුම් දමා ස්වභාවික ඉඳුරන් විකෘති කර දමයි. තවත් සමහර පළාත් වල ගැහැණුන්ගේ ගර්භාෂ පල්ලියට පවරා ගෙන එහි පිවිසි දේව දරුවන්ට අත නොතබනු කියති.. ඔය කියන විදියට කාන්තාවකගේ ගැබේ පිළිසිඳ ගන්නා හැම ජීවියෙක්ම "දේව දරුවෙක්" නම් මේ තරම් මං පහරන්නෝ, ස්ත්‍රී දුෂකයෝ, වංචා කාරයෝ, මිනීමරුවෝ, දරුවන් අපහරණය කරන පියවරු, කුඩු විකුණා සමාජය විනාශ කරන්නෝ, රටට බණ කියමින් රට කන දේශපාලුවෝ, චීවර හෝ ලෝගු තුල සැඟවී පස් පව්, දස අකුසල් කරමින් අවිද්‍යාව පතුරවන ආගමික නායකයෝ ආදී විවිධාකාරයේ දුෂිතයන් අපේ සමාජයේ ඉන්නේ කොහොමද? මේ අය දේව දරුවන් නම් දෙවියන් කියන පුද්ගලයාත් මාර පිස්සු භාණ්ඩයක් වෙන්ඩ ඕනෑ . දෙවියෝ කියන්නෙත් මිනිසාමය. හැබැයි හැම මිනිසාටම දෙවියෙක් වන්නටද බැරිය. දෙවියන් ඉන්නවා කියන්නෙත්, මිය පරලොව ගිය ඇත්තන් "ශාන්තුවරුන්" ලෙස නම් කරන්නෙත් මිනිසාමය.

    ReplyDelete
  14. ගොඩක් අය මේ කතාව පටලවගෙන තමයි අදහස් දක්වන්නේ. ගබ්සාව නීතිගත කළත්, අකමැති අයට නොකර ඉන්න පුළුවන් කියන එක හැමෝටම අමතකයි.

    ආබාධිත දරුවෙක් පිළිසිඳගත් කාන්තාවකට දරුවා හදාගන්න කැමති නම් හදාගන්න පුළුවන්. දූෂණයට ලක් වුණු කෙනෙකුට දරුවා ඕන නම් ඒත් හදා ගන්න පුළුවන්. ගබ්සාවට අකමැති අයට ඒ වගේ දරුවන්ව හදාගන්න උදව් කරලා, ගබ්සාවට යොමු වෙන අයගේ සංඛ්‍යාව එකකින් හරි අඩු කරන්න පුළුවන්. දූෂණයට ලක් වුණා හෝ දරුවා ආභාදිත වූ නිසාවෙන්ම බලෙන් අල්ලාගෙන දරුවා නැති කරන්නේ නැහැ නේ.

    දැන් ලංකාවේ ගවඝාතනය තහනම් නෑ නේ. ඒ උනාට ගව ඝාතනයට අකමැති අය, ගවයින්ට අභය දානය ලබා දීලා ගොවි මහතුන්ට බෙදා දෙන අවස්ථා තියනවා නේ. ඒ වගේ ගබ්සාවට අකමැති අයට පුළුවන් සෝෂල් සර්විස් එකක් විදියට ආබාධිත දරුවන්ට උදව් කරන්නත්, දූෂණයට ලක් වූ කාන්තාවන්ට සාමාජයෙන් සිදුවන අඩත්තේට්ටම් වලට එරෙහිව පෙනී සිටින්නත්.

    අනිත් එක ආගමට අනුව ගබ්සාව තහනම් නම්, එහෙම ආගමට විරුද්ධව ගබ්සා කරන අයට ආගමට අනුවම අනිවාර්යෙන් විපාක විඳින්න වේවි. ඒ ගැන අනිත් අය කලබල වෙන්න ඕන නෑ.

    පාසල් දරුවන් දූෂණයට ලක් වන, මනසින් හරියට වැඩිලා නැති ආබාධිත දැරියන් පවා දූෂණයට ලක් වන, ඉතාමත් අනාරක්ෂිත සමාජයක් අපිට තියෙන්නේ. ඉතින් දූෂණයට ලක් වූ, දරුවෙක් ඉන්නා ගැහැනියකට ජීවිතේ අලුතින් පටන් අරන් ඉදිරියට යන්නට පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. ගැහැණුන්ටත් හීන, අරමුණු තියනවා නේ. එක අවාසනාවන්ත සිදුවීමක් මත ඇගේ මුළු ජීවිතයම විනාශ විය යුතු යයි සිතීම කොච්චර දරුණුයි ද?

    ReplyDelete
  15. +++++++++++++++++++++++++
    ගර්භාෂයේ අයිතිය ඇගේය. අන් සියලු තර්ක ඒ අයිතියට යටය.

    ReplyDelete
    Replies
    1. දරුවාගේ ජිවිතයේ අයිතිය දරුවාගේ නෙමෙයිය.

      Delete
  16. මාතා,

    මම විශ්වාස කරනවා උඹට නිවැරදි හෘද සාක්ෂියක් ඇතැයි කියා. මන්දයත් අපි සියල්ලම ගනන් බැලිය යුත්තේ අපගේ හෘදය සාක්ෂියට අනුකූලව නිසායි. හෘදය සාක්ෂිය නිවැරදි කර ගැනීම ලේසි දෙයක් නොවෙයි මචෝ..ඒක නිසා පරිස්සමින් හිතපන්...ලියපන්.

    මිනිස් ජීවිතයක් නැති කිරීම නොව කිසිම සත්ත්ව ජීවිතයක් නැසුම පිලිබඳව තීරනයක් ගැනීමට මිනිසුනට/ගැහැනුනට අයිතියක් නැති බව මම කිව්වොත් උඹ කියයි මම පට්ට අන්තවාදියෙක් කියලා. ඒහෙත් හෘදය සාක්ෂියේ අති සංවේදී කලාපය ඒ අන්තවාදයේ කෙලවරම පිහිටා තිබීමට උඹ බයයි. උඹ ජීවිතයට බයයි. තමන්ගේම දෙපා යට පවතින අමු යතාර්තයට බය වෙලා මේකා මරු ගැන ලියනවා. මට හිතුනේ එහෙමයි.

    ජීවිතය යනු මෙයයි කියා කියන්නට උඹට තියා ගෞතම බුදුන්ටවත්  විවරන ඇතැයි කියා කියන්නට පුලුවන්ද? එහෙමනම් උඹ මේ ලියපු post එක මොකක්ද බං? නමුත් රටේ පොදු ජනයාට බලපාන ප්‍රශ්න ගැන පඩයක් ගානටවත් ගනන් නොගන්න කාඩිනල් කාරයා මෙවර ගබ්සාව ගැන කියන්නේ හෘදය සාක්ෂීමය ආමන්ත්‍රනයක්. පනිවිඩකාරයාට නොවේ පනිවිඩයට ඇහුම්කන් දීපං. මේක ගැන වඩා හොඳ විවරනයක් දෙනවා Francis ලොක්කා. ඒකත් කියවපං. බහුතර සංඝ set එක කොහොමටත් ජීවිතයට වඩා මරනයට පෙම් කරන නිසා මේ මොහොතේ උන් කට හොල්ලන්නේ නැහැ. කොහොමටත් උන්ට ජීවිතය සහ මරණය පැටලිලා තියෙන්නේ. මොනවා වුනත් උඹ පටලවා ගන්න එපා.

    ඕනෑම තත්ත්වයක් යටතේ ප්‍රමුඛ වන්නේ නීතිය නොව සදාචාරයයි. ඒත් මේ post එකේ උඹට ඒකත් පැටලිලා. මේ මාරාන්තික පටලැවිල්ල උඔ නිරවුල් කර නොගත්තොත් උඹ euthanasia,same -sex marriage විතරක් නොවෙයි zoophilia වුනත් නරක නැහැ කියලා උඹ ලියන දවස වැඩි ඈතක නොවෙයි.
    එසේ නොවේවා!!

    +CP

    ReplyDelete
  17. මාතා,
    // සිරා අපි හිතුවාට වඩා modern // කියලා උඹ මේ තැනක කියලා තියෙන්නේ ගබ්සාව නීති ගත කරපු නිසාද? ඒ thread එකෙන් බලනකොට පොර same sex marriages proposal එක ඉවතට විසි කල නිසා අපි හිතුවාට වඩා සිරා wild වෙලාද?

    මට හිතෙන්නේ මේ දෙකම නොවෙයි.

    ලංකාව වැනි socio-ecnomicaly පසුගාමි රාජ්‍යයන්වල විතරක් නොවෙයි UK, USA, Canada,Ausi, Gernany වැනි මීට ප්‍රතිපක්ෂ සමාජවලත් මේ දේවල් අනුමත කරන්නේ වගකීමෙන් බැහැර වීමේ intuition එකක් නිසඟයෙන්ම රාජ්‍ය සතු නිසායි.රාජ්‍ය යනු උපරිම ලෙසින් මිනිසා සහ මිහිතලය සූරා කන ආයතනය නිසා රාජ්‍යයෙන් අපිට සදාචාරයක් අපේක්ෂා කරන්න බැහැ.එහෙත් රාජ්‍ය ඉකුත් වන තුරු රාජ්‍යයේ මේ නොපනත්කම් ⁣නොහොත් කැරිකම් අවසන් වන්නේත් නැහැ.දැන් මෙතැන serious dillema එකක් තියෙන බව පෙනෙනවා නේද? ලාංකික සිතුවිලි බුවා නිවැරදිව පෙන්වා දෙන පරිදි මිනිමරුවන්ට ජීවිත දානයත් නූපන් දරුවනට මරනීය දන්ඩනයත් ලැබෙන්නේ රාජ්‍යයේ එම කැරිකම් නිසා නොවෙයිද?

    +CP

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණය තමන්ගේ නොවෙන තාක් කල් පිළිතුරු දාර්ශණිකය, රොමැන්ටික්ය !!

      Delete
    2. //ප්‍රශ්ණය තමන්ගේ නොවෙන තාක් කල් පිළිතුරු දාර්ශණිකය, රොමැන්ටික්ය !!//

      බොස්, ගබ්සාව යනු පුද්ගලික ප්‍රශ්නයක් නොවේ;ඒක පොදු සමාජීය ප්‍රශ්නයක්. ඒක නිසා තමයි මෙයට සමාජීය විසඳුම් සෙවිය යුත්තේ.ස්ත්‍රීයකට ගර්භාෂයක් තිබූ පමණින් ඇයට පමණක් දරුවා හිමිද? හිතපං මෙහෙම:
      My car, my petrol වුනාට අනතුරක් වුනොත් ...therefore this is also MY ACCIDENT and you fuck off from my sight කියලා පොලීසියට හෝ උසාවියට බොස්ට කියන්න පුලුවන්ද? බැහැ!! මන්දයත් accident එක සාමාජීය ප්‍රශ්නයක් නිසා .

      යම් ස්ත්‍රීයක් අසම්මත යැයි සැලකෙන දරු ගැබකින් පීඩා විඳිනවා නම් එය හුදෙක් ඇයගේම ප්‍රශ්නයක් නොවේ;එය අපි සෑම දෙනාගේම ප්‍රශ්නයක්."හුකා ගත්තා නම්,එපා නම් මරා දාපිය" කියලා කියන්නේ ඇයගේ ප්‍රශ්නය සාමාජීය ප්‍රශ්නයක් ලෙස දකින්නට නොහැකි නිසායි. මේ නොහැකියාව අප වෙතට එන්නේ රාජ්‍ය විසින් ගෙන එන යටපත් කිරීම නිසායි.ඒ හෙජමොනිය තමයි නීති/ප්‍රතිපත්ති ඔස්සේ  අපේ මනස හදන්නේ ගබ්සාව සාධාරනීකරනය කරන්න.එහෙත් කවර නම් තත්ත්වයක් යටතේදීවත් මිනිස්කමේ හෘදය සාක්ෂියකට එය අනුමත කරන්න බැහැ.


      ජීවිතය තරම් රොමැන්ටික්,දාර්ශනික දෙයක් මේ විශ්වයේ තවමත් හොයාගෙන නැති නිසා තමයි බොස්,  මාතා මහ ලොකුවට පෙන්නන දොස්තරලාගේ මිනිමරු ලියවිලි සරමේ ගිය කැරි ටිකක් ගානටවත් ගනන් නොගෙන කවර නම් තත්ත්වයක් යටතේදීවත් PRO LIFE අතහරින්නේ නැත්තේ..

      මාතා, මාව Block කරන්න එපා.උඹ ඉඩ දෙනවා නම් මම අර "එක්තරා මානවිකාවටත් " පිලිතුරක් දෙන්නම්.

      +CP

      Delete
  18. ඒ නීතිය ගේන්න පරක්කු උනා කියලයි හිතෙන්නේ... ඒක සාධාරණයි

    ReplyDelete
  19. LOKKA LEAGAL HORAKAMATA MONAWADA BAN WENNE

    ReplyDelete
  20. ගබ්සාව නීතීගත කිරීම නෙමේයි වෙන්න ඔනේ.. ගබ්සාවක් අවශ්‍ය නොවෙන තැනකට සමාජයක් ගෙන ඒම.. නිකරුනේ මෙවැනි වාද විවාද වලට ගත කරන කාලය යොදවන්න ඒ සඳහා...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න