.

.

Oct 12, 2021

මැණිකේ හා බෆලෝ කූඩැල්ලා

 


මැණිකේ හා බෆලෝ කූඩැල්ලා

➖➖➖➖➖➖➖➖➖➖➖

(මගේ බ්ලොග් එකේ නමත් එක්ක "මැණිකේ" කියලා ටයිප් කරලා සර්ච් පාරක් දැම්මම අහු උනා මම ලියපු පරණ එකක්, කොටස් දෙකකට ලියපු කතාව, බුකියේ බ්ලොක් වෙන වචන මොඩිෆයි කරලා ආයේ ගෙඩිය පිටින් එකකට හැදුවා)

කැළණිය අපේ ගේ ගාවට කොළඹ ඉඳලා හරියටම 8 Km. ඒත් අපි පොඩි කාළේ මේක තනිකරම ගමක්. 77 ට පස්සේ සීඝ්‍ර දියුණුවකට ලක්වෙනවා. අද ඉන්න අයට මේ දේ වල් නැති උනත්. අපි ගමක ළමයෙක් විඳින සුන්දර ළමා කාළයක් මේ ගමේ ගෙව්වා.  

ගේ පිටිපස්සෙ කුඹුරක් තිබුනා. නමුත් කැළණි ගඟ ගලන කාලේට මේක යටවෙනවා. කුඹුර උනාට අපි ඕකට කියන්නේ වෙල කියලා. මේක යටවෙනවා කිව්වට අද වගේ නෙමෙයි. කුඹුරු කරන ප්‍රදේශයේ අඩි තුනක් විතර. ඒ උනාට ඒ කාළේ අපිට ඒක ළොකු වතුරක් ඇයි අපිට වයස දහයක් විතර ඇති මේ කතාව කියන කාළේ.

කතාවේ පාත්‍ර වර්ගයා තමයි මම, අපේ මල්ලි, කනිෂ්ක - එහා ගෙදර මගේම වයසේ මැන්ගෝ ෆ්‍රෙන්ඩ්, ගීතංජලි - මැන්ගෝ ෆ්‍රෙන්ඩ් ගේ නංගි, උන් අපේ ළඟම නෑයෝ. 

මැණිකා - එතකොට වයස 18 ක් විතර ඇති මාර ලස්සන, අපේ නංගි බලාගන්න ඉන්න අක්කා - ගමේ නාඩගං නටනවා කියලා,  අපි ගමේ ගියපු වෙලාවක මැණිකලගෙ ගෙදරින් බලෙන්ම දීලා.. එයාගේ කැමත්තෙන් අපේ ගෙදර ආවේ. ප්‍රේමසිරි - කනිෂ්කලයි කඩේ වැඩ කරන කෙනෙක්ගේ පුතා, වයස 16 විතර, ඉස්කෝලෙත් යනවා, නසරානියා. අපි වගේම තමයි.

වෙලේ වතුර පිරුණ ගමන් අපි කෙහෙල් කොටන් පාරු හදනවා. ඒ කතා කියන්න ගියොත් මේක ඔයාලට එපා වෙනවා. ඕක ටික වෙලාවක් පැදලා, වෙලට පනිනවා. අපේ බෙල්ල ගාවට තමයි වතුර. ටික වෙලාවක් පීනනවා කියලා වතුරේ ඇවිදලා, කස්ටියම එනවා, සිමෙන්තියෙන් වට කරලා ලස්සනට බැඳලා තියෙන ළිඳට. 

ඔන්න ඉතින් කූඩැල්ලෝ ඇදලා දාලා අපි කස්ටියම එකට නානවා. මැණිකා මේ හැම දේම බලන් ඉන්නවා. අම්මලාට අපි ගැන බලන්න වෙලාවක් නැති නිසා වෙන්න ඇති. කවුරු හිටියත් උයන්නේ අම්මනේ. 

කස්ටියම ඉන්නේ ජංගි ගහල. ජංගි කියන්නේ අම්මලගේ ගවුම් මහලා ඉවරවෙන, බූමිතෙල් ගඳ ගහන චීත්තවලින් මහලා, ඉනට ඉලාස්ටික් එකක් අල්ලලා තියෙන කොට කලිසම්.  බාල්දි දෙකෙන්ම ඇදගෙන නාපු අපි කට්ටියම එකට සබන් ගානවා.

බේබී හොඳට සබන් ගා ගන්න මූනේ... මැණිකා කියනවා.

එයානම් කියයි... ඇස් දෙක දන්න ගත්තම එයා මොනවා කරන්නද....? උදේට ඉස්කෝලේ යනකොට, අම්මා මූණේ සබන් ගාන කොටත් මම ඇස් දෙක තද කරගෙන ඉන්නේ.

හරි හෝදලා ඉවරයි... ඒ අම්මා.

ඇස් අරින්නද....?

හා අරින්න හෝදලා ඉවරයි.

හොඳටම හේදුවද අම්මේ....?

ඔව් දරුවෝ ඔව්,

ඔන්න එහෙනම් අරිනවා......?

අරින්න පුතෙ අරින්න...

ඒත්... තද කරන් ඉන්න එක පොඩ්ඩක් අඩු කරලා, දෙකට නැමිලා, බේසමෙන් වතුර ටිකක් අරගෙන ආයිත් ඇස් දෙකේ ගාගන්නවා. අම්ම අවිස්වාස නිසා නෙමෙයි, එයාටත් අහු උනේ නැති, අර ඇස්වලට අගුණ පෙන ජාතියෙන් පොඩි බින්දුවක් හරි අම්මට පේන්නේ නැතිව හැංගිලා හිටියොත්. ඇහේ වතුර ගාගත්තත් අරින්නේ නෑ. මූන පිහදාලා ඉවර උනයින් පස්සේ, ආයිත් ඇස් තද කරලා බලනවා. තුවායෙන් ආයිත් හොඳට පිහිනවා.

ඔන්න එක පාරක් ඇරලා ටක් ගහලා වහනවා. තොටළඟ තොරනේ වගේ මොනවද වගයක් එක පාරටම පේනවා. ආයිත් ඇරලා බලනවා.

ඒ පාර නම් අම්මව දැක්කා. ඔය ඉන්නේ සීදේවී වගේ හිනා වෙවි. ඒ උනාට ආයිත් වහනවා.

හ්ම් දැවිල්ලක් නෑ. බඩු ෂුවර්.. දැන් නම් හොඳටම ෂුවර්.. අර මූසල පෙන බෝල එකක්වත් නෑ කියලා.

ඒ උනාට, මැණිකගෙ හිත නරක් කරන එකත් හොඳ නෑනේ. බොරුවට සබන් ටිකක් මූනේ අතුල්ල ගන්නවා.

ඔය මොකක්ද කරන්නේ... කෝ දෙන්න සබන් කෑල්ල.


අයියෝ..!!! ඉවරයි ඉතින් ආයෙත් අර කෝස් එක තමයි. අම්ම වගේම තමයි මෙයත්...

මූන හොදන්න කිව්වම ඉතින් ඒක කරනවනේ.. ඇස් වල ගාන්නම ඕනද...? ඔය සබන් හදන අයට බැරිද ඇස් දන්නෙ නැති.. නිකන් වතුර වගේ දෙයක් හදන්න. වතුරෙන් හේදුවට කිසි අවුලක් නෑනේ.. අනේ මන්දා කවුරු මේවා මොනවට හදනවද කියලා....? එක්කෝ කියන්න ඕන පොඩි ලමයින්ට නොවේ කියලා. අර අම්මයි තත්තයි විතරක් බලන්න යන ෆිල්ම් වගේ. ..

ඔන්න කරුම වැඩේ ඉවරයි... අනික් උන්ට නම් හිනා මමයි මගේ ඇස් දෙකයි විතරයිනේ දන්නෙ ඒකේ දුක.

ඔය ජංගිය අස්සෙත් ගාගන්න.

ඇයි මැණිකම ගාන්න.

අනේ මට බෑ.... ඕවයෙ ගාන්න..

එහෙනම් නංගිගේ ගාන්නේ...?

ඒ... නංගි පොඩියි නේ...

ඉතින් අපිත් පොඩියිනේ...

ප්‍රේමසිරියට හරි හිනා... අපිත් පොඩියි කියන්නේ එච්චර හිනා යන කතාවක්ද...? මමත් හරියට ප්‍රෙඩී සිල්වා වගේනේ.. මරු වැඩේ... ආයිත් කියන්න ඕන...

ඉතින්.. අපිත් පොඩියිනේ මැණිකම ගාන්නකෝ..

ප්‍රේමසිරියට හරි හිනා.. අපිත් ඉතින් හයියෙන් හිනාවෙනවා.. මේන් මැණිකට කේන්ති ගිහින්.. මොකටද කේන්ති ගන්නේ....?

ඉස්සෙල්ලා මගේ මූනේ සබන් ගාන වෙලාවේ කට්ටියම හිනා උනාම මැනිකත් හිනාඋනේ.. ඒ වෙලාවේ මට කේන්ති ගියාය....? ඇස් දෙක වහගෙන මමත් හිනා උනේ...

මම කියන එවටයි කරන ඒවටයි හිනාවෙන එක කොච්චර ෂෝක්ද...? මමත් එතකොට අර ෆිල්ම් වල ඉන්න ජෝකර්ලා වගේ නේ...එයාගේ ලස්සන මූන. අලිකලසමයගේ  මූන වගේ වෙලා. මට නම් ඔය අලිකලසමයගේ මූන පෙන්න බෑ..

හිනා උනා වගේ නෙමෙයි... මැණිකා තරහ උනොත්...!...? මම එක පාරටම ලයිට් එක ඕෆ් කලා වගේ හිනාව නවත්ත ගන්නවා....

ඒත් මැණිකගෙ මූන ලස්සන නෑ... මම පූජිත මෙන්ඩිස් වගේ අනික් උන් ඔක්කෝටම ඔරවනවා. ඔන්න හිනාව නවතිනවා. දැන් නම් මැණිකගෙ මූන හොඳයි. ඒත් තරහ වෙන්න කලින් හිටිය වගේ ලස්සන නෑ.

උඹ තමයි ඔක්කෝම කරන්නෙ.. මැණිකා ප්‍රේමසිරිට කියනවා..

ප්‍රේමසිරි නෙමේ කටක් හොලවන්නේ. ප්‍රේමසිරි මැණිකට බයයි. ප්‍රේමසිරි පොළොවේ දිහා බලාගෙන ඉන්න ඇස් දෙකේ, අර මැද තියෙන බෝල දෙක මැණිකා පැත්තට යනවා. මගේ පැත්තට එනවා. මල්ලිගෙ පැත්තට යනවා. කවුරුත් සද්දයක් නෑ.

හා හා..... ළොකු බේබි ඔය සබන් ගා ගන්න ඉක්මනට. ගාලා හොඳට අතුල්ලලා හෝදන්න. නැත්නම් කට්ටියම මැටි බබ්බු වගේ ඉඳියි. ඔය වෙල් ගඳ යන්න හොඳට හෝදගන්න.

අම්මේ....!!!..... ඇති යාන්තම් මැණිකා කතා කරනවා. ආයෙත් කට්ටිය හෝ ගාල වැඩ. මමත් පස්ස පැත්තෙ සබන් ගාන්න ජංගිය පහත් කරනවා. මැන්ගොත් එහෙමයි. ඒ උනාට මල්ලියි, මැංගොගේ නංගියි, ප්‍රේමසිරියි එහෙම ජංගිය පාත් කරන්නෙ නෑ.

"බුදු අම්මෝ..........................!!!" මැණිකා මහා සද්දෙන් කෑ ගහනවා...

අම්මෝ මගේ කන් දෙක.....!!!. තව පොඩ්ඩෙන් පැලෙනවා..

කැළණි පන්සලේ පෙරහරට ගෙනත් ගස්වල බැඳලා ඉන්න අලියෙක්ට පිස්සු හැදිලා එක දවසක් හොඬේ උස්සලා කෑ ගැහුවා. එදා තමයි තාත්තා කියලා දුන්නේ කනේ බෙරයක් තියෙනවයි, ළොකු සද්දවලට, පුපුරණවයි කියලා. 

ඉතින් තාත්තේ ඒ බෙරේ මොන වගේද කිව්වට උත්තර හම්බ උනේ නෑ. මම හිතන්නේ තාත්තා දන්නෙ නැතිව ඇති. 

උත්තර දන්නෙ නැති ප්‍රශ්ණ ඇහුවම එයා සද්ද නැතුව හිනාවෙනවා. සමහර ඒවා නම් වෙන කාගෙන්වත් අහන්න එපා. ළොකු උනාම අහන්න, කියලා දෙන්නම් කියනවා. ඉතින් මම තාම පොඩියිනේ.

මම හිතන්නේ තොරණ හංදියටත් ඇහෙන්න ඇති. ෆිල්ම් හෝල් එකේනම් ඔයිටත් වඩා සද්දෙට ගෑණු අය බෙරිහන් දෙන ඒවා දැකලා තියෙනවා. සමහර වෙලාවට හෝල් එක ඇතුලෙ වගේ, කළුවර නැති නිසා වෙන්න ඇති... එච්චර සද්දයක් එන්නෙ නැත්තේ. හෝල් එකේ ලයිට් නිවන්නේ,,, නැත්නම්, මිනිස්සු ෆිල්ම් එක බලන්නෙ නැතුව, එක එක්කෙනාගේ, ඇද කුද හොයන නිසා කියලා මට කියලා දුන්නෙත් තාත්තා.

ඒ මම එක දවසක් හෝල් එකේදීම අහපු වෙලාවක. අම්මයි, වට පිටේ අයයි හිනා උනාට, ඒකනම් ඇත්තම වෙන්න ඕන. ඔය ඉන්ටවල් එකට තිරේ වහලා ලයිට් දාලා තිබුනට, කැන්ටිමේ විකුණන ඒවල ගාන තිර රෙද්දේ වැටෙන්නේ....ඒ කියන්නෙ ලයිට් දැම්මත් ෆිල්ම් එක පේනවා..... 

මේ කර්ට්න් එක තියෙන නිසානේ. නැතනම් ලස්සනට පෙනෙයි.  ඒත් මම විතරද කොහෙද ඒවා බලන්නෙ. අනිත් අය එක එක්කෙනා මොනවද කන්නෙ කියලා තමා බලන්නේ.. එතකොට ඉතින් මාත් ඔක්කෝම දිහා බලලනේ... ඒක නම් මාර වැඩක්නේ. අපේ තාත්තා ඇත්තම තමයි කියලා තියෙන්නේ.

ඒ සද්දෙට... මගේ අතේ තියෙන සබන් කෑල්ල ළිඳට පනිනවා.. මාර ලස්සනයි ඒක ගෙම්බා පනිනවා වගේ...

ඔන්න බේබී ලොකු කූඩැල්ලෙක්.. කියන කොටම.... ගෙවල් වල ඉන්න ඔක්කෝම අය ළිඳ ළඟට ඇවිල්ලා ඉවරයි. මාර වැඩේ. අපේ අම්මයි තාත්තයි, ආච්චි නංගිත් වඩාගෙන. මැන්ගොගේ තාත්තා ජුබ්‍රි අංකල් එයත් ඇවිල්ලා.

මොකද මැණිකා බෙරිහන් දෙන්නේ. කවුරු හරි ළිඳට වැටුනද...? තාත්තා ළිඳට එබෙනවා.

සබන් කෑල්ල නම් වැටුනා මම කියනවා..

මොකද මැණිකා කෑ ගහන්නෙ.. විකාරද උඹට.. නැත්නම් බේබිලා උඹට මොනවා හරි කරාද...?

නෑ නෝනා... මැනිකගේ සුදු පාට මූණ. මුදලාලිලගේ වත්තෙ තියෙන ජම්බු ගෙඩි වල පාට වෙලා. එයා ඩාන්ස් කරනවා. 

ඩාන්ස් එකකුත් නෙමෙයි. එච්චර ලස්සන නෑ. අත් දෙක වැලමිට ළඟින් උඩට උස්සගෙන ඇඟිලි තියෙන කෑලී දෙක දෙපැත්තට වනනවා, නවත්තනවා, ඇඟිල්ලක් කටේ දාගන්නවා ආයිත් එහෙම කරනවා, අනේ නෝනා...... කියනවා... ඩාන්ස් එක ලස්සනම නෑ. ඊට වඩා ලස්සනට ෆරීනා ලායි අක්කි ඩාන්ස් කරනවා. මේක ගමේ නැටුමක් වෙන්න ඇති.

මැනිකගේ තාත්තත් හොඳ නැටුම් කාරයෙක්නේ. එයා ගාව පෙරහැරවලට අඳින ඇඳුම් හිටන් තියෙනවා. එයාගේ අම්මත් හොඳ නැට්ටුක් කාරී කියන එක. අම්මයි තාත්තයි අපි නිදා ගත්තට පස්සේ කතා කරන කොට මට ඇහිලා තියෙනවා. 

ඒවා මම අහන්න යන්නෙ නෑ. මොකද අනිත් දවසෙ එයාලා දැන ගන්නවා නේ මම නිදි නෑ කියල. මට මුකුත් නොදන්න දෙයක් දැන ගන්න වෙන්නේ නෑ.

එයාලා මරු මරු ඒවා කතාකරනවා.. ඒ මම නිදිද කියලා බලලා. ඔන්න එක දවසක් අම්මා කිව්වා හොඳට නින්ද ගිහින් නම් කකුල වැනෙන්න ඕන කියලා ඉතින් මම ඇහැ අරලා හිටියේ. හොඳට කකුල් දෙක වැනුවා... 

හානේ එයා හොඳටම නිදි කියලා අම්මා කිව්වා. මට හරි ජොලි. අම්මා මගේ බොරුවට අහු උනානේ. ඒත් පස්සෙ දවසේ, අහු උනේ අම්මා නෙමෙයි, මමයි කියලා, කියා දුන්නෙ මැනිකා. ඊට පස්සෙ මම නෙමෙයි නිකමට වත් කකුල වනන්නේ.

සමයම. මේකිට පිස්සුද කොහෙද..? ආච්චි කියනවා...

මොකද මැණිකා උනේ. මොකෝ දරුවෝ කෑ ගැහැව්වේ....? ඒ අම්මා..

ඉස්සෙල්ල නම් අම්මත් මැනිකගෙන ඇහුවේ සැරෙන්.. ඒ පාර දුක හිතෙන්න ඇති.. අපේ අම්ම සෑර නෑ පොඩ්ඩක්වත්. ඒකට සෙලින් ඇන්ටි. මැන්ගොයි ,නංගියි විතරක් නෙමෙයි ප්‍රේමසිරිත් ගුටි කනවා සෑහෙන්න.

ඊ..........................ක්කා....... නෝනා ලොකු බේබිගේ කලිසම ඇතුලේ කූඩැල්ලෙක්..

ඒක ඉතින් අහන්න දෙයක්යෑ.. කලිසම් අස්සෙ කූඩැල්ලෙක් ඉන්නවා තමයි..හහ් හහ් හා...ඒ ජුබ්‍රි අංකල්.. එයාගේ හැටි එහෙම තමයි... කතාවකට කිසිසේත්ම නොගැලපෙන කතාමයි කියන්නෙ.

නෑ නෑ..... මහත්තයා ලොකූ කුඩැල්ලෙක් මෙච්චර විතර ඇති.. මැණිකා එයාගේ මුළු අල්ලම පෙන්නනවා..

අම්මට සිරි ගජ.... මගේ පුපේ කූඩැල්ලෙක් හිටියා කියලා මැණිකා කිව්වා නේද..? දැනුයි ඒක මටත් මතක් උනේ.

මොකද මොකද මිස්ටර් සැම්සන් කළබලේ.. ? මේ ළිඳ ගාව සෙනග වටවෙලා කවුද වැටුනේ...? ඉක්මනට ඉණිමග ගෙන්න ...

ආ.... දයියලයි තාත්තත් ඇවිල්ලා. එයා ඇවිල්ල තියෙන්නෙ ඉනිමග ඉල්ලන් යන්නද කොහෙද. ඇන්ටිත් ඇවිත් ඉන්නේ. දෙන්නා දෙපත්තෙන් අල්ලගෙන අරන් යයි. ඒ කියන්නේ අද එහේ තැඹිලි කඩන එක ෂුවර්. අද වෑවර කන්න පුළුවන් හකුරුත් එක්ක දාලා. සොරෝප් ගාලා සද්දෙට දිග කෑලී කන්න පුළුවන්. මම අයිස්ක්‍රිම් වලටත් ආසයි. ඒත මට හතිය නේ. ඒ නිසා තැඹිලි බොන්න නම් කවදාවත් හම්බ වෙන්නේ නෑ.කෝප්පෙට දාලා දුන්නට මම ආස තැඹිලි බෑයෙම තියාගෙන කන්න. කෝ ආච්චි කැමති නෑනේ ඒකට. කහට ගෑවෙනවා කියලා. කහටත් සබන් වගේම ජාතියක්. මේවා නැති උනානම් කොච්චර හොඳද. මගේ ඉස්කෝලේ කමිසෙ සාක්කුවේ රාජා දුන්න කජු පුහුලමක් දාගෙන ඇවිත් අම්මට අළුතෙන් කමිසෙකුත් මහන්න උනා එක පාරක්.

අංකල් දයානන්ද අයියා ගෙදරද....?

ආ.... ඔවු පුතා... එයාලා නිදි..

ඔය කෙලලා ඇරියේ මහ බොරුවක්. මෙයානම් කෙලින්ම අපායේ තමයි. දයියලට එළියට යන්න දෙන්නෙ නෑ. හරි පවු. අපි නම් එහේ ගිහින් සෙල්ලම් කරලා එනවා. දයියා නම් කොච්චර දේවල් දන්නවද....? 

එයාලගෙ ගෙදර ලයිබ්‍රරි එකක් වගේ. ඔක්කෝම පුටුවල වාඩි වෙලා පොත් කියවනවා. ලීලවති ඇර. ලීලවතී තාප්පෙ එල්ලිලා අනිත් ගෙදර ඇන්ටිත් එක්ක කතාකරනවා නිතරම. ඒ උනාට ඒ අංකල්ලා වැඩට ගිය වෙලාවට.

මොකද මොකද කළබලේ... අද මොනවද කරගෙන තියෙන්නේ....? 

සෙලින් ඇන්ටි ඇවිත් තියෙන්නෙ දැන්. හානේ එයා ගවුමක් ඇඳලා. නැත්නම් ඉතින් වෙනදට දවල්ට ඇඳලා ඉන්නෙත් අපේ අම්මා රෑට අඳින ඒවා නේ. ඒක වෙන්න ඇති එන්න පරක්කු උනේ. එයා ගුරුකුලේ උගන්නන ටීචර් කෙනෙක් උනත් ඕන දේකට එන්නේ පරක්කු වෙලා.

නෑ නෑ සෙලින් නෝනා අපේ ලොකු බේබිගේ පස්ස පැත්තේ කූඩැල්ලෙක්..

මෙහෙට එනවා.. මෙයත් යනවා කොල්ලොත් එක්ක ඔට්ටු වෙන්න .. වැලේ තියෙන් තුවායත් අරන් එනවා ඔළුව පිහිදාන්න.. සෙලින් ඇන්ටි මැන්ගොගෙ නංගිට කතා කර ගන්නවා... 

ඔය කූඩැල්ලෙක් නරක තැනක ගියොත් එහෙම..., මම අහලා තියෙනවා කූඩෑල්ලෙක් බඩට රිංගලා, බඩේ පැටව් ගහලා, ගෑණු කෙනෙක් මැරුනත් කියලා. කෝ මේ ළමයි කිව්වට අහන්නෙ නෑ නේ. කෝ මේ ප්‍රේමසිරියා මේ යකා තමයි ඔක්කෝම නරක් කරන්නේ.

ප්‍රේමසිරි පේන්න නෑ. මල්ලියි කනිෂ්කයි නම් ඉන්නවා.

සෙලින් ඇන්ටි කිව්ව දේ වෙන්න පුළුවන්ද..? මාර වැඩේ කූඩැල්ලා බඩ ඇතුලට ගියොත් එහෙම. ඒත් බය වෙන්න දෙයක් නෑ.. මෙයා විතරයිනේ. ඩොක්ටර් අංකල් බඩ කපලා හරි මූව එළියට ගනියි නේ. අනික පැටව් දාන්න තව එකෙක් ඉන්න එපාය. 

අපේ බ්‍රවුනිත් පැටව් දැම්මේ කොහෙන්ද තව බව්වෙක් ගෙනාවට පස්සෙ නේ. අපි ඇවිල්ලත් තියෙන්නේ. අම්මයි තාත්තායි කසාද බැඳපු නිසාලු නේ. 

හොඳ වෙලාවට ළොකු වෙලා,,,, කසාද බැන්දට පස්සෙ බබාලා හම්බ වෙන්නේ. නැත්තන් අපිටත් අර චූටී මාළුවෝ වගේ පොඩි කාළෙම බබාලා බලාගන්න වෙන්නේ. හප්පේ එහෙම කරදරයක්. 

කොයි වෙලාවෙත් කුක්කු ඉල්ලලා අඬනවා. කක්කි දානවා, චූ දානවා, කක්කි ඇඟ පුරාම ගා ගන්නවා. අප්පේ ඒ ගැන නම් හිතන්නවත් ඕන නෑ. මම තාම පොඩියිනේ.

කූඩැල්ලා තාම මගේ පුපේ...

මේන් මහතුනුත් ඇවිල්ලා. හප්පේ සෙනග හෝ ගාලා.... සමහර අය මම දැකලත් නෑ.

මොකෝ සුදු මහත්තයා මොකෝ මේ කෑ ගැහුවේ.....? කවුද ලිඳට වැටුනේ.....?

කවුරුත් වැටුනේ නෑ මහතුන්... සබන් කෑල්ල නම් ළිදට වැටුනා

එහෙනම් මේ කෑ ගහන්නේ....?

මගේ පස්ස පැත්තේ කූඩැල්ලෙක්.....

අයියෝ ඕක මොකක්ද සුදු මහත්තයා මගේ පුපෙත් ඕන තරම් කූඩැල්ලෝ එල්ලෙන්නේ...

මාර වැඩේ.........!!! 

මේන් මහතුන් පුප කියලා කෑ ගහලා කියනවා. පුප කියන්නේ කැත වචනයක්නේ. ෂුවර් එකට අපේ අම්මගෙන බැනුම් අහනවමයි. ඔන්න බලන්න දැන් අපේ අම්මා මහතුන්ට බනිනවා.

එකයි, දෙකයි, තුනයි, හතරයි..

කෝ නෑනේ.. ..?

මම ගනන් කරනවා.... ස්පීඩ් වැඩිද දන්නෙ නෑ.. කෝ....? බනින පාටක් නෑනේ....? ඒ කියන්නේ අම්මා කිව්වට ඒක එහෙම වච්නයක් නෙවෙයි වෙන්න ඇති

මොකද මහත්තයා මොකද..? අප්පට බොල හෝ ගාලා සෙනග. පෙතියාගොඩ පෙරහැර බලන්න වගේ සෙනග හෝ ගාලා....

දැන් අපේ ළිඳ වටේම සෙනඟ. මාරක ළිදේ මෝටර් සයිකල් යනවා බලනවා වගේ ළිඳේ තාප්පවල ඔක්කෝම එල්ලිලා. ඒ අයගේ කරවල් අස්සෙන් අනිත් අය ඔළුව දානවා. හානේ.. ගෑණු අයත් ගොඩයි. මමයි, තාත්තයි, මැනිකයි, මැන්ගොයි, මල්ලියි, ළිඳ ඇතුලේ නාන කෑල්ලේ. 

මට හිතෙනවා බයිසිකලේ අරන් ඇවිත් පදින්න. ඒත් කොහොමද පදින්නේ....? ළිඳ රවුම් නෑනේ..? ෂා.... එහෙම තිබුනනම් මෙයාලා ගියායින් පස්සෙ ට්‍රයි කරලා බලන්න තිබුනා... ඔක්කෝම බලාගෙන ඉන්නෙ මගේ දිහා.... මටනම් හරි ජොලි.. මෙයාලවත් කොහොම හරි හිනස්සන්න ඕන...

කූඩැල්ලා තාම මගේ පුපේ..

නෑ නෑ මුකුත් නෑ... මෙ දරුවගේ ළොකු කූඩැල්ලෙක්.. මම මේ ඇදලා දාන්න බැලුවේ..

හා හා මහත්තයා ලොකු උන් ගලවන්න එපා... වන වෙනවා.. මේන් අලිකලිසමයත් ඇවිල්ලා.. මටත් බලාගන්න එපැයි කූඩැල්ලා.. මම වම් පැත්තෙ උරහිස උඩින් බඩ ඉස්සරහට දාලා මගේ පුප බලනවා.. කෝ පේන්නෙ නෑනේ...

තාත්තෙ මට පෙන්නේ නෑ නේ.

කට්ටිය එක්කෙනා දෙන්නා එහෙට මෙහෙට වෙනවා. දැන් අලිකලිසමයා තමයි හීරෝ.

කූඩැල්ලා තාම මගේ පුපේ.... මම හෙමීට අත දාලා බලනවා..

ආ... මේ ඉන්නෙ යාළුවා.. කෝ බලන්න හ්ම් ළොකු තමයි. මම කලිසම ගලවන්න යනවා.

ඕක ගලවන්න ඕන නෑ. තාත්තා කියනවා..

කලිසම ගලවන්න එපා බේබි මේ මිනිස්සුත් ඉන්නවනේ මැණිකා කියනවා.

ඉතින් එයාල හිටියම මට මොකෝ....?  මහතුන් පාරු පදින්නෙම හෙලිවැල්ලෙන් නේ..පුප ඔක්කෝම එළියේ දාගෙන.. .මෙයාටත් ඕන නැති දෙයක් නෑ... .

ඔන්න කට්ටියම හිනා වෙනවා.. මට ඉතින් හරි ජොලි.. කූඩැල්ලටත් ජොලි ඇති... දැන් ඌ ඉන්නෙත් මගේ පුපේ නේ.

ඒයි..... ළොකු පුතා මොනවද ඔය කියන්නේ...?

අම්මට කේන්ති ගිහින්.. එයා හරි නරකයි.. අපිට තමයි පුප කියන්න බැරි.. මහතුන්ට කියන්න පුළුවන්.. මගේ කතාවට ඔක්කෝම හිනා උනත් එක්ක.. 

ඒ උනාට අම්මා නරකයි කියලා හිතන්න හොඳ නෑ.. මම අපායේ යයි.. අනික මහතුන් කිව්වට.. මම ඒක කියන්න ඕන නෑ.. එයාලගෙ අම්මා එයාට කියලා දීලා නැතුව ඇති. 

අනික අපායට ගියත් ළෝදිය නම් බොන්න බෑ...... කට පිච්චේවී. මට උනු කිරි එකක්වත් බොන්න බෑනේ. ළෝ දිය නිවල දෙන්නෙත් නෑ කියලා ආච්චි කිව්වේ...

වෙලේ බෆලෝ නැතුව කොහොමද තාත්තේ බෆලෝ කූඩැල්ලෝ එන්නේ....?

උත්තර නෑ...

ආයෙත් හෙමිහිට අත දාලා බලනවා..

ඔය ඉන්නෙ බඩු... රබර් එක වගේ... මූ මාර දිගයි නේ. කෝ අං දෙකක් නම් නෑ... මම හරිම ආස සතෙක්... ඌ අපේ කකුලෙ එල්ලුනාට, අල්ලට ගත්තම එයාට එල්ලෙන්න බෑ. හරියට රබර් බෑන්ඩ් එකක් වගේ. කළුම කළුයි. බඩ පැත්ත හරිම ලස්සන පාටක් තියෙන්නේ. ඒ පාට මම තාම දන්නෙ නෑ. එයා යන විදිය තමා මරු. 

වල්ගෙ පැත්ත උස්සලා ඔලුව ගාවට ගන්නවා හරියට අපි බඩ පිණුම් ගහන්න ලෑස්ති වෙනවා වගේ. එහෙම අරගෙන යූ එක වගේ නැමිලා පොඩ්ඩක් වෙව්ලනවා. හරියට අපේ නංගි බඩ පිණුම් ගහනවා වගේ. ඒ උනාට කූඩැල්ල නම් එයා වගේ වැටෙන්නේ නෑ.. ලස්සනට යනවා.මම නම් දැන් ඒවා ගහන්නේ නෑ. මම ගහන්නෙ බල්ටි. ඒකනම් පුරුදු උනේ පෙරහැරවල්ම බලලා. අපේ වත්තේ කාටවත් බෑ ඒ පිණුම ගහන්න.

කෝ සබන් කෑල්ල.....?

ඒක ළිඳට වැටුනා.. ඇයි මම ඉස්සෙල්ලා කිව්වේ..

කෝ පුතා ඔයාලගේ සබන් කෑල්ල.....?

මැන්ගෝ නෝ කතා..හරි මම දන්නවා... ඒකත් මැනිකගේ සද්දෙට ළිදේ.... එක්කෝ ප්‍රේමසිරි ඒකත් අරගෙනම දුවන්න ඇති.... හොඳ වෙලාවට එයා ගියේ. නැත්නම් ඔක්කෝම එයාට බනීවී.

මොකටද සබන් හොයන්නේ............? ආයිත් මගේ මූනේ ගාන්නද...දන්නෙ නෑ...?

ආයේ ගාන එකක් නෑ..... නෑ නෑ හරි හරි.... මම දන්නවා හොරේ.. සබන් ගෙනත් කූඩැල්ලගෙ මූනේ ගානවා. එතකොට. එයාගේ ඇස් දෙක දන්න පටන් ගන්නවා.. ඔන්න එතකොට එයා දඟලනවා, මෙයාට කකුලුත් නෑනේ... ඔන්න එතකොට මේයා එක අතෙන් නේ එල්ලිලා ඉන්නෙත්... එතකොට එයා වැටෙනවා.... ඒත්.....

ඒත් කූඩැල්ලට මූනක් නෑනේ.. ඇසුත් දැකලම නෑ කවදාවත්...

තාත්තේ කූඩැල්ලට ඇස් තියෙනවද...?

මම දන්නෙ නෑ පුතේ.. අනේ රාළහාමී මේකව ඉක්මනට අයින් කරන්නකෝ.. ලේ බීලා ඇති සෑහෙන... ගිය සුමානෙත් ඉස්පිරිතාලේ හිටියේ හතිය හැදිලා.. ඉක්මනට ඔලුව පිහදාන්න මැනිකෝ...

මාර වැඩේ... තත්තා අදමයි කිව්වේ එයා දන්නෙ නෑ කියලා... ඒ කියන්නෙ මම හිතුවා හරි... එයා දන්නෙ නැති ඒවා ඕන තරම් ඇති... හික්ස්...

කූඩැල්ල නම් තාමත් මගෙ පුපේ....

නෝනා ලුනු කැට ටිකක් හරි, ලුනු පොල්කට්ට හරි අරගෙන එන්නකෝ.....

ඒ පාර අලිකලසමයා මොකක්ද කරන්න යන්නේ......?

තාමත් සෙනග ටිකක් ඉන්නවා...

කූඩැල්ල නම් තාමත් මගෙ පුපේ...


- නිමී -

40 comments:

  1. හෙහ්. කූඩැල්ලන්ව ගැට ගහන්න ට්‍රයි කරල තියනවද?

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙ රබර් කට්ටිය වටේ ගිහින් ගෙදර මිදුලට ගොඩ උනාම අත්තම්ම කරන්නෙ ගෙට ගොඩවෙන පඩිය උඩින් මාව වාඩි කරවලා කකුල් දෙකේ උඩ ඉඳන් පහළටයි, ඇඟිලි කරු අස්සෙයි හැම තැනම අතගාල බලන එක කූඩැල්ලො එල්ලිලා ඉන්නවද කියලා... හිටියොත් ඉතින් ඔය ලුණු කැටයක් තියල ගලවලා දානව.... ඒ කරලා මොනවාදෝ වත්තෙම තුබුණු කොළ ජාතියක් පොඩි කරලා ලේ එන තැනට තිබ්බම ටික වෙලාවක් යනකොට ලේ ගැලීම නතර වෙනවා... වත්තපහල ලඳු දෙනි වල ඇවිද්දා ..ඔට්ටපාලු බෝල වලින් තමයි අපිත් සෙල්ලම් කලේ ටෙනිස් බෝල ගැහුවෙ ගොඩක් පස්සේ, ඔට්ටපාලු බෝල වලින් එල්ලෙ ගහද්දි නියමයි. එයින් පාරක් ඇඟේ වැදුනොත් තවත් නියමයි ...රබර් ඇට ..ඉස්සර රබර් මංඩි වල රබර් ගෙඩි පුපුරන කාලේ එනකන් ඉන්නවා ඒව එකතු කරන්න . අයියලා ගන කාඩ් බෝඩ් කපලා ලොරි එහෙම හදලා ඒවයේ රෝද වලට දාන්නේ වේලුන රබර් ගෙඩි .ඇත්තම කිව්වොත් මම මේ වෙලාවේ රබර් ඇට ඒවයේ අර කලු සුදු වයිරම් හිතෙන් මවා ගන්න හිතනවා රබර් ඇට රෝදවලට දාලා එක එක ඒව හදල තියෙනව... ඒක ටක ටක ගාල කැරකෙනකොට මරු.... ඒ කාලෙ ඉස්කෝලෙ අත්වැඩවලටත් රබර් ඇට ගේන්න කියනවා මට මතකයි.... කිඹුල බනිස් , ඥාන කතා (ගල් බනිස් කියනවත් නේද?) මටත් ආච්චි අරන් දෙනවා හවසට තේ බොන්න. තව විස්කිරිඤ්ඤා සීනි දාපු තේ කහට එකේ පොඟවල කන්නත් ආසයි. දැන් මොන තරම් හොඳ බේකරි වලින් ඕවා කෑවත් එහෙම පොඩි කාලේ ගතිය නැත්තේ ඇයිද මන්දා? එක්කො අපි ලොකුවෙලා වෙනස්වෙලා නැත්නම් වෙන මොකද්ද වෙලා. ඒ පොඩි කාලෙ අපිට දැන් තරම් එක එක ජාතියේ පැණි රස දේවල් නිතර නිතර කන්න ලැබෙන්නෙ නැති නිසා වෙන්නැති.... ඇයි තව අර අල්ලක් විතර ලොකු මාරි බිස්කට් කිරි එකේ දාගෙන පොඟවලා කනකොට , තව බටර් ඉස්කෝතුත් (හුලං ඉස්කෝතු) එහෙම පොඟවලා කනවා උණ එහෙම හැදුනම මට ආච්චි බටර් ඉස්කෝතු ගෙනෙත් දෙනවා ...අපේ ආච්චිලගෙ ගමටත් ගියේ බස් එකයි ද දෙකයිද කොහේ මාත් පොරකාල අම්ම එක්ක එල්ලිලා යනවා. කරුංකා ගස්වල හැදෙන 'දෝතලු' කියලා රතුපාට ගෙඩි ජාතියක් කෑව මතකයි... පැණි රසයි... ඒවා පොකුරු පොකුරු හැදෙන්නෙ....කවුරුවත් දන්නවද හරියටම මොනවද කියල.... මට දැන් මතක නැහැනෙ... ට්‍රයි කරල බුලත්විට කන්න ගිහින් මත් වෙලා වැටිල තියනවා... ආත්තම්ම සීනි ටිකක් කටට දාල වතුර පොවනව...තාත්ත ට හොරෙන් තමා බුලත් කන්නෙ...ආත්තම්ම 'කරුංග පුවක්' කියල ජාතියක් වංගෙඩියෙ දාල කොටල කොටල හදන බුලත් විට මාර රසයි.... කෝමද ඉඟුරු පියලි හෙම දාල හදන බුලත් විට...?

      මේ වගේම මේක මට හිතෙන දෙයක් පමණයි. එනිසා නොබනිතැයි බලාපොරොත්තුවෙනවා. ලෝකයේ මුස්ලිම්වරුන් බොහෝදෙනෙකුට වඩා ලංකාවේ මුස්ලිම් බහුතරය හොඳයි. ඔවුන් තමන්ගේ බිස්නස්වලට පාඩුවෙන දේ කිරීමට අකමැතියි. අල්ලාට වඩා සල්ලිවලට ලැදියි. ප්‍රචණ්ඩ ආගම්වාදී අන්තවාදී ක්‍රියා බිස්නස්වලට හොඳ නැතිනිසා ඒවාට අනුබලදීම අඩුයි. මැදපෙරදිග ඉන්ෆ්ලුවන්ස් නිසා අනන්‍යතාවය පෙන්නන්න ඇඳුම්වගේ දේවල් කලාට බිස්නස්වලට ලොකු පාඩු කරගෙන ආගම මත්තෙ නැහෙන්නෙ නෑ. දුප්පත් බිස්නස් නැති සමහරෙක් හා රාජ පක්ස කල්ලියේ මිනීමරු ත්‍රස්තවාදී බෞද්ධ අන්තවාදීන්ගේ සිංහල බෞද්ධ අන්තවාදය නිසා අන්තවාදය දෙසට අකමැත්තෙන් තල්ලුවුන සමහරෙක් හා සුළුතර ඇත්ත ආගම් පිස්සන් සමහරෙක් මුස්ලිම් අන්තවාදය අල්ලගෙන හිටියට බහුතරයේ ප්‍රමුඛතාවය සල්ලි ! එනිසා ඔවුන් සමග සිටීම ලෙහෙසියි.

      Delete
    2. කරුංක කියන්නේ හොඳටම වේලුණ පුවක් වලටම තමයි. දෝතලු කියන්නේ පුවක් වර්ගයක්. ඉතාමත් කුඩායි. ලේන තැරි නැත්නම් ලේන පුවක් කියලත් කියනවා

      Delete
    3. බොහොම ස්තුතියි. :)

      Delete
    4. ❤️❤️❤️❤️❤️❤️

      Delete
    5. නියමයි, ඇනෝ. ස්තූතියි කතාව බෙදාගත්තට.🙏🤗

      Delete
  2. බුකියේ දාපු එක කියෙව්වා. එළ. ඔන්න එක දාල ගියා.

    ReplyDelete
  3. මී හරක් කූඩැල්ලා.....හ්ම්.🤔

    පරණ මාතලන්ව දැක්කකල්.😊
    ++++++++++++++🙏😊🤗

    ReplyDelete
  4. ඉතාමත් කුඩා දරුවන් සහ පාසල් යන වයසේ පසුවන ළමයින්ට බොහෝ දේ පහසුවෙන් හුරු කළ හැකියි. ඊට හේතුව තරුණ වයසට එළැඹෙන ඔවුන් නිරන්තරව යම් යම් දේ අත්හදා බැලීමට ඇති කැමැත්ත, කුතුහලය ආදි දේ පසුපස හඹා යෑමයි. මෙම තත්ත්වය තේරුම් ගත් සමාජයේ ඇතැම්හු පාසල් වයසේ පසුවන ළමයින්ගේ මෙම දුර්වලකමින් ප්‍රයෝජන ගන්නට පෙලඹෙති. තමන්ගේ දරුමල්ලන් ජීවත් කරවීමට ඔවුහු තවත් කෙනකුගේ දරුවකු නොමඟට යොමු කරති. තමන්ගේ දරුවාත් වෙනකකුගේ දරුවාත් එක ලෙසින් දැකීමට ඔවුන්ට හැකි නම් අද සමාජය කොතරම් ලස්සනට තියෙන්නට ඉඩ තිබුණා ද?

    ReplyDelete
  5. අයිසේ මාතලන්,

    ඔය උඹ කියන කතාවට අදාල වයසේ ඉඳලාම සහ මගේ පාසල් කාලයේ ද ඉතාමත් සමීප හිතවාදී මිතුරෙක් වන දැනට උසස් පොලිස් නිලධාරියෙක් ලෙස බස්නාහිර පළාතේ එස් එස් පී කෙනෙක් වෙන හාදයෙක් ගැන ඉතාමත්ම දුක් බර කතාවක් කියන්න පුළුවන්. මෑන් තරුණ කාලේ ඇකඩමි එකේ "වෙන්න පොලිස් නිලධාරියකු" විදියට හිටපු කාලේ වෙච්ච සීන් එකක්. පාසල් සමයේ පටන්ම මෑන් දිනපතා සිරුර වඩවා ගැනීමේ ව්‍යායාම කළ, කරාටේ සටන් ක්‍රම ප්‍රගුණ කළ, බෲස් ලී හට තද ඇල්මක් දැක්වූ අයෙක්. දවසක් වැඩ අවසන් වී බොරැල්ල හන්දියට ඇවිත් මෑන් බාබර් සාප්පුවකට ගොඩ වෙලා ටෝකක් දීල තියෙනවා මෙහෙම;

    "අයිසේ මගේ හෙයා කට් එක දාද්දි මාස්ටර් බෲස් ලී ගෙ විදියට මගෙ කොන්ඩේ කපන්න" කියලා බාබර් දෙස කණ්ණාඩියෙන් බලමින් කියලා තියෙන්නේ සුදු රෙද්දක් තම සිරුරේ ඉදිරිපස දමමින් බාබර් කොණ්ඩය කැපීමට සැරසෙද්දී. කොණ්ඩය කපා අවසාන වූ පසුව නැගිටලා මදක් ඉදිරිපසට නැමී කණ්ණාඩියෙන් තම හිස පිරික්සු මෑන් මුහුණ ඇඹුල් කර ගෙන බාබර් දෙස බලා කෝපයෙන් මෙහෙම බැනලා.

    “අයිසෙ, බෲස් ලී කොන්ඩේ කපන්නෙ මේ විදියට නෙමෙයි නෙ ඕයි."

    “මොකද නැත්තෙ මහත්තයා? බෲස් ලී මෙහාට ආවොත්, අපි එයාගෙ කොණ්ඩෙ කපන්නෙත් ඔය විදියට තමයි.”

    දුකයි නේද?

    ReplyDelete
  6. ළමාතං මෝලා පොඩි කාලේත් හෙන ආතල් බුවෙක් නේ ඕයි, ඉතින් ඉතින් ඒ කාලේ මුලින්ම බොන්න පුරුදු වෙච්ච හැටි සහ නාඹර වයසේ ගැටය කාලේ බීපු සීන් එහෙම නැද්ද?

    මට මතකයි එක පාරක් දෙහිවල සූ එකේ නියාමක හාදයෙක්ට වෙච්ච සිද්ධියක්, දවසක්, හීනියට කට්ටිය එක්ක සෙට් වී පසුව තරමක් වැඩි කරගත් දෙහිවල සත්තු වත්තේ නියාමක හාදයෙක් කරටි කැඩෙන්න ගහල බමන මතින් ගෙදර යාමට මැලිකමක් දැක්වූයේ තම බිරිඳ සිහි වීම නිසා මොකද මිනිහගේ බිරිඳ ඉතාමත්ම ආචාරශීලී විදියට පිළිගන්නවා බීල ගෙදර එන දවස්වලට.

    ඔන්න ඔය නිසා තව ටිකක් සූ එකේම නිදාගෙන වෙරි මත අඩු වූ පසු ගෙදර යන්නට සිතු නියාමක ගොයියා නිදාගන්නට සුදුසු ප්ලේස් එකක සොයාගත නොහැකි වූ තැන “මොනවා වුණත් කමක් නෑ” යයි සිතා හෙමින් සීරුවේ සිංහයාගේ කූඩුවට රිංගලා නිදාගෙන මොකද සිංහය කනවට වඩා හපන් ගෑනිට මාට්ටු වුනොත් කියල තමයි පොරට හිතිල තියෙන්නේ.

    රෑ වෙනකම් බලන් ඉඳලා ඉවසා වදාරා බැරිම තැන සැමියා සොයා සත්තු වත්තට පැමිණි නියාමක ගොයියා ගේ බිරිඳ සිංහ කූඩුවට වී සැපට නිදා සිටින තම සැමියා දැක මෙහෙම කියල යන්නට ගියා කියල තමයි ආරංචිය;

    ‘නෙදකින් විතරක් බයගුල්ලා. . බීලා ගෙදර එන්න බයේ. . . සිංහ කූඩුවට වෙලා හොඳටම නිදි’

    ReplyDelete
    Replies
    1. @ 7.54

      //නාඹර වයසේ ගැටය කාලේ බීපු සීන් එහෙම නැද්ද?//

      ඔන්න දවසක් අපේ සෙට් එක තවත් අපේ සෙට් එකේ යාලුවෙක්ගෙ ගමේ ගියා පොඩි නිවාඩුවක් අරගෙන පොඩි රිලැක්ස් පාරක් දාන්න. එහෙ ඉන්නෙ අපෙ ෆ්‍රෙන්ඩාගෙ මාම කෙනෙක්ගෙ ගෙදර තම වාස භවන උනෙ. මාමයි ගෙදර කස්ටියයි අපිට ඉතින් සිරාවට සැලකුවා. මාමගෙ පුත්තු දෙන්නත් අපිට බුදු ෆිට්. අපරාදෙ කියන්න බෑ ගමේ මිනිස්සු මේ කොලබ උන් වගෙ නෙවේ, ලෝස් නැතුව සලකනවා.

      අපේ මේ කතාවෙ කතානායකතුමාව අපි කියමු කසුන් කියල, මොකද උටත් උනෙ කසුන් එකේ කයන්න නැතිඋනාම වෙන දේමයි. ඔන්න පහුවදා උදේ අපෙ කසුන් නිකන් නලියනව නලියනව වගේ. අපි ඇහුව මොකෝ කියලා. මූ කියපි මචන් ගමට ඇවිල්ල සංස්ථා ඒව බීල වැඩක් නෑ, ගහෙ බඩු තිබ්බොත් මරු කියල. හිත යටින් කැමැත්ත තිබ්බත් අපි ඉතින් අකමැත්ත දැම්ම, මොකො අපේ එකාටමනෙ කෙලවෙන්නෙ, කොහෙද මූ කියන එකක් අහන්නෙම නෑ, බැරිම තැන මූ ගිහින් කියපි අර මාමගෙ පුතෙකුට. බුවත් දැන් ඔලුව කහ කහ හිතලා කිව්ව අය්යට ඉතින් ඕනෙමනෙ, යන් මන් කොහෙන් හරි හොයල දෙන්නම් කියල. කියල බුව ගත්ත බයික් එක, ඔය ගම් වල තියෙන්නෙ, තැපැල් නයින්ටිය කියල රතු පාට එකක්. අපෙ එකාගෙ වෙලාව කියන්න බයික් එක ස්ටාර්ට් වෙන්න, පැට්‍රොල් නෑ. තව ඉතුරු වෙල තියෙන්නෙ අර ගෑනු පදින බයිසිකලයක්, අර ඉස්සරහ පොල්ල නැති, ඔන්න දැන් ඩබල යනව, අර මල්ලි කාරය පදිනවා, අපෙ එක පිටිපස්සෙ ලැගෙජ් එකේ යනව. මෙතනින් එහාට කතාව අසා දැන ගත් පරිදි,

      මලය ගිහින් ඔන්න බයිසිකලෙ නැවත්තුවාලු පොඩි කඩයක් ලගින්, ඊට පස්සෙ මුදලාලිට හිමින් කිව්වලු නිකන් රහසෙන් වගෙ, මට අරව බෝතලයක් දෙන්න, පස්සෙ හිස් බොතලෙ ගේන්නම් කියල. ඔන්න මුදලාලිත් ෂොපින් එකක දාල දුන්නලු බොතලේ, අපෙ කසුනටත් දැන් මූනෙ මල් හතයිලු, මල්ලි ඔන්න බොතලේ අපෙ බුවාට දීලා ඔන්න බයිසිකලෙ පදිනවලු තවත් එහාට. ටිකකින් මල්ලිට ඇහෙනවාලු එක එක සද්ද, නිකන් ඔක්කාරෙ, කැස්ස, වමනෙ වගෙ සද්ද, ඊගාවට අහෙනවලු, බුදු මල්ලියෙ, බයිසිකලෙ නවත්තපන් කියල සද්දයක්. මල්ලිත් ඉතින් බයිසිකලෙ නවත්තලා බලනකොට, අපෙ කසුනය මරු විකල්ලෙන් දගලනවලු, පොඩි කබර පැටියෙකුත් දානවලු,

      ඒ අස්සෙ කසුනය කියනවලු, මල්ලි ගහේ බඩු උනාට පට්ට සැරයිනෙ, මාව නිකන් මැරෙන්න යනවා වගෙ කියලා.

      ඒක අහපු මලය ඔලුවෙ අතගගෙන කියනවා, අනේ කසුන් අය්යේ, ඔය ගහේ බඩු නෙවේ, බයික් එකට දාන්න ගත්තු පැට්‍රොල් බොතලේ කියල.

      පස්සෙ සීන් එක මීටර් උනේ, ඉස්සර ගම් වල කඩවල් වල එලිපිටම පැට්‍රොල් වික්කට, දැන් විකුනන්නෙ හොරෙන්න්ලු, පොලෝසියෙන් පෝරියල්ලු. අපේ එකා රැවටිලා තියෙන්නෙ එතන හොරෙන් ගහේ බඩු විකුනනව කියල හිතලා,

      පස්සේ පෙරේත කමට හොරෙන්ම උගුරක් දාගෙන.

      මේක කියද්දි මේ මටම වෙච්ච සීන් එකකුත් මතක් උන, එක පස්සෙ කියන්නම්.

      Delete
    2. ඇනෝ කතා දෙකම පට්ට.🤣😂

      Delete
  7. මාතා කැලණි කොල්ලෙක් නේ, එළ එළ කැලණියේ අපේ බාප්පා කෙනෙක් එහෙම හිටියා, පොරත් ඒ කාලේ මළ ගෙවල් වෙඩින් වලට සෙට් වුණාම හොඳට ගහල ආතල් කතා කියනවා, ටික කාලෙකට කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණත් තවමත් මට මතකයි කාලෙකට කලින් ඒ බාප්පා කිව්වා කැළණියේ පොරගේ ඒරියා එකේ අයියයි මල්ලියි ත්‍රිවීල් දෙකක් අරගෙන අයියා ලියලා "රැව්වොත් නෙලුවා" කියලා. මල්ලි ලියලා "නෙලුවොත් නෙලුවා" කියලා. ඇත්තද නම් දන්නේ නෑ.

    තව කැළණි පාලම අසල පොලිසිය හයිස්පීඩ් වාහනයක් නවත්තලා වෙච්ච දෙයක් ගැන කියුවා මෙහෙමයි වැඩේ;

    පොලිස් නිලධාරියා -"තමුසෙව මම දැන් දානව කූඩුවට. රේස් ගිහින් මින්ස්සු මරන්න"

    වාහනේ ඩැයිවර - "අනේ මට හදිසියක් ...."

    පොලිස් නිලධරියා - "වචනයක් කථා කරන්න එපා.. අද අපේ ලොක්කාගේ දුව බඳිනවා.
    හොඳ මූඩ් එකේ ආවොත් තමුසෙව එලියට ගන්නම් නැත්තං කූඩුවේ තමයි"

    ඩැයිවර - "එහෙනම් මට කූඩුවේම තමයි ඉන්න වෙන්නේ"

    පොලිස් නිලධාරියා - "ඒ මොකද ?"

    ඩැයිවර - "මම තමයි ඕයි තමුසෙගේ ලොක්කගේ දුව බඳින එකා"

    තව කොල්ලො එක්ක ෆිට් එකේ ඉඳලා පොර ඇම්ඩාගේ කතාත් දන්නවා;

    ඔන්න ඉතින් ඇම්ඩන් ඕ එල් එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු... මිනිහාත් අපි වගේ මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..(1නේ කෙළ උනේ).

    පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැන ශුවර් එකකුත් නැහැල්ලු.. ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබක් හොයනවලු..
    ඔන්න මිනිහට මාර චෑන්ස් එකක් සෙට් උනාලු... අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...

    මිනිහටත් මාර ෆන් එකනේ... මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු... කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා... මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු.. වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි..
    ඒ;

    1.ඉන්දිය කොල්ලෙක්
    2.අරාබි කාරයෙක්
    3.ඇම්ඩ

    ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..

    මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා, එතකොට ඉන්දිය කොල්ල කුකුළා නිසා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...

    අරාබි කාරය කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...

    ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...

    දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..

    රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ.... පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බලාගෙන ඉන්නවලු...

    ඉන්දිය කොල්ල හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...

    අරාබි කාරය බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...

    කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු...

    උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු...
    ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...

    ඇදේ මෙට්ටෙ උස්සල බලනවලූ... ආයෙත් අරමිනිහට ගහනවලු... හරියට නිකන් පිස්සෙක් වගේ...

    ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු... ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම ගාල ගෝට්ටියක්ලු...

    ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට නිතරම ගගහා මොකක්දො හෙව්වලු... අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා...

    ඔන්න දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු.. හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

    අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා මිනිහා කිව්වලු... මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා වාහන, අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා...

    අරාබි කාරය අහපුවම ඌ කිව්වලු.. මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන ජොබ් එකක් හොයලා දෙන්න කියලා...

    ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන. අත් දෙකේ ඇගිලි ටිකත් මිටිකරගෙන... ඉන්නවලු..
    හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ.... ඔයාට මොනාද ඕනේ කියල කියන්න... කියල ලොක්ක කිව්වලු...

    ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක් කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු

    "#@$%&€£₹₩ වල් පරයෝ දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර ගන්ජා ටික ගහන්න බැරිවුණා තාම අවුරුදු දෙකක් වෙලත්" කියලා, දුක තමයි රංජනී.

    ReplyDelete
    Replies
    1. හිනා ගිය පාරට තව පොඩ්ඩෙන් ඉස්පොල්ලේ යනවා. ස්තූතියි ඇනෝ

      Delete
    2. අජිත් අයියා, මටත් ඔය වගේ සීන් වෙලා තියෙනවා, උදාහරණයක් විදියට මේ කියන දවස් වල අපි ඔය උසස් ලෙස පෙළ කරන කාලේ, දන්නවානෙ ඔය කාලෙ මාර සෙනසුරු කාලයක්නේ කොල්ලෙකුට. වලි නම් වලි, බලි නම් බලි, කෙල්ලො නම් වලි, බලි, ගුටි, ලව් ඔක්කොමනේ. ඉතින් ඔය වලි යනකොට කොල්ලො එක එක ගැන්සි වලට සෙට් වෙනවනෙ, සරලව එක එක සෙට් නේ, බස් රූට් එකෙ හැටියට බස් ගැන්සි, ක්ලාස් එකේ ගැන්සි, මැත්ස් ගැන්සි, සයන්ස් ගැන්සි, රගර්, ක්‍රිකට්, අරක, මේක ගැන්සි, සහ නිකම්ම නිකම් පීචන් ගැන්සි වගේ ගමකට ගැන්සි තියෙනවානෙ. සමහර කොල්ලොන්ට එක ගැන්සියක විතරයි මෙම්බර්ශිප් එක, සමහරුන්ට මල්ටිප්ල් මෙම්බර්ශිප්ස්. ඉතින් ඔය ගැන්සි අතරෙ පොඩි පොඩි ලොකු ලොකු වලියනවනේ, ඒ දවස් වල ඔය වලි බොහොම සරුසාරෙට තිබ්බා, ඩෙටොල් කොම්පැනියටයි, සිද්දාලේප කොම්පනියටයි හොද බිස්නස්. හැබයි ඉතින් හොදකට තියෙන්නෙ එලියෙන් වලියක් සෙට් උනොත් සත පහකට විතර එකමුතුවක් තියන එක විතරයි.

      ඉතින් ඔන්න ඔය දවස් වල අපේ හිත මිතුරු සෙට් එකක්, ඒකියන්නෙ අපිත් එක්ක එක ගුටිය බෙදාගෙන කාපු උන් ටිකක් තව සෙට් එකක් එක්ක ෆුල් වලියක්. දවසක් ඔය අපේ දන්න කියන සෙට් එකේ දෙතුන් දෙනෙක් පාරෙ යනකොට අරුන් සෙට් එක මුන්ව අල්ලගෙන. එතන ඉස්කොලේ උන් විතරක් නෙවෙ තව මදාවි සෙට් එකකුත් ඉන්නවලු. දැන් අපෙ උන්ටික වටකරෙගෙන අරුන් ටික හෙන පාර්ට් එකලු, අර මදාවි සෙට් එක හින්දා අරුන් ටික සිංහයො වගෙ ටොක්ස් දෙනවලු මෙහෙම,

      තොපි බාවනව, දැනගනිව් අපෙ හැටි.... සහ තවත් නොහොබිනා කුනුහරුප ගොඩයිලු, ගහන්නත් ඔන්න මෙන්න ලු (ඒ කියන්නෙ අපෙ උන් ගුටි කන්න ඔන්න මෙන්න කියන අවස්තාව).

      අපේ උන් දැන් මුකුත් කරගන්න බැරිව උගුඩුවො වගෙ තක් බීර් වෙල ඉන්නවලු. එතකොට අර පරණ පොත්වල තියෙන්නෙ, ආතල් එකේ උපරිම ගියාම ඇස් රතුවෙන සීන් එකක්, ඒ වගෙ අර සිංහ සෙට් එකෙ එකෙක් උපරිම ආතල් එකෙන් තර්ජනයක් දැම්මලු මෙහෙම,

      තොපි දැනගනිව්, මම තොපි සෙට් එකේ ඔක්කොම පෝලිමට තියලා, අරිනව පු... කියල

      ඕක අහපු ගමන් අර අසරණව, කුජීතව, පීචන් වෙලා හිටපු ගැන්සියෙ එකෙක් අරූගෙන් ඇහුවලු,

      ඇයි අය්යෙ අය්යට මැෂින් එකක් තියනවද ඔච්චර කරන්න කියල..

      උන්ට ඊට පස්සෙ වෙච්ච දේ නම් අහන්න එපා ඉතින්...

      Delete
    3. School of our Fathers – Maj. H.L. Reed

      Thy spirit first to life awoke
      In eighteen hundred and thirty five
      Beneath the sway of Marsh and Boake
      Thenceforth did lanka’s learning thrive

      Refrain :
      School where our fathers learnt the way before us
      Learnt of books and learnt of men, through thee we’ll do the same
      True to our watchword “Disce Aut Discede”
      We will learn of books and men, and learn to play the game

      Within thy shade our fathers trod
      The path that leads to man’s estate;
      They have repaid the debt they owed;
      They kept thy fame inviolate.

      Refrain

      And we their loyal sons now bear
      The torch, with hearts as sound as oak;
      Our lusty throats now raise a cheer
      For Hartley, Harward, Marsh and Boake.

      Refrain

      Delete
    4. @ AnonymousOctober 13, 2021 at 8:54 AM

      මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි සරසවි සිසුන් දෙන්නෙක්, මත් ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී, පොලීසියට කොටුවුනා. දෙන්නවම උසාවියට ඉදිරිපත් කළා. විනිසුරු, දෙන්නා ගැන තොරතුරු විමසලා, අමුතු ආකාරයේ තීන්දුවක් ගත්තා. ‘හොඳයි, තමුන් වගේ අය තමයි අනාගතයේදී මේ රට පාලනය කරන්න බාරගන්නෙත්, ඉතින් මේ රටට මොකක් වෙයිද කුඩු කාරයෝ පාලකයෝ වුනාම. මම තමුන්ට මාසයක් කල් දෙනවා. මේ මාසය ඇතුළත, තමුන් වගේ කුඩු බොන්න පෙළඹිලා ඉන්න විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක්, එයින් අත්මිදෙන්න පොළඹවලා, තව මාසෙකට පස්සේ එයාලත් එක්කම මේ උසාවියේ පෙනීසිටින්න ඕනේ. ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව මම තීරණය කරනවා තමුන්ට දෙන දඬුවම ලිහිල් කරන්න’. කියලා. ඔන්න අතින් මාසෙකට පස්සේ පොලීසිය ආයෙත් මේ දෙන්නව උසාවියට ගෙනාවා.

      එක්කෙනෙක් තරුණයන් හත් දෙනෙක්ව අරන් ඇවිත් තිබුණා. අනිත් එක්කෙනා එක්ක මහා සෙනගක් ඇවිත් හිටියා. දැන් විනිසුරා කරුණු විමසනවා, අර සුළු පිරිසක් එක්ක ආව කෙනාගෙන් මුලින්ම කරුණු විමසුවා. ‘ඔව් කියමු බලන්න තමුන් කී දෙනෙක්ව මත්කුඩු බීමෙන් මුදාගත්තද කියලා’. නඩුකාරතුමා ඇහුවා.

      ‘ස්වාමීනී මම මගේ යාළුවන් හත් දෙනෙක් කුඩු බීමෙන් ඉවත් කරගත්තා’. අර විශ්ව විද්‍යාල සිසුවා පිළිතුරු දුන්නා. ‘කොහොමද ඒක කළේ’ විනිසුරුතුමා ඇහුවා. ‘හරි සරල ක්‍රමයකට ස්වාමීනි. මම කොළයක් අරගෙන ඇන්දා රවුම් දෙකක්. පළවෙනි රවුම ලොකුයි, දෙවැනි එක පොඩියි. O සහ o මම මේ සහෝදර ශිෂ්‍යයන්ට, ඒ රවුම් දෙක පෙන්නලා කිව්වා, මල්ලි මේ බලන්න, මෙන්න කුඩු බීලා හිරේ යන්න කලින්, ඔයාලගේ මොළේ තරම තමයි, මේ ලොකු රවුමෙන් පෙන්නන්නේ. මේ පුංචි රවුමෙන් පෙන්නන්නේ, කුඩු බීලා අහුවෙලා, හිරේ ගිහින් එළියට එනකොට, ඔයාලගේ මොළේ තරම කියලා. මෙයාලා ඒක හොඳින් තේරුම් අරගෙන, කුඩු බීමෙන් ඉවත් වුණා’. විනිසුරුතුමා බොහොම සතුටට පත්වුනා.

      ‘කෝ ඊළඟ එක්කෙනා’ කියලා එයාටත් කතා කළා. ‘ඔව්, මොකද මේ තමුන් මහා සෙනගක් අරන් ඇවිත් ඉන්නේ? උසාවිය රවට්ටන්නද හදන්නේ. මම දන්නවා කුඩු බොන අය එහෙම ලේසියෙන් එයින් අත්හරවන්න බැරි බව. බොරු කතා නොකියා, ඇත්ත කියනවා, තමුන් මොකද කලේ කියලා’. කිව්වා.

      ඔන්න ඉතින්, අර දෙවැනි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, තමන් කළදේ විස්තර කළා. ‘ස්වාමීනි මමත් 156 දෙනෙක්ව කුඩු බීමෙන් ඉවත් කරගත්තා. මමත්, මගේ යාළුවා වගේම කොළයක් අරගෙන, රවුම් දෙකක් ඇන්දා. පළවෙනි එක පොඩියි. දෙවැනි එක ලොකුයි. O o මම මගේ යාළුවන්ට කිව්වා,

      ‘මල්ලිලා, මෙන්න උඹලා, කුඩු බීලා අහුවෙලා, හිරේ යන්න කළින්, උඹලාගේ ගුද මාර්ග ජිද්‍රයේ ප්‍රමාණය, ° මෙන්න… ගිහින් ආවට පස්සේ O... කෝමද ඒක?

      Delete
    5. හපෝයි ඇනෝ - AnonymousOctober 13, 2021 at 8:54 AM හේ හේ

      Delete
    6. දෙවෙනි එක අරකට එහා 156 කතාව

      Delete
  8. කොයිදේකත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ මතක ගොන්නක් විතරයි බන් මාතේ,

    අනාගතය සිතියම් කල
    දුක හා සතුට
    උරුම කම් කල
    සිහිනයෙන් මෙන්
    සිතට දුව එන
    සොදුරු සෘතුවකි
    අතීතය..

    ReplyDelete
  9. එල ඇනෝ සැට් එකක්නෙ බැහැල තියෙන්නෙ.👌🤣😂🙏

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙත් මාතගේ එකට ආවා මාර ඇනෝ සෙට් එකක්.

      Delete
    2. මේක මෙහෙම තියනවා නං, බ්ලොක් ගල් කැපිල්ල ලස්සන වේවි. මම නං බල්ලෙක් සෑර්, ඒත් ප්‍රශ්ණයක් තියේ, අහන්නද?

      හැබෑටම, ඔහෙලා මොනව බෙදාගන්න බැරුවද, ඒ දවස්වල හපාගත්තෙ? හැපුව හැපිල්ලක්, වටකරගෙන බිමදාගෙන. බ්ලොක් ගල් වැඩපොල හපේ වුනාට පස්සෙ, සැට් එකම බුකි මංගැච්චුව නේද?🤔

      පස්සෙ, මේක බල්ලට ගියා - කෝඩෙ ගැහැව්වා. දැන් නං බල්ලොත් බ්ලොග් ලියනවා.😉

      Delete
  10. 'හිනා කතා' මගෙ මොනවද මෙව්වානේ කතා මලේ
    මෙව්වා කියවලා, හිනාව හිරවීලා මැරෙයි බොලේ
    අම්මප රත්තරං කමෙන්ටුවලත් තියෙන කතා බොලේ
    එකක් බ්ලොගයකට ඔබලා දෙන්නද sup එකක් මලේ?

    ReplyDelete
  11. පොස්ට් එක කියවද්දී ලියන්නම ඕනිය කියලා හිතිච්චි එකත් ලියන්න එපැයි.

    'මූ මචං අලියෙක් ආවත් බය නැතිව ඉඳියි, කූඩැල්ලෙක් දැක්කත් ඇති බයේ දුවනවා' කියලයි අපේ කට්ටිය සීත පළාතකට වල් වැදෙන්න යද්දී මාව පෙන්නලා කියන්නේ. මොකද මං සබන්- සිද්ධාලේප හෙම වෙනම අරගෙන යන්නේ. සිංහරාජෙ හත් අට වතාවක් ගිහින් තියෙනවා- සිංහගල මුදුනටත් දෙවතාවක්.... ඒ එකම වතාවක්වත් එකම කූඩැල්ලෙකුටවත් මගේ අහලකටවත් එන්න බැරි කරපු වීරයෙක් මං!

    ReplyDelete
  12. අපි කියන්නෙ දිය කූඩැල්ලො කියල. අගල් හතරක් පහක් සයිස්. මහ එපා කරපු අපත අප්‍රසන්න ජාතියක් 😒😒😒

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න