.

.

Oct 12, 2014

එදා විද්‍යා සන්නිවේදනය අද නැත්තේ ඇයි? - Science Communication: Are we going backwards?


 - චානුක වත්තේගම -

මගේ ළමා කාලය වැඩි හරියක්ම ගෙවී යන්නේ හැත්තෑව දශකයේයි. මේ අදට වඩා කෙතෙක් පසුගාමී සමයක්දැයි අද වැඩිහිටියන්ට සිහි කර ගත හැකිය සිතමි. ෆේස්බුක් නැත. ඉන්ටර්නෙට් නැත. ඩිජිටල් වීඩියෝ තැටි, සංගත තැටි නැත. ජංගම දුරකථන නැත. 3 ශ්‍රී මොරිස් මයිනර් කාර් එකක් හෝ අංක කරකවන දුරකථනයක් ඇති නම් ඒ පට්ට පොහොසත් ගෙදරකැයි සැලකෙයි. ළමයින් පාසලට යන්නේ පයින් හෝ බස් එකෙනි. දවල්ට කන්ට ගෙනයන්නේ පොල් සම්බෝල මැදට දැමූ පාන්ය. විසි එක් වන සියවසේ දෙවන දශකයේ දරුවන් ඒ පශ්චාත් නූතන ගල් යුගය සේ හඳුනා ගන්නේ නම් මම පුදුම නොවෙමි. ආපසු හැරී බලන විට ඒ යුගය එතරම්ම ප්‍රාථමිකය.

හැබැයි මේ පට්ට ප්‍රාථමික යුගයේදී පවා අපට කියවන්ට බොහෝ දේ තිබුණේය. මේ කාලයේ මා ආදරයෙන් කියැවූ දේවල් කිහිපයක් මෙසේ සටහන් කළ හැකිය. මිහිර පත්තරය. නවයුගය පත්තරය. සිළුමිණ පත්තරයේ විශ්වකෝෂය පිටු. අනුර සී. පෙරේරාගේ පොත්. එස්. එම්. බන්දුසීලගේ පොත්. සෙවිල්ල සඟරාව. මේ අප විශ්වයට පා තබන මැජික් පලස්ය.

මේ කාලයේදී එඩ්වින් ආරියදාස නොවරදවා, සති දෙකකට වරක් පළවන නවයුගය පුවත්පතට මැද පිටු දෙක පුරා දිග ලිපියක් ලියයි. මේ ඊට පෙර සතියේ ටයිම් සඟරාවේ කවරයේ කතාව කියා අද මේ ලිපි සමහරුන් අතින් ගර්භාවට ලක් වෙතත් එදා ඒවායේ වටිනාකම ඉන් කිසිසේත්ම නිෂේධ නොවෙයි. ඒ කාලයේ වැඩිම උනොත් ලංකාවට ටයිම් සඟරා විස්සක් විසි පහක් එන්ට ඇත. ඒවා කියවන්ටත් අපට ඉංගිලිසි බැරිය. අප ලෝකය දකින්නේ නවයුගයේ පළවන පරිවර්තනයෙනි. (එය හුදෙක් පරිවර්තනයක් නොවන බැව් මම අද දනිමි.) පර්සි ජයමාන්න මෙසේම විශ්ව කෝෂයන්ගෙන් පෙරා දැනුම සිංහලයට නඟයි. ඔහුගේ මේ උත්සාහය නවයුගයෙන් ඇරැඹී, සිළුමිණෙන් වැඩී පසුව විජය, නවලොව වැනි පුවත්පත් වලටද ව්‍යාප්ත වූ හැටි මට මතකයි. අනාගත වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයින් බිහි වන්නේ මේවා කියැවීමෙනි.

1976 දී එඩ්වින් ආරියදාස ලියන එක් ලිපියක් මගේ මතකයේ විශේෂයෙන්ම රැඳී පවතියි. අනාගත මිනිසා වැඩට යනු ඇත්තේ උදය කෑම අතරේ පුවත්පතක් කියවනවා වෙනුවට සැටලයිට් වලින් නිවසටම යොමු කරන දත්ත ධාරාවකින් ලෝකයේම පුවත් ඩිජිටල් තිරයකින් කියැවීමෙන් පසුය ඔහු කියයි. අද වන විට මෙහි සත්‍ය නොවී ඇත්තේ සැටලයිට් කතාව විතරය. වැඩට යන්ට පෙර ගෙදරදී පමණක් නොව වැඩට යන අතර බස් එකේදී කෝච්චියේදීත් අපට ජංගමයෙන් ජාත්‍යන්තර පුවත් කියැවිය හැකිය.

'මිහිර' විද්‍යාවටම කැප වූ පත්තරයක් නොවෙයි. හැබැයි එහි ‘විද්‍යා මාමා’ මා විද්‍යාව යනු කිමෙක්ද දැන ගන්ටත් බොහෝ කාලයකට පෙර හඳුනාගත්තෙක්මි. මෑතකදී දැන ගන්ට ලැබුණු හැටියට මේ ලිපි පෙළ කේ. ආරියසිංහ ගේ වැඩකි. එසේම ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න ලියූ අධිකරණ වෛද්‍ය විද්‍යා ලිපි පෙළ හැත්තෑව දශකයේ අග භාගයේ පට්ට ජනප්‍රිය වූවකි. මිහිරේ එස්. ඒ දිසානායකගේ 'ඔන්න බබෝ' හි බූ හා බබා ගෙන් පවා යම් යම් දේ උගත හැකිය. මුලදී කට්ටය තිබුණේ රේල් පාරේ බවද, පසුව එය රේල් රෝදයට පැමිණියේ රේල් පාරේ කට්ටයන්හි ගල් කැබලි පස් වැනි දේ පිරීමෙන් නිසා බව මා ඉගෙන ගන්නේ 'ඔන්න බබෝ' කියැවීමෙනි. ඒ පාසල් යන්ටත් පෙරය.

ආතර් සී ක්ලාක් අපේ කුඩා ලෝකයේ මහා වීරයෙකි. හැබැයි ඒ කාලයේදී  ඔහුගේ පොත් දෙක තුනකට වඩා පරිවර්තනය වී තිබුණාය නොසිතමි.  ඒ අතුරින් සීරියස්ම පරිවර්තනය සිරිල් සී. පෙරේරා ගේ ගැඹුරු මුහුදය. 'චන්ද්‍ර සංචාරකයෝ’ ද පරිවර්තනය වී තිබුනද පරිවර්තකයා කවරෙක්ද අමතකය. එස්. එම් බන්දුසීල 'ප්‍රොෆයිල්ස් ඔෆ් ෆියුචර්' පොත් 'අනාගතයේ පැතිකඩක් නමින් පරිවර්තනය කොට තිබුණාත් මතකය. මා වායුපායාන ගැන මුලින්ම උගත්තේ එයිනි. ක්ලාක් මේ පොතේ මාර්ග වල දුවන රථ වෙනුවට මාර්ගයට ගමන් කළ නොහැක්කේ මන්දැයි අසයි. මෙය ඒ කාලයේ හිතාගන්ට වත් බැරි දෙයක් වුවද අද වන විට වෙනත් හේතූන් නිසා වලකනු නොලැබේ නම් කොයි තරම් හොඳ විසඳුමක්ද සිතේ. බන්දුසීල පසුව 2001 ද සිංහලට පරිවර්තනය කොට සිංහල විද්‍යා සාහිත්‍යයේ විප්ලවයක් කරයි.

2012 දී ජාතික රූපවාහිනියේ තිස් වස් සමරුව වෙනුවෙන් යමක් ලිවිය හැකිද නිලාර් එම්. කාසිම් මගෙන් විමසුවේය. මම පහත ඡේදය ලියා යැවීමි.

“රූපවාහිනිය නූතන ලෝකයේ ප්‍රබලතම ජන මාධ්‍යය වනු ඇති බව, දශක කිහිපයකට මත්තෙන්, මාෂල් මැක්ලුහන් හා ආතර් සී. ක්ලාක් යන දෙදෙනාගේම මතය විය. මේ අනාවැකිය එසේම සත්‍ය වූයේ නොවේ. ඊට වඩා ප්‍රබල හා අන්තර්ක්‍රියාකාරී මාධ්‍ය එළි දකින විට ජාතික රූපවාහිනිය ඒ ආගමනය සොඳුරු සිතින් පිළිගනු මම දිටිමි. අන්තර්ජාලය මෙරට පොදු ජනතාවට සමීප කිරීමේ ගෞරවය මුළුමනින්ම වාගේ හිමිවිය යුත්තේ රූපවාහිනියටයි. ඒ හැරුණු විට ජාතික රූපවාහිනිය ළදරු වියේ පටන්ම විද්‍යා හා තාක්ෂණ දැනුම විසරණය සඳහා කැපව සිටි බව මම අත්දැකීමෙන්ම දනිමි. කුඩා කල නැරැඹූ ඩේවිඩ් ඇටෙන්බරෝගේ "ද ලිවිං ප්ලැනට්", කාල් සේගන්ගේ "කොස්මොස්", ආතර් සී ක්ලාක්ගේ "ද මිස්ටීරියස් වර්ල්ඩ්" සමඟ "සක්වල සැරිසරණ ලිහිණි" ද මගේ සොඳුරු මතකයන්ය. දශක තිහක ජාතික මෙහෙවරට මම සුභ පතමි.”

ඩේවිඩ් ඇටෙන්බරෝ අද කීයෙන් කී දෙනකුට මතකද නොදනිමි. රේටින්ග්ස් බලාගෙන වැඩසටහන් නිෂ්පාදනය නොවුණු ඒ යුගයේ ජාතික රූපවාහිනියට 'ද ලිවිං ප්ලැනට්' වැනි සාපේක්ෂව අඩු ඉල්ලුමක් ඇති විද්‍යා වැඩ සටහනක් පවා හඬ කවන්ට ඕනෑකමක් හා දැක්මක් විය. ආතර් සී ක්ලාක්ගේ 'ද මිස්ටීරියස් වර්ල්ඩ්' ප්‍රචාරය කරන්ට පවා පට්ට උණක් විය. අද ජාතික රූපවාහිනියෙ තියා කවර හෝ චැනලයක මෙවැනි වැඩ සටහනක් ප්‍රචාරය වෙතැයි නොසිතමි. ඒ ඉඩ මෙගා ටෙලි නාට්‍ය, දේශපාලන පුවත් හා  දේශපාලන කුකුල් පොර වලින් උදුරා ගනු ලැබ තියේ.

එදා අද මෙන් දිනපතා හෝ සතිපතා පත්තර හැටහුටහමාරක් තිබුණු කාලයක් නොවේ. අප මිළට ගත්තේ දිනමිණ හා සිළුමිණය. මේ පත්තර දෙකේම අනිවාර්ය අංගයක් වූයේ අඩුම ගණනේ විද්‍යා ලිපි එකක් හෝ දෙකකි. දයාසේන ගුණසිංහ අයිසැක් ඇසිමොව්ගේ විද්‍යා ප්‍රබන්ධ අනුසාරයෙන් 'නිල් තාරකාව සොයා ගිය තිදෙනා' හා ‘ජලාර්ධයේ අසුරයෝ’ ලියන්නේ සිළුමිණටය. සිළුමිණේ හා පසුව ඇරැඹුණු දිවයින ඉරිදා සංග්‍රහයේ විද්‍යා අතිරේක තිබුණු බව මතකය. මීට බොහෝ කාලයකට පසුව, ලංකාවේ විද්‍යා සාහිත්‍යයේ ඉතිහාසය විධිමත්ව හදාරන්ට ඉඩක් ලැබුණු විට මා අවබෝධ කර ගන්නේ මෙසේ විද්‍යා ලිපි පරිවර්තනය කොට හෝ පළ කරන්ට පටන් ගෙන ඇත්තේ අඩු තරමින් සිළුමිණේ මාර්ටින් වික්‍රමසිංහ යුගයේදී බවයි.

අද සතිපතා ජාතික යැයි කියා ගන්නා සමහර පුවත්පත් වලද මෙවැනි අතිරේක තියේ. සමහර ඒවා පිටු හතරකි. සමහර ඒවා පිටු අටකි. ඒවා 'විද්‍යා අතිරේක' නොව 'මිථ්‍යා අතිරේකය'.  හැත්තෑව දශකයේ මතු නොව මාර්ටින් වික්‍රමසිංහ යුගයේදී පවා සකසුවකු විසින් පළ කරතැයි සිතිය හැකි පට්ටපල් බොරු, මිථ්‍යා මේ පුවත්පත් සකසුවෝ මහත් අභිරුචියෙන් යුතුව තම පාඨකයින්ට සළු පිළි අන්දා විකුණති. පාඨකයෝද කිසිම ලජ්ජාවකින් තොරව මේ මිථ්‍යා පැකේජ තලු මර මරා අනුභව කරති.

සමස්තයක් සේ ගතහොත් මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ක්ෂේත්‍ර දෙකෙහිම අද මූලික විද්‍යා අධ්‍යාපනයක් ලබා ඇති පිරිසෙහි ප්‍රතිශතයක් සේ වැඩිවීමක් ඇතිය සිතමි. එසේම හැත්තෑව අසූව දශක වලදී මෙන් නොව නොදන්නා දෙයක් අසා දැන ගන්ට, සිංහලෙන් කතා කරන්ට දන්නා පහසුවෙන් පිවිසිය හැකි ආකාරයේ සරසවි උගතුන් විශාල පිරිසක් බිහිව සිටිති. නොඑසේ නම් ඊටත් පහසුවෙන් යමක් සොයා ගැන්ම පිණිස ඉන්ටර්නෙට් වැනි අධිවේගී විසඳුම් ලැබී තියේ. ඇති වී නැත්තේ විද්‍යා සන්නිවේදනයේ දියුණුවකි. මේ හැම දෙනාටම රහ වැටී ඇත්තේ ජනප්‍රිය දේශපාලනයයි. නැතිනම් ජනප්‍රිය කලාවයි. අඩු තරමින් දේශපාලනය හෝ කලාවෙන් වත් ජනප්‍රිය මට්ටමින් එපිටට යන්ට ඕනැකමක් නැත. ඇත්තටම වැටී ඇත්තේ විද්‍යා සන්නිවේදනයම නොවේ. අර්ථවත් සන්නිවේදනයයි.

ෆේස්බුක් හා ඉන්ටර්නෙට් ගත හොත් එහි විද්‍යාව බොරුය, නිව්ටන් මෝඩයෙකි, අයින්ස්ටයින් පිස්සෙකි කියන අමුතුම නිඝන්ඨයින් පිරිසක් බෝ වී තියේ. මේ නිවැරදි විද්‍යා සන්නිවේදනය කඩා වැටීමේ ඍජු ප්‍රතිඵලයකි. මොවුන් කරන කියන දෙයින් විද්‍යාව යනු කිමෙක්ද අන්දෝ සංසාරයක් වත් දන්නා බවක් නොපෙණේ. විද්‍යාවේ නැති 'දර්ශනයක්' ගැන මොවුන්ට ඉගැන්වූවෝ කවරහුද? ගුරුත්වාකර්ෂණය යනු මොවුන්ට අනුව සම්මුති සත්‍යයක්ලු. නිවැරදි යෙදුම ගුරුත්වය (ග්‍රැවිටි) මිස ගුරුත්වාකර්ෂණය නොවේ. එය මුලින්ම නිවැරදි කරමි. දෙවනුව ගුරුත්වය සම්මුති සත්‍යයක්ය කියන පුද්ගලයකු එක්කෝ ගුරුත්වය යනු කිමෙක්ද නොදන්නෙකි. නැතිනම් සම්මුති සත්‍යය යනු කිමෙක්ද නොදන්නෙකි. විද්‍යාව යනු ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රපංචයක්ය මොවුන් පතුරුවන තවත් මිථ්‍යාවකි. ඔය ඉන්ද්‍රිය ගෝචර කතාව හයේ පන්තියේ විද්‍යා පරීක්ෂණ වලට නම් අදාළ විය හැකිය. සෙනසුරුගේ ඝනත්වය පෘථිවියේ ඝනත්වයෙන් අටෙන් එකකැයි අප දන්නේ ඉන්ද්‍රිය පද්ධතිය ඇසුරින් නොවේ.  හැබැයි උසස් පෙළින් හෝ සාමාන්‍ය පෙළින් ඉහළට විද්‍යාව හදාරා නැති මුත් මේ ෆේස්බුක් දැනුමැත්තෝ නිව්ටන්ට අයින්ස්ටයිටත් වඩා විද්‍යාව දන්නෝය. ලෝකය ඇතැඹුලක් සේ ගෙන නොබෙල් ත්‍යාග ලාභීන්ට වූ වැරැදි සොයන්නෝය.

මේ අලුත් ප්‍රවණතාවයක් නොවේ. "එංගලන්තෙ පරණ පැටන් - ලංකාවේ අලුත් පැටන්" කීවාක් මෙන් 1960-70 ගණන් වලදී බටහිර ලෝකයේ ජනප්‍රිය වූ (පසුව ප්‍රතික්ෂේප වූ) පෝල් ෆෙයිආබන්ට්, තෝමස් කූන්, ෂා ලාගෞල් වැන්නවුන්ගේ අදහස් රොත්තක් අද දේශීයත්වයේ සළුපිළි අන්දා 'ගන්න අපේ දේ' ලේබල් එකක් ගසා මෙරටට ආනයනය කරනු ලැබ ඇත්තේය. පෝල් ෆෙයිආබන්ට්ගේ 'අගනේස්ට් මෙතඩ්' වැනි පොතක් ගැන අසාවත් නැති අපේ ෆේස්බුක් වීරයෝ විද්‍යාවේ මහා චින්තන විප්ලවයක් වන්නේය සිතා නොදන්නා මඟුල් කොටමින් ඒ මිථ්‍යාවෙන්ම මත් වෙමින් සිටිති.

හැත්තෑව දශකයට සාපේක්ෂව දැනුමින් බොහෝ ඉදිරියෙන් සිටිය යුතු අද සමාජය ගොස් ඇත්තේ ආපස්සට නම් ඒ වරදේ වගකීමෙන් සැලකිය යුතු කොටසක් ජනමාධ්‍යකරුවන් විසින් දැරිය යුතුය මම සිතමි. හැබැයි එයින් අදහස් වන්නේ විද්‍යාඥයින් ඇතුළු අනෙක් පිරිස් සර්ව නිර්දෝශී බව නම් නොවේ. නිවැරදි විද්‍යා සන්නිවේදනයක් ඇති විය යුත්තේ මේ සියළු දෙනාගේම එකතුවෙනි. සහයෝගයෙනි.

84 comments:

  1. එදා විද්‍යා සන්නිවේදනය අද නැත්තේ :
    - ආරියදාස ලා පැන්ෂන් නිසාය!
    - චානුක වත්තේගම ලියන්නේ රාවයට සහ අද සිට සිළුමිණට නිසාය!

    ReplyDelete
  2. පට්ට සහ ඉංගිලිසි වචන සිළුමිණට එක් කර ඇති ආකාරය වල්ලාපට්ටය!

    ReplyDelete
  3. එදා විද්‍යා සන්නිවේදනය අද නැති හේතු කිහිපයකි.
    1. විද්‍යාවට වඩා මිත්‍යාව මාකට් කර ගත හැකි නිසා
    2. විද්‍යාවට වඩා මිත්‍යාවට හොඳ ගණන් ලැබෙන නිසා
    3. විද්‍යාවට වඩා ඉක්මනින් සාමාන්‍ය ජනතාවට මිත්‍යාව සමීප කළ හැකි නිසා
    4. විද්‍යාවට වඩා මිත්‍යාව මිනිසාට තේරුම් කිරීමට පහසු නිසා
    5. විද්‍යාව මිනිසුන්ට පෙනෙන යමක් නොදෙන නිසා - යමක් ලැබුණත් එය මිත්‍යාව නිසා යැයි පහසුවෙන් ඒත්තු ගැන්විය හැකි නිසා
    6. විද්‍යාව ලිවීමට සහ තේරුම් කිරීමට අපහසු නිසා
    7. විද්‍යාත්මක රචකයින්ට වඩා මිත්‍යා මත රචකයින්ට සමාජයේ මෙන්ම ලොක්කාගේ ද පිලිගැනීමක් ඇති නිසා.
    8. ලොක්කා ද ලොක්කාගේ ලොක්කා ද සුරයක් අතේ තබාගෙන හැම තැනම යාමෙන් අපේ ලොක්කන්ද විද්‍යාවට වඩා මිත්‍යාව කෙරෙහි නැඹුරුවක් දක්වන බව ඒත්තු ගැන්වෙන නිසා
    9. අත්තම්මා ලංකාවේ හිට්ම නාට්‍යය වන නිසා තවත් එවැනිම දෑ රැල්ලට නිපදවෙන නිසා... බොරුව වුනත් සිය වතාවක් එකම අයුරින් ප්‍රකාෂ කළ හොත් එය ඇත්තක් යැයි ඒත්තු ගැන්විය හැකිය යන තියරිය බොහෝ දෙනා හොඳින් අවබෝධ කරගෙන ඇති නිසා

    පට්ට යන්න පට්ටපල් බොරුව යන්නෙන් බිඳී ආවක්ද ?

    ReplyDelete
    Replies
    1. ඇල්,
      කරුණාකරලා කරුණු නවයක් කියද්දි දහ වෙනි කරුණ හැටියටවත් නිහතමානීව පිළිගන්න
      “අද ඉන්න විද්‍යාව සම්බන්ධව ලිවිය යුතු උදවියට ඒ ගැන හිත් ඇඳගන්නා ආකාරයටත්, සාමාන්‍ය දරුවෙකුට තේරුම් ගත හැකි ආකාරයටත් ලියන්න උවමනාවක්,හැකියාවක් නැති වීම“
      කියන කොටස. මේ වරදට ඔබලාත් අසු වෙනවා. ඔබගේ වෘත්තීය කුමක්ද? එහෙත් ඔබ ලියන්නේ මොනවාද? මඳක් නැවතී සිතා බලන්න. සියඹලා ටිකක් මල්ලේ ඉතිරිව තියෙනවා නේද කියා.
      දේශපාලනය ගැන ලියන්න මාතලංලා වැනි වෘත්තීමය දේශපාලන ඇජන්ඩා සහිත අය සිටියදී ඒ අතරට පැන දේශපාලනය ගැනම ලිය ලියා සිටින ඔබත් චානුකත් මේවාට වැරැදිකාරයින් නොවේද?

      වැරදි කා අතිනුත් සිදු වෙනවා. නමුත් අද පටන්වත් මේ ටික කල්පනා කර බලන්න. මෙය ඇල්ට වගේම චානුකටත් අඳාලයි. කිසිවකුටත් ප්‍රයෝජනයක් නති දේශපාලනයක් ගැන කියවමින් තමන්ගේ වටිනාකාලය නාස්ති කරමින් සිටින වෙලාවේ රටේ දූ දරුවන්ට වැදගත්වන යමක් ලියන්න. ඔබගේ හැකියාව පසෙක ලා ජනප්‍රිය මාතෘකා පස්සේ ගොස් රටටත් ඔබටත් පලක් නැති කාර්යයන් හී නිරත නොවන්න.
      (ඔබේ සමීප හිතවතෙක්)

      Delete
    2. @AnonymousOctober 12, 2014 at 8:48 PM,

      අදහස ගැන ස්තූතියි. මා පියල් හා මා දෙදෙනා වෙනුවෙන්ම උත්තර දෙන්නම්.

      මීට වසර කිහිපයකට පෙර ඇත්තටම පියල් මගෙන් ඉල්ලීමක් කළා විද්‍යා ලිපි ලියන්න කැමැතියි ඊට ඉඩක් ලබා දෙන්න කියලා. ඉතින් මා ඔහුට ලිවිය හැක්කේ කොතැනටද පොඩ්ඩක් හොයලා බැලුවා. මන්ද පියල් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධරයෙක්. ගුරුවරයෙක්. ඔහුට වයස 18-21 විතර කාලේ මා කළා වාගේ හැමතැනටම ලියන්න බැහැ. ලියනවා නම් තමන්ගේ ලෙවල් එක පවත්වාගෙන ලිවිය යුතුයි. එහෙම තැන් අද ඇත්තටම නැහැ. විදුසර නලින් ද සිල්වා සින්නක්කරට අරගෙන පට්ටපල් බොරු ලියනවා. සතිපතා ඊනියා 'ජාතික' පුවත්පතක පිටුවේ උඩ යක්ෂ ප්‍රේත භූත කතාවක් පළවන විට ඊට යටින් කෙනකුට රසායන විද්‍යාව ලිපියක් ලියන්න බැහැ. (ඉස්සර ආචාර්ය උපාලි එම්. සේනානායකලා ලියන දවස් වල ලිව්වේ විද්‍යා අතිරේකයකට.) එක්තරා මට්ටමකට හෝ ලියන්න තියෙන්නෙ රාවය විතරයි. රාවයේ පාඨකයින් වැඩි පිරිසකටත් විද්‍යාව ආකර්ෂණීය මාතෘකාවක් නෙවෙයි. මේක Chiken and egg තත්වයක්. එවැන්නක් බිඳින්න නම් Demand හා Supply දෙකම වෙනස් වෙන්න ඕනැ.

      Delete
    3. “ඔහුට වයස 18-21 විතර කාලේ මා කළා වාගේ හැමතැනටම ලියන්න බැහැ. ලියනවා නම් තමන්ගේ ලෙවල් එක පවත්වාගෙන ලිවිය යුතුයි. “

      රට ගැන, රටේ දරුවන් ගැන, පොඩ්ඩක් හරි කරුනාවෙන් හිතන්න පුළුවන්නං මේ කියන “ලෙවල්“ එක රැකිම නොහොත් තත්වය මේන්ටේන් කිරීම කියන නොසලකා හැරිය හැකි විකාරය අත හරින එක ඔය තරම්ම අමාරු කාරණාවක් වෙයි කියලා මමනං හිතුවේ නැහැ. ලාංකීය උගත් සමාජයට මොකක්ද මේ වෙලා තියෙන්නේ. මෙයිට වඩා පැරණි වළවුකාරයින්ගෙන් දයාවක් කරුණාවක් ලැබෙනවා මිනිස්සුන්ට. චානුකගේ පිළිතුරට ස්තූතියි. ඒත් ඒ පිළිතුර මාව සෑහෙන කම්පනයට පත් කලා කියන එකත් කියන්න ඕන.

      Delete
    4. ශාස්ත්‍රීය ලෝකයේ Academic discipline කියලා දෙයක් තියෙනවා. ඒ විනය පවත්වා නොගන්නේ නම් වෙන්නෙ අපත් නලින් ද සිල්වා, චන්දන ජයරත්න වගේ ජෝකරයින් බවට පත්වීම.

      Delete
    5. ලෙවෙල් එක කියන්නෙ ඒ ඒ මට්ටම් වලට ලියන විදිහක් විතරයි. ඒකෙන් අදහස් වෙනව නං ඇල්කෙමියට පොඩි ළමයින් වෙනුවෙන් ලියන්න බෑ කියල ඒක වැරදියි. එහෙනං කුමාරතුංග මුනිදාස ළමා කතා නොලියන්න ඉඩ තිබුන.

      Delete
    6. ඇල්කෙමියාට පොඩි ළමයින් වෙනුවෙන් ලියන්න කිසිම බාධාවක් නැහැ, හැබැයි ඒ ප්‍රකාශිත හෝ අප්‍රකාශිත disclaimer එකක් සමඟ. මොකද එහෙම උත්සාහයකදි ඔහුට ශාස්ත්‍රීය මට්ටමින් පහළට එන්න වෙනවා. ශාස්ත්‍රීයව, යමක් generalise කරනවා කියන්නෙ නොකළ යුතු දෙයක්. එහෙම නම් පාඨකයාට පැහැදිළි කරලා දෙන්න ඕනැ මෙන්න මේ විශේෂ හේතුව නිසා මම මේක කරනවා කියලා. විදුසරේ අපි ඉන්න දවස් වල සෑහෙන්න මහන්සි වෙලා දෙපැත්තම බේරාගෙන ඔහොම ක්‍රමවේදයක් අපි හැදුවා. ජනප්‍රිය ප්‍රකාශන වලට ලියන්නේම නැහැ කියලා හිටපු යම් පිරිසක් අපි පහළට ගෙනාවා. නමුත් අද එහෙම පරිසරයක් නැහැ.

      ඔබේ කුමාරතුංග මුනිදාස උදාහරණය ගන්නවා නම් ඔහු ළමයින්ට කතාවක් ලියන්නෙ ළමා පොතක. එතකොට ඒ disclaimer එක වැටෙනවා. එහෙම නැතුව ඔහු ජාතික පුවත්පතක විශේෂාංග පිටු වලට ළමා කතාවක් ලියන්නෙ නැහැනෙ.

      මෙතැන තියෙන්නෙ ලියන්න බැහැ කියන කාරණාව නෙවෙයි. නමුත් ඊට ගැළපෙන පරිසරය තිබිය යුතුයි.

      Delete
    7. චානුක, මිත්‍යාවන් පැතිරීම වේගවත් වන්නට එක් හේතුවක් වන්නේ විද්‍යාව පැතිරවීමට ඉන්නා උන්ගේ අලසකමයි කියලා මං කිව්වොත් චානුක ඒකට එකඟ වෙනවද නැද්ද ?
      පත්තර කාරයෝ මිත්‍යාව වපුරනවා කියන චෝදනාව කරලා පහසුවෙන් අත සෝදා ගන්න එපා. පත්තර කාරයෝ උනත් වෙනස් කරන්න පුළුවන් විද්‍යාව පතුරන්නට හැකියාව ඇති අය ක්‍රියාශීලී වෙනවනම්. ඒත් ඔවුන් මුකුත්ම නොකර “අපොයි හැම තැනම මිත්‍යාව රජයනවෝ“ කියලා බොරුවට කෑ ගැහුව පලියටනං කිසිම දෙයක් වෙනස් වෙන එකක් නැහැ.

      අපි උදාහරනයක් ගනිමු. චානුක පරිගණක ක්ෂේත්‍රයෙත්, සිංහල බ්ලොග් අවකාශයෙත් දැන් සෑහෙන කාලෙක සිටන් සිටින පුද්ගලයෙක්. දැන් චානුක මේතාක් කාලයක් මේ බ්ලොග් අවකාශය තුල විද්‍යා දැනුම බෙදා දෙන්නට චානුකගේ “ලෙවල්“ එකට සරිලන පරිද්දෙන් හෝ ආරම්භ කර ඇති බ්ලොග් එකක් හෝ, චානුක වැනිම පිරිස එකතු කරගෙන විද්‍යාව ගැන සංවාද විවාද පර්යේෂණ කෙරෙන ආකාරයේ ෆෝරමයක්, ජේජ් එකක් හෝ වෙබ් අඩවියක් ගැන කටයුතු කරලා තියෙනවද?
      ගැටළුව තියෙන තැන වටහාගන්න. හේතුව නොදැන බොරු හේතු දක්වලා ප්‍රශ්න විසඳන්න බැහැ. ඒකීය පුද්ගල බහු පුද්ගල කතන්දර පැත්තක තියලා එක අඩියක් තියන්න. එහෙම නැතිව මිත්‍යා මත වපුරන අය කියලා කොටසක් පෙන්නලා උන්ට ගල් ගගහා හිටියම විද්‍යාව බබලන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ කිව්වෙත් යම් දෙයක බබලන්න නම් එය විවෘත විය යුතු බවයි. මිත්‍යාව හෝ ඔබ කියනා අන්දමේ දේවල් සමාජයට බෙහෙවින් විවෘත වෙද්දි ඇයි ඔබලා විද්‍යාව හංගගෙන වසාගෙන සිටින්නේ ? විවෘත කරන්න චානුක විවෘත කරන්න.
      මේ බැන අඩගහලා ලිපිය ලියන වෙලාවේ චානුක එහෙම දේකට අත තිබ්බනං මෙයිට වඩා ප්‍රයෝජනයි.

      __________

      රාජ් කියන කතාවට එකඟයි.
      මුනිදාස කුමාරතුංගයන්ට තිබූ උවමනාව, හැකියාව, දක්ෂතාවය නැති තැන අනිත් අයට බැණ අඩගැසිමයි දැන් වෙන්නේ. උවමනාව තියෙන පුද්ගලයා අනුන්ට අවලාද කියනවාට වඩා තමා යමක් කර පෙන්වයි.

      Delete
  4. චානුක වතුරේගමට ටැපලිලා ද?

    ඇත්තටම මේ කියන්නේ සන්නිවේදනය (communication) ගැන නොව journalism ගැන නේද?


    ReplyDelete
  5. පශ්චාත් නූතන ගල් යුගය වෙන කවර යුගයකටත් වඩා සීග්‍ර පරිණාමයකට ලක්ව තිබෙනුයේ විස්මිත ආකාරයටයි. ඇත්තෙන්ම පිටසක්වලින් ලැබුනු දෙයක් වගේ. ඒ කියන්නෙ එකවරම ඉබේ පහල උනා වගෙයි. 1990 සිට්ස් ගෙවුනු විසි පස් වසර තාක්ෂණික දියුණුවේ ස්වර්ණමය යුගය වෙන්න ඕනි. විශේෂයෙන්ම ඩිජිටල් තාක්ශනයේ.

    ReplyDelete
    Replies
    1. අවසනාවනම් මේ තාක්ෂණික දියුණුව අධිවේගයෙන් ධන අනන්තය දක්වා යද්දි ආධ්‍යාත්මික සංවර්ධනය සෘණ අනන්තය කරා යාමයි.

      Delete
  6. චානුකට දෙන්න තියන සරළම උත්තරය මේකයි.
    එදා සිට අද දක්වා මිනිසා ගමන් කරන්නේ "කවුරුවත් දෙන දේ සිට කැමැත්තෙන් තෝරාගැනීම" දක්වා. "දැනුම" කියන්නෙ ඉස්සර කවුරුහරි ලබාදීපු දෙයක්. දැනුම ලබාගත්තම ඒක ගන්න කෙනා තමන්ට පුළුවන් ප්‍රතිශතය ධාරණය කරගන්නව. දැන් දැනුම නිදහසේ තියනව (අන්තර්ජාලයේ). මිනිස්සුන්ට ඉංග්‍රීසිත් පුළුවන්. ඉතිං කවුරුවත් පත්තරේක දැම්ම කියල ඒකෙ ඒ හැටි වටිනාකමක් නෑ. අවශ්‍ය අය කෙලින්ම අන්තර්ජාලයෙන් ගන්නව. එපා අය නොගෙන ඉන්නව.

    ඒ වගේම පොදු අර්ථයෙන් ගත්තම දැනුම කියන එකට ඒ හැටි වටිනාකමක් නෑ. දැන් වැදගත් වෙන්නෙ යම් විශේෂිත ක්ෂේත්‍රයක් පිලිබඳ දැනුම විතරයි. මම කොහෙන්දෝ ‍කියෙව්ව ඇමරිකාවෙ තරුණයන්ගෙන් කොච්චරද ප්‍රතිශතයක් පෘථිවියේ ගමන්මඟ මොකද්ද කියල දන්නෙ නෑ කියන කතාවක්. ඒ වගේ කේස් අැතිවෙන්නෙ ඔය මම කිව්ව හේතුව නිසා තමයි. මොකද පෘථිවියේ චලිතය මොනවගේද කියල හොය‍ාගන්න ඕන කෙනෙකුට පුළුවන් නෙව.

    ‍දැන් යන සිස්ටම් එක ඕකයි. මේකෙ අවුල තමයි දැනුම ලබාගන්නෙ තමන්ට උවමනා අය විතරක් වීම. ඉස්සර මිහිර පත්තරේ ගන්න කෙනෙක් අනිවාර්යෙන්ම විද්‍යා ලිපිය කියවනව ඇති. මොකද කියවන්න දේවල් අඩු නිසා. ඒකෙන් සිදුවුනේ බහුතර සමාජය විද්‍යාව පිළිබඳ දැනුවත් වීම. දැන් ඒ තත්වය නැති නිසා ඔය 'මිත්‍යා අති‍රේක' කියවන සෑහෙන්න පිරිසක් අැති. ඒ නිසා ඒව මාකට් වෙනව.

    ReplyDelete
    Replies
    1. +++

      අපි කවදත් උඩ දාන ඔය කාලේ හැමදේම වගේ අපි මත පටවපු දේවල්. නමුත් හොඳ යැයි පිළිගත් දේවල් පටවන්න උත්සාහ කරපු මිනිස්සු හිටිය කාලයක් නිසා, ඒකෙන් ලොකු විපතක් සිද්ධ වුණේ නෑ. නමුත් ඒ ක්‍රමවේදය අදට යොදාගන්න බැහැ. ඒ වගේ ක්‍රමවේදයකට පවතින්න පුළුවන් හැම දේටම සීමිත ඉඩකඩක්, සීමිත මාධ්‍යයක් තියනවා නම් විතරයි. ලෝකේ කවදාවත් විද්‍යා දැනුමට ලොකු ඉල්ලුමක් තිබ්බා කියලා මම හිතන්නෙ නෑ, ඒ නිසා චානුකලාට කරන්න තියෙන්නේ තමන් දන්න දැනුම බෙදා දෙන එක විතරයි. අවශ්‍ය අය ලබාගනියි.

      Delete
    2. /ඒ නිසා චානුකලාට කරන්න තියෙන්නේ තමන් දන්න දැනුම බෙදා දෙන එක විතරයි. අවශ්‍ය අය ලබාගනියි. /

      "ඒකීය් පුද්ගලයාගේ" පැත්තෙන් හිතන විට නම් මේ කාරණවට 100% ක් එකඟයි. හැබැයි ඔය "ඒකීය පුද්ගලයාගේ" සීමාවන් මා දන්නා නිසා ඒකම පිළිතුර කියලා හිතන්නෙ නැහැ.

      Delete
    3. ඔව් මෙතන වෙනත් ප්‍රශ්නයක් තියනවා තමයි. එදා තත්වයම නොවුණත්, අද පවතින තරඟකාරී තත්වය උඩත්, ලංකාවේ මිනිසුන්ට ඇති තෝරා ගැනීමේ හැකියාව අති සීමිතයි. එක අතකින් ද වෙලා තියෙන්නේ, එදා සිද්ධ වෙච්ච එකේ ප්‍රති විරුද්ධ දේ. එදා පොදුවේ රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යයන් 'සම්භාව්‍ය' මට්ටමක තිබ්බේ... අති සරල ජනප්‍රියත්වයට එදා මාධ්‍ය වල ඉඩ ලැබුනේ නෑ. අද ඒකෙ අනිත් පැත්ත, අද මේ සියලු දේම අති සරල ජනප්‍රිය වැඩසටහන් වලින් පිරිලා. හැබැයි, මෑතකදී ඉඳලා යම් උත්සාහයක් තියනවා නේද ආයෙත් අර වගේ පරණ මට්ටමේ වැඩසටහන් වලට යන්න. මම ඉන්නේ ලංකාවේ නෙවෙයි නිසා හරියටම කියන්න බෑ.

      ඕස්ට්‍රේලියාවෙදි නම්, චානුකගේ ලිපියේ සඳහන් ආකාරයේ වැඩ සටහන් වැඩියෙන් විකාශනය වෙන්නේ රජයෙන් නඩත්තු කරන මාධ්‍ය වලයි. දැනුම, අධ්‍යාපනය කියන එක ඉල්ලුමට සැපයුම ක්‍රමවේදයේ ප්‍රතිපලයක් නොවිය යුතුය යන තර්කයට ධනවාදී රටකින් දෙන්න පුළුවන් උදාහරණයක්ද ඒ? ඒ වගේම එය රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක විය යුතු වැඩ පිළිවෙලක්?

      Delete
    4. දියුණු රටවල Public Service Broadcasting කියලා දෙයක් තියෙනවා. ඒකෙන් ප්‍රචාරය කළා කියලා ලාභයක් නැති එහෙත් වැදගත් අධ්‍යාපනික වැඩ සටහන් වලට පැවැත්මක් ඇතිවෙනවා. ඔය BBC එකේ Living Planet වගේ වැඩසටහන් ඇතිවුණේ මතක හැටියට එහෙම. ඉස්සර ගුවන් විදුලියේ අධ්‍යාපනික සේවය වගේ දේවල් තිබුණා. වෙළඳපළ තුළින් ඒවා ලැබෙන්නෙ නැත්නම් වෙළඳපළට ලොකු හානියක් නොවන විදිහට ඒවා ඇති කළ යුතුයි. ඒකීය පුද්ගලයාට අනුව නම් වැරදියි. නමුත් මා හිතනවා එවැන්නක් සිදු විය යුතුයි කියලා.

      Delete
    5. මම නම් මේක දකින්නේ ස්වාභාවික සිද්ධියක් ලෙස. එනම් දැනුම අනවශ්‍ය හෝ දරාගන්න බැරි ය දක්වා දැනුම ගමන් කරන්න මාධ්‍ය විසින් ක්‍රියාකිරීම තරමක් දිග කියවීමක් මා ලියු : Urban Legend

      කොටස් උපුටා ගතහොත්

      Today we live in the peak time of information era. Televisions with dozen channels, Satellite television with 24x7 feeds from likes of Discovery or National Geographic, news papers of all kind, and Internet at almost every household. And Internet with google, Internet with Wikipedia. Is this the kinda achievement they all intend? Or is the society mature enough to gobble the big information double whopper?

      ...

      Good thing about Information era is that they replaced the school classes which only a selected subset of smart kids followed. Today every Tom Dick and Harry is an expert on petty topics such as Napoleon or String Theory or Quasars or Pulsars. But those old day's classes were mostly accepted knowledge, but the Tom Dick and Harry interpretation of the universe is solely their own unconfirmed gibberish.


      Plus the journalists of past possessed much brains than mouth with respect to today. With little brains and bigger mouth, it is the unconfirmed legend storage called internet that fills the gap between supply and demand. For journalism being a service by society for society, the degradation of sanity levels mutually effecting journalism and society as a whole.

      Delete
  7. ආයෙ Fun with science ලේබල් එකට පෝස්ට් එකක් ලියන්න මතක් වුනා මේ ලිපිය දැක්කම.

    ReplyDelete
    Replies
    1. උඹයි....සුද්දයි ලියයි කියල හිතුව,,,,,,, ලියපං .....

      Delete
    2. විද්‍යා සන්නිවේදනයක් කලා අන්න. කියෝල බැලුවනං.

      ආත්මීය ආදරයේ රසායන විද්‍යාව (Chemistry Behind Love)

      :D :D :D

      Delete
  8. සම්පුර්ණයෙන්ම එකග ලිපියක්. මම නම් 1990 දශකයේ පාසල් ගිය කෙනෙක්. අපේ කාලයේ විදුසර හොඳටම තිබුනා එයට අමතරව සිංහල හඬ කවන ලද ඩිස්කවරි සහ වෙනත් අධ්‍යාපනික රුපවාහිනී වැඩසටහන් ජාතික රුපවාහිනියේ ගියා, සෙනසුරාදා උදේට එඩ්වින් ආරියදාස ගේ විදුලොව වැනි වැඩසටහන් තිබුනා. අපිට ඒ කාලේ තිබුනේ රුපවාහිනී සේවා දෙකක් වුවත් ඒවායේ විද්‍යා අද්යාපනික වැඩසටහන් බහුල වුනා. දැන් තියෙන්නේ මොනවාද? කියලා වැඩක් නැහැ. ප්‍රෝඩාවිද්‍යාත්මක නොවන රුපලාවන්‍යය, කේන්දර, වාස්තු විද්‍යා මනස්ගාත, මනාල මනමාලියන් ගොනාට ඇන්දවීම. අද ඉන්ටනෙට් සහ සැටලයිට් රුපවාහිනී ඇත නමුත් මේවා තම දැනුම දියුණු කිරීමට යෝදාගන්න්නා පොඩි උන් දුලබය. ඉගනගන්නා එකා සිලබස් එකට කොටුවී ඇත නැති එකා ගේම් සහ වැල බැලීමට හිරවී ඇත.

    විද්‍යාව නම් සත්‍යය නොවේ එය සත්‍යය තේරුම් ගැනීමට ගොඩනගාගත් නිර්මාණයකි. සත්‍යය නොවන නිසා පට්ට පල බොරුවක් වුවත්. සත්‍යය තේරුම් ගැනීමට ගොඩනගාගත් නිර්මාණයක් බැවින් අතහැරිය යුතු දෙයක් නොවේ. සියලුම යාන්ත්‍රික සහ සිවිල් ඉංජිනේරු නිර්මාණ නිවුටන්ගේ නියම මත ගොඩ නැගේ. නිවුටන් ගේ නියම සත්‍ය නොවුනත් එම බාවිතයේදී ඒවා පරිපුර්ණව සත්‍ය වේ. නිවුටන් ගේ නියම බොරුවන කුඩා අංශුවල හැසිරීම් ගැන අද්‍යනය කරීමට භාවිතා කරන අයින්ස්ටයින්ගේ නියම සහ ක්වන්ටම් සිද්දාන්ත පවා පරම සත්‍ය නොවේ නමුත් ඒවා ඇසුරෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව නිර්මාණය වී තිබේ. ඉස්සරහට බොහෝ විද්‍යා නියම වෙනස් වේවි. නමුත් අදට තියන විද්‍යාව වෙන ග්‍රහලෝකයකට යානයක් යවා එය ස්වයන්ක්‍රීයව පාලනය කිරීමට තරම් ප්‍රායෝගිකයි. ලංකාවේ ඔය කියන වැද්දෝ කියන විදියට විද්‍යාව බොරු, කියා කියා විද්‍යාව අතහැරියොත් ලංකාවට දෙය්යන්ගේම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. ලංකාදීපේ තියන අර මිරැන්ඩෝ අබේසේකර වගේ නමක් තියන මැන්ටල් බුවෙක් එක්ක සාකච්කා කරලා ලියන රාවනා කතා ඒවා තමයි අපේ කොල්ලන්ට ඇත්ත. උන්ට නිවුටන් ටත් වාඩා දැනට තියන පුරාවිද්‍යාවත් බොරුවක්. මිරැන්ඩෝ කකියන පොර හැමතැනම කියනවා සෙල්ලිපි පුස්කොල පොත් ගැන නමුත් ඒවා තියෙන තැනක්වත් දැක්ක වෙන කෙනෙක්වත් නැහැ.

      Delete
    2. අයියෝ ඒ රාවණා කතා නං අනේ මන්ද අප්ප... මාත් අහම්බෙන් දැකල කියෙව්වට පස්සෙ හිතුන මිනිස්සු මේ පට්ටපල් බොරුත් කියෝනවද කියල....

      Delete
    3. ඒකීය පුද්ගලයක් වශයෙන් සිතුවොත් විද්‍යාව යථාර්තය වුවත් විද්‍යාව යනු සාපේක්ෂ සුසමාදර්ශී සම්මුතියක් වේ. සුසමාදර්ශී සම්මුතියක විලෝමය සහ ප්‍රයාමය මිත්‍යාව එබැවින් විද්‍යාව ආකෘතියක් ලෙස මිස මිත්‍යාවක් ලෙස ගැනීම අසාධාරණයක් වේ.

      //ලංකාදීපේ තියන අර මිරැන්ඩෝ අබේසේකර වගේ නමක් තියන මැන්ටල් බුවෙක්// ඒ මහතා මැන්ටල් බුවෙක් මෙන්ම මෙන්ටල් කේස් බුවෙකි. නමුත් කෙනෙකුට නම කියා අපහාස කිරීම සුදුසු නැහැ නේද?

      Delete
    4. //ඒකීය පුද්ගලයක් වශයෙන් සිතුවොත් විද්‍යාව යථාර්තය වුවත් විද්‍යාව යනු සාපේක්ෂ සුසමාදර්ශී සම්මුතියක් වේ. සුසමාදර්ශී සම්මුතියක විලෝමය සහ ප්‍රයාමය මිත්‍යාව එබැවින් විද්‍යාව ආකෘතියක් ලෙස මිස මිත්‍යාවක් ලෙස ගැනීම අසාධාරණයක් වේ.//

      වචන මිස අර්ථයක් නොමැත. සිංහල බොහෝ විද්‍යා ලිපි එපා වෙන්නේ මෙසේ තම පණ්ඩිත කම පෙන්වීමට බර වචන දමා අර්ථශුන්‍ය ලිපි පළකිරීමයි.

      Delete
    5. @Chanuka Wattegama
      //ඒකීය පුද්ගලයක් වශයෙන් සිතුවොත් විද්‍යාව යථාර්තය වුවත් විද්‍යාව යනු සාපේක්ෂ සුසමාදර්ශී සම්මුතියක් වේ. සුසමාදර්ශී සම්මුතියක විලෝමය සහ ප්‍රයාමය මිත්‍යාව එබැවින් විද්‍යාව ආකෘතියක් ලෙස මිස මිත්‍යාවක් ලෙස ගැනීම අසාධාරණයක් වේ.//

      අර්ථ ශුන්‍ය බර වචන

      Delete
  9. විදුසරට, පරිඝණක සඟරාවට ලියපු චානුකව දැක්ක කල්!

    මේ ලිපිය වැඩිහිටියන්ගෙ ටිපිකල් නොස්ටැල්ජික් දෝෂාරෝපනයක් වගේ උඩින් පෙනුනත්, ඇතුලෙන් කියවෙන කතාව ඊට වඩා බොහෝම එහා ගිය කණගාටුදායක එකක්.

    ඉහලින් කෙනෙක් ඇලාට කියල තියෙනව වගේ ඒ අර්බුධයට අළැඇළැ, චානුකලත් වගකියන්න එන කියන අදහස වැරදියි.

    මොකද, ලියන්නෙ කියවන්නො පිරිසක් ඉන්නවනම්. නැත්තං ඒ ලියවිලි වලට, මහන්සියට කිසි වටිනාකමක් නැතිව ඒව ඉබේම නවතිනව. දැන් බලන්න ඔය ටෙක් බ්ලොග්ස් "මල් කැකුළු" වගේ දැනුම සරළව බෙදන බ්ලොග්ස් වලට උනත් යන්නෙ, කමෙන්ට් කරන්නෙ කී දෙනාද? හේතුව රාජ් කියනව වගේ, ඕන වෙලාවට ඕව හොයා ගන්න එක සිම්පල්. ඉතින් කියවල ඔළුවෙ තියාගන්න ඕනෙ නෑ.

    හැබැයි, මේ කතන්දරේ ඛේදවාචකය තියෙන්නෙත් මෙන්න මෙතනයි. අපේ මතකය, බුද්ධි ගබඩාවෙ වපසරිය පලල් වෙන එක අන්තර්ජාලය විසින් සීමා කරල. අපි වෙනුවට එයා මතකෙ තියාගෙන ඉන්නව. ඉතින් ඔළුවෙ තියෙන ප්‍රමාණය අඩු වෙනකොට අපේ තර්කන සහ සංසන්දනාත්මකව යමක් දෙස බැලීමේ හැකියාව සීමා වෙනව.

    අනෙක් පැත්තෙන් අපේ රටෙ වේගෙන් මේ මිත්‍යාව පැතිරීම. මෙතනදි, සිංහලෙන් කියවන ඉගෙන ගන්න දරු පරපුර මේකට අහුවෙනව වැඩියි ළමා කාලෙම. ලංකාවෙන් පිට ඉන්න අපිට මේ කඩ වැටීම දරුණුවට දැනෙනව (මේ ගැන අගනා කමෙන්ටුවක් "සපතේරු උන්නැහේ" බුකියෙ මේ ලිපියට අදාලවම දාල තිබ්බ. ඒක මාතලන්ට හරි පුලුවන්නං මෙතනට ගෙනත් අලවන්න, හරි වටිනව ). ගුරා හිටගෙන කොරනකොට ගෝලයො උඩ පැන පැන කරනව කියල මෙතනදි කාට හරි හිතෙන්න පුලුවන්. හැබැය් මම දකින්නෙ අනික් පැත්ත, ගෝලයො උඩ පැනගෙන මේවට අහුවෙනව කියල දන්න ගුරා, ලස්සනට ඒක පාවිච්චි කරනව තමන් "රජුටත් වඩා රාජපාක්ෂික" බව පෙන්නල අන්දන්න. ඒ එක්කම අද තරුණ පරපුර, මේ අලුත් විද්‍යාත්මක සොයාගැනීම් නිසා බිහිවෙන සිදුවෙන ආශ්චර්‍යන් ගැන ඒ තරම් සංවේදී නෑ. හේතුව ඔවුන්ට ඒව "වෙන්න තිබ්බ ටොයිස් වැඩ" මිසක් "මාර හිතාගන්න බැරි පුදුම" නෙමෙයි. එච්චරටම විද්‍යාත්මක නිපැයුම් කියන දේ සාමාන්‍යකරනය සහ සරළ වෙලා. කොටිම්ම මේ අලුත් දේ එන වේගෙ මදි! ඒත් අර යන්තර ගුරුකං ඔවුන්ට අලුත්, අමුතුයි සහ මාරයි! මේක අපේ ළමාකාලෙ වෙච්චි 70/80 දශකවල තත්වයෙ විළෝමය. ඉතින් දරුවො මේ "මාර" දේවල් වලට ඇදෙනව වැඩියි!

    මේක වෙනස් කරන්න පුලුවන්, "ඒකීය පුද්ගලයට" ගෙදරිම්ම තමයි. මොකද මොනතරං කියවන්න දේ දරුවන්ට දුනත්, හවසට ආcචි ටෙලිය බලනවනං කට ඇරන්, තේරුමක් ඇත්තෙ නෑ.

    ReplyDelete
    Replies
    1. Correction,

      "ඇලාල, චානුකලත් වගකියන්න ඕන"

      Delete
    2. මට ඇල්ගේ හරි චානුකගේ හරි දැනුම තිබුනනං මම “ඒකීය“ පුද්ගලයෙක් හැටියට මට කරන්න පුළුවන් තරමින් හරි දෙයක් කරනවා ඉන්දික. නමුත් මට ඒ හැකියාවයි දැනුමයි නැහැ. ඒ වෙනුවට මං අද මම දන්න විෂය බෙදා දෙනවා දරුවන්ට. ඉඩ ලැබෙන හැටියට සති අන්ත පුවත්පත්වල කොලම් වලිනුත්. වසර දහ තුනක් තිස්සේ මම මගේ කොටස ඉටු කරමින් ඉන්නවා සුළුවෙන්. නමුත් ඒ සුළු කොටස අද මාව තෘප්තිමත් මනුස්සයෙක් කරවලා තියෙනවා. මම කතා කරන්නේ චානුකලටත් ඇල්කෙමිස්ට්ලටත් මහා පරිමාණයෙන්ම නැතිවට අපිට පුළුවන් ලෝකය වෙනස් කරන්න සුළු උත්සහයකින් කියන කාරණය පැහැදිලි කරන්න.

      Delete
    3. උඹේ අදහස් වලට යම් මට්ටමකට එකඟයි නමුත් මේක....

      //හැබැයි, මේ කතන්දරේ ඛේදවාචකය තියෙන්නෙත් මෙන්න මෙතනයි. අපේ මතකය, බුද්ධි ගබඩාවෙ වපසරිය පලල් වෙන එක අන්තර්ජාලය විසින් සීමා කරල. අපි වෙනුවට එයා මතකෙ තියාගෙන ඉන්නව. ඉතින් ඔළුවෙ තියෙන ප්‍රමාණය අඩු වෙනකොට අපේ තර්කන සහ සංසන්දනාත්මකව යමක් දෙස බැලීමේ හැකියාව සීමා වෙනව//

      මිනිහා කියන සතා පරිනාමය වෙනව. අද ඉන්න මිනිහ නෙවේ හෙට ඉන්නෙ. මිනිහා පරිනාමය වීමේ අර්ථය පැවැත්ම තහවුරු කරගැනීම. උඹ කියන ඔය මතක ගබඩාව වැඩක් තියනවද? මිනිහගෙ පැවැත්මට තර්ජනයක් තියනවද? මේක නිකං උදැල්ල වෙනුවට නඟුල ආව වගේ කේස් එකක්ම තමයි. මතකය සහ තර්කනය අතර මහලොකු සම්බන්ධයක් තියනව කියල මම නං හිතන්නෙ නෑ. අපි මොකක් හරි ක්ෂ්‍රේත්‍රයක් ගැන මොලය වෙහෙසද්දි ඒ පැත්ත වර්ධනය වෙනව. එච්චරයි.

      Delete
    4. රාජ් කියන විදියට ඉගෙන ගෙන වැඩක් නැහැ දැනුම මොලේ දාගෙන ඉන්න එක ගොන් වැඩක් ඉගෙන ගන්නේ නැතිව දැනුම ඕන වුනාම ඉන්ටනෙට් ගිහින් සර්ච් කරලා ගන්නවා.
      තර්කන හැකියාවට වැඩිදියුණු කරන්න නම් ඒ ගැන මොලය වෙහෙසන්න්න ඕන කියන කතාව හරි යමක්ක් ගැන මොලය වෙහෙසෙන විට ඒ ගැන මොලය දියුන්නු වෙනවා නමුත් ඒ දියුණු වෙච්ච මොලයට යම් තීරණයකට ඒමට තර්කන හැකියාවට විශ්ලේෂණය කරන්න දත්ත ඕන. එම දත්ත අන්තර්ජාලයේ නොවෙයි තියෙන්න ඕන ඉකමනින් ලබාගන්න පුළුවන් තම මතකයේ. මතකයට වැඩි දැනුම් ප්‍රමාණයක් ගබඩා වීමට බොහෝ අසු පිරු තැන් තිබීම වැදගත්. මතක තියා ගන්න සීසෑම සඳහා ට්‍රැක්ටරය නිර්මාණය කරන ඉංජිනේරුවා එම නිර්මාණය කරන්න නම් කලින් එන්ජිමෙන් දුවන වාහන සහ නගුල අදින ගොනා දැකලා තියෙන්න ඕන. එහෙම නැතිව එන්ජිම සොයාගත්තෙත් නගුල සොයාගත්තෙත් ට්‍රැක්ටරය සොයා ගත් කෙනා නොවෙයි එසේම එන්ජිමෙන් දුවන වාහන හදපු කෙනත් එය නිර්මාණය කරන්නේ රෝද වලින් යන කරත්ත සහ වෙන කෙනෙක් නිර්මාණය කරපු එන්ජිමක් යොදා ගෙන. රෝදය කියලා දෙයක් නිර්මාණය වුන බව ඔය කිසි නිර්මාපකයෙක් නොදැන සිටියා නම් දැන් බොහෝවිට එක වාහනයක් වත් නැහැ. එහෙම තමයි නව නිර්මාණ බිහිවෙන්නේ.

      Delete
    5. රාජ් මම හිතනවා ඉන්දිකගේ කතාවේ යම් ඇත්තක් තියනවා කියලා. ඉස්සර වගේ දැන් අපි චක්කරේ පාඩම් කරන්නේ නැහැනේ. නමුත් යම් ක්‍රමවේදයකට චක්කරේ පාඩම් තියාගත්ත එකාගේ තර්ක ශක්තිය, තීරණ ගැනීමේ හැකියාව, එහෙම නැති එකෙකුට වඩා පොඩ්ඩක් හරි හොඳයි කියලා මම හිතනවා. චක්කරය උදාහරණයක් විතරයි... මම කියන්නේ යම් යම් දේ මතක තියාගන්න, විසඳන්න තමන්ගේ මනස වෙහෙසවන එකාගේ තීරණ ගැනීමේ හැකියාව සාපේක්ෂව ඉහලයි කියලා.

      Delete
    6. තිසර & මකසි,
      මම අදහස් කලේ යම් යම් 'අනවශ්‍ය' කොටස් ටිකක් විතරයි. එහෙම නැතිව සියල්ලම නෙවේ. චක්කරේ පාඩම් කිරීම වගේ දේවල් අවශ්‍ය නෑ කියල කියන්න බෑ.(නමුත් සමහර රටවල විභාගයට ගණක යන්ත්‍ර පාවිච්චියට ඉඩදුන්න බවත් කියන්න ඕන).

      උදාහරණයක් විදියට ලංකාවෙ තියන ශිෂ්‍යත්ව විභාගය ගත්තොත් දැනුමට බුද්ධි වර්ධනයට කිසිම වැඩකට නැති දේවල් එනව. (ලෝක ජල දිනය කවදාද වගේ ප්‍රශ්න). මම අදහස් කලේ අන්න ඒ වගේ දේවල් ගැන.

      Delete
    7. //// හැබැයි, මේ කතන්දරේ ඛේදවාචකය තියෙන්නෙත් මෙන්න මෙතනයි. අපේ මතකය, බුද්ධි ගබඩාවෙ වපසරිය පලල් වෙන එක අන්තර්ජාලය විසින් සීමා කරල. අපි වෙනුවට එයා මතකෙ තියාගෙන ඉන්නව. ඉතින් ඔළුවෙ තියෙන ප්‍රමාණය අඩු වෙනකොට අපේ තර්කන සහ සංසන්දනාත්මකව යමක් දෙස බැලීමේ හැකියාව සීමා වෙනව.////

      මචන් ඉන්දික රාජ් සහ ම්කසි.
      මෙතන කියන අදහසට තව කොටසක් එකතු කරන්න ඕන.
      ඉන්ටර්නෙට් එක අසීමිත දැනුමක් තිබෙන බව ඇත්ත. නමුත් එකෙන් දැනුම ලබාගන්නනම් භාවිතා කරන කෙනාට එක පිලිබඳ දල අදහසක්වත් තියෙන්න ඕන. එම දල අදහස එන්නේ සඟරා මාදිලියේ ලේඛන කියවීමෙන් පමණයි. එක පුවත් පතක් වෙන්නත් පුළුවන්. වෙබ් සඟරාවක් වෙන්නත් පුළුවන්. සඟරාවක් අතට ගත්තම විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරගෙන ලිපි පල වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි, අවධානයෙන් හෝ අනවධානයෙන් හරි ලිපි කියවල තියෙනවා නම්
      එකෙන් කොටසක් මතකයේ තැන්පත් වෙනවා. ඒ ටික භාවිතා කරලා සෙවුම් යන්ත්‍ර මගින් සම්පුර්ණ දැනුම හොයා ගන්න පුළුවන්. අඩුම ගන්නේ විෂය ගැන වචන දෙක තුනක් වත් දන්නේ නැති කෙනෙක් මොනවා කියල හොයන්නද. ඔන්න ඔතනට තමයි විදුසර, නවයුගය, මනහර, මුතුහර, Readers Digest වැනි සඟරා ඕන කරන්නේ.
      නමුත අන්තර්ජාලය තිබියදී සියල්ල මතක තබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ.

      තර්කනය සහ සංසදානාත්මකව සිතීම වෙනම හුරු පුරුදු කල යුත්තක්. වෙනම විෂයක්.

      Delete
  10. අලුත් විද්‍යා තොරතුරු ඕනෙ නම් සිංහල භාෂාවේ එල්ලිල ඉන්නවට වඩා ඉංගිරිස් ටිකක් ඉගෙන ගෙන අන්තර්ජාලෙන් හොයාගන්න එක ලේසියි.

    ReplyDelete
    Replies
    1. මෙන්න අන්තර්ජාලයේ ඔක්කොම තියෙනවා කියලා හිතන තවත් ලිං මැඩියෙක්

      Delete
    2. මෙන්න අන්තර්ජාලෙ තියෙන්නෙ මොනවද නැත්තෙ මොනවද කියල දන්නෙ නැති ගෙම්බො දෙන්නෙක් :p

      Delete
  11. නාලක ගුනවර්ධන තාම ලියනව නේද?

    ReplyDelete
    Replies
    1. ඒත් රාවයට නේද? වෙනත් පත්තර වල නං දැකල නෑ (මොකද රාවය විතරයි සල්ලි දීල ගන්නෙ)

      Delete
    2. නාලක ගුණවර්ධනගෙ වෙබ්සයිට් එක Open Minds!

      Delete
  12. ලංකාවේ විද්යා සන්නිවේදනය මෙතරම් දියුනු වූ යුගයක් ඇත්තේනම් ඒ රාජසිංහ රජු ( අරිට්ට කීවෙන්ඩු සමග ) සමග විය යුතුය.

    නාත දෙවියන් විද්යාත්මක හා සෞක්යමය ප්‍රශ්න හා පිලිතුරු හීනෙන් සන්නිවේදනය කරන අතර විදේශ කටයුතු අමාත්යන්ශයේ කටයුතු කරන්නේ වස් කවි සන්නිවේදන මාර්ගයෙනි.

    ( ගුප්තවිද්යාව ලංකාවේ විද්යාව වන අතර සන්නිවේදනය සොයා ගත්තේ සන්නි යකු විසිනි )

    ReplyDelete
  13. සංවාදය පීලි පනින්නට පෙර මේ ටික එක් කරමි. මේ ලිපිය ලියන්ට මුල් වූ අදහස් බොහොමයක් මතු වූයේ මාස කිහිපයකට ඉහත විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් පවත්වන ලද වැඩ මුළුවකදීය (ලින්කුව පහත.) මෙහිදී මගේ අදහස වූයේ විද්‍යා සන්නිවේදනය බැරි නම් අඩුම වශයෙන් අප මිථ්‍යා සන්නිවේදනයෙන් වැළකී සිටිය යුතු බවයි. ඉහත කිහිප දෙනෙක්ම කියා ඇත්තාක් සේ විද්‍යාව හැම දෙනාටම අවශ්‍ය නැත. නමුත් හැම දෙනාම මිථ්‍යාවෙන් මිදී සිටීම් අවශ්‍යය. (එක්තර පමණකට හෝ)

    නිදහස් රටක ඕනෑම කෙනෙකුට තමන්ගේ ඇදැහිලි පවත්වා ගන්නට බාධාවක් නොවේ. ඒකීය පුද්ගලයාගේ පැත්තෙන් බලන විට ඊට පූර්ණ නිදහස තිබිය යුතුයි. ඒකීය පුද්ගලයා රාවණා නැඟිටිනවා කියා විශ්වාස කරන්ට කැමැති නම් එය එසේ නොවේය කියන්ට අප කවුද? හැබැයි මේ සියල්ල ඕවර් වන විට මුළු සමාජයම පිස්සන් කොටුවක් බවට පත් වේ. ('මානසිකාරොග්‍යශාලාව' නම භාවිතා නොකළේ ඕනෑ කමිනි,. රෝහලකදී අඩු තරමින් රෝගීන්ට ප්‍රතිකාර ලැබේ.) දැන් අප ගමන් කරමින් සිටින්නේ සියල්ල අවුට් ඔෆ් කන්ට්‍රෝල් වන තැනටයි. වළක්වා ගත යුතු එයයි.

    https://costisl.wordpress.com/2014/06/02/new-costi-event

    ReplyDelete
    Replies
    1. පුවත්පත් එක්ක සම්බන්ධකම් තියන චානුක හිතන විදියට එකපාරටම වගේ මේ මිත්‍යාවන් පැතිරීමට හේතුව මොකද්ද? (කතුවරුන්/අයිතිකරුවන් සමඟ මේ ගැන කතා කර ඇතැයි සිතමි, ඔවුන් නොදන්නව වෙන්න බෑනෙ මේව බොරු කියල)

      Delete
    2. //හැබැයි මේ සියල්ල ඕවර් වන විට මුළු සමාජයම පිස්සන් කොටුවක් බවට පත් වේ.//
      //මේ මිත්‍යාවන් පැතිරීමට හේතුව මොකද්ද?//
      ඕක තමයි හේතුව. දැන් සෑහෙන් දුරට එහෙම පත් වෙලා, එනිසා සමාජයට අවශ්යදේ පුවත්පත්වලින් දෙනව.

      //ඔවුන් නොදන්නව වෙන්න බෑනෙ මේව බොරු කියල//
      උන්ගෙනුත් හුඟදෙනෙකුට මොකක් හරි මිත්යා/illogical විශ්වාසයක් තියනව

      Delete
  14. විද්යාව හෝ වේවා අනෙකුත් සියලුම විෂය ක්ෂේස්ත්‍රයන් වල දැනුමට වඩා ඒ හරහා ලබා ගන්නා අවබෝධය තමා වටින්නේ. අවබෝධය යනු දැනුම හරහා තමන්ම අත්දැක අත් විඳ තමා තුලම ගොඩ නගා ගන්නා දෙයක්. මම නම් කියන්නේ දැනුමට වඩා අවබෝධයයි වටින්නේ.

    එත් දැන් ගැටලුව වෙන්නේ අවබෝධයක් හෝ ගොඩ නගා ගන්න දැනුම බෙදී යාමේ අඩු ලුහුඩු කම නම් එය ඇතිවීමටත් කුමක්ම හෝ හේතුවක් තිබිය යුතුයි. හේතුව විමසා බලන කොට අයි මේ දැනුම බෙදී යාමේ මන් ඇහිරෙන්නේ? බොහෝ දුරට අද වෙන කොට රටේ පාලනයට ඕනා කරලා තියෙන්නේ බුද්ධි බලකායකට වැඩය ශ්‍රම බලකායක් නොවේද? ඉහලම දැනුම මට්ටමක් ලබා දෙන ඒ හරහා ස්වයං අවභෝදයක් ලබා ගත හැකි ආයතන වෙන විශ්ව විද්‍යාල වල කෙරෙන පාටමාලා බුද්ධි බලකාය මුල් කරගෙන කෙරෙන ඒවාද නැත්නම් ග්‍රාම බලකායන් මුල් කරගෙන කෙරෙන ඒවාද? ඊවගේ ඉගෙන ගන්න උන් ගැන කුඩල්ලකුට කැරපොත්තෙකුට කුබියෙකුට තරම් වත් වටිනා කමක් එහල තල වලින් ලැබෙනවද? එවුන් හදාරන පාටමාලාවන්ට කෝ වටිනාකමක්, පිළිගැනීමක්, සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ ලින් මදි සංකල්ප වලින් ලබා ගත දැනුම කරපින්නන් රැකියා වෙළඳ පොලට බැස්සහම ඒ මොනවාද මේ මොනවාද කියලා හිතෙන්නේ ඇයි? කුඩා ළමයින්ගේ අතට අද යන්නේ මොනවාද? කුරුම්බට්ටියක් සෙල්ලම් කරත්තයක් හදා ගන්න පුළුවන් පොඩි එවුන් අද ඉන්නේ කීයෙන් කී දෙනාද? රුපවාහිනිය හරහා කුරුම්බැට්ටි හදන හැටි කියලා දෙන්න වීම ඇත්තටම අබාග්‍යක් නොවේද? කෝ ළමයා කුඩා කල සිටම ගොඩ නගා ගන්න අවබෝධය.

    මේක දශක ගානක් පසු පසට යන ගැටලුවක්, දෙමාපියන්ගෙන දරුවන්ට සම්ප්‍රේෂණය වන දැනුම ප්‍රමාණය කොපමණද, එතකොට සාමාන්‍ය දැනුම, ජීවිතයේ හදිසි අවස්ථාවල තීරණ ගැනීමේ හැකියාවන්, කළමනාකරණ හැකියාවන්, එතරම්ම අවශ්‍ය නැහැ, ආවේගයන් පාලනය කරගැනීමේ හැකියාවන් නැති සමාජයක් බිහිවෙනකොට හා එවන් සමාජයක් බිහි කිරීම අරමුණු කරගෙන වැඩ කෙරෙන කොට කෝ අර මිනිස්සුන්ට දැනුම සොයා යාමේ පිපාසාව. ඒ පිපාසාවට මොකද වෙන්නේ.

    ඔක්කොටම වැඩිය අද විද්‍යා දැනුමට ඕනෑකමක් තිබෙනවද මිනිසුන් අතර, රසය හොයන කෙනා නම් කොහොමත් රසය හොයාගෙන යනවා, එයට අද ඕනා තරම් දොරටු තිබෙනවා, නමුත් සමස්ථ රටක් හැටියට ගත්තම තනි ඇහැට කඳුළු එනවා. ඒ දැනුම බෙදා දෙන්නන්ට අද ඉඩක් තිබෙනවද මාතලන් අයියේ? එයි ඒ මිනිස්සුන්ව වෙනත් දේ වලින් අපගමනය වෙලා තියෙන්නේ.

    කොසොල් රජ්ජුරුවන්ගේ හීන මතක නම්

    නව වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " ස්වාමීනී මා දිය පිරුණු පොකුණක් දුටිමි .මෙ පොකුණේ මැද බොර වී තිබුණා .සතුන් සීපාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා .නමුත් ම්ම පොකුණ වටේ නම් වතුර හොඳටම පැහැදිලී. පොකුණ මැද්දෙ විතරක් බොර වෙලා වටේ විතරක් වතුර තිබෙන්න විදියක් නැහැනෙ ස්වමිනී. එකයි මට මෙහි ඇති පුදුමය .මෙහි තේරුම කුමක්ද ස්වමිනී ?"

    බුදුර්ජාණන්වහන්සේ :

    " රජතුමනී රටේ පාලකයො අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂනය වෙනවා .රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා.තමන්ගේ උගත්කමට සරිලන ස්ථානය නොලැබීම නිසාත් ,රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත් ඔවුන් ඒවා සොයා වෙනත් දේශයන් කරා පියමන් කරනවා. එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නේ නැහැ. එම නිසා රට තව තවත් පිරිහෙනවා.මෙයින් ඔබතුමාට හානියක් නැහැ.මෙය සිදුවන්නේ අනාගතයේ ."

    දොළොස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    "ස්වාමීනී මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගයක් දියේ හි පාවෙන්නේ නැතිව බර වස්තූන් මෙන් දියේහි ගිලෙනවා .මන් ඒ දුටු දේ අරුත කුමක්ද ස්වමිනී ? "

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී රාජසභාවේ ( අද වගේ නම් පාර්ලිමේන්තුවේ ) සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අය ඇමතිකම් හා නිල තල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරෙනවා .පන්සල් හා අනෙකුත් ආගමික ස්ථන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්වයට පත් වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ මෙයයි. මෙයින් ඔබට හානියක් නැහැ."

    දහතුන්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " ස්වාමින් වහන්ස මා දුටුවා විශාල ගල් ජලයෙහි පා වෙනවා. මෙය විය හැකි දෙයක් නම් නෙමේ නේ .මෙහි තෙරුම කුමක්ද ස්වාමිනී "

    බුදුරජාණන්වහන්සේ :

    " මහරජතුමනී මෙයින් ඔබ බිය විය යුතු නැහැ .මෙයින් කි‍යවෙන්නේ අනාගතයේ පාලකයොත් මහජන ප්‍රජාවත් රටේ ඉන්න උගතුන්ගේ ,වියතුන්ගේ ,බුද්ධිමතුන්ගේ අදහස් හා අනුසාශනා අහන්නේ නැහැ. රාජසභාවේත් .ප්‍රජාවත් අතර ඉහත වටිනා අදහස් කිඳා නොබැස ඔහේ පා වෙලා යනවා. "

    සිහින විස්තරය උපුටා ගත්තේ http://bududhahama.blogspot.com/2014/01/16.html

    ඉතින් ආපහු එකෙන්ම රිවර්ස් ගියර් එක දාගෙන හැටට හැටේ පස්සට යමක් තමා හැඟෙන්නේ නම්.
    //නිවැරදි විද්‍යා සන්නිවේදනයක් ඇති විය යුත්තේ මේ සියළු දෙනාගේම එකතුවෙනි. සහයෝගයෙනි// එහෙම දෙයක් ඉතින් වේවිද, වෙන්න ඉඩ තියාවිද?

    ReplyDelete
  15. /පුවත්පත් එක්ක සම්බන්ධකම් තියන චානුක හිතන විදියට එකපාරටම වගේ මේ මිත්‍යාවන් පැතිරීමට හේතුව මොකද්ද?/

    මේ ගැන වැඩ මුළුවේදී තරමක ගැඹුරු කතාබහක් ඇති වුණා. මගේ එක් ප්‍රශ්නයක් වුණේ ඇත්තටම මේ වගේ දේවල් ලෝකයේ වෙනත් රටවල වෙලා තියෙනවද කියලා. ඒකට පිළිතුර හැටියට නාලක ගුණවර්ධන කිව්වේ සෝවියට් දේශයේ කඩා වැටීමත් සමඟ මේ වගේම මිථ්‍යාවට ලොකු ඉල්ලුමක් ඇති වුණා කියලා. ඒකට හේතුව දීර්ඝ කාලයක් තිස්සෙ දැඩි පීඩනයකින් යට කරගෙන සිටි දේවල් (හොඳ හා නරක දෙකම) ඉඩක් ලැබුණු හැටියෙ මතු වීම. ලංකාවේ තත්ත්වය මීට වෙනස්.

    ලංකාවේ මෙවැන්නක් වීමට හේතු දෙකක් මා දකිනවා.

    1. දීර්ඝකාලීන යුද්ධය: ඕනෑම රටක දීර්ඝකාලීනව යුද්ධයක් ඇති වෙනකොට ඒ රටේ ජනතාවගේ මානසික සෞඛ්‍යයට ඒක බලපානවා. අපේ රටේ එක පරම්පරාවක් ඉපදුණු දවසේ ඉඳන් හිටියේ යුදමය පරිසරයක. අද වන විට ප්‍රචණ්ඩම හැසිරීම පෙන්නුම් කරන්නෙත් ඒ පරම්පරාවමයි. අතාර්කිකම විදිහට හැසිරෙන්නෙත් ඒ පරම්පරාවමයි. යුද්ධය නිසා ඇති වූ බය තවම ඔවුන්ගේ හිත් වලින් ගිහින් නැහැ. අවිඥානකව ඔවුන් කටයුතු කරන්නේ ඒ බයෙන්. ඔවුන්ට මිථ්‍යාව විකිණීම ඉතාම පහසුයි. (උදා: මේ අයට No Limit එකෙන් ටොපියක් දෙනකොට ඒ දෙන්නෙ වඳ බෙහෙතක් කියලා අන්දන්න පුළුවන්.)

    2. යුද්ධය අවසාන වීම: යුද්ධය දවස් වල පුවත්පත් වල පිටු පුරවන්න ඕනැ තරම් දේවල් තිබුණා. යුද්ධය අවසාන වීමත් සමඟ මාධ්‍ය ආයතන ලොකු අර්බූදයකට මුහුණ දෙනවා ආකර්ෂණීය මාතෘකා නැතුව. සැබෑ ලෝකයේ ආකර්ෂණීය මාතෘකා නැතිකොට ෆැන්ටසි වලින් ඒවා හොයන්න වෙනවා. මේකට හොඳම උදාහරණය තමයි 'ග්‍රීස් යකා' නිර්මාණය. හැමදාම මේ වගේ මිථ්‍යාවන් මවනවා. ආගමික මිථ්‍යාවන්ම නෙවෙයි. අපිට ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නෙ ඒ මිථ්‍යාවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තුතියි.
      මිත්‍යා වගේම පැතිරෙන කේස් එකක් තමයි අතීතයේ සිදුවූ සිදුවීම් කතන්දර විදියට ලිවීම. [ලංකාදීප දියතෙන් පටන්ගත්ත මේක දැන් සෑහෙන්න පැතිරිලා. පැන්ෂන් ගිය විප්ලවකාරයන්ගෙ කතා, මරණ දඬුවම‍ට ලක්වූවන් ගැන කතා (හිතුමගේ, චීනා, මරුසිරා...)]. ඒවත් අරවගේ තමයි එච්චරම හානිදායක නැතත්!

      Delete
    2. ඇයි හානිදායක නැත්තේ? අපරාධකරුවෙක් උත්කර්ෂයට නංවා ලිවීම සමාජයට අතිශයින් හානිදායකයි. චීනා ගැන ලියලා තිබුණේ චීනා සාන්තුවරයෙක් කරලා. මට මතකයි හැත්තෑ ගණන් වල පත්තර (දින වකවානු මතක හැටියට) මේ පුද්ගලයා ගැන ගියපු දේවල්. ඒ දවස්වල හිටපු භයානකම අපරාධකාරයෙක්. මේ මිථ්‍යා මැවීම භයානකයි.

      Delete
    3. //මේ අයට No Limit එකෙන් ටොපියක් දෙනකොට ඒ දෙන්නෙ වඳ බෙහෙතක් කියලා අන්දන්න පුළුවන්.//

      මෙතන ලොකු ගැටළුවක් තියෙනවා ඔය ටොපිය ගැන කිසිම විද්‍යාත්මක විශ්ලේෂණයක් නැතිව එය වඳ බෙහෙතක් කියලා කතා පැතිරවීම වැරදි තමයි ඒ වගේම එම මතයට විරුද්ද දේශපාලන දැක්මක් සහිත චානුක වත්තේගම වැනි පුද්ගලයන් ඔය ටොපිය වඳ බෙහෙතක් නොවේ කියන්නෙත් කිසිම විද්‍යාත්මක විශ්ලේෂණයක් නැතුවයි. එයද වැරදියි.

      Delete
    4. මේ මිත්‍යාවන් පැතිර යාමට අන්තර්ජාලයත් එක හේතුවක් වනවා. කාර්යාලවල වැඩට යන පිරිස මුලින් ම බලන්නේ ගොසිප් සයිට් ටික. ඒවා ගොඩක තෝරන් වගේ ලියිට් පත්තු කර කර ඇඩ් දාන්නේ ගුරුකම් කාරයෝ. ඊට පස්සේ යන්නේ ෆේස් බුක් එකට. බුකිය පුරාම ඉන්නේ රාවන බලකාය. තාම බ්ලොග් අවකාශය විතරයි ඕකෙන් බේරිලා තියෙන්න. එකත අදද හෙටද දන්නේ නෑ.

      තව දුරටත් මිත්‍යාව පැතිර යාමට 56 දරුවන් යැයි කියාගන්න සෙට් එක විශාල රුකුලක් දෙනවා. ඔවුන්ගේ පොදු ලක්ෂණයක් නම් තමනට ස්පර්ශ කල නොහැකි ක්ෂේත්‍රෙය හෙලා දැකීම. පත්තර අරක්ගෙන ඉන්නේ ඔය 56 දරුවෝ සෙට් එකක්.

      මගේ ගාව තියෙනවා විදුසර දෙවෙනි පත්තරේ ඉඳල අවුරුදු 15 එක දිගට පත්තර බයින්ඩ් කරලා. එදා විදුසරයි අද විදුසරයි අහසට පොලව වෙලා. ඒකෙනුත් කරන්නේ මිත්‍යාව වැපිරවීම.

      නාථ දෙයිං ගෙන් වට්ටෝරු ගන්න මහදුරන් ඉන්න රටක් බවට අද මිත්‍යාවේ ගිලිලා.


      Delete
    5. @මහා කළු සිංහලයා
      Chanuka Wattegama ට කට උත්තර නැති ප්‍රශ්නයක් යොමු කිරීම ගැන ස්තුතියි.

      Delete
    6. මතන ලාක ගැටවක් තියනවා ඔය ටාපිය ගැන කිසිම දාත්මක ශ්ල්ෂණයක් නැතිව එය වඳ බහතක් කියලා කතා පැතිරම වැරදි තමයි ඒ වග්ම එම මතයට ද්ද ද්ශපාලන දැක්මක් සහිත චානුක වත්ත්ගම වැනි පුද්ගලයන් ඔය ටාපිය වඳ බහතක් නා කියන්නත් කිසිම දාත්මක ශ්ල්ෂණයක් නැතවයි. එයද වැරදියි.//
      යමක් ඔප්පු කිරීමේ ක්‍රමය මකසි දන්නෙ නෑ වගේ. ටොපිය අව්ල් කියනව නම් එයාලා තමයි ඒක ඔප්පු කරන්න ඕන. ඇයි ඔය කියන අයට බැරි පරීක්ශනයක් කරන්න. එහෙම නොකර තර්ක විතරක් ගෙනල්ල වැඩක් නෑ.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
  16. චන්ද්‍ර සංචාරකයෝ පරිවර්තනය කළේ අනුර සී පෙරේරා ව‌ගෙ මතක... ගෙදර පොත ඇති.. වායුපායාන ගැන කියෝල ඒ දවස්වල මොලේ මඤ්ඤං වෙලා හිටිය.. කොහොමත් ඒ දවස්වල ඉස්කෝලෙ උගන්නන විද්‍යාවට වඩා ඔය වගේ විදෘ කතා වලට අපි හරි ආසයිනෙ...

    ගැඹුරු මුහුද නං තාමත් කියවද්දි පුදුම හිතෙනව...

    ඔය පොත් පත්තර ගැන නං කිව්වම මට හිතෙන්නෙ දැං ඉන්න එවුන්ට ඒවා හම්බුවෙන අවස්ථාව අඩු හින්ද ඒවා කියවන්නෙ නැතිකම මිසක් ( ඇයි ඉතිං ... දැං පළවෙන පොත් වලින් බාගෙකට වැඩිය මෙලෝ රහක් නැති, එකපාරක් කියෝල කුණු ගොඩට විසි කරන්න හිතෙන ජාතියෙ ඒවනෙ..) උන ඒව කියවන්න කැමති නැතිකම නෙවෙයි කියල...

    ReplyDelete
    Replies
    1. නෑ, "චන්ද්‍ර සංචාරකයෝ" පරිවර්තනය කළේ අනුර සී. පෙරේරා නෙවෙයි. එයා ග්‍රන්ථ පරිවර්තකයෙක් නෙවෙයි.

      Delete
  17. පවුම්ගල්ල ඍජුදණ්ඩ හිමි.October 13, 2014 at 3:28 AM

    බුදු සරණ වේවා
    සදහම් සරණ වේවා
    සඟ සරණ වේවා
    මෙතුන් සරණින් ජයම වේවා.

    බණ ඇහුවම අවිද්‍යා අන්ධකාරය දුරුවෙනවා. ඒක නිසා විද්‍යා සන්නිවේදනයක් වැඩක් නැහැ. බණ චැනල් සහ බණ පත්තර තිබුනාම ඇති.

    ReplyDelete
    Replies
    1. ශ්වේතගල වල්ලබද්දිය ස්ථවිර.October 13, 2014 at 3:36 AM

      මේ ලෝකයේ ඇති පරම සත්‍යක් වන එකම විද්‍යාව බුදුදහමයි. අන් සියලු ආගම් මිත්‍යාව වන අතර බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි.

      Delete
  18. කියෙව්වා...අතපය දාන්න බෑ...අපි පොඩි ළමයි ඒක නිසානේ ප්‍රියා පත්තරේ සින්දු විදානේත් නැත්තේ.

    ReplyDelete
  19. මේ ගැන මගේ මතය මම පෝස්ට් එකකින්ම දාන්නම්..

    ReplyDelete
  20. මේ කොමෙන්ට් එක කලින් දැම්ම වැටුන ද කියා ෂුවර් නැහැ. :)

    මේ ගැන මට කියන්න තියෙන්නේ චානුක ලා ඇල්කෙමියා ලා වගේ යට සයිබර් විද්‍යා සඟරාවක් පටන් ගන්න එක. ඒකීය වෑයමක් නොවේ. එහෙත් සයිබර් එකෙන් පටන් ගන්න.

    පසුකාලීනව සාර්ථක වේ නම් කඩදාසියට යන්න පුළුවන්.

    එකම ඉල්ලීම නම්; විද්‍යාව විනා විද්‍යාව මත කෙරෙන දේශපාලනය එන්න දෙන්න එපා

    ReplyDelete
    Replies
    1. එළකිරි ඕකමයි මම කියන්න ගියේ.. බුකියේ පොරකුත් ඇවිත් ඉන්නේ...

      Delete
  21. Mithyawa his mudunin piligaththa,mithyawata multhenadena,Mithyawadeenta mulputudena,Palakayek.Widyuth/Mudritha madya thyena rataka.Awnka Widyarthinta Kohida idak?

    ReplyDelete
  22. .Ihatha Comment kala denama,Pinguththara nikaye raajaparshawayeda? Oruthota habalanannda.wakapute.

    ReplyDelete
  23. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් 1974 දී පළ කෙරුණු,
    සම්පූර්ණ වර්ණයෙන් රූප සහ ඡායාරූප සිය ගණනක් සහිතව යුරෝපීය පොතක ප්‍රමිතියෙන් ම ඉතාලියේ වෙරෝනාවේ මුද්‍රණය කෙරුණු,
    රුපියල් 37.50 කට මිළ නියම වී තිබුණු,
    පිටු 368 කින් සහ දර්ශනීය dust jacket එකකින් සමන්විත,
    එංගලන්තයේ ඇල්ඩස් පොත් සමාගමය විසින් 1960 දශකයේ The MacDonald Illustrated Library යන නමින් ඉංග්‍රීසියෙන් පළ කළ පොත් පෙළේ පළමු පොත වන Science හි පරිවර්තනයක් වන

    "රූපිත විද්‍යා ග්‍රන්ථාවලිය ---

    විද්‍යාව: රසායනය, භෞතිකය, නක්ෂත්‍රය"


    කියන ග්‍රන්ථ රාජයා ඔය එක්කෙනෙක් වත් සතුව තියෙනවා ද?

    එදා මිළ දී ගත්තු මගේ පිටපත අදටත් සුරැකිව මා ළඟ නම් තිබෙනවා. ඒ වගේ විද්‍යා පොතක් සිංහලෙන් ඊට පෙර වත්, ඊට පසු අද වන තුරුත් පළ වී නැහැ.

    මේ පොතේ කර්තෘවරුන් වන්නේ: Dr J. Bronowski, Sir Gerald Barry, James Fisher, Sir Julian Huxley.

    ReplyDelete
    Replies
    1. 1974 දී රුපියල් 37.50 ක් කියන්නේ විශාල මුදලක්. ඒ කාලේ බාස් කෙනෙකුගෙ දවසේ වැටුප රුපියල් 5 යි. ඒ අනුව බලන කොට ඒ පොතට ගෙවූ මුදල අද රුපියල් වලින් 13,000 ක් විතර.

      Delete
  24. අද බලන්න පොදු ජන කැමැත්ත වැඩියෙන් තියෙන්නෙ කාටද කියලා. . . .නළු නිලියන්ටයි .. . . සාත්තර කාරයන්ටයි. . . වසරකට නළු නිලියන්ට හා කළා කාරයන්ට සම්මාන උළෙලවල් කීයක් තියෙනවාද. . . විද්යාව නඟාසිටුවන්නන් අගය කරන්න තියෙන සම්මාන මොනවාද?. . .එහෙම තත්වයක් යටතේ අළුත් පරම්පරාව විද්යාව උගනීද?

    ReplyDelete
  25. ඒ වාගේ ම විද්‍යා පොත් රාජයෙක් තම යි 1975 දී ඇම්. ඩී. ගුණසේන සමාගමය විසින් පළ කෙරුණු

    "මහා පිටිකොඳු වංශය"

    කියන පොත. මේකත් පරිවර්තනයක්. මුල් පොතේ නම The Vertebrate Story. ලිව්වේ Alfred Romer. පරිවර්තනය කළේ ඒ. ඇම්. කුලතිලක. මිළ රුපියල් 170 යි. ඒ කාලේ නම් දරාගන්න බැරි ම මිළක්. රූප සටහන්වලට සහ ඡායාරූපවලට වර්ණ යොදා තිබුණේ නැහැ.

    ReplyDelete
  26. ඉස්සර තිබුණා විද්යා විනෝදය කියලාද කොහෙද සරළ පරීක්ශණ තිබුනු රුසියන් පොතක්.සෑහෙන කාලයක් තිස්සෙ හොයනවා. . තාමත් හොයාගන්න බැරි උනා. .

    ReplyDelete
    Replies
    1. "විද්‍යා විනෝදය" රුසියන් පොතක් නෙවෙ යි. ඒක ලිව්වේ අනුර සී. පෙරේරා --- 1972 දී.

      Delete
    2. වයි. පෙරෙල්මාන් ලියපු "ගණිත විනෝදය" කියලා නම් රුසියන් පොතක් තිබුණා.

      Delete
  27. අනුර සී. පෙරේරාගේ විද්‍යා පොත් පෙළ...... අම්මෝ......! මුතු ඇට පෙළක් වාගේ (එකක් හැර සම්පූර්ණ පොත් පෙළ ම ---- 1970 සිට මේ වන තුරු) තාම මා ළඟ සුරැකිව තියෙනවා.

    ReplyDelete
  28. මේ ලිපියේ සඳහන් කර ඇති "ද ලිවිං ප්ලැනට්", "කොස්මොස්", "ද මිස්ටීරියස් වර්ල්ඩ්" කියන රූපවාහිනී වාර්තා වැඩසටහන් මාලා මෙන් ම, ඒ කාලේ විකාශනය කෙරුණු "සිල්ක් රෝඩ්" මාලාවත් මීට වසර 10 කට පමණ පෙර DVD තැටි ලෙසින් ඉතා අලංකාර කංචුකවල (හොර පිටපත් නොවේ --- නීත්‍යානුකූල පිටපත්) මිළ දී ගැනීමට හැකියාව තිබුණා. වාසනාවකට මෙන් මා හට ඒ සියල්ලම හිමි කර ගැනීමට හැකියාව ලැබුණා.

    ReplyDelete
  29. ද මිස්ටීරියස් වර්ල්ඩ් නොව, ඒ වාර්තා මාලාවේ නියම නම "ආතර් සී. ක්ලාර්ක්ස් මිස්ටීරියස් වර්ල්ඩ්" (Arthur C. Clarke's Mysterious World).

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න