.

.

May 20, 2011

ඇදගෙන නෑම - How to take a Good Bath


නෑම යහපත් ශරීර සෞඛ්‍ය සඳහා අත්‍යාවශ්‍යම දෙයක්. හැබැයි අපේ රටේ හැමතැනම වගේ වතුර තිබුනත්, හතර වටේම මුහුද තිබුනත්, නාන්න ටිකක් විතර කම්මැලි ජාතියක් විදියට තමයි සලකන්නේ. මේ නාන්න කම්මැලිකම නිසාම තමයි ගොඩක් අයට පීනන්නත් බැරි. නාන නොනාන අය දැනගන්න එක හරිම ලේසියි බස් එකක දුම්රියක යනකොට. නාන පිරිමි අය කෙසේ වෙතත් කාන්තා පක්ෂයෙන් නම් හරිම නැවුම් සුවඳක් වහනය වෙනව. දැන් නම් ෂැම්පු ජාති එහෙම දාලා පුසුඹේ ඉන්නට බැරුවා. අර මම කියපු නැවුම් සුවඳ තවමත් තියෙනව ලයිෆ්බෝයි වලින් නෑවම.

අදනම් වතුර නැතුවත් නාන ඇත්තො ඕනතරම්, ඒ විතරක් නෙමෙයි ඇදගෙන නාන අය.. මගෙ අප්පේ වැහි වැහැල. මේ මැතකදි රෝහිත උප ඇමති තුමත් ඇදගෙනම නා ගත්තේ හම්බන්තොට වරායේ ගලක් නැතෙයි කියල. නාන එක මංගල්ලයක් විදියට තමයි ග්‍රීක ශිෂ්ඨාචාරයේ පටන් රජවරු බිසෝවරු සලකල තියෙන්නේ. එයාලනම් ඖෂධීය ගුන අඩංගු විවිධ සුවඳ වර්ග වලින් යුතු ජලයෙනුයි ස්නානය කොරල තියෙන්නෙ. ඒ රාජකිය බව අදනම් බොහෝ තැනවල අත්විඳගන්න පුලුවන්. එපමනක් නොවෙයි එයාලව නාවන්න එයාලත් එක්ක නාන්න වෙනම සේවකයො ඉඳල තියෙනව.

යහමින් මුදල් තියේනම් ලංකාවෙත් එහෙම නාවන තැන් තියෙනව. එවන් එක් ස්තානයකින් ඒ සුවය විඳපු මගෙ යලුවෙක් කීවේ, "මචං අපෙ අම්මවත් ඒ තරම් ආදරෙන් අපිව නාවල නැතුව ඇති බං" කියල. (වැඩිපුර විස්තර පෞද්ගලික තැපල් මගින් පමණක් බව කරුනාවෙන් සළකන්න.). අම්මප දවසකටවත් රජෙක් වෙන්න ඇත්නම් කියල හිතෙනව ඒ වෙලාවට. තව ටිකෙන් අමතක වෙනව ඔය රජවරු, බිසෝවරු, එතකොට පූජ්‍ය පක්ෂය නාන්නෙ නෑ නොවැ. එයාලා කොරන්නෙ ස්නානය. එතකොට ඇදගෙන නානවට කියන්නෙ, උන්වහන්සෙ වඩම්මගෙන ස්නානය කරනව කියලද දන්නෙ නෑ.

වැඩේ නිකං වටේ යනව වගේ පේන්නේ වැල් වටාරම් වැඩියි වගේ. මේ ලිපිය ලියන්න හිතුනෙ සුප්‍රසිද්ධ පබිලිස් සීයා පිටකොටුවෙ නාන ළිං වලින් නෑවයි කියපු කතාව දැකල. ඒවල තියෙන්නෙ ටැංකිවලට වතුර පුරවල, හොඳ පිරිසිඳු ඇලුමිනියම් බාල්දියකුත් තියෙනව. ඉස්සරනම් මේ ටැංකිවලට වතුර පුරවල තියෙන්නෙ බාල්දිවලින් ඇදල, දැන්නම් හැම තැනම වගේ මෝටර් හයි කොරලයි තියෙන්නෙ. රෙදි සෝදගන්න වෙනම තැන් තියෙනව, මේ නාන ළිං ගාව පොඩි කඩවල්වලින් ලයිෆ්බෝයි භාගෙ උනත් ගන්න පුලුවන්, ඒ වගෙම පොඩි ලොන්ඩරියක් එහෙමත් තියෙනව අඟුරු ඉස්තිරික්කෙ පාවිච්චි කොරන. කමිසයක් මැදල දෙන්න රු. 20 යි. මුලු දවසෙම මහන්සි වුනු කම්කරුවෝ ඇදපු වතුර නාලා මැදපු කමිස ඇඳන් කුමාරයො වගේ යනව පොඩි ආතල් එකක් ගන්න, මේ පිරිස අතරෙ ගල් පාවිච්චි කරන අය වගේම බියර් බොන විශාල පිරිසකුත් ඉන්නවා. (G.L. පීරීස් මැති තුමාට ඔවුන්ගේ ආචාරය.)

මගේ අදහස නම් ඒක තමයි නියම නෑම කියල ඒ කියන්නෙ ඇදගෙන නෑම. අද හතර වටෙන් චූ කරන ඒව සවි කොරපු ෂවර් තිබුනත් බාල්දියක් පුරවල වතුර එකක් ඇඟට දාගන්නව වගේ සනීපයක් මටනම් තවත් නෑ. ඒක අපි පුරුදු උන විදිය වෙන්න ඇති. ඉස්සර හැම ගෙදරකම වගේ ළිඳක් තිබුන. රවුමක හැඩයෙ ළිං තමයි බොහෝ තැනවල දකින්න තිබුනේ. රවුම් හැඩේ බැම්ම, සාමාන්‍යයෙන් වැඩුන කෙනෙක්ගේ ඉන හරියට විතර එන්න බැඳල ඉන් පස්සෙ දෙපැත්තෙන් පොඩි කණු දෙකක් යනව, මේ කණු දෙක අතරෙ යකඩයක් දාලා ඒකේ මැද්දෙ තමයි බොලොක්කෙ තියෙන්නේ. (විද්‍යාව පාඩමට ලිවර ගැන උගන්වන කොට සරළම උදාහරණය තමයි ඔය බොලොක්කේ.)

ලීවරය මැද්දෙන් කඹයක් දාලා කඹේ කෙලවරක පනිට්ටුව ගැට ගහල තියෙනව, ඇදගෙන නාන්න තමයි තියෙන්නේ, අපේ ළිඳට නම් ඔය බොලොක්කෙ තිබුනෙත් නෑ, කෙලින්ම පනිට්ටුව ළිඳට දාල ඇදගන්නයි තිබුනෙ. මොකද වෙලක් ලඟ නිසා වතුර ළඟමයි තිබුනේ. ඒ වගේම වෙලෙත් තිබුන ළිදක් එතන ගොඩක් වෙලාවට නාන්නේ කාන්තා පක්ෂය, ඒකට තමයි ළිඳ ලග සංගමය කියන්නේ. එකනම් බැඳල නැහැ ළිදේ කෙලවරකට වෙන්න හරහට කිතුල් කොට දාලා ඒව උඩට නැගල තමයි වතුර අරගෙන නාන්නේ. නාන කොට තව ඇදගෙන නාන වැඩක් තමයි, බාල්දිය ළිදේ වැටෙන එක. කෙක්කක් එහෙම හොයගෙන කඹේ පටලවල පනිට්ටුව ගොඩගන්න එකා හීරෝ.

යාපනේ පැත්තෙ තියෙනව ආඬි ළිං කිලල ළිං විශේෂයකුත් ගොඩක් වෙලාවට මේව යොදාගන්නෙ වගා බිම්වලට වතුර දාන්න. ඒකත් හරිම ලස්සන වැඩේ, අර අපේ ළිදේ කණු දෙක වගේ ලොකු ලී කණු දෙකක් දෙපැත්තෙ හිටවල මැදටත් ලීයක් දාල පනිට්ටුව එල්ලල තියෙන්නෙත් දිග ලීයක. තව ළිං ජාතියක් තමයි නළ ළිං, බයිසිකලේට හුලං ගහනව වගේ ලිවර් එක ගහන්නයි තියෙන්න. මෙන්න යකෝ වතුර එනව ගොජ ගොජ ගාල...

අපි පොඩි කාළේ වෙල පිරුනම වෙළේ පැනල නාන්නෙ. ඊට පස්සෙ කැළණි ගඟේ ඔරු යනව එහෙම බලාගෙන ගඟේ නෑව, උණ වයසෙදි නෑවේ U.K. වල, පස්සෙ කිං රෝස්, ගල්කිස්සෙ එහෙම ගියා, ගෙදර නෑවේ කොච්චර ෂවර් තිබුනත් බාල්දියෙන්ම තමයි, විශේෂයෙන් රාත්‍රියට අමු නිර්වස්තරෙන්.. මම රට ගිහින් හිටපු කාළෙත් ටබ් එකට වතුර පුරවගෙන සෑහෙන වෙලාවක් ඒකේ බැහල ඉඳල, බාල්දියෙන් තමයි අන්තීමට නාන්නේ. (බලු නැට්ට උණ පුරුකෙ දැම්මත් දිග අරින්න බැහැ නොවැ....)



මතු සම්බන්ධයි.......

නවීන ක්‍රමයට නිවැරදි ආකාරයට නාන අයුරු මෙතැනින් බලාගන්න.. මට මේකේ ආසම කෑල්ල තමයි දොර වහලද කියල ෂුවර් කර ගන්න කියන කෑල්ල. උන්ටත් ලැජ්ජාව තවම තියෙනව බං.....

http://www.wikihow.com/Take-a-Bath

10 comments:

  1. ඔන්න ඉතින් මාතලන් ගොයියත් නා ගන්න යන්නෙ... ජරා පින්තූර දාලා... පුංචි අපි පවුනෙ...

    ReplyDelete
  2. @ හරී

    උඹල ගැනම හිතල තමයි ඕව එහෙන් මෙහෙන් රිංගවන්නෙ..

    ReplyDelete
  3. මරු නෑමක්නේ... පහුගිය දවස්වල උණුවතුර තිබුණ ගෙදරක හිටපු නිසා දවසට දෙපාර ගානෙ නෑවා. දැන් ආයෙත් කඳුකරේ සීතලේ නිසා සතියකට දෙතුන් පාරක්වත් නාගන්නෙ කොහොමද කියලයි ඉන්නේ...

    ReplyDelete
  4. බාල්දියෙන් ගමේ ලිදකින් වතුර ඇදලා නාන තරම් ෆන් එකක් ෂවර් එකෙන් නෑවට ගන්න බැහැ .....

    ReplyDelete
  5. ඇදගෙන නෑම ගැන ලෝකෙටම ආදර්ෂ දෙන්න පුලුවන් අපේ දේසපාලක මහත්වරු(හොරු ) ට නම් මචෝ . . හික්ස්

    ReplyDelete
  6. @ hare :-)

    දර ට්කක් කොහෙන් හරි හොයාගෙන, වතුර ටිකක් රත් කොරාන කොහොම හරි නාපං,,, නාන්න කම්මැලි එවුන්ට් මොනා හරි ඇක්ස්කුස් එකක් තියෙනව.... හෙහ් හෙහ්

    ReplyDelete
  7. @ කල්හාර දිසානායක

    ඔයි ලෙඩේමනේ බොල මටත් තියෙන්නේ....

    ReplyDelete
  8. @ දුකා

    ඒ ගැන නං කියලා...... වැඩක් නෑ දුකෝ.....

    ReplyDelete
  9. එක දිගට හිනා වෙවී කියවගෙන ගියා. නියමයි. ඔයාගෙ රචනා ශෛලියනම් ඉස්තරම්.

    ReplyDelete
  10. තෑන්ක්ස් නෝනෙ.. එක දිගට කියෙව්වට කමක් නෑ.. එක හුස්මට නැතුව.. මම කැමති නෑ උසාවී ගානේ රස්තියදු වෙන්න..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න